මියුරු පෙම් වසන්තේ – 46

එදා රැයේ මිලින්ද බත් කන ගමන් අම්මා එක්ක හෙන ලොකුවට කියමින් උන්නේ කවදහරි දවසක ටැටූ ශොප් එකේ බ්‍රාන්චස් රට පුරා දමන ගමන් තමන් පට්ට ලොකු බිස්නස්මන් කෙනෙක් වෙන ආකාරයයි.

“දැනටම කට්ටිය එනවනෙ අම්මෙ, ලබන අවුරුද්දෙ දිහාවට සෑහෙන ලොකු තැනකට යන්න පුලුවන්” කියන ගමන් මිලින්ද බැදපු අල කෑල්ලක් එක්ක බත් කටක් කටේ දාගත්තේය. මාග්‍රට් හිටියේ එතනට වී සෝමෙගෙත් තමන්ගේත් පිඟන්වලට බත් මාලු බෙදා හැලිවලං පෙඟෙන්න දාන එකය. 

“අනේ මන්ද බං ඔය පච්ච කඩවල් වලින් ඔය කියනතරම් බිස්නස් එනවනම් හැම එකාගෙම ඇඟේ ඕව කොටාගෙන ඉන්න වෙයිනෙ?” කියා මාග්‍රට් කියන්නේ එහෙමකට විශ්වාස නැති හඬකිනි. අනික කොහොම උනත් මාග්‍රට්ලා සෝමේලා ට්‍රැඩිශනල් මිනිස්සුය. මිලින්දලා කියන කරන ට්‍රෙන්ඩින් ටොපික්ස් වනාහී මාග්‍රට් සෝමේලාගෙ පරම්පරාවේ මිනිස්සුන්ට අප්‍රබංසය.

“පච්ච කඩවලට එහෙම උනාට අම්මෙ අපේ වගේ ටැටූ ශොප්වලට මිනිස්සු එනවා. අපි ඉතින් අර චොකා ප්ලේස් රන් කරන්නෙ නෑනෙ. ක්ලීන් එකට වැඩේ කරනවා, ප්ලේස් එකත් රන් කරනවා” කියා මිලින්ද කියන්නේ බත් එකේ තිබ්බ කරවල කට්ටක් සූප්පු කරමිනි.

“කොහොමහරි කමක් නෑ උඹට අපි නැති කාලෙක ඉහ ගහගෙන මේවයි ඉන්න හරිහමං ආදායමක් තියෙන්න ඕනනෙ. තාත්තා හම්බු කරපු ඔක්කොම එක්කාසු කරලා උඹට ඕක දාගන්න දුන්නෙ ආන් ඒක හිතල. ඒ හන්දා හොඳ විදියට උඹ ඕක කරගෙන ඉඳහන්”

“මං හැමදාම මෙතන ඉන්නෙ නෑ අම්මෙ, හැමදාම මේ මේවයි ඉඳල අපිට කිසි වගතුවක් වෙන්නෙ නෑ. බලන්නකො තව ටිකක් අතට සල්ලි ආහම මම අම්මලව රජවරු වගේ තියන්නෙ. කින්ග් ඇන් ක්වීන් වගේ” මිලින්ද බත් කන ගමන් ම ඉඳුල් අතින් ඇඟිල්ලක් උරුක් කරමින් අම්මට එහෙම කියන්නේ තමන්ගේ හයිරංකාරකම පෙන්නන්න වගේය. 

“අනේ අපිට නම් මොක නැතත් කමක් නෑ පුතේ, උඹ හොඳට හිටහංකො” කියා මාග්‍රට් කුස්සි දොරෙන් එලියට මූණ ලා පෙඟිච්ච බත් හැලියේ අඩියේ තිබිච්ච බත් ඩිංගිත්ත එලියට විසික්කලාය.

“මිලින්ද” කියා කවුරුන්දෝ මන්දා එලියේ ඉඳන් කතාකරනවා මිලින්දට ඇහුණේ බත් කන ගමන් ටැටූ ශොප් එකෙන් කවද හෝ ගොඩ යන ප්ලෑන් එක හිතමින් ය. ඒ ගොඩ යන ප්ලෑන් එකේ එක පැත්තක ටැටූ ශොප් එකත් අනිත් පැත්තේ තේජානිත් සමබරව හිටියේය.   

කුස්සියේ බත් කමින් උන් මිලින්ද ගෙයි ඉස්සරහට යන්න කලියෙන් මාග්‍රට් ගියේ ඒ කවුද කියා බලන්නටය. ගෙයි ඉස්සරහ හිටගෙන උන්නේ අලියෙක් වගේ මිනිහෙකුත් අලියව වට කරගෙන රංචුව වගේ තව සෙට් එහෙකුත් ය. අලියාගෙ ඇඟේ පච්ච ගසා තිබ්බ විදියට මේ මිලින්දගෙ කඩේට අදාල වැඩක් වෙන්නට හැකි බව හිතුණත් මාග්‍රට් “ඔව් කවුරු හම්බෙන්නද කියා?” අලියාගෙන් ඇහුවාය.

“මිලින්ද ඉන්නෙ මෙහෙ ද?”

“ඔව් මහත්තය, මේ මහත්තය කවුද?”

“ආහ් මං මේ මිලින්දගෙ හොඳම හොඳ කස්ටමර් කෙනෙක්. ලස්සන ටැටූ එකක් කොටල දුන්නනෙ මට. මං ඒ වෙලාවෙ තෑන්ක් කරා මදි. මං ඒකමයි මේ ගෙදෙට්ටම ආවෙ ස්තුති කරලා යන්න” කියාගෙන අලියා වටේ උන්නු කට්ටිය එක්කත් හිනාවෙද්දී උනුත් ඉතින් කලේ අලියා දිහා බලාගෙන හිනාවෙච්ච එකය.

“ආහ් ඉන්න මහත්තය මං එන්න කියන්නම්, කොල්ල බත් කනවා” කියාගෙන මාග්‍රට් ගේ ඇතුලට ගියේ මිලින්දව හම්බෙන්න උනත් හිතේ මොකක් හරි විචිකිච්චාවක් තිබිච්ච බව ස්තිරය. ඒ උනාට ඒ සිතුවිල්ලට එහෙමකට උඩට එන්නෙ දෙන්නෙ නැතුව මාග්‍රට් කුස්සියට යද්දිත් මිලින්ද උන්නේ බත් කමිනි.

“උඹව හම්බෙන්න හෙන උස මහත මිනිහෙක් ඇවිල්ල. උඹට කියල පච්චයක් කොටාගත්ත මිනිහෙක් කිව්වා”

“ආහ් කවුරුහරි ක්ලයන්ට් කෙනෙක් වෙන්නැති, මොකද දන්නෙ නෑ කේස් එක” කියාගෙන මිලින්දයා ඉඳුල් අත පිටින්ම එලියට ගියේ බත් පිඟාන මාග්‍රට් අතේ තබමිනි. 

ඉස්සරහට යන මිලින්ද පස්සෙන් මාග්‍රට් ගියේ “ඔන්න ප්‍රශ්නයක් නම් කතා කරල විසඳගනින් හොඳේ” කියල කියන ගමන්මය.

ඇවිත් උන්නු අලියා වෙන කවුරුවත් නොවේ දවස් කීපෙකට කලින් ඇවිත් පච්චයක් කොටාගෙන ගිය කස්තුරි බව දැක්කම තේජානිත් එක්ක තියෙන ඇයි හොඳැයිය මතක් වෙලා පොඩ්ඩක් විතර හිත හෙල්ලුනත් මිලින්ද බයක් නැතුව ඉස්සරහට ගියේ මොක උනත් මේ ඉතින් තමන්ගෙ වත්ත බව දන්න හන්දාය. ප්‍රශ්නයක් නැතත් වත්තෙ ගෑණු පිරිමි බේදයක් නැතුව වලියකට එන බව අවුරුදු ගාණක් වත්තෙම උන්නු එකා විදියට මිලින්ද දන්නේය.

“ආහ් කස්තුරි මහත්තයා, මේ පැත්තෙ මොකෝ?” කියාගෙන මිලින්ද ඉස්සරහට ගියේ බය උනත් වත්තෙ උන් ගැන විශ්වාසෙ හිතේ තියාගෙනය.

“මේ පැත්තෙ එන්න ඉතින් අපිට වැඩ සෙට් කරන්නෙ උඹලම තමයි නේද?” කියාගෙන කස්තුරි අඩියක් ඉස්සරහට තියද්දී මේ නම් එසේ මෙසේ කේස් එකක් වෙන්න බැරි බව මිලින්දට හීනියට වගේ තේරුණේය. 

“මට තේරුණේ නෑ කස්තුරි මහත්තය කිව්ව දේ” කියාගෙන මිලින්ද තැනුවේ මුකුත් නොදන්න තොත්ත බබා විදියට රඟපාන්න බව කස්තුරිට නොතේරුනා නොවේ. වැඩියත්ම මල පැන්නේ ආන් ඒ හන්දාය.

“ඔව් ඔව් උඹ තොත්ත බබා, මෙලෝ දෙයක් නොදන්න තොත්ත බබා. මොකද්ද පකෝ උඹ මගේ ගෑණිව උඹේ කඩේ අස්සෙ දාගෙන කරන්නෙ?” කියාගෙන කස්තුරි අඩියක් ඉස්සරහට තියද්දී මිලින්ද “මයි ටයිම් හෑස් කම්” බව තේරුම්ගත්තේය.

“තේජානි ආවෙ ටැටූ එකක් කරගන්න පුලුවන්ද අහන්න” කියා ගැලවිජ්ජාවට කිව්වට තේජානි ගැන අහන්න කස්තුරි මෙහෙ ආවා කියන්නෙ බේරුමක් නැති බව ආය මිලින්දට අමුතුවෙන් කියන්න ඕන නැත. 

“අනේ ඇත්තද? පව්. අනේ යකෝ මේ මගෙ ගැණිගෙ ඇඟේ පච්ච කොටන්න මං ඉන්නව. උඹ වගේ එකෙක් ඒක කරන්න ඕන නෑ. උඹ දැනගනිං මං අද මේ ආවෙ උබට හොඳින් කියල යන්න හොඳේ. ආයෙනම් පුතේ තේජානි උඹේ කඩේ අස්සෙ රිංගන් ඉන්න බව ආරංචි උනොත් මං දෙන්නවම බාවලා තමා නතරකරන්නෙ” කියා කස්තුරි ඇඟිල්ල උරුක් කර මිලින්දගේ මූණ දිහාවටම ලං කලේය.

අම්මාත් ඉස්සරහ ගෙදර ඉඳන් විල්සන් කාරයාත් බලාගෙන ඉන්නවා දකිද්දි මේ කොහෙ වත් යන බඩ කඳ මහත එකෙක්ට තමන්ගේ ගේ ඉස්සරහට ඇවිත් තමන්ට සද්දෙ දාන්න බැරි බව කියන්න ඕනය යන පිරිමිකම මිලින්දට කොහෙන්දෝ ඇවිත් වැහුවේය.

“ඒක ගිහින් මහත්තය මහත්තයගෙ නෝනට කියන්න, කෙල්ලො එන්ටර් වෙන්න ඉඩ දෙනවනම් හරිහමං පිරිමි එන්ටර් වෙන්නෙ නැතුව ඉන්නෙ නෑනෙ බොසා” කියා කිව්වට මොකෝ තමන් එහෙම එකක් කිව්වෙ අපරාදෙ බව මිලින්දට තේරුණේ කස්තුරිගේ අත තමන්ගේ බෙල්ලෙ රැඳී තමන් පොළොවෙන් අඟල් කීපයක් ඉහලට යන බව දැනිච්ච වෙලාවේය.

“අඩෝ මේ, උඹ මේ කඩවල් දාගෙන අනුන්ගෙ ගෑණුන්ව ඒව අස්සෙ දාගෙන කෙල හලන ගමන් මට සද්දෙ දාන්න එනවද යකෝ? තෝ මොන පඟර නැට්ටෙක්ද යකෝ? මාත් එක්ක කට ගහන්න එන්නෙ” කියාගෙන කස්තුරි මිලින්දයව අකුණක වේගෙන් පල්ලෙහට අරගෙන එනවා දකිද්දිම මාග්‍රට් බෙරිහන් දෙන්න ගත්තාය.

“අනේ බුදු පුතේ, අනේ මහත්තයෝ මගේ කොල්ලාව අතාරින්න බුදු මහත්තයෝ” කියාගෙන මාග්‍රට් ඇවිත් කස්තුරිගේ ඇඟේ එල්ලී අඬා වැලපෙද්දී වත්තෙ සෙට් එකක්ම ඉස්සරහට ආවත් කස්තුරිගේ සෙට් එකක්ම උන් හන්දා ලේසියෙන් කස්තුරිගෙන් මිලින්දට ගැලවෙන්නෙ උනේ නැත. ඒ අස්සෙ කස්තුරි තමන්ට ගහන එකෙන් බේරෙන්න හිතාගෙන මිලින්ද කරේ කස්තුරි බෙල්ලෙන් අල්ලා තමන්ව උඩ පහල යවන වෙලාවල් වල පුලුවන් මොහොතක ඉඳුල් අතින් කස්තුරිගේ ඇහැ නාසෙ කට හෙම අතගාපු එකය. පරිප්පුයි අලයි කරවලයි තැවරිච්ච ඉඳුල් සුවඳ එක්ක කස්තුරි උන්නේ මූණ දැවිල්ල අල්ලාය.

“පිස්සුද යකෝ උඹට” කියා ඒ දැවිල්ල දරාගන්න බැරිම තැන කස්තුරි උඩට අරගෙන ගිය මිලින්ද පල්ලෙහට ලෑන්ඩ් කරේ මූ දෙකට කැඩේවිද කියල හිතන්නෙත් නැතුවය.

ඔය අතරෙම ඔක්කොම බෙරිහන් දීම් වලට එහා ඇහුනේ විල්සන් ගේ බෙරිහන් දීමය.

“අනේ ඔක්කොම වරෙල්ලා, අපේ මිලින්ද කොල්ලට අලියෙක් ගහනෝ”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles