මියුරු පෙම් වසන්තේ – 45

තේජානිට ඕන උනේ පපුව මැද්දෙන් ටැටූ එකක් කොටාගන්නය. මිලින්ද උන්නේ තේජානිගේ නම තමන්ගේ පපුව අස්සේ කොටාගන්න විදියක් හිතන ගමන් ය. 

“මම දවසක එන්නද ඔයාට කියල ටැටූ එකක් කරගන්න?” කියා තේජානි මිලින්දගෙන් ඇහුවේ අහන්න පුලුවන් උපරිම සරාගික හඬකිනි. මිලින්ද අහුවුනේ ආන් ඒ කටහඬටය. නදීගේ බැණුම් වලින් මෙච්චර දවසක් පිරී තිබිච්ච කන් දෙක තේජානිගේ සරාගී හඬ ලඟ පිරීගියේ මිලින්දගේ හිත දිව්‍යලෝක හතක ආතල් එකක් විඳිද්දීය.

තේජානි දවසක් මිලින්දගේ එන් එම් ටැටූ ශොප් එකට ආවේ ටැටූ එකක් කොටාගන්න යන අදහසින් උනත් අන්තිමේ පපුවේ ටැටූ එකක් කොටාගන්න ආ කෙල්ල නතර උනේ මිලින්දගේ පපුව අස්සේය. 

“අයියා විතරයි මට මෙහෙමවත් ආදරෙන් කතා කරන්නෙ, කස්තුරි දන්නෙ ඉතින් දවල් දවස තිස්සෙ යාලුවො එක්ක රස්තියාදු ගහන එකයි, රෑට බොන එකයි විතරයි” කියා තේජානි හෙලූ කිඹුල් කඳුලින් තමන්ගේ පපුව හේදෙද්දී මල් ලෝකේ මහා භෘංග මිලින්ද රාජයා කටේ තොලේ නොගෑවී ආදරේ ගැන මිනිහාටවත් නොතේරෙන මහා දාර්ශනික කතා රැසක් කියා දැම්මේය.

“ඔයා වගේ කෙල්ලෙක් ලැබිලත් පරිස්සම් කරගන්න පිණක් නෑ කියන එක මට හිතාගන්න බෑ නංගි”

“අයියා කවදාවත්ම කාටවත්ම ආදරේ කලේ නැද්ද?”

“මං කෙනෙක්ට සෑහෙන ආදරේ කරා. අපේ ගෙවල් පැත්තෙමයි. මුල් කාලෙ නම් මට කැමැත්තෙන් වගේ හිටියට මොකෝ පස්සෙ එයා අලුත් රස්සාවකට ගිහින් එතන කොල්ලෙක් එක්ක යාලු වුනා. අපි වගේ නෙවෙයිනෙ නංගි ඉතින් ඔය ඔෆිස් වල ටයි කෝට් ඇඳන් ඒසී යට වැඩ කරන කොල්ලො.  ලස්සනයි, පිරිසිදුයි, සුවඳයි. අපි ඉතින් මේ හම්පඩයො වගේ දාඩිය ගඳේ ඉද්දි ඉතින් කෙල්ලො බලන්නෙ නෑනෙ නංගි” කියා මිලින්ද කිව්වේ නිකන් ගිනි කන්දක් මැද්දෙන් උනත් යන්න පුලුවන් විදියේ සාන්ත දාන්ත, නිස්කලංක, ඉවසන සුලු විලාසයෙනි.

“අනේ මන්දා අයියේ ආදරේ වටිනකම දන්න මිනිස්සුන්ට තමා කවදාවත් ඇත්ත ආදරයක් හම්බුනේ නැත්තෙ” කියා තේජානි මිලින්දට වඩා හොඳින් තුරුලු වුණේත්, මිලින්ද තේජානිව ඉඹින්න හිතාගෙන පොඩ්ඩක් විතර පහත් වුණේත් එකම වරට වගේය.

තේජානි එදා හැන්දෑවෙ ගෙදර ගියයින් පස්සෙ කඩේ වසා දැම්ම මිලින්දයා වත්ත මැද්දෙන් තමන්ගේ ගෙදෙට්ට ගියේ වෙනදටත් වඩා අඩි දෙක තුනක් උඩින් තටු සලමිනි. ඒ ගමන අතරවාරයේ විල්සන්ලගෙ ගේ දිහාවට බැල්මට් එක දාන්න උවමනාවක් මිලින්දට තිබ්බේ නැත. මක්නිසාද යත් නදීට රිදෙන අන්දමට තව ටික දවසකින් මේ වත්ත මැද්දෙන්ම තේජානිව ගෙදෙට්ට එක්කරගෙන එන හීනයක් මිලින්දට තිබ්බ හන්දාය.

මිලින්ද ඔහොම වෙන බඹරියෙකුට අහුවී ඉන්දැද්දී ධම්මිකා තමන්ගේ සල්ලිවල බලයෙන් මියුරු යාලුවෙලා ඉන්න කෙල්ල කවුරුන්ද කියා හොයාගන්නට ඇම දැම්මාය. මේ කිසිම තැනකදී ධම්මිකාට අදාල ප්‍රශ්නය ළඟට ගොස් මූණට මුණ හම්බ වී කතා කරන්න උවමනාවක් තිබ්බේ නැත. ක්ලීටස් සම්බන්ධ ප්‍රශ්නයේදී පවා ධම්මිකා කලේ “ක්ලීටස් කවුද වත්තක ගෑණියෙක් එක්ක පැටලිලා, මම ඒ කවුද කින්ද මන්ද කියන්න දන්නෙ නෑ, මට වැඩේ ක්ලීන් කරල දෙන්නයි ඕන” කියා තමන්ගේ සල්ලිවල බලය පෙන්නූ එක පමණකි. වසන්තාත් ක්ලීටසුත් අතර තිබුන සබඳතාවය බිඳ වැටුනේ ඒ විලසිනි. ඒ ක්ලීටස් ඉස්සරහා ධම්මිකා “වසන්තට වෙච්ච දේ ගැන කිසිම දෙයක් දන්නෙ නැති” ගෑණියෙක් කරය. මෙතනදීත් තමන්ට එවන් ක්‍රියාමාර්ගයක්ම ගන්න උනෝතින් ගන්න එක මහ දෙයක් නොවන බව ධම්මිකා හිතෙන් උදම් ඇණුවේ ආන් ඒ හන්දාය. තාත්තාව නූල් සූත්තරෙන් මෙච්චල් කරගත්ත එකේ පොඩි එකා කජ්ජක්ද කියා ධම්මිකා හිතුවෙ අම්මා කෙනෙකුගේ විලාසයෙන් නම් නොවේ.

“පරම්පරාවෙ නම්බුව, තමන්ගෙ නම්බුව නැතිවෙන විදියෙ වැඩ කරගෙන ජීවත්වෙනවට වඩා හොඳයි මොන දහංගැටේ දාලා හරි ඒ වගේ පිළිල තමන්ගෙ ජීවිත වලින් ඈත් කරන එක” කියා ධම්මිකාට කියා දුන්නේ වෙන කවුරුවත් නොවේ ඇගේම අම්මා වෙච්ච ඉන්දීවරී කුමාරිහාමිය. ධම්මිකා පරම්පරාවේ නම්බුව හිස උඩ තියාගෙන ජීවත්වෙන්න පටන් ගත්තේ ඒ උපදෙස් අවවාද මොනවට පිළිගනිමිනි.

එදා මෙන්ම අදත් ධම්මිකාට ඔය වැඩවලට උදව් කල රොඩ්‍රිගුට දුරකතන ඇමතුමක් දී වැඩේ පංගාර්තු කරන එක ධම්මිකාට මහ දෙයක් උනේ නැත. 

“මං ආයෙ අමුතුවෙන් වෙච්ච දේ කියන්න ඕන නෑනෙ. මගෙ පොඩි පුතා කෙල්ලෙක් එක්ක පැටලිලා කියල මං දන්න කීප දෙනෙක්ම කිව්වා. මං පුතාගෙන් ඇහුවට පුතා හරියට මට ඒ ගැන උත්තරයක් දෙන්නෙ නෑ. රොඩ්‍රිගුට මම ඕන තරම් උදව් කරල තියෙනවනෙ. මට මේ පාරත් ඕන පුතා යාලුවෙලා ඉන්නෙ කොයි වගේ තැනක මොන වගේ කෙල්ලෙක් එක්කද කියල දැනගන්න එක විතරයි. ඊටපස්සෙ කරන්න ඕන ඒව ඒ විස්තරේ හොයාගත්තට පස්සෙ මම කියන්නම්” කියා අදාල මුදලෙන් ඇඩ්වාන්ස් එකක් රොඩ්‍රිගුගෙ ගිණුමට බැර කල ධම්මිකා රොඩ්‍රිගු තමන්ට මේ ගැන පවසා කතා කරන දවසක් එනතුරු බොහෝ නිවිහැනහිල්ලේ බලා උන්නාය.

“දරුවන්ට ඕන ඕන විදියට නටන්න දෙන්න බෑ. දරුවො දැනගන්න ඕන අපි අම්මල තාත්තල විදියට කරපු කැපකිරීම් වලට සාධාරණයක් ඉශ්ට කරන්න. අපි කොච්චර මහන්සිවෙලාද උන්ව උස් මහත් කරල අපේ පරම්පරාවලට ගැලපෙන විදියට උගන්නල කරල හොඳ තැන්වල පිහිටෙව්වෙ. එහෙම එකේ කොහෙවත් ඉන්න අපිට ගැලපෙන්නෙ නැති ගෑණු හන්දා ඒ දරුවන්ව වත් අපේ පරම්පරාවවත් විනාස වෙන්න දෙන්න බෑනෙ. දෙමව්පියන්ගෙ වගකීම දරුවන්ට සැප සම්පත් දීල උගන්නල කරල උස් මහත් කරන එක, දරුවන්ගෙ වගකීමයි යුතුකමයි තමයි තමන්ගෙ වගේම තමන්ගෙ මව් දෙමව්පියන්ගෙ නම්බුව ආරස්සා වෙන විදියට ජීවත් වෙන එක”

ධම්මිකා මේවා කියාගත්තේ තමන්ටමය. ක්ලීටස් වසන්තා සමග පැටලී උන්නු බව ආරංචි වෙච්ච වෙලාවේ පවා වසන්තේ කියන්නේ කුමනාකාරයේ ගැහැණියක්ද කියාවත්, තමන් වගේ උසස් කුලවත් කතක් ඉද්දී ඇය වැනි වත්තක ගෑණියෙක් එක්ක පෑහෙන්න ක්ලීටස්ට තිබූ උවමනාව කුමක්ද කියා හොයන්නවත් ධම්මිකාට උවමනා උනේ නැත.

වසන්තා රූප සුන්දරියක් උනත් තමන්ගේ නම්බුව දෙපයින් නැගී හිඳින කුලගෙය බිඳ දමන්නට ඇයට ඉඩකඩ දෙන්න උවමනාවක් ධම්මිකාට තිබ්බේ නැත. ධම්මිකා වසන්තාව නොදැකම රොඩ්‍රිගුගෙන් ඉල්ලුවේ “ඒකිට තේරුම් කරවල දෙන්න, ක්ලීටස්ට ලං වෙන එක හැමෝගෙම විනාසෙට හේතු වෙන විත්තිය” පමණකි. ක්ලීටස් වසන්තා ප්‍රේමය සැඟව ගියේ එලෙසින් ය.

ඉතින් මේ ඇවිත් තියෙන්නේ කාලයකට පෙර සැමියාව බේරගත්ත තැනින්ම දරුවාද ගලවගන්න අවස්තාවක් විය හැක. දරුවන් වෙනුවෙන් අම්මෙකුට කරන්න බැරි දෙයක් නැත. එහෙම බලද්දී අම්මෙකු වෙනුවෙන් පරපුරේ නම්බුව රකින්න දරුවෙක්ට තමන්ට මේ ඊයෙ පෙරේදා හම්බෙච්ච කෙල්ලෙක්ව අතාරින එක මහ කජ්ජක් නොවේ.

රොඩ්‍රිගුගෙන් විස්තරයක් සමග දුරකතන ඇමතුම ආයේ ආවේ ධම්මිකා ඒ ඇමතුම එතැයි බලාපොරොත්තුවෙන් උන් මොහොතකය. එහෙත් බලාපොරොත්තු නොවන අන්දමේ පණිවිඩයක් සමගින් ය.

“ධම්මිකා නෝනා දීපු වැඩේ නම් මං ඔන්න ටක්කෙටම කරා”

“කෙල්ල කොහේ එකෙක්ද, අපිට පෑහෙනවද කියල හොයාගන්න පුලුවන් උනාද?”

“කොහෙද කින්ද මන්ද කියල හොයාගන්න එක නම් මට නතිං කියල ධම්මිකා නෝන දන්නවනෙ. හැබැයි මාවත් නස්පුක් වෙන විදියෙ දෙයක් හොයාගන්න වෙච්ච එකයි මට හිතාගන්න බැරි”

“මට තේරුණේ නෑ රොද්‍රිගු කියපු දේ”

“නෝන ඇහුවනෙ නෝනලට පෑහෙන කෙනෙක්ද කියල. පෑහෙනවද කියන්න නම් මං දන්නෙ නෑ නෝන. හැබැයි ඒ කෙල්ල විතරක් නම් නෙවෙයි නෝනලට පෑහෙන්න ට්‍රයි එක දාලා තියෙන්නෙ”

“ඒ කිව්වෙ? කවුද ඒ කෙල්ල”

“කෙල්ල වැඩ කරන්නෙ නෝනගෙ පුතාගෙ ඔෆිස් එකේමයි. නදී පහන්‍යා ගුණවීර නම. කේස් එක හැබැයි ඒකම නෙවෙයි”

“කියන දෙයක් තේරෙන්න කියපං රොඩ්‍රිගු”

“නදී කියන්නෙ මැඩම් හොඳටම දන්න කෙනෙක්ගෙ දරුවෙක්?”

“කාගෙද?”

“මීට අවුරුදු විසි ගාණකට කලින් ක්ලීටස් මහත්තය යාලුවෙලා හිටිය වසන්තගෙ කෙල්ල”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles