ආකාස මෝස්තර – 21

“ඉස්සර ඉඳංම පාරෝ ගැන බලං හිටිය එකා මං. ඉතිං පාරෝට වටින්නෑ මට පිටුපාල දොස්තර මහත්තයෙක්ව බඳින්න කැමති වෙන්න. මං දොස්තර කෙනෙක් නෙවෙයි තමයි. ඒ වුණාට දේව්දාස් පාරොට ආදරේ කරපු තරංම මාත් පාරොට ආදරේ කළා. ඒ ආදරේ ළඟදි ඔය දොස්තරල කැලේ හරිද රාජා. කියල දීපං උඹේ නංගිට”

බිම පෙරළී තිබූ ශාරුක් ගේ පාපැදිය ඔසවා ලී වැටට හේත්තු කළ චන්දුල, ශාරුක් සන්සුන් කිරීමට උත්සාහ කළේ ය.

“හරි හරි බං. උඹ ගැන අපි දන්නව තමයි. ඒ වුණාට මෙහෙම බීගෙන පිස්සු කෙ ළි න් නෙ… විකාරනෙ”

“උඹලට තේරෙන්නෑ මගෙ හිතේ අමාරුව… ඒකනෙ ඔහොම කියන්නෙ”

ශාරුක් ගේ හඬ උස් වූවේ ය. එහි හැඬුම් ස්වරයක් ද මුහු වී ඇති බැවින් පිටතට එය දැනුණේ වෙනස් ආකාරයකට ය. ඇතැම් විට රණ්ඩුවක් දබරයක් සේ විය හැක. වත්තේ ගෙවල් දෙකක් හෝ එක ම ගෙදරක පවුල් දෙකක් අතරේ එවන් රණ්ඩුවක් ආරවුලක් උන් හිටි ගමන් ඉස්මතු වීම ලොන්ඩරි වත්තට අරුමයක් නොවේ. දහවලට වඩා එවැන්නක් බහුල රාත්‍රියේ දී ය. මේ ආරවුල කුමක් දැයි නිශ්චිත කර ගන්නට හිස් ගෙඩි එක දෙක ගෙවල් වලින් එබී බැලූහ. කෙනෙකු දෙදෙනෙකු පාරට රොක් වන්නට ද වූහ.

“මං කැට තියල කියනව… ඔය දොස්තරය මං තරං පාරෝට ආදරේ කරන්නෑ කියල. කාලි මෑණි දන්නව මගෙ හිතේ තියන වේදනාව… මේ අසාධාරණේ දිහා බලාගෙන කාලිමෑණි නිකං ඉන්න එකක් නෑ”

“ශාරුක් ශාරුක් මේ අහපංකො”

කියමින් ශාරුක් ගේ කර වට අතක් දමාගෙන චන්දුල ඔහුව පාරේ මඳක් ඉදිරියට කැටිව ආවේ ය.

“පොඩ්ඩක් තේරුං ගනිංකො බං. උඹලගෙ අපේ හිත් වල කියන හැම දේම කරන්න බෑනෙ බං. පාරුල් ඩොක්ට කෙනෙක් වුණාම බඳින්න ඕනෙ ගැලපෙන කෙනෙක්ව. ඊට පස්සෙ ඒකිට ආශ්‍රය කරන්න වෙන්නෙ උඹල අපි වගේ උං නෙවේනෙ බං. ලොකු තැන් වල ඉන්න අය. ඩොක්ට කෙනෙක් පළතුරු කරත්තයක් කරන උඹව බඳිනව කියන එක ගැලපෙනවද කියල පොඩ්ඩක් හිතපංකො. නිකං ෆ්‍රයිඩ් රයිසුයි කරෝල හොදියි වගේනෙ”

ශාරුක් ට මේ තත්වය වටහා දෙන එක පහසු නැති වී ද එසේ කළ යුතුව ඇති බව වත්තේ කාගේත් අදහස විය. ගැහැනු පිරිමි කිහිප දෙනෙක් ම වට වී ඔහු ට ඒ බව තේරුම් කොට දීමට උත්සාහ කළහ. පාරුල් හා උමා ලී ගේට්ටුව ළඟට වී බලා සිටියහ. පාරුල් කිහිප විටක් ම සුසුම් අත්හැරියා ය.

“ඇත්තට මේ ශාරුකා තරමටවත් පසන් මං ගැන හිතනවද කියල මට සැකයි”

සුසුමක කෙළවර ඇය ට එසේ කියැවී තිබිණ. උමා පාරුල් දෙස බැලුවේ විශ්මිත දෑස් දල්වාගෙන ය.

“මොකද්ද පාරු ඔයා මේ කරන්න හදන්නෙ… එහෙනං පසන්ට කැමැත්ත දුන්නෙ ඇයි…”

“මන්දා උමා… මට තේරෙන්නෑ”

උමා යන්නට ගිය පසුත් පාරුල් කළේ කහ පාට අඩ අඳුරේ බංකුව මතට වී කල්පනා කරන එකයි. ශාරුක් ව පිටත් කොට යවා පැමිණි චන්දුල විත් ගඟුල් ළඟින් හිඳගත්තේ ය.

“මොකද පාරු බය වෙලා වගේ… ශාරුක් ආයෙ ඔය මෝඩ පාට් දාගෙන එන එකක් නෑ”

අයියා දෙස බැලූ පාරුල් ගේ ඇස් මත වූයේ අවිනිශ්චිත භාවයෙහි අඳුරකි.

“මට පසන්ව තේරුං ගන්න බෑ අයියෙ”

නියත වශයෙන් ම චන්දුල ගේ පපුව මැද්දෙහි ගිනි බෝලයක් කැරකිණි. “ඒ කිව්වෙ…” යන ප්‍රශ්නය තිබුණේ ඔහු ගේ දෑස් මත ය.

“එයාට පුදුම නීති ගොඩක් තියෙන්නෙ. මන්දන්නෑ ඉස්සරහට එයාගෙ පර්මිශන් නැතුව මට හැරෙන්නවත් පුළුවන් වෙයිද කියල”

“කොල්ලො එහෙම තමයි පාරු”

කියමින් චන්දුල පාරුල් ගේ උරහිස වටා අතක් දමාගත්තේ ය.

“කොල්ලො දන්නවනෙ අනිත් පිරිමි ගැන හොඳට. ඒක නිසා උං බලන්නෙ තමන්ගෙ කෙල්ලව අර පිරිමින්ගෙ ඇස් වලට අහු නොවී පරිස්සං කරගන්න. ඒක වරදක් කියල හිතන්නෙපා. තමන්ගෙ දේවල් අනිත් කාටත් වැඩිය තමන්ට වටින නිසයි ඒ. ඕන්නැති දේවල් හිතල බොරුවට ඔළුව අවුල් කරගන්න එපා හරිද…”

චන්දුල පාරුල් ගේ හිස පිරිමැද්දේ සිනහ වෙමිනි. බංකුව මත වූ ජංගම දුරකතනය පසන් ගේ නමින් හැඬවෙන්නට ගත්තේ ය. ඒ දුටු චන්දුල බංකුවෙන් නැගිට ගෙතුළට ගියේ ය. පාරුල් දුරකතනය සවනට ගත්තා ය.

“ආ පසන් අයියා…”

පාරුල් උනන්දුවක් මවා ගන්නට උත්සාහ කළා ය. ඇයට දැනෙන උදාසීන බව නමැති හැව මුදා හැර, පසන් ගැන අයියා පැවසූ ආකාරයෙන් හිතන්නට උත්සාහ කළා ය.

“ආ පසන් අයිය තමයි. මං කෝල් කරනකල්ම කෝල් එකක් ගන්න මතක් වෙන්නෑ නේද… මොකද කතා කරන්න තව කවුරුහරි ඉන්නවද…අනික ෆෝන් එක මෙච්චර රිං වෙනකල් කොහෙද හිටියෙ… මොකද කළේ…”

පාරුල් පෙන්වන්නට ගිය මෘදු බව පසන් ගේ එක ගෙරවුමක් ඉදිරියේ වාෂ්ප වී ගිය සෙයකි. ඔහු ගේ ප්‍රශ්නයට කුමක් කියන්න ද කියා ඇයට සිතා ගන්නට හෝ නො හැකි වූ තරමි. පාරුල් මුණිවත රකිත්දී තවත් ටික වෙලාවක් ඔහු දොස් කීවේ ය. ඔහු ප්‍රශ්න අසා ඔහු ම පිළිතුරු දී ඔහු ම තීන්දු ද දුන්නේ ය. “මාත් එක්ක සෙල්ලං කරන්නනං හදන්නෙපා” කියමින්, කේන්තියෙන් ම දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය. රාත්‍රී අහස දෙස බලාගෙන පාරුල් දිගු සුසුමක් හෙළුවා ය. පසන් ට කැමති වූයේ ඇයිදැයි ඇගේ ම සිත විමසන්නට ඇයට ඕනෑ විය. ඔහු ගැන ලොකුවට තේරුම් ගන්නට කාලයක් නො ගෙන ම ඇයට වචනය දෙන්නට සිදු වූයේ ඔහු ට තිබූ හදිස්සිය නිසා ය. ඒ වෙලාවේ පාරුල්ටත් බැඳීමක අවශ්‍යතාවය විය. ඊට හේතුව යටි හිතේ වූ බියකි. ඒ බිය ගඟුල් ට අදාල වූවක් බව, මේ මොහොතේ සිය ආත්මය යහනක සතපවා සැත් කටු පිහි අඬු ආදිය ගෙන කපා කොටා විශ්ලේෂණය කරත්දී ඇයට පෙනී යන්නට විය. සැබවින් ඕ ගඟුල් ට බිය වී සිටියා ය. ඔහු හෙමි හෙමිහිට හදවතට තට්ටු කරමින් සිටිනා බව දැන ගැතිගත්තා ය. ඔහු කෙරේ සිත බැඳෙතැයි කලබල වූවා ය. ගඟුල් විජයවීර කියන්නේ ඇයට ඒ විදිහට බැඳිය හැකි පිරිමියෙකු නොවේ. විශේෂයෙන් ම ඇගේ සිතේ දේශපාලකයන් කෙරේ වන නිදන්ගත අකමැත්ත මේ වෙලාවේ ගඟුල් පිටින් ගියා කියා පිළිගත යුතුව තිබේ. ඒ නැතත් ඔහු වන් කෙනෙකු කිසිසේත් ඇය වන් යුවතියකට සැබැවින් පෙම් කරනු ඇතැයි සිතන්නට පාරුල් පසුබෑවා ය. ගෑනු ළමයින් බලවතුන් ගේ ග්‍රහණයට ලක් වීම ගැන ඇයට වූයේ කණගාටුවකි. එසේම අප්‍රසාදයකි. එවන් පුවතක් සවන් වැකුන විට කවදත් ඕ නො සන්සුන් වූවා ය. ඒ යුවතියන් ගේ නො දැනුවත්කම හා නො සැලකිල්ල ගැන දොස් කීවා ය. කපටි පිරිමින්ගේ වංචනික උපායන්ට හසු වී, රැවටී, ලිංගිකව දූෂණය වීම ගැන ද ගැබ් ගැනීම ගැන ද දිවි නසාගැනීම ගැන ද ශෝකයෙන්- භීතියෙන් හා කෝපයෙන් කෑගෑවා ය. එහෙම දෙයක් තමන්ට කරගන්නට ඇයට කිසි සේත් ඕන වුණේ නැත. ගඟුල් විජයවීර ඈ කෙරේ විශේෂිතව හැසිරෙන බව දැනෙත්දී පාරුල් සිය හදවත දොරටු වසාගත්තා ය. හිත දැඩි කොටගත්තා ය. ඔහු එන්නේ ඈ සිය මායාවේ දැලට හසු කොට ගන්නට යයි ආරක්ෂිත පියවර අනුගමනය කළා ය. ඔහු ගේ ඇස් කියනා කතන්දර නො දැක්කා සේ සිටියා ය. ඒ වෑයමේ දී බොහෝ විට ඈ දිනුවා ය. ඇතැම් අවස්ථා වල පැරදෙන්නට නො ගියා ද නොවේ. නමුත් පැරදෙන්නට ඇයට වූයේ මර බියකි. පිරිමියෙකු නිසා අම්මාට වූ දේ කවදත් ඇය භීතියට පත් කළේ ය. එවැන්නක් නො විය යුතු බව අයියා නිරන්තර බණ පදයක් වාගේ මුමුණන්නේ ය. එබැවින් පාරුල් ට ඇගේ හිත පරිස්සම් කරගන්නට ඕනේ විය. ආත්මය රැකගන්නට ඕනේ විය. ගඟුල් නිසා විනාශ වී නො යන්නට ඕනේ විය.

පසන් ගැන ඇගේ හදවතෙහි විශේෂ ගැස්මක් ඇති නොවුණ ද ඔහු ඇය තෝරාගෙන තිබිණ. ඔහු වෛද්‍යවරයෙකි. ඔහු නිසා විය හැකි වරද අල්ප යයි ඇයට පිළිගත හැකි විය. ගඟුල් ගෙන් මුවහ වන්නට නම් ඊට වඩා ප්‍රබල හෝ ඒ මට්ටමේ ම සෙවනක් තිබිය යුතු වේ. සිය හදවත නිදහස්ව තබනවාට වඩා ගඟුල් ගෙන් රැකෙනු වස් පසන් වෙත එය බැඳ තබන්නට පාරුල් තීරණය කළේ ඒ තරම් දුර හිතා ය.

නමුත් පසන් ට අනාගතය ලියා දුන් පසුව ද ගඟුල් හිත අතැර යන්නේ නැත. මළානික ව ගිය සිතින් ඇය ගඟුල් ට ඇමතුමක් ගත්තා ය. එහා ඉමෙන් දුරකතනය හැඬවෙත්දී හෘත් කර්ණික කෝෂික සංකෝචන වේගය වැඩි වූයේ නිරායාසයෙනි.

“හෙලොහ්”

ඒ ගැඹුරු පිරිමිකාර හඬ ඉදිරියේ සිය ආත්මය තව තවත් මෘදු වී සියුම් වී ලලිතවත් වී සුසර වෙන හැටි පාරුල් බලා සිටියේ විශ්මයෙනි.

“වැඩ…ද…”

ගඟුල් සිටියේ වැඩ කන්දක් අවසානයේ දිය නාගෙන කාමරයට එමිනි. ඔහු සිය නග්න පපුවෙහි ඝණ ව වැඩුණු රෝම අතරින් පපුව පිරිමදිමින් ම සඳැල්ලට ආවේ ය. දිය නෑමෙන් නො ලද ප්‍රබෝධයක් පාරුල් ගේ සියුමැලි එක වචනයක් නිසා ඔහු ට දැනිණ.

“ඒක දැං ඉතිං ඉරණම හරි උරුමය හරි වෙලානෙ”

වදන් ස්වර අතරේ මන්දස්මිතයක මිහිර තැවරිණ. පාරුල් ඇස් පියාගෙන ඒ හඬින් හුස්ම ගත්තා ය.

“වැඩ කරන එකද…”

“හ්ම්”

“ඇයි ඒ…”

“බැඳිල ඉන්නවනෙ දැං… පොරොන්දු වෙලා ඉන්නවනෙ මං…”

“කා… ටද…”

“වෙන කාටද ඉතිං… ඔය මැඩම්ටනෙ”

පාරුල් ගේ අත පපුව මැද නිම්නයෙහි තද විය. හුස්ම හිර වූවා සේ දැනී ඕ එතැන තදින් පිරිමැද ගත්තා ය. සඳැල්ලෙහි වන සුදු කුශන් එකක් ඇතිරූ රවුම් වේවැල් පුටුවෙහි සනීපයට හිඳගත් ගඟුල් දිගු පිළිසඳරකට සූදානම් වූයේ ය. ඔහු දැන් නිකමට හෝ පාරුල් ගේ දුරකතනය ට ඇමතුමක් ගන්නේ නැත. නමුත් දිනකට එක වරක් හෝ, දවසෙහි අන්තිම කෙළවරෙහිදී හෝ පාරුල් ගෙන් ඇමතුමක් වරදින්නේ නැත. දහසක් වැඩ අතරේත් ගඟුල් ගේ පිරිමි හිත ඒ සුවදායී පිළිසඳර වෙනුවෙන් පෙරමං බලයි. කාට අයිති වී ඈ කොතැනක සිටියත් ඒ පෙරමග බැලීමට වැට බඳින්නට ඔහු සමත් වූයේ නැත.

“මහන්සිනං නිදියන්න ඉතිං”

“හ්ම් නිදියන්න ඕනෙ..ඉතිං…ඔයා කෑවද…”

“ම්හු”

“රෑ වෙලානෙ දැං”

“හ්ම්”

“ඔයා මොකක්හරි අවුලකද පාරුල්…”

උගුර මුලින් ඇරඹුණු දැවුමක් බඩ පපුව දෙසට පල්ලම් බසිනු පාරුල් ට දැනිණ.

“ඇ… යි…”

“මට දැනෙනව නිකං… අවුලක් වගේ. පසන් එක්ක රණ්ඩුවක් දාගත්තද…”

“නෑහ්”

හඬන්නට වන ඕනෑකමක් ලොකුවට දැනුණ ද යන්තමින් ඇස් මුල තෙත් වූවා පමණ ය.

“ටිකක් ටයර්ඩ් වගේ. ඒක නිසා වෙන්නැති”

“එහෙනං ඉතිං නිදි මරාගෙන පාඩං කරන්නෙපා. දැන් නිදාගෙන පාන්දර ඇහැරිල පාඩං කරන්න. නිදාගන්න එහෙනං. හෙට කතාකරමුකො…ම්…”

පාරුල් ගෙට ආවේ ඇයට ඔසවා සිටිය නො හැකි වූ හදවතකිනි. අම්මා ගේ හා අත්තම්මා ගේ කොට්ට දෙකට මැද්දෙන් යහනේ වැතිරගත්තේ රාත්‍රී ආහාරය අමතක කරමිනි. ඇයට යමක් දැනෙමින් තිබිණ. හිත කෑගසා යමක් කියමින් තිබිණ. පාරුල් හෙමිහිට ඇස් පියන්පත් පියවෙන්නට හැරියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles