ආකාස මෝස්තර – 19

චන්දුල වතුර ටැංකියෙන් බැස දිවා ආහාරයට ගෙදර පැමිණෙන තුරු උමා බලා සිටියා ය. ඔහු කෝවිල ළඟින් ගෙවල් පේළිය දෙසට හැරෙත්දී සැඟවී බලා සිටි ඕ මගට වූවා ය.

“රාජයිය එනකල් මං බලං හිටියෙ”

චන්දුල ඇගේ කෝළ මූණ මගහැර ඉවත බැලුවේ ය.

“ඔච්චර නපුරු වෙන්නෙපා අප්ප”

ඒ හඬෙහි බැගෑපත් බවක් රැඳී තිබිණ. චන්දුල ගේ සිත උණු නො වූවා ම නොවේ. නමුත් ඔහු අනුබලයක් නො දෙන්නට වග බලා ගත්තේ ය.

“නැහ්. මේ මගෙ හැටි”

“ඔයාගෙ හැටි පොඩි කාලෙ ඉඳංම දන්න කෙනෙක්ට ඕව කියන්න එපා. ඔයාටත් වැඩිය හොඳට මං ඔයාගෙ හැටි දන්නව”

එය දැඩි ප්‍රකාශයක් වූවාට උමා ගේ හඬෙහිත් බැල්මෙහිත් වූයේ ආදරබර මෘදු තානයකි. චන්දුල ඇය වෙතට එක බැල්මක් හෙළා ඉදිරිය බලා ගත්තේ ය. ඒ බැල්ම කෙතරම් නම් ආඩම්බරකාර ද? උමා හැමදාමත් වශී වූයේ චන්දුල ගේ ඔය ආඩම්බරකමටයි. ඔහු ඉදිරිය බලා ගත්ත ද යුවතිය ඔහු දෙස ම බලාගෙන පිය තබන්නට වූවා ය. උස මහත කදිමට පෑහුණ ඒ රන් රුව පෞරුෂයෙන් පිරුණකි. දමිළ ජාතික රංග ශිල්පියෙකු වන දර්ශන් සිහි කරනා සුළු ය. දඟකාර ලෙස ඒ අතක එල්ලෙන්නට උපන් සිතිවිල්ල උමා පාලනය කරගත්තා ය.

“ඔයා යනව නේද රාජයිය ඔඩිශන් එකට”

“නෑ”

ඔහු ඉතා සරල ලෙස කීවේ ය.

“අනේ එහෙම කරන්නෙපා. ඔයා යන්නෝනෙ… යන්නම ඕනෙ රාජයිය. මට ශුවර් ඔයාට මේ සීසන් එකේ සෑහෙන දුරකට යන්න පුළුවන් කියල. සමහර විට ඔයාට කප් එක ගන්නත් පුළුවන් වෙයි.

එවර චන්දුල ගේ කට කොනක් සිනහවකට ඇද විය. එය සමච්චල් සිනහවකි. නමුත් ඒ සමච්චලය වුව උමා වසඟ කර ගන්නට සමත් ය.

“පිස්සුද ආ… හීන මවන්නැතුව ඉන්නවද…”

“සමහර විට මට පිස්සු ඇති. ඔව් මං ඉතිං හැමදාම කළේ හීන මවන එකනෙ. ඒ හීන හැබෑ කරල දෙන්න ඕන කියල කාටවත් ගාණක් නැති වුණාට”

එවර උමා ගේ හඬට කඳුළක තෙත තැවරුණා සේ ය. චන්දුල ඇස් කොනෙන් ඇය දෙස බැලුවේ ය. උමා ගේ ස්වරූපයෙහි මුරණ්ඩු පෙනුමක් දැකිය හැකි විය.

“ඔයා කියන්නෙ මට ශිවම් එක්ක යන්න කියලනෙ. හරි මං යන්නං. මං මාවම අමතක කරල ඒ මනුස්සය එක්ක ගිහිං ඕන දුකක් විඳින්නං. ඔයා සතුටු වෙන්නෙ මට එහෙම වෙන නිසානං මං කැමැත්තෙන් ඒ ගින්දරට පනින්නං. ඒත් ඒකට හිලව්වට ඔයා මේ ඔඩිශන් එකට යන්න. ප්ලීස් රාජයිය. මං වෙනුවෙන් ඒකවත් කරන්න බැරිද ඔයාට… එහෙමවත් මං සතුටු වෙන්න ඕන නෑ කියලද ඔයා කියන්නෙ…”

චන්දුල ඇස් කොනෙන් උමා දෙස බැලුවේ ය. මොකක්දෝ ලිහිල් වීමක්, දිය වීමක් ඇතුළාන්තයේ ඇති වෙන හැටි ඔහු ට දැනුණේ ය.

“ශිවාව බඳින්න කියල කියන්නෙ ඔයාගෙ හොඳට”

ඔහු හෙමිහිට කියාගත්තේ ය. නමුත් උමා රැකගෙන උන් කොටි දෙනක සේ කඩා පැන්නා ය.

“මොකද්ද හොඳේ… අඩුපාඩුවක් නැතුව සල්ලි තියන එකයි ගෑනියෙක්ට ලැබෙන්න තියන හොඳේ කියලද හිතන්නෙ… සල්ලි තියන මිනිහෙක් බඳින එකයි ගෑනියෙක්ට ලැබෙන්න පුළුවන් සතුට කියලද හිතන්නෙ…”

චන්දුල හෙමිහිට ඇගෙන් දෑස් මුදවා ඉදිරිය බලාගත්තේ ය.

“හරි හරි මං යන්නං ඔඩිශන් එකට”

චන්දුල ගේ කඩවසම් මුහුණ මත නතර කරගත් දෑස් ඇති උමා ගේ දෙතොල් සිනහවකින් විකසිත වන්නට ගත්තේ ය. ඒත් එක්ක ම ඇගේ ගමන් වේගය ද බාල විය. ගෙවල් පේළියේ කෙළවර ම ගෙදර වන චන්දුල ගේ ගෙදරට තව ඉතිරි ව තිබුණේ අඩි කිහිපයකි. ඉක්මන් අඩි තබා ගොස්, නො උස් ලී ගේට්ටුව හැරගෙන, ආපසු හැරී නො බලා ඔහු ගෙට ගියේ ය. උමා දෙතොල් තද කරගත් සිනහව පුපුරා යන්නට නොදී කෝවිල පැත්තට ගෑටුවා ය.

ගගුල් විජයවීර ට තවමත් කිසිවක් නිරවුල් නොමැති තරම ය. ඔහු සිය කාර්යාල කාමරයේ අසුන මතට වැටී කල්පනා කළේත් හදිසියේ පැමිණි ඒ කුණාටුව කුමක් ද කියා ය. හිත තෝන්තු වී ගොසිනි. හත් අට දෙනෙකු වට වී තඩිබෑ කලෙක සේ ඇඟ පත රිදුම් දෙයි. තද හිස රදයක් මොළයේ ක්‍රියාකාරිත්වය අවහිර කොට තිබේ. වේදනා නාශකයක් ගත යුතු යයි කිහිප වර සිතී එකෙනෙහි ඔහු ට එය අමතක ව ගියේ ය.

දෝරෙ ගලනා උද්‍යෝගයකින් කරගෙන ආ සියලු කටයුතු මහා බාධයක් ඉදිරියේ නතර වී ඇති සැටියෙකි. සුසානයක පාළුව හදවත අරක් ගෙන තිබේ. අභ්‍යන්තර තුවාලයකින් ලේ ගලනා රිදුමක් දැනේ. ඒ විදිහට වේදනා කැටියක් සේ පවතිනු නො හැකි බව ගඟුල් ට තේරුම් ගියේ ය. මේ විදිහට ගියෝතින් හිත උමතු වීමට බැරි නැත. පාරුල් ගේ ලස්සන සිනහව නොකඩවා ඔහු ගේ මනැස් මසැස් ඉදිරියේ මැවේ. හිස බිත්තියේ හප්පා ගන්නට පවා ගඟුල් ට සිතුණේ ය. මේ වේදනාවෙන් මිදෙන්නේ කෙසේ ද? ඔහු ට වහ වහා ඒ මිදීම අවශ්‍ය ය. පාරුල් සමගින් ඔහු ගේ තරහක් නැත. ඇය ඔහු ට ද්‍රෝහි වූවා නොවේ. ඔහු ඇගෙන් ප්‍රේමය විමසා තිබුණේත් නැත. එනයින් සිය සහකරු තෝරා ගැනීමේ අයිතිය ඇයට තිබේ. අනිත් අතට ඔහු ඇයගෙන් මිතුරියක ඉල්ලා සිටියේ ය. පාරුල් ඒ මිතුරිය ගේ යුතුකම් මැනවින් ඉටු කළා ය. පසන් විවාහ යෝජනාවක් ගෙනැවිත් ඇති බව නො සඟවා ඈ ඔහු ට කීවා ය. නමුත් ගඟුල් ට මේ වේදනාව උහුලා ගත නො හැකි ය.

මේ ඔහු ගේ කුළුඳුල් ප්‍රේමය නොවේ. මීට පෙර පෙම්වතියන් කිහිප දෙනෙකුගේ අත්දැකීම් ඔහු ට වන්නේ ය. නමුත් බහුතරයක් ඇමති පුතුන් වාගේ ගඟුල් ගැහැනු ළමයින් සෙල්ලමට ගත්තේ නැත. ඕනෑ ම ගෑනු ළමයෙකු සමග ඔහු ගේ සබදතා අවංක විණි. ඒ ප්‍රේම සම්බන්ධතා බිඳී ගියේ හේතු ඇතිව ය. නො ගැලපීම් මත ය. නැතහොත් ඒ ගෑනු ළමයින් ඔහු ට කළ වංචා අතට ම හසු වූ නිසා ය. සමහර තරුණියක ඔහු ට ලං වූයේ ගඟුල් විජයවීර යනු සුරත් විජයවීර අමාත්‍යවරයා ගේ පුත්‍රයා වන නිසා මිස ඔහු ට ඇති ආදරයකට නොවේ. ඒ බව දැනෙත්දී ගඟුල් ගේ පිරිමි සිත උදාසීනත්වයට පත් වී ඒ ආශ්‍රයන් එපා වී ගියේ ය.

පාරුල් කෙරේ ඔහු ගේ සිත බැඳුණේ වෙනත් හේතු මත යි. ඇය ලෙහෙසියෙන් ඔහු ට ළඟා විය හැකි විදිහේ ගෑනු ළමයෙකු නොවන බව දැනුණ නිසාවෙන් ගඟුල් මඳක් අඩිය පසුපසට තබා කල්යල් බැලුවේ ය. ඒ අතරේ ඇය වෙනතක බැඳේවියි ඔහු ට සිතුණේ ම නැත. නමුත් දැන් එය සිදු වී තිබේ!

“මට ඔයාට ගඟුල් විජයවීරව ඉන්ට්‍රඩියුස් කරන්න ඕනෙ”

දවසක් රෝහලේ දී පාරුල් පසන් ට කීවා ය.

“ඒ මොකටද…”

ඔහු ගේ මූණේ ඒ ගැන ප්‍රසාදයක් වූයේ නැත.

“අඳුරගන්න ඉතිං… එයා මගෙ යාළුවෙක් නිසා”

“මේ දෙව්රූ. මං ඔයාට කියන්නමයි හිටියෙ. ඔයා ජරා මිනිස්සුත් එක්ක ගෑනු ළමයෙක්ට යාළුකං ඕන්නෑ කියල මං ඔයාට අමුතුවෙන් කියන්න ඕන නෑ නේද…”

පසන් සිය නො රිස්සුම පිට කළේ ඉතා සන්සුන්, උගත්- වැදගත් පිරිමියෙකු ගේ ස්වභාවයෙනි.

“ගඟුල් එහෙම ජරා මනුස්සයෙක් නෙවෙයි මට දැනෙන හැටියටනං”

“ඒ ඔයාට දැනෙන හැටිනෙ. දැනෙන්න මිනිස්සු නරක විදිහට හැසිරෙන්නෑනෙ. ඔය දේශපාලකයොයි උන්ගෙ පුත්තුයි කරපු කියපු දේවල් අමතක වෙන්න අපි මැරිල ඉපදුණේ නෑනෙ”

“හැමෝම එක විදිහ නෑනෙ ඉතිං. හොඳ කෙනෙක් නිකමටවත් ඉන්න බැරිද…”

ඇය ගඟුල් වෙනුවෙන්, ඔහු නරක මිනිසෙකු ලෙස හංවඩු නො ගැසීම වෙනුවෙන් අහිංසක උත්සාහයක් දැරුවා ය. පසන් සමච්චල් සිනහවක් නගා ගත්තේ ය.

“මේ ලංකාවෙනං බෑ”

ඉනික්බිති ඔහු ඇය වෙතට දැඩි බැල්මක් හෙළුවේ ය.

“කොහොමත් ඔයා මීට පස්සෙ ඔය මනුස්සය එක්ක ආශ්‍රයක් තියාගන්න ඕන නෑ”

ඒ වූ කලී කිසිදු බුරුලකින් තොර ප්‍රකාශයකි. පාරුල් ගේ වත දිය නො ලද මලක් සේ මළානික වන බවක් ඇයට දැනිණ.

“ඉතිං අනේ පොලිටීශියන්ස්ල විතරද මේ රටේ වැරදි කරන්නෙ… ඔයා කියන විදිහට ඩොක්ටර්ස්ල කවදාවත් වරදක් කරන්නැද්ද… කරලත් නැද්ද… එතකොට ලෝයර්ස්ල… ටීචර්ස්ල… අනිත් ගවර්න්මන්ට් සර්වන්ට්ස්ල වැරදි කරන්නෙම නැති අයද… එච්චර ලොකු අය නෙවෙයි ඔය සාමාන්‍ය පිරිමි අතින් වැරදි වෙන්නැද්ද… වැරදි ප්‍රසිද්ධ නොවෙන ඔක්කොම පිරිමි බෝසත්ලද…”

“දෙව්රූ”

පසන් තදින් ඇය ඇමතුවේ ය. ඒ ඇස් වලින් ගිනි පිටවෙන්නා සේ විය.

“තමුං මැරි කරන්න ඉන්න කෙනාගෙ වචනෙකට වැඩිය ඔයාට ඒ මිනිහ වැදගත්ද… ආ… මට වඩා ඌ වටිනවද”

එතෙකින් කරබා ගන්නට ඇයට සිදු විය. ඔහු ඇය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙන් හිඳී. සිය හිමි ගේ බසට අවනත නොවීම හා අකීකරු වීම සිදු නොවිය යුත්තක් ය යන්න සම්ප්‍රදායික මතයයි. ඒ මතය බිඳින්නට සූදානම් වන ගැහැනුන්ට බොහෝ විට සිදු වූයේ පතිනි වරම් අත්හැර ගන්නටයි. හිත තුළ ඕන තරම් කියන්නට කාරණා පොර බදමින් තිබිණි ද පාරුල් මඳහසකින් නිහඬ වූවා ය. තර්ක කරන්නට යාම යහපත් ගැහැනියක ගේ ලක්ෂණයක් නොවේ!

ගඟුල් එක දිගට දින කිහිපයක් ම පාරුල් ට කතා කරන්නට උත්සාහ නොකළේ ය. නමුත් ඇය හින්දා ම ආරම්භ කළ වැඩ කටයුතු රාශියක් ඔහු ඉදිරියේ කඳු ගැසී තිබේ. දවල් කාලයේ ඔහු ඒ වැඩ හින්දා කාර්ය බහුල වූයේ ය. ඔහු හොඳ දේශපාලකයෙකු වන්නට පාරුල් වෙනුවෙන් හදවතින් පොරොන්දුවක් වී ඇති බව සිහි වෙත්දී ගඟුල් ට තනිව සිනහ යයි. ඒ සිනහව, හඬන්නට බැරි කමට නගනා සිනහවකි. ඇය ගැන මතක අමතක කරනු වස් රාත්‍රිය වෙනුවෙන් ඔහු වෙනත් මගක් තෝරාගත්තේ ය.

ගඟුල් කතා නොකර ගෙවී ගිය දින ගණනාවකට පසු පාරුල්  තවත් බලා හිඳිනු බැරි තැනකට අවතීර්ණ ව සිටියා ය. වෙන දෙයක් වෙන්නට සිතා ඇය ඔහු ට ඇමතුමක් ගත්තේ එබැවිනි.

“අපිව දැං අමතකම වෙලා ගිහිං නේ…”

ඇය විහිළුවක් කිරීමේ උත්සාහයක් ගත්තා ය.

“මං කතා කරන එක හොඳද දන්නෑනෙ ඉතිං… ඔයාගෙ දොස්තර මහත්තය කැමති වෙයිද කවුද දන්නෙ මං ඔයාට කතා කරනවට…”

ගඟුල් ගේ වචන පැටළිණ. නමුත් ඔහු කතා කළේ සිනහ වෙන උත්සාහයකිනි. පාරුල් ගේ හදවත් කුටීර හතර ම එකවර තෙරපිණ.

💙ඔබ ඉතිරිකොට යන ආදර සලකුණු වලට ස්තූතියි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles