ප්‍රේමයේ අභිමන් – 15

දේශිකා සසංක ගේ දොරකඩ ට එන විට ඔහු සිටියේ දෙපා ස්ටූලය මත දිග හැර ගෙන සෝෆාවට වී ඉංග්‍රීසි චිත්‍රපටයක් බලමිනි. චිත්‍රපට බැලීම දශක දෙකකටත් වැඩි කාලයක් තිස්සේ අනවරත ව කර ගෙන යන සසංක ගේ හිතේ කාලයක් තිස්සේ එහෙ මෙහෙ වෙමින් පවත්නා චංචල රූප රැසකි. කාලයෙන් කාලයට ඒවායේ ප්‍රබලත්වය වෙනස් වෙමින් ද යෝධ සෙවනැලි හෝ අඟුටු මිටි රූප බවට පත් වෙමින් ද ඔහු හා දොඩමළු වෙමින් ද නිසල ව ඔහු දෙස බලා සිටිමින් ද ඒ සජීවී මනස් රූප මෝරා වැඩී තිබේ. එසේ ම අචේතන වූ බෝ රූප ද අතරින් පතර තැන් තැන් වලින් නැගී සිටී. ඒවාට තවමත් නිත්‍ය වූ හැඩයන් හිමි කර දෙන්නට ඔහු ට හැකි වී නැත. නමුත් සිය ජීවිතයේ දැවැන්ත ම සිහිනය ඒ චිත්‍රපටය නිර්මාණය කිරීම බව සසංක දනී.

“එක්ස්කියුස් මී”

ඒ ස්ත්‍රී හඬින් සසංක ගැස්සුණේ අපරාජිතා ගැන යටි හිතේ නිදා උන් බලාපොරොත්තුවක් ඔහුටත් හොරෙන් අවදි වීමෙනි. නමුත් දේශිකා ගේ සිනා මුහුණ දුටු සසංක ලැප් ටොප් එක ස්ටූල් එක මත තබමින් නැගී සිටියේ ය.

“හායි. එන්න එන්න”

“පොඩි බඩ්ඩක් තියනවද බලන්න අනේ”

“මොකද්ද..”

“අම්ම ඉන්න කාලෙ ගෙදර ඉඳිආප්ප හැදුවද කියන්නකො”

“හැදුව”

“එහෙනං අර ඉඳිආප්ප හදන බඩු ටික තියනවද බලමුකො”

“ඉඳිආප්ප හදන්නද යන්නෙ…”

“ඔව්. වෛද්‍ය රෝඩ් එකේ මේකාගෙ ගෙදර ඔය හැම දේම තිබුණනෙ. මං ඉතිං ඉඳි ආප්ප පිටි අරං ආව. මෙයා කියනව බඩු නෑලු”

“යංකො බලන්න”

සසංක ඇය ව සිය මුළුතැන්ගේ වෙත කැටිව ගියේ ය. දැන් එහි ලිප පත්තු වන්නේ කලාතුරකින් මිතුරන් එන වෙලාවක පමණි. ඒ, මිතුරන් අතරේ කෑම පිසින්නට දන්නා අය සිටිනා නිසාවෙනි. අම්මා ඉන්න කාලේ ඔහු ට උයා දුන්නා පමණක් නොව බත් ටික බෙදා කැව්වා ය. වතුර එක පවා ළඟට දුන්නා ය. ඒ තරම් ඉක්මනින් යන්නට සිදු වෙතැයි ඇය සිතුවේ නැත. 

සියලු බඩු මුට්ටු කබඩ් වල අසුරා තිබුණේ ය. දේශිකා ඉඳි ආප්ප තැම්බීමට අවශ්‍ය උපකරණ තෝරා ගත්තා ය.

“එහෙ තව කවුද ඉන්නෙ…”

අවස්ථාව බලා සසංක ඒ ප්‍රශ්නය එළියට දැම්මේ මේ ඊට හොඳ ම වෙලාව බව දැනුණ නිසා ය. අපරාජිතා වාගේ දේශිකා ආඩම්බර නැත. එදා ප්‍රථම හමුවේ දී ම ඇය ඉතා සුහදශීලී වූවා ය. මිත්‍රශීලී වූවා ය. 

“කවුරුත් නෑ. අපූ විතරයි”

ඇගේ අනන්‍යතාව හෙළි කිරීම හොඳ දැයි දේශිකා ට සිතුවේ ඒ වචන ටික පිට වූවාට පස්සේ ය. නමුත් ඒ රහසක් නොවේ යි ඊළඟ තත්පරයේ ඇය සිතුවා ය. ගෙදර හිමි කරුවා වශයෙන් කුළී නිවසේ සිටිනා සාමාජිකයන් ගැන සසංක දැනුවත් වීම අරුමයක් නොවේ. ඔහු ට ඒ සඳහා අයිතියක් තිබේ.

“ඒ කියන්නෙ එයත් අන්මැරීඩ් ද..”

දේශිකා දෙතොල් තද කර ගෙන මොහොතක් කල්පනා කළා ය. දැන් ඉතින් කිසිත් සඟවා ලිය නො හැකි ය.

“ඩිවෝස්ඩ්. මේ ළඟදි ඩිවෝස් වුණේ. දෙහිවල වෛද්‍ය රෝඩ් එකේ ගේ තියෙන්නෙ. ඒ ගේ අපූටයි දුවටයි දුන්නා. ඒත් අපූ ඒක බාර ගන්නෙ නෑ. දුව යූකේ වල යුනි එකකට යැව්ව. ගේ වහල තමයි මෙයා රෙන්ට් එකට ඉන්නෙ..මං මේව කිව්ව කියල අපූට දැනගන්න තියන්න එපා ප්ලීස්. එයා ටිකක් පාඩුවෙ තනියම ඉන්න කැමති කෙනෙක්”

“නෑ. කවුරුත් එහෙ වෙන පේන්න නැති නිසයි මං ඇහුවෙ. මං ඇහුවෙත් නෑ ඔයා මුකුත් මට කිව්වෙත් නෑ කියල හිතා ගමු”

සසංක දේශිකා ගේ සිත් ගත්තේ ය. ඔහු ප්‍රතිපත්ති ගරුක පිරිමියෙකු සේ පෙනේ. ඊටත් වඩා ඔහු ගේ මිත්‍රශීලීත්වය ඇය ප්‍රිය කළා ය.

“එහෙනං රෑට ඉඳිආප්ප කමු”

බඩු ටිකත් ගෙන ගෙන් පිට වන ගමන් ඇය ඇරයුමක් ද කළා ය. සසංක සිනහ වූයේ ලොකු විශ්වාසයකින් ම නොවේ. 

උඩු මහලේ කුස්සිය කුඩා ය. එය ඉතා කුඩා වූ බැල්කනියකට විවර වේ. රෙදි වේලන රැක් එක තබා තිබෙන්නේ එහි ය. කුස්සියේ පැන්ට්‍රි කබඩ් මතත්, ජනේල කණ්ඩිය හා පිටුපස කුඩා බැල්කනියේත් අපරාජිතා විසින් පසු ගිය දින වල කෑම පිසිත්දී කරන ලද නිර්මාණාත්මක වැවීම් ගණනාවක් ම විය. ඇය ලීක්ස් දඬු මුල් හිටින්නට කපා මල් පෝච්චියක ඇන්නා ය. කෑම එකක් ගෙනා විනිවිද පෙනෙනා පෙට්ටියක, පස් රහිත ව කුඩා තෙත් සර්වියට් එකක් දමා එහි රතු ලූණු හා සුදු ලූණු බික් කිහිපයක් උඩු අතට පෙළට තැබුවා ය. ඒ ලූණු බික් වල ඉහළින් කොළ ඇවිත් මේ සති කිහිපයට ඒවා උස් ව තිබුණේ ය. අර්තාපල් අල වල මොටෙයි ඇද තිබූ තැන් වලින් කපා ඒවා දෙපසින් ටූත් පික්ස් සවි කොට පේපර් කප් එකකට වතුර පුරවා අල කැබලි එහි ගෑවෙන සේ රැඳවූවා ය. ඒ තැන් වලින් කොළ පාට අර්තාපල් රිකිලි සිනහ වෙමින් සිටියේ ය. කරපිංචා හා රම්ප පැළයක් ද මිංචි බඳුනක් ද ඇය විශේෂයෙන් ම පිටුපස බැල්කනියේ තබා ගත්තේ රසටත් වඩා ඇය කෑම වල සුවඳ ගැන සැලකිලිමත් වූ බැවිනි. කංකුන් දඬු ටිකක් ද තක්කාලි පැළ දෙකක් ද පෝච්චියක් ඇතුළෙන් දලු නගා ගෙන ආවේ ය. කැරට් කපනා ගමන් එහි කොළ සහිත ස්ථරය කපා වතුර පීරියක බහා තැබුවා ය. ඒ කැරට් ද දලු දමා තිබිණ. ආහාරයට ගැනීම වෙනුවෙන් ම නොව ඒ වගේ පුංචි පුංචි දේවල් අපරාජිතා වෙත ගෙන ආවේ කෙළි බඩුවක් අත පත් දැරියක ගේ සතුටකි.

“මොනාද හලෝ..සෙල්ලං ගෙදරක කුස්සියක් වගේ”

වතුර වීදුරුවක බහා තිබූ අලි පේර ඇටයක, දෙපෙති පලා ගෙන මතු වෙන දණ්ඩෙන් අල්ලා ඔසවමින් දේශිකා ඇසුවා ය.

“මේ ඇවකාඩෝ ඇටේ පැල වෙලා පුංචි පැලේ ගස වෙලා මේ බැල්කනි එකෙන් ම අලි පේර ගෙඩි කඩන් කන්නද දැං හිතන් ඉන්නෙ…”

දේශිකා ට සිනහව නතර කර ගත නො හැකි විය. අපරාජිතා ඉඳි ආප්ප මිරිකමින් ම ඇදෙස ට නෝක්කාඩු බැල්මක් හෙළුවා ය. 

“බැරි කමකුත් නෑ ඉතිං..”

කියා කියවුණත්, ‘දිගටම මෙහෙ ඉන්න හේතුවක් හදා ගත්තනං…’යන්න නො කියා ගිල ගත්තා ය. 

සසංක පහළ සිට සුවඳ ඉව කළේ ය. වැඩ ඇරී එන ගමන් ඔහු කොත්තුවක් ගෙනැවිත් තිබුණි.  කුස ගිනි දැනී ද ඔහු ඒ මට්ටු කළේ ඉහළ මහලෙන් ඇමතුමක් එනතුරු ය.

“එහෙනං පිඟානකට බෙදල ගිහින් දෙන්න”

සසංකට ද ඉඳි ආප්ප දිය යුතු යයි දේශිකා කී පසු, මඳක් නිහඬ ව හිඳ අපරාජිතා එසේ කීවේ උපකරණ ටික ඔහුගෙන් ගෙන ආ නිසා ය. දේශිකා කඩන් පැන්නා ය.

“පිස්සුද..හිඟන්නෙක්ද ඒ කොල්ලා…මෙයාගෙ ඉඳිආප්ප ටිකක් ගිහින් දෙන්න…අපි එක්කම කතා කර කර කන්න එන්න කියමු. ඒකනෙ මනුස්ස කම. එක මිනිහෙක් අමනුස්සයෙක් වගේ හැසිරුණා කියල ඔක්කොම පිරිමින්ට තිරිසන්නුට වගේ සලකන්න හිතන්න එපා හරිද…අනිත් එක ඒකාත් ඩිනර් එකකට ඉන්වයිට් කළා නේද…මැනර්ස් කියල දෙයක් නැද්ද ආ…”

පසු බසින්නට අපරාජිතා ට සිදු වූයේ ය. 

දේශිකා පහළට ගොස් කතා කරන විට සසංක සිටියේ ඔහු චීන සංචාරයක නිරත ව පැමිණෙත්දී රැගෙන ආ සෙරමික් මල් බඳුන් කට්ටලයක් සූදානම් කර ගෙන ය. එතැන ලා අළු වර්ණයෙන් යුතු විවිධ හැඩ තල හා ප්‍රමාණ වල බඳුන් ගණනාවක් වූ අතර, දුටු මතින් ආශාවට මිල දී ගත්ත ද එය තිලිණ කරන්නට සුදුස්සෙකු මෙතුවක් ඔහු ට හමු වී තිබුණේ නැත. ඒ නිසා වසරකටත් වැඩි කාලයක් තිස්සේ ඒ බඳුන් කට්ටලය ඇසුරුමෙහි ම විය. නමුත් අපරාජිතා කියන්නේ ඊට සුදුසු ම භාරකාරිය බව ඔහු ට වහා සිහි විය.

සසංක වෙත වූයේ සූර්ය මඬලක උණුහුම පිරි දෑසකි. ගෙට ගොඩ වූ ගමන් ම දේශිකා ඉඳිආප්ප කන්නට ඇරයුම් කළා ය. අපරාජිතා නම් සිටියේ ඉසිහින් සිනහවකින් බිත්තියකට හේත්තු වී ය. ඇනෙක්ස් එකේ මේසයක් නැතියෙන් අපරාජිතා ගෙහිමියා වෙනුවෙන් කෑම සූදානම් කළේ පැන්ට්‍රි එක මත ම ය. අත සෝදා ගනිමින් කුස්සිය ඔබ මොබ බලන සසංක දුටුවේ කලාගාරයක් හෝ උද්භිද විද්‍යාගාරයකි. සුදු පිඟාන මැදට ඔහු ඉඳි ආප්ප දහයක අට්ටියක් තබා ගත්තේ ය.

“කොල්ලෙක්ට ඇතිද ඔහොම කාල…කන්න අනේ හොඳට”

දේශිකා බලයෙන් ම තවත් ඉඳිආප්ප දහයක ගොඩක් පිඟානෙන් තැබුවේ සසංක යනු කාලයක සිට ඇය දැන හැඳින සිටි කෙනෙකු සේ සලකා ගෙන ය. ඉඳ ගන්නට ඇති එක ම සෝෆාව වෙන් වූයේ සසංකට ය. දේශිකා ඉඳි ආප්ප බෙදා ගෙන විත් සසංක ඉදිරියේ බිම හිඳ ගත්තා ය. අපරාජිතා වීදුරු තුනකට ජින්ජර් බියර පුරවා ගෙනැවිත් තැබුවා ය.

“එනව ඉතිං බෙදා ගෙන”

දේශිකා ඇය ට සැර වූවා ය. අපරාජිතා පුරුද්දට බෙදා ගත්තේ ඉඳි ආප්ප පහ ය.

“මං නිසා ඕගොල්ලොන්ට බාගෙට කාල ඉන්න වෙයිද දන්නෑ”

ඇගේ පිඟාන දැක සසංක කීවේ ය. අපරාජිතා සිය සන්සුන් සිහින් සිනාවෙන් දේශිකා දෙස බැලුවේ ඇයගේ මැදිහත්වීම අවැසි බව නො කියා කියමිනි.

“ඔය පැන්ට්‍රි එක උඩ ඉඳි ආප්ප පන්සීයක් තිබුණත් මෙයා බෙදා ගන්නෙ පහයි. තව වැඩිම වුණොත් දෙකයි කයි. ඉතිහාසෙ ඉඳලම එහෙමයි. දහ අටේ කෑල්ල වගේ ඇඟ මේන්ටේන් කරන එකේ රහස තමයි ඒ”

“අනේ මේ එහෙම මේන්ටේන් කිරිල්ලක්නං නෑ. කොහොමත් මං කන්නෙ පොඩ්ඩයි”

ඒ වාගේ කහ පාට සම්බෝලයක් මීට පෙර කවදාවත් සසංක දැක හෝ තිබුණේ නැත. එහි වූයේ අමෘත රසයකි. රතු පාට චිකන් කරියේ දැවිල්ල, කිරි රසැති අල හොද්ද නිසා සමතුලිත වූයේ ය. මේ කහ සම්බෝලය, ඒ අතරේ රස නහර පිනවී ය.

“මේ පොල් සම්බෝලද…කහ පාටට මං කාලම නෑ. මාර රසයිනෙ එහෙම”

ඒ ගැන හිතේ හිර කර ගෙන සිටිය නො හැකි තැන හෙතෙම කීවේ ය. දේශිකා සිනහ වෙන්නට ගොස් පිටි උගුරේ යවා ගත්තා ය. අපරාජිතා පිටට තට්ටු කළා ය.

“ඒ පොල් මැල්ලුං. ඒව හදනව මං දැකල තියන වන් ඇන්ඩ් ඔන්ලි තමා මෙයා. පොල් සම්බෝල නෙවේ. ලිපේ තියල හදන මැල්ලුමක්”

සසංක ගේ ඇස් රැඳී තිබුණේ තැන් තැන් වල වූ අපරාජිතා ගේ කුඩා මල් ලියකම් මත ය. ඇය කෙතරම් සියුම් ගැහැනියක ද යන්න ඒවා හඬ නගා කියයි. එහෙව් ගැහැනියකටත් විවාහ ජීවිතය වැරදිය හැකි ද යන්න දැන් ඔහු ඉදිරියේ වන ප්‍රශ්නයයි. සසංක නිරත කලා ක්ෂේත්‍රය තුළ දී ඔහු ට දික්කසාදය කියන්නේ අමුතු දෙයක් නොවේ. විවාහයෙන් වසරකට පෙර සිදු වූ දික්කසාද බොහොමයක් ඔහු දෑසින් දැක තිබේ. ඒ සියල්ල වෙනුවෙන් පැහැදිලි හෝ අපහැදිලි හෝ හේතු තිබුණේ ය. ඒ ගැහැනුන් විවාහයකට නො ගැලපෙන සේ ඔහු නිහඬ ව තීන්දු කළ අවස්ථා ද ගණනාවකි. පියාසර කරන්නට කැමති ගැහැනුන් විවාහය කියනා කූඩුව තුළ සිර කළ යුතු නැතැයි ඔහු සිය ඇතැම් මිතුරෙකුට ද කියා තිබේ. යකඩ දම්වැල් වලින් බැඳ, කරඬුව ගෙන යන්නට හීලෑ කළත් ඇතුන් හැඩ කැලෑ ගත වූ විට යයි ඔහු මිතුරන් සමග තර්ක කොට ඇත්තේ ය. නමුත් විවාහය ගැන සසංක ට ඔහු ගේ ම වූ දර්ශනයක් තිබිණ. අම්මා හා තාත්තා ඒ දාර්ශනික සිතුවම සදා නොමැකෙන සේ සිය හදවතෙහි කැටයම් කොට ඇත්තාහ. විවාහ ජීවිතය තරම් පරම පවිත්‍ර වූ සම්බන්ධයක් මෙලොව වෙන නැතැයි අදහසක්, කාටවත් නො කියා සිටිය ද සසංක ගේ පිරිමි හදේ ඈත කොනක වේ. එවන් ශුද්ධ වූ බැඳීමකට ගැලපෙන ජීවීන් සේ ඔහු ට සිතී ඇත්තේ අල්පයක් වූ ස්ත්‍රී පුරුෂයන් ගණනකි. අපරාජිතා ගේ මන්දස්මිතය අතරින් ඔහු ට අම්මා ගැන මතකයක් අවදි වේ. ඒ අතරේ වන සම්බන්ධයක් ගලපා ගන්නට පුළුවන් කමක් තවම නම් සසංක ට නැත. නමුත් අපරාජිතා වන් ගැහැනියකට ද විවාහය වැරදී ගියායි සිතත්දී අභ්‍යන්තරික දෙදරීමක් ඇති වෙන එක වළකා ලිය නො හැකි ය.

“තව කමු ආ…කන්න බෑ කියන්න එපා මං දන්නව මාර රසයි කියල”

දේශිකා ඉඳි ආප්ප බන්දේසිය එතැනට ම ගෙනැවිත් සසංක ගේ පිඟානට බෙදුවා ය. ඔහු සිනහවකින් එකඟතාවය හැඟවූයේ ය. අපරාජිතා ව්‍යාංජන තසිම් ගෙනැවිත් දේශිකා ට දුන්නා ය. 

හවස් යාමයේ තුරල් කොට තිබි වැස්ස ආයේ ම ඇද හැලෙන්නට වූයේ ය. කුඩයක් නැත ද දිව යන්නට පුළුවන් කම සසංක ට  තිබුණා වී ද තිදෙන රෑ බෝ වන තුරු ම කතා කරමින් සිටියහ. තිදෙන කීවාට අපරාජිතා  භාවිතා කළ වචන ප්‍රමාණය අල්ප ය. වැස්ස ගයනා දුක් ගීතයේ හඬ පසුබිම් කොට ගෙන ඇය වැහි සුවඳ ගැන හිතෙන් කවියකට පද හෙව්වා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...