ධම්මිකා එදා මියුරුගේ කාර්‍යාලයට ආවේ මියුරු ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ යම් කිසි අපනයන කටයුත්තක් සඳහා එලියට ගොස් සිටි මොහොතක ය. මියුරු යාලුවෙලා ඉන්න කෙල්ල ලස්සන බව හැරෙන්න, වෙන කිසිවක් ගැන නොදන්න හන්දා තමන් මේ සර්ච් කිරීම පටන් ගත යුත්තේ කොතනින්ද කියන දෙගිඩියාව ධම්මිකාගේ හිතේ තිබුණි. මියුරුගේ ඔෆිස් එකෙන් මේ සර්ච් එක පටන් ගන්න ඕන බව ධම්මිකා තීරණය කලේ “මියුරු ඔෆිස් එකේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නව වෙන්නත් පුලුවන්” කියා ආ සිතුවිල්ල අනුවය.
ධම්මිකා කාර්‍යාලයට ආවේම මියුරු නැති බව දන්න හන්දාය. ඒ මීටින් එකට නදීව එක්කරගෙන යන්න උවමනා නැති හන්දාත්, නදීට කාර්‍යාලයේ හිඳ කරන්න වැඩ කන්දරාවක්ම තිබුන හන්දාත් ධම්මිකා එද්දීත් නදී උන්නේ පරිගණකයට මුහුණ ඔබාගෙන ඒ වැඩවල යෙදීය.
“මියුරු එළියට ගිහින් නේද?” කියාගෙනම ධම්මිකා කාර්‍යාල කාමරයට එද්දි නදී පුටුවෙන් නැගිට්ටා නොවේ නැගිටුණාය. ධම්මිකා රදන්පොල වනාහී තමන්ට වරදක් කල ගැහැණියක නොවුණත් ඇය අසල තමන් ඉන්නේ එක්තරා බයකින් බවත් ඒ බයට හේතුව කුමක්ද කියා තමන් නොදන්නා බවත් නදී දැන උන්නාය.
“ඔව් මැඩම්” කියා නදී කිව්වේ හිත අස්සෙන් ගැහෙමින් නමුත් තමන්ගේ හඬෙන් හෝ ස්වරූපයෙන් ඒ ගැස්ම ධම්මිකාට නොතේරෙන පිණිසය. නදී වඩාත්ම බිය වුණේ මියුරු සහ තමන් අතර ඇති සබඳතාවය ගැන අංශු මාත්‍රයක් හෝ ධම්මිකාට තමන්ගේ කතා බහ අතරදී අහුවේය යන බියය.
“කොහොමද ළමයො ඉතින් වැඩ, දැන් ඇවිල්ලත් මාස කිපයක් වෙනවා නේද?” කියා අසන ගමන්ම ධම්මිකා නදීගේ කාර්‍යාල මේසයට පැත්තකින් තිබූ සෝෆාව මත ඈඳිගත්තාය.
“ඔව් මැඩම්”
“කොහොමද වැඩ ටික අල්ලගෙන යනවද? මියුරු සපෝට් කරනවද?” කියා ධම්මිකා ඇසුවේ නදිගේ දෙනෙත් දිහාම එක එල්ලේ බලාගෙනය ඒ දෙනෙත් ඔස්සේ නදීගේ ඇතුලාන්තය පරීක්ශා කරන්න මෙනි. නදී උන්නේ ඒ බැල්ම ලඟ ගල් ගැහෙන්නට ඔන්න මෙන්නය.
“ඔව් මැඩම්, වැඩ ටික කරගෙන යනවා. සර්ත් උදව් වෙනවා”
“ඉස්සරහට ඉතින් ඔයාල මේ වැඩ තනියෙන් බලාගෙන යන්න ඕන කාලයක් තමා එන්නෙ, මියුරුටත් ඉතින් ඉස්සරහටත් හැමදේම එකින් එක බල බල ඉන්න බෑනෙ ළමයො” කියා ධම්මිකා තමන්ගේ නූල් සූත්තර හිනාව නදී වෙත හෙලුවේ නදී යමක් දන්නවා නම් ඒ ගැන හීන් සීරුවේ දැන ගන්න හිතාගෙනය. සමහරවිට ඔය කියන කෙල්ල මේ කෙල්ල වෙන්න පුලුවන් බවත් දන්න හන්දා ධම්මිකා අද ඔෆිස් එකේ තමන්ගේ මූණට මුලිච්චි වූ හැම අවිවාහක කෙල්ල දිහාම බැලුවේ එක්තරා අන්දමක සැකයක් එක්කය. ධම්මිකා මෙහෙම දෙයක් එකපාර කිව්වේ ඇයි ද කියා නොදන්න හන්දා නදී උන්නේ පොඩ්ඩක් විතර කුතුහලය ගෑවුන සිතුවිල්ලක එල්ලීගෙනය.
“මැඩම් ඇයි එහෙම කිව්වේ? සර් රටවත් යනවද?” කියන අතරම නදී කාර්‍යාලයේ මුලුතැන්ගෙයට කතා කර ධම්මිකා රදන්පොල වෙනුවෙන් අඩු සීනී තේ කෝප්පයක් අරගෙන මෙන් දැනුම් දෙන්නටත් අමතක කරේ නැත.
“රටවල් වලටත් යාවි ඉතින්, බැන්දම ඉතින් මේ බිස්නස් බදාගෙනම ඉන්න බෑනෙ ළමයො” කියමින් ධම්මිකා පෙරට වඩා තීක්ෂණ බැල්මක් නදීගේ මුහුණ වෙත යොමු කලේ මියුරු එක්ක රවුම් ගහන කෙල්ල නදී නම් ඇයගේ මුහුණෙන් මේ කතාව ඇහුවට පස්සේ යම් කිසි වෙනසක් දකින්න ලැබේය කියා හිතමිනි. එහෙත් ධම්මිකා නොදැන උන් කාරණාවක් එතන තිබුණාය. ඒ නදී ඉපදුනේ අනන්ත අප්‍රමාණ දුක් කම්කටොලු වලට මුහුණ දුන් පිරිසක් මැද්දේ එකී දුක් කම්කටොලුවලට කුඩා කාලයේ හිඳම මුහුණ දෙන්නට සිදු වූ වටපිටාවකය. හිත අස්සේ කොපමණ ගිනි කන්දක් පුපුරා හැලුනද මුහුනෙන් කිසිම වෙනසක් නැතුව බොහොම සාන්ත දාන්තව ඉන්න නදීට ඒ මොහොතේ පුලුවන්කම ලැබුණේ ඒ අල්විස් වත්තේ ඉපදිච්ච හන්දා ය. ජීවිතේ කිසිම දවසක තමන් වත්තේ ඉපදිච්ච කෙල්ලෙක් වීම ගැන සතුටු නොවුණ නදී ඒ මොහොතේ ඒ ගැන සතුටු වුණාය.
“අනේ එහෙමද මැඩම්, සර් මැරි කරන්නද යන්නේ?” කියා ධම්මිකාගෙන් අහද්දීත් මුහුණෙන් හෝ හඬෙන් තමන්ගේ හිතේ වූ තිගැස්ම හෝ වේදනාව නොපෙනෙන්න හිඳින්න නදී උපරිම උත්සහයක දැරූ අතර එය ඉතාම සාර්තක වුණාය.
“ඔව් ළමයො, අපි දන්නම ළමයෙක්, මියුරු නං දැක්ක ගමන්ම කැමති වුණා, ලස්සන ගර්ල්, හොඳට ඉගෙන ගෙන. එහෙම තැනකින් මිස ඉතින් අපිට වෙන තැනකින් කටයුත්තක් කරගන්න බෑනෙ. ලොකු පුතාගෙ වෙඩින් එක ඉවර උන ගමන් මියුරුගෙත් වෙඩින් එක ගන්නෝන” කියා ධම්මිකා කිව්වේ “මියුරුගේ කෙල්ල නදී නොවේනම් වෙන කවුරු විය හැකිද?” කියා හිතමිනි.
එදා ධම්මිකා ආපසු ගියේ මියුරු යලිත් කාර්‍යාලයට ආ ගමන් වගේය. මියුරු අම්මාව ආදරයෙන් වැලඳගෙන “අම්මී” කියනු ඇසෙද්දී පවා නදී උන්නේ තම සුපුරුදු සිහිලැල් සිනාවෙන් දෙතොල සරසගෙනය. එහෙත් හිත කොච්චර නම් බයෙන් ගැහුනාද කියා දැන උනේ ඇයම පමණකි.
“දැන් කවද්ද වෙඩින් එක?” කියා නදී මියුරුට වට්සැප් මැසේජ් එකක් දැම්මේ යාන්තම් මන්දහාසයක් දෙතොලේ අලවගෙනය. නදී එවන්නට යෙදුන කෙටි පණිවිඩයේ රැඳී තිබුණ කතාව මියුරුට ඇත්තටම තේරුණේ නැත.
“ ඇයි එහෙම කිව්වේ? කාගෙ වෙඩින් එකක් ගැනද අහන්නෙ ඔයා?”
“ඔයාගෙ වෙඩින් එක ගැන අහන්නෙ අනේ”
“මගේ වෙඩින් එක ගැන? අපි තාම නම් වෙඩින් එකක් ගැන කතා කරලා නෑ. ඔයා කැමතිනම් ඉතින් අපි වෙඩින් එකක් ගැන කතා කරන්න පටන් ගමු”
“ආ දැන් මැඩම් ඇවිල්ලා කිව්වෙ ඔයා ඉක්මනට බඳින්න ඉන්නෙ කියල? අයියගෙ වෙඩින් එකෙන් පස්සෙ ඔයා මැරි කරන්න ඉන්නෙ, ප්‍රපෝසල් එකකින් සෙට් වෙච්ච ගර්ල් කෙනෙක්ව කියලා” කියා කියද්දී උනත් නදී උන්නේ සන්තෝසයෙනි. ඒ ධම්මිකා මොන දේ කිව්වත් නදී මියුරුවත් ඔහුගේ ආදරයත් විශ්වාස කල හන්දාය. හිත කැඩෙන්න හෝ සැනසෙන්න නදී ඒ ආදරය විශ්වාස කල හන්දාය.
“අපේ අම්මා? මොකද්ද කිව්වේ? මට තේරෙන්නෙ නෑ අනේ ඔයා කියන දේ” කියා මියුරු ඇහුවේ ඒ හන්දාය.
තමන් මෙන්ම නදී පරිස්සම් වෙන්න ඕන බවත්, අම්මා කොයි මොහොතක හෝ තමන් ගැන හොයාගන්නට ඉඩ තිබෙන බවත් දැන උන්නු නමුත් ආදරයේ වසන්ත කාලය බඳු වූ මේ කාලයේ එකිනෙකාගෙන් වෙන් වී කාලය ගත කරන්නේ කොහොමද කියා පැහැදිලි අදහසක් මියුරුට තිබ්බේ නැත.
අම්මාට නදීව ඉන්ට්‍රඩියුස් කර දෙන එක මහ ගැටලුවක් නොවුනත් ඒ හමුවෙන් පස්සේ අම්මා අනිවාර්‍යෙන්ම නදීගේ අලගිය මුලගිය තැන් හොයන බව දන්න හන්දාම තමන් වඩා පරිස්සම් විය යුතු බව මියුරු දැන උන්නේය.
එහෙත් ආදරේ ළඟ පරිස්සම් වෙන්නේ කොහොමද කියා මියුරුවත් නදීවත් දැන උන්නේ නැත. ආදරය වඩා ලස්සන සුමට නිම්නයක ගලා යද්දී නොව කඳු පල්ලම්, ගල් බොරළු ඇති රලු පරළු පාරක ගලා යද්දී බව දන්න හන්දාම නදීත් මියුරුත් ධම්මිකා එක්ක කරන මේ සෙල්ලම විඳින්න සිතූහ.
හැමදාම දැක්කත් හවසට තුරුල් නොවී ඉන්න පුලුවන් කමක් නැත. සිඹින්නේ නැතුව ඉන්නට පුලුවන් කමක් නැත. නදීව ගෙදරින් බස්සවන්නේ නැතුව, ඒ කුඩා වෙලාව අතරතුරේත් ඇය සමග ගෙවන කාලය අතහැර ගෙන ඉන්නටත් බැරි හන්දාම ඒ සෙල්ලම පරිස්සමෙන් කරන්න දෙන්නාම හිතුහ.
ඒ වනාහී සුළි කුණාටුවක් එන බව දැන දැනම එලියට බැසීමක් බව දැනගෙනය.