මියුරු පෙම් වසන්තේ – 42

ක්ලීටස් උන්නේ මියුරුගෙන් මේ කිසිවක් ගැන අහන්න බැරුවය. ඒ කෙල්ල කාගෙ කවුද කින්ද මන්ද කියා හොයන්නටවත් ක්ලීටස්ට බැරි උනේ ඇය ගැන කිසිම දෙයක් තමන් දන්නේ නැති හන්දාය. දන්නෙ නැති කෙනෙක් ගැන හොයන්නේ කොහොමද කියා හිත පෙලූ ඒ ප්‍රශ්නය දින ගණනාවක් පුරාවට ක්ලීටස්ව මත් බවෙන් පුරවාලන්න හේතු වෙච්ච එකකි. 

ක්ලීටස් එසේ බයෙන් මත් වෙද්දී මියුරු උන්නේ ප්‍රේමයෙන් මත් වී ඒ ප්‍රේම ගංගාවේ නදී එක්ක ගිලී පිහිනමින් සතුටු වෙමිනි. මියුරු උන්නු ඒ ප්‍රේමයේ මත්වීම ක්ලීටස් දුටුවේය. මීට වසර ගණනාවකට කලින් තමන් උන්නේද එයාකාරම සන්තෝසයක බව ක්ලීටස්ට මතක තිබුණේය. එදා ඒ සතුට තමන්ව අවසානයේ කෙතරම් වේදනාවක ගිල්වා තැබුවේද අද මියුරු විඳින ඒ සතුට දවසක තමාවත් මියුරුවත් බොහෝ දුකක ගිල්වා තබන බව දැන් හුන් නිසාම ක්ලීටස් තව තවත් දුක් වුණේය.

රදන්පොල පවුලේ කෑම කන වෙලාවට ගෙදර ඉන්න හැම කෙනාව කෑම මේසයට වාඩි වී හිඳිය යුතු බවට නීතියක් අරගෙන ආවේ ධම්මිකා රදන්පොලය. ඒ මියුරුත් අමයුරුත් ඉතාම කුඩා අවදියේම. කාර්‍යබහුල රාජකාරිය නිසා බොහෝ දිනවල අමයුරුට ඒ චාරිත්‍රය ඉටු කරන්නට බැරි උනත් බඩගිනි තිබ්බත් නැතත් ක්ලීටසුත් මියුරුත් ධම්මිකා එක්කම කෑම මේසයට වාඩි වුණහ. 

“මේව කන්න පුතා, ආ මේක බෙදාගන්න, කද්දි ෆෝන් එක බලන්න එපා” කියා ඒ මොහොතේදී දරුවන් සහ සැමියා මත තම අණසක පතුරවන්න හැකි වීම නිසාම කෑම වෙලාවේදි ධම්මිකා ඒ කෑම වේල උපරිමයෙන්ම රස වින්දාය. ධම්මිකා ජීවිතයේ වඩාත්ම සතුටු වූ දේවල් අතර උඩින්ම තිබ්බේ තමන්ගේ පවුලේ අයට, තමන් අඳුරන අයට ආධිපත්‍ය පෙන්වමින් තමන්ට අවශ්‍ය දේ ඉටු කරගනිමිනි. ඒද එළිපිට නොව හොර රහසේ, හීන් නූලෙන් ය. 

එදා කෑම වේලාවෙදිත් මියුරු උන්නේ තමන්ගේ කොලඹ හතේ ගෙදරින් එපිට කුඩා නිවසක, කණාමැදිරි එලි පහනක් යට වාඩි වී ඉඳි ආප්ප සමග පොල් මැල්ලුම් කමින් උන් නදී සමග චැට් කරමින් රාත්‍රී ආහාරය සඳහා සකසා තිබූ මට්න් ස්ටූ එක රස විඳිමිනි. විටෙන් විට දෙතොලට නැගෙන සිනාවන් පිටිපස්සේත්, මෙතෙක් දිනක් නොවූ අන්දමට දිදුලන දෙනෙතක් පස්සේ සැඟවී ඇති කතාව ධම්මිකාට ලෙහාගන්න බැරිවෙච්ච ගැටපදයක් නොවේ.

ධම්මිකා කිහිප සැරයක්ම තමන්ගේ කෑම පිඟානෙන් ඇස් උස්සා මියුරු දෙස බලද්දී මියුරු උන්නේ කෑම එක අනමින් දෙනෙත දුරකතනය මත රුවාගෙන දෙතොල මත මන්දහාසයක් ඇඳගෙනය. ධම්මිකා මේ සියල්ලටම හේතුව දැනගෙන උන්නාය. ඒ අම්මා කෙනෙකුට හිමි දරුවෙකු සම්බන්ධයෙන් ඇති සහජ ඉවක් හන්දාම පමණක් නොවේ, කණට වැටුණ ඕපදූපයක් ද නිසාය.

“මියුරුගෙ ගර්ල් හරි ලස්සනයිනෙ” කියා ධම්මිකාට කතා කර ආරංචිය කිව්වේ ධම්මිකා සමගම එකට සමාජ සත්කාරයන්හි නිරත වෙන ශාන්ති ලියැන්දුරු ය. ශාන්ති මියුරුවත් මියුරුගේ කෙල්ලවත් දැක තිබුණේ අහම්බෙන් දවසක ඇඳුම් කඩයකදීය. මියුරු ශාන්තිව නොදැක්කාට ශාන්ති හිතට ඇති තරම් ජෝඩුවම බලාගත්තේ මේ ආරංචිය ධම්මිකාගේ කණේ තියන්නේ කොයි වෙලාවේද කියා හිතමිනි. 

හැබැයි ශාන්ති හිතූ විදියට ධම්මිකා කලබල වී රියැක්ට් කරේ නැත. ඕනම ගැටලුවක් ලඟ හිත ඇතුලෙන් කොච්චර දැවුණත් මතුපිටෙන් ශාන්තව හිඳීමේ පාඩම ධම්මිකා ඕනවටත් වඩා හොඳට ඉගෙන ගෙන උන් හන්දා ඒ මොහොත සාමකාමී විලාසයකින්ම ගෙවා දමන්න ධම්මිකාට හැකියාව තිබුණි.

“කොල්ලො ඉතින් යාලුවෙන්නෙ ලස්සන කෙල්ලො එක්කනෙ” කියා හිනාවකින්ම ශාන්තිට පිලිතුරු දුන්නාට මියුරු යාලු වෙලා ඉන්න කෙල්ල කොයි වගේද කොහෙ කෙනෙක්ද කියා හොයන්න ලොකු උවමනාවක් ධම්මිකාට තිබුණි. එහෙත් ඒ වනාහි හීන් සීරුවේ කරන්න ඕන වැඩක් බව ධම්මිකා ජීවිතයෙන් ලද අත්දැකීම් වලින් ඕනවටත් වඩා හොඳට ඉගෙන ගෙන උන්නාඅය.

“ෆෝන් එක බල බල ඉද්දි කන්නෙ මොනවද කියලවත් ඔයා දන්නවද පුතා?” කියා ධම්මිකා ප්‍රශ්නයට අවතීර්ණ වුණේ හීන් සීරුවේය. මියුරු ගැස්සුණේ අම්මාගේ හඬටය.එහෙත් ධම්මිකා උන්නේ මියුරු දෙස නොබල කෑම පිඟානට හිස නවාගෙන ආහාර අනමිනි.

“සොරි අම්මි” කියා ආයෙම වරක් ප්‍රේමවන්තයාගේ චරිතයේ හිඳ සුවච කීකරු පුත්‍ර භූමිකාවට අවතීර්ණ වූ මියුරු දුරකතනය වසා දමා අයෙම වරක් පිඟානට මුහුණ ඔබාගෙන කෑම කන්න පටන් ගත්තද නෙතු වරින් වර දුරකතනට නොටිෆිකේශන් එන වාරයක් පාසා දැල්වෙන එලිය වෙත විහිදුණේය. එහෙත් අම්මාගේ බලය ඒ ආලෝකයට වඩා වැඩි හන්දාම සුවච කීකරු පුත්‍ර භූමිකාව තලාගෙන උඩට එන්නට ප්‍රේමවන්තයාට පුලුවන් උනේ නැත.

ධම්මිකා උන්නේ “මේ ගැන අහනවද? නැද්ද?” කියා දෙගිඩියාවකිනි. මියුරු කෙල්ලෙක් එක්ක ශොපිං කරන්න ගොස් හිඳීම පුතෙකුගේ අම්මා කෙනෙකු ලෙස බයවෙන්න ඕන දෙයක් නොවන බව දන්නවා උනත් තමන්ට කලින් තමන්ගේ දරුවාගේ ජීවිතයේ වෙන දේවල් ගැන කොහෙවත් ඉන්න ගෑණු දැනගත්ත එක ගැන ධම්මිකා උන්නේ කෝපයෙනි.

“මේ මගේ දරුව, මගෙ දරුවන්ගෙ දේවල් මුලින්ම දැනගන්න ඕන මම” කියා අදහසක් හිත අස්සේ තිබිච්ච හන්දාම ධම්මිකා මේ ගැන මියුරුගෙන් අහන්න හිතුවාය.

“දැන් ඔයා ඇඳුම් ගන්නෙ කෙලී ෆෙල්ඩර් එකෙන්ද පුතා?” කියා අම්මා එහෙම අහද්දී කෑම කකා උන්නු මියුරුට ඉස්පොල්ලේ ගියේ “අම්මා කොහොමද ඒක දන්නේ?” කියා ඇතිවෙච්ච තිගැස්ම හන්දාය. මේසයේ මුල් පුටුවේ වාඩි වී අම්මාත් පුතාත් දෙස වරින් වර නෙත් මාරුකරමින් බලන් උන්නු ක්ලීටස්ට මේ නම් මියුරු යාලුවෙලා ඉන්න කෙල්ල සම්බන්ධ කාරණාවක් බව යාන්තමට මෙන් තේරුම් ගියේය.

“ඇයි ඇයි අම්මි එහෙම ඇහුවෙ?” මියුරුගේ කටහඬේ වූ වෙව්ලීම ක්ලීටස්ට මෙන්ම ධම්මිකාටද තේරුණි. මියුරුව බය වද්දා මේ ගැන අහන්න හෝ හොයන්න බැරිබව දන්න හන්දාම ධම්මිකා තම මුහුණ, මව්වත් ගුණයෙන් පිරුණ, ආදරබර වෙස් මුහුණකට හරවා ගත්තාය.

“ඇහුවෙ ඉතින් ඔයාට මට කියන්න දෙයක් තියෙනව කියල මම හිතපු හන්දා” කියා ධම්මිකා හරියටම තැන බලා ඇණේ ගැහැව්ව බව හොඳටම තේරුණේ ක්ලීටස් ටය.විවාහ යෝජනාවක ප්‍රතිපලයක් ලෙස තමන්ගේ ජීවිතේට ආ ධම්මිකාගේ තමන් වඩාත්ම අප්‍රිය කල ගුණාංගය ඔය හීන් නූල් වැඩ බව  දන්න හන්දාම ක්ලීටස් නිහඬව මේ වෙන සියල්ල හොඳින් අසා ගෙන උන්නේ හේතුවක් ඇතුවය.

වුණ දේ මොක උනත්, දෙතැනක ඉන්න දෙදෙනාම තමන්ගේ දරුවන් නොවේද?

ඉතින් එක් දරුවෙකු වෙනුවෙන් අනික් දරුවෙකුගේ සතුට විනාශ කරන්නට ධම්මිකාට ඉඩ දෙන්න නොහැක. ඔවුන්ට එක් වෙන්නටද ඉඩ දෙන්න නොහැක.

“එහෙම දෙයක් නෑ අම්මි” කියා මියුරු ඇද පැද කියද්දීම “ඔයා කියන විදියෙන්ම මට නම් හිතෙන්නෙ එහෙම දෙයක් තියෙනවා කියලමයි” කියමින් ධම්මිකා ඒ වෙස් මුහුණෙන් යලිත් වරක් ආදරයෙන් මියුරු දෙස බලා හිනැහුණාය.

“ම්ම්ම්ම්” මියුරු උන්නේ කියන්න දෙයක් නැතුවය. අම්මා යමක් දන්න බව දන්න නමුත් නදී ගැන තවම එහෙම දෙයක් කියන්න බැරි බව දන්න හන්දාම සද්ද නැතුව හිඳීම හොඳ බව මියුරු හිතුවේය.

“එහෙම දෙයක් නෑ කියල ඔයා කියන දේ මම විශ්වාස කරනවා පුතා, ඒ උනාට ඉතින් ඔය කොල්ලො කාලෙ කෙල්ලො පස්සෙ යන්නෙ නැතුව වෙන මොනව කරන්නද? ඒ නිසා අපිටත් ඉන්ට්‍රඩියුස් කරල දෙන්න ඒ ගර්ල්ව, මොකෝ අපි අකමැති වෙනව කියලය, නේද ක්ලීටස්?” කියා ධම්මිකා ක්ලීටස්වත් ඒ කතාවට සම්බන්ධ කරගත්තේ මියුරුගේ හිතේ තමන් ගැන යම් සැකයක් ඇතිවෙන්නට ඉඩ තියේනම් එය වලක්වනු පිණිසය.

ක්ලීටස් උන්නේ කියන්න ඕන කුමක්ද කියා හිතාගන්න බැරුවය. මේ මෙතැන ඉන්නේ තමා ආදරය නොකල ගැහැණියකගෙන් ලද නමුත් තමන් වඩාත් ආදරය කරන දරුවෙකි.

එතැන ඉන්නේ තමන් වඩාත් ආදරය කල ගැහැණියකගෙන් ලද තමන්ගේ ආදරය කිසි දිනක නොලද දරුවෙකි.

මොන දරුවා අතාරින්නද? මොන දරුවා පරිස්සම් කරන්නද? කියා ක්ලීටස් උන්නේ උභතෝකෝටියක ගිලී ගොසිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles