කස්තුරි තේජානිට ගැහුවේ කරේ නැති උනත් ගැහුවම අඬන සයිස් එකෙන් ඇඬෙන්න කතා කර තිබුණි. තේජානි මිලින්දට කියල තිබ්බෙ නැති උනාට තේජානි කස්තුරි එක්ක ලිවින් ටුගෙදර් සංකල්පයට ජීවත්වෙන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුල් හරියෙදිය. ඒ උනාට නීත්‍යානුකූලව කොලේක ලියා අත්සන් කරන සීන් එකක් තිබ්බෙ නැති හන්දා මිලින්ද ඉස්සරහා “මැස්සෙක්ටවත් ඇඟේ වහන්න ඉඩ දෙන්නෙ නැතුව, මිලින්ද හම්බුවෙන තුරුම බලන් උන්නු කෙල්ලෙක්” විදියට රඟපාන්න තේජානිට එච්චර අමාරු උනේ නැත.
කොහොමත් තේජානිට එකම කොල්ලෙක් එක්ක හැමදාම ඉන්න එක එච්චර සෙට් වෙන වැඩක් නොවේ, අනික් අතට කස්තුරි වගේ බඩ කඳ මහත එකෙක්ව කොල්ලෙක් කියා අඳුන්වා දෙනවාට වඩා තමන් තනිකඩ යැයි කියන එක හොඳ බව තේජානිට හිතිච්ච වාර අනන්තය. මොනවා උනත් ටැටූ ශොප් එකේ මිලින්ද කොන්ඩෙ ගානට කපා, මහත්තයෙක් වගේ කමිසය කලිසමට යට කර ඉන්නවා දැක්කම මේ මාලුවාව බීලී බාගන්න එක මහ කජ්ජක්ද කියා තේජානිට නොහිතුනා නොවේ.
ඔය විත්තිය විල්සන් දැනගත්තා නම් “උඹ උගේ ගූ පාට කොණ්ඩ කැරැල්ල දැකලා නෑනෙ” කියා ශුවර් එකට තේජානිගෙන් අහනවා උනත් තේජානි විල්සන්වත් විල්සන් තේජානිවවත් දන්නේ නැත.
“උඹ අර පච්ච කාරයාව බලන්න ගිහින් තිබ්බොත් හරි උගෙ කඩේ අස්සෙ රිංගල තිබ්බොත් හරි දැනගනින් මං උඹල දෙන්නව පච්ච කරලා තමා නතරකරන්නෙ” කස්තුරි කිව්වේ ඕන ඔච්චරය. ඒ උනාට මේන් මෙච්චර කාලයක් කස්තුරි එක්ක උන්නු තේජානිට කස්තුරි ඔය කිව්ව වචන අස්සේ හැංගිලා තිබ්බ කතාව තේරුම්ගන්න එක එච්චර අමාරු උනේ නැත.
තේජානි සද්ද නැතුව උන්නේ ආන් ඒකය. ඒ උනාට මිලින්ද හරි තමාට මැසේජ් එකක් දාලා තිබේය කියන බලාපොරොත්තුවෙන් තේජානි ෆෝන් එක අතර අරගෙන බලපු වාර නම් අනන්ත අප්‍රමාණය. ඒ උනාට ඔහොම මැසේජ් දා දුක සැප අහන්නට ගිහින් කස්තුරිට කියා අඩි හයක් විතර යටට යන්න උවමනාවක් මිලින්දට තිබ්බේ නැත.
හැබැයි කස්තුරිගෙන් පලිගන්න තිබ්බ උවමනාවනම් මිලින්ද එහෙම ලේසියෙන් අමතක කරලා දැම්මේ නැත. උගෙන් පලිගන්න තියෙන හොඳම විදිය අල්විස් වත්ත පැත්තට ඇවිත් ඌ හලා ගිය බෙට්ට උටම යවන එක බව මිලින්ද උනත් තේරුම් ගත්තේ විල්සන් කාරයා කිව්වයින් පස්සේය. හැබැයි කස්තුරි වගේ මිනිහෙක් එක්ක හැප්පෙන එක ගැන පුංචි පහේ බියක් මිලින්දගේ හිත අස්සේ නොතිබුනාම නොවේ.
“ඔය කිව්වට විල්සන් අයියා ඕක යවලා අන්තිමේ ඌ මට ආයෙ ඇවිල්ල ගහල යාවිද දන්නේ නෑ?” කියා මිලින්ද විල්සන් ගෙන් ඇහැව්වේ ආන් ඒ හන්දාය.
“ඌ මොකටද ඇවිල්ල උඹට ගහලා යන්නේ?”
“ඉතින් මං උට බෙට්ටක් පාර්සල් කරලා යැව්වම ඌට මල පනින එකා සාධාරණයිනෙ”
“ඉතින් ඌ කොහොමද දන්නේ ඒ බෙට්ට එව්වෙ උඹමයි කියලා”
“ඉතින් විල්සන් අයියා කියන්නේ ඌ මේ යන යන හැම තැනම බෙටි දදා යනවා කියලද? අපිම දැක්කනෙ කැමරාවෙ තියෙනව ආයෙ ලෝස් නැතුව උගෙ මූණත් පේන්නම ඌ එතන බෙට්ට දානවා”
“ඉතින් බං, ඌ ඇවිල්ලා උඹට ගැහුවොත් උඹ කියපං එහෙම ඇවිල්ලා හරියටම ඒක කරේ උඹමයි කියලා කියන්නේ ඒ කියන්නෙ උඹම නේද කඩේ ඉස්සරහ බෙට්ට දැම්මෙ කියලා. උඹ හිතනවද ඌ ඒක ඇහුවම ආයෙ උඹට ගහන්න ඒවි කියල, නෑනෙ පුතේ, ඌට ලැජ්ජනෙ එතකොට. හරි ඌ ඊටපස්සෙත් සද්දෙ දාන් ආවොත් අපි වීඩියෝ එක එලියට දාමු, වැඩේ ඉවරනෙ”
මිලින්ද කස්තුරිගේ ගෙදෙට්ට බෙට්ට යැව්වේ විල්සන් ගේ වචන වලින් පොඩ්ඩක් විතර බය සැක ඇරුණයින් පස්සේය. බෙට්ට ලේසියෙන් යවන්න බැරි හන්දා, කොරෝනා කාලේ මිනිස්සු ලෙඩ බෝවෙනවට මූණට දැම්ම මාස්ක් එකකින් මූණ වහං, අප්පිරියාව හන්දා අහකත් බලාගෙන බෝතලේකට ඒක එක්කාසු කර කට වහන්න මිලින්ද කටයුතු කලේය. ලේසියෙන් ඔහොම දහජරාවක් පාර්සල් කර යවන වැඩේ කවුරුවත් බාරගන්නෙ නැති හන්දා විල්සන් ඒකට මිලින්දට කොල්ලෙක්ව සෙට් කර දුන්නේය.
ඒ කොල්ලා බෝතලේ අරන් කස්තුරිගේ ගෙදර යන වෙලාවේ කස්තුරි උන්නේ කාමරේට වී බඩ උඩ තියාගත්ත රටකහජු පැකට් එකකින් එක එක කටේ දාගන්න අතරේ ටීවි එක බලමිනි. ඉස්සරහට ගිහින් බෝතලේ බාරගන්න තිබ්බේ තේජානිටය.තේජානි පාර්සල් කල බෝතලේ අරගෙන ගෙට යන ගමන්ම බෝතලේ තිබ්බ වැස්ම ලිහුවාය. බෝතලේ එලියේ අලවා තිබූ “ඔබට අයත්, ඔබ දමා ගිය දෙයක් මෙහි ඇත” කියා ලියා තිබිච්ච එක තේජානිට එහෙමකට කියා තේරුණේ නැතත් මේ කස්තුරි කොහේ හෝ මගක හලා ආ දෙයක් වෙන්න හැකි බව තේජානි හිතුවාය.
විනිවිද පේන ප්ලාස්ටික් ටොපි බෝතලේක දුඹුරු පාටට පිරිලා තිබිච්ච දහ ජරාව මොකද්ද කියා තේරිච්ච ගමන් තේජානි කලේ ගිරිය යටින් “ඊඊඊයාආආආආ” කියාගෙන බෝතලේ බිම අතෑරිය එකය. රටකජු කමින් උන් කස්තුරි උන්නේ වෙච්ච දේ හිතාගන්න බැරුවය.
රොඩ්‍රිගු ධම්මිකාට කතාකරේ තමන් හොයාගත්ත දේවල් ගැන විස්තරේ කියන්න හිතාගෙනය. ධම්මිකා හිතුව දේ ඇත්තක් උනත් නැත්තක් උනත් මේ ප්‍රශ්නෙ විසඳන එකත්, වෙන කෙනෙක් ගෙනා කුණු ගොඩක් තමන්ගේ ඇඟේ දාගන්න එකත් ධම්මිකා වගේ ගෑණියෙක්ට නුසුදුසු බව රොඩ්‍රිගු හිතුවේ ධම්මිකාගේ පැත්තෙන් හිතාය.
ඔය කියන විදියට ළමයි දෙන්නාම එක තාත්තා කෙනෙක්ගෙ නම් ඒ කතාව ළමයි දෙන්නාට තේරුම් කරවල දෙන එක කල යුත්තේ ප්‍රශ්නෙ ඇතිකල මිනිහා මිසක් වෙන කෙනෙක් නොවෙන බවත් රොඩ්‍රිගු හිතුවේය. දුරකතන ඇමතුම ධම්මිකා ගේ ෆෝන් එක බලා ආවේ ආන් ඒ විදියටය.
“කියන්න” ධම්මිකා කොහොමත් දුරකතන ඇමතුම් වලට ආන්ස්වර් කරන්නේ හෙලෝ කියා නොවන බව දන්න හන්ද රොඩ්‍රිගු ඔය ලොකු සීන් ආමන්ත්‍රණය ගැන එච්චර කලකිරුනේ නැත.
“මැඩම් මං අර කෙල්ලගෙ තාත්තා ගැන හොයල බැලුවා”
“හ්ම්, ඉතින්”
“තාත්තා කවුද කියල හොයාගන්න ඉතින් අපිට එක විදියයි තියෙන්නෙ කියල මැඩම් දන්නවනෙ. හැබැයි මේ වෙලාවෙ මැඩම්ට ඕන කෙල්ලගෙ තාත්තා කවුද කියල දැනගන්න නෙවෙයිනෙ, මැඩම්ගෙ පුතාව ඔය කෙල්ලගෙන් ගලවගන්න එකනෙ නේද?”
“ඔව් ඉතින්”
“ඉතින් කියන්නෙ මැඩම් මැඩම්ගෙ මහත්තයම වැඩේ වෙන්න ඕන විදිය මැඩම්ටම කියල දීලා තියෙද්දි ආයෙ අපි අලුතෙන් ක්‍රමයක් ඕකට හොයන එක තේරුමක් නෑනෙ නේද?”
“ඒ කිව්වේ?”
“ඒ කිව්වේ මැඩම් ඉංගිරිසි හෝඩියේ පලවෙනි අකුර. කතා වැඩක් නෑ. මැඩම්ට කරන්න තියෙන්නෙ මෙච්චරයි. මැඩම් ක්ලීටස් බොස්ට කියන්න මැඩම්ගෙ පුතා යාලුවෙලා ඉන්නෙ බොස්ගෙම වෙන ගෑණියෙක්ගෙ බඩට ආව දරුවෙක් කියල. වැඩේ ඉවරනෙ”
“තමන්ගෙ තාත්තා වෙන ගෑණියෙක් එක්ක නිදාගෙන ඉඳල ඒ ගෑණිට ළමේක් හම්බෙන්න ගිහින් කියලත්, තමන් දැන් යාලුවෙලා ඉන්නේ තමන්ගෙම සහෝදරී එක්ක බවත් දැනගත්තම තමුසෙ හිතනවද රොඩ්‍රිගු අපිට ආයෙ කවදාකවත් පවුලක් විදියට එකට නම්බුව තියාගෙන මේ ගෙදර ජීවත්වෙන්න පුලුවන් කියල?” ධම්මිකා ඇසුවේ හැකිතාක් හඬ පාත් කර වුණත් ඒ වචන වල ඕනවටත් වඩා කෝපය තැවරී තිබිච්ච බව රොඩ්‍රිගුට අඳුරගන්න අපහසු උනේ නැත.
“ඒ ඉතින් ක්ලීටස් සර් මැඩම්ගෙයි සර්ගෙයි පුතාට කතා කරොත් විතරනෙ” ධම්මිකා කොච්චර තරහෙන් කතා කරත් රොඩ්‍රිගු ඒකට උත්තර දුන්නේ සැහැල්ලුවෙනි. උත්තර නැති ප්‍රශ්න මේ ලෝකයේ නැත. සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ඕන කපටිකමෙන් බව ඇත්තකි. ඒ කොහොම වෙතත් අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ ගාගන්න උවමනාවක් නැත.
“ඒ කිව්වේ?” ධම්මිකා ඇසුවේ රොඩ්‍රිගු කිව්ව කතාව හරියට තේරුම්ගන්න බැරුවය.
“ක්ලීටස් සර්ට පුලුවන් නේද සර්ගෙන් වසන්තට හම්බෙච්ච සර්ගෙ අනිත් දරුවට කතාකරන්න. මොන දරුවා උනත් කැමති නෑනෙ නේද මැඩම් තමන්ගෙම සහෝදරයෙක්ව බඳින්න?”