මල් තුහින -41

“උත්පලා කේන්තියෙන් ඉන්න එක ඔයාට අවාසියක් කියල ඔයා හිතන්නෙ නැද්ද?”

උත්පලා සමඟ සිදුවූ කතාබහ විස්තර කරද්දි මලිති එසේ ඇසුවා ය. ඕනෑ දෙයක් කතා කරන තරමේ මිතුරියක ලෙස ඇය සමීපයෙ හිඳීමම තුහින ට සැනසීමකි. ඇය ප්‍රශ්න අවුළුවන්නට අකමැති ය. එහෙත් මලිති ඉතා හොඳ සවන් දෙන්නියකි. 

“ඔයා මේ තරමට හොඳ මනුස්සයෙක් කියලා මම ඉස්සර නම් දැනගෙන හිටියේ නෑ. ක්ලාස් එකේ හිටිය ලස්සනම කෙල්ලෙක්ට ඇති වෙච්ච ආකර්ෂණේ මිසක්කා ඒ කාලේ ඇතිවුණු ආදරේ ඇත්තටම ගතිගුණ ගැන ඇතිවෙච්ච එකක් නං නෙමෙයි”

පරිණත වෙද්දී ආදරය සම්බන්ධයෙන් පවා බොහෝ අවංක වීමට හැකි බව මලිති සිතුවේ තුහිනගේ ඒ වචන අසා හිඳීමෙන් පසුව ය. ඔහු නැවත ඇගෙන් ආදරය විමසන්නේ නැත. නමුත් ගෙවී ගිය අතීතය ගැන පවා ඔහු බොහෝ සාමකාමී අදහස් පළ කරමින් හිඳීම ඇයට සතුටකි.

“ඕනම සම්බන්ධෙකට වැදගත් වෙන්නේ හිතට පුදුම තරම් සුව පහසුවට දැනෙන කෙනෙක් මිසක් වෙන කවුරුත් නෙවෙයි කියලා තේරුම් ගන්න අපිට ගිය කාලයක්.”

ඔහු අනතුරුව එසේ පැවසුවේ ය.

“මං දන්නේ නෑ අපි ඉස්සරහට ආදරේ කරයිද නැද්ද කියලවත්. ඔයා ඩිවෝස් වෙයිද නැද්ද මම හෙටානිද්දට ආපහු උත්පලා එක්ක සෙට්ල් වෙන්න තීරණය කරයි ද නැද්ද කියලවත් මම දන්නේ නෑ. අපි මිනිස්සුනෙ මලී. සමහර වෙලාවට කීයටවත් ගන්න නොහිතන තීරණ ගන්න අපිට වැඩි වෙලාවක් නොයන්න පුළුවන්. හැබැයි මං එක දෙයක් නම් හොඳට දන්නවා. ජීවිත කාලේ පුරාම මං මොන තරම් වැරැද්දක් කරත් මට මොනතරම්  සතුටක් දැනුණත් ඒක බෙදා ගන්න පුළුවන් මට්ටමේ හොඳ යාළුවෙක් මට ලැබිලා ඉන්නවා. එක අතකට පාට්නර් කෙනෙක් කොහොම වෙතත් හිතේ තියෙන සේරම බර බිම අතාරින්න පුළුවන් හොඳ යාළුවෙක් ඉන්නවා කියන්නේ ලොකු සහනයක්. ජීවත් වෙන්න හේතුවක්.”

තුහින වෙනස් වෙමින් හිඳිනවාද එසේ නොමැතිනම් ඔහු වඩා සමීප වෙද්දී ඔහුගේ ඇති යහපත් ගති ගුණ වඩා හොඳින් පෙනෙනවාද යන්න ගැන මලිතිට අදහසක් වූයේ නැත. නමුත් මේ පාසල් කාලයේ තමන්ගේ ආදරය පැතූ රමෝද් යැයි හඳුනා නොගෙනම සහමුලින්ම වෙනස් රූපයකට පරිවර්තනය වී සිටි තුහිනට ආකර්ෂණය වූ දවස් ගැන සිතද්දී ඇයට සිනාවක් නැගේ. ඇය ඒ ආකර්ෂණය වූ ඇයට නොලැබුණු ආදරණීය සැමියාට ය.තුහිනගේ සමහර හැසිරීම් වීදුරු බිත්තියෙන් එපිටට වී බලා හිඳින විට තමන්ට නොලැබුණු දේට ලෝබයක් ඇති කර ගැනීම උමතුවෙන් ඔහුට ආදරය කරන්නට හේතුවක් වූ බව දැන් ඇයට වැටහේ. නමුත් ඇය එක් දෙයක් වඩා හොඳින් පැහැදිලිව තේරුම් ගත්තා ය. දිනපොතක් පිරෙන තුරු ලියූ අකුරු ඇත්තේ ආදරය නොවේ. දැඩි ආකර්ෂණයකි. නොලැබෙන වස්තුවක් කෙරෙහි උමතුවෙන් ලියූ වේදනාවකි.එහෙත් ජීවිතය ගැන ගැඹුරින් කතා කරන තුහින වෙත තමන් සැබෑවටම ආදරයෙන් බැඳෙමින් හිඳින වග ඇය තේරුම් ගත්තා ය.

හේතු රහිතව ඉපදෙන ආදරයට වඩා හේතු සහිතව ඉපදෙන ආදරය ජීවත් වන්නට හේතු සපයන්නට ඉඩ ඇති බව මලිති විශ්වාස කරන්නට වූවා ය.

“කතාව ආයේ මුලට ගත්තොත් මං උත්පලා ගෙන් බලාපොරොත්තු වෙන එකම අවාසිය එයාට දුව දෙන්න වෙයි කියන එක විතරයි. මට එයා ගැන තිබුනු එක්කම බයත් ඒක. සෝෂල් මීඩියාවල මාව පතුරු ගහන එක එයා එයාට පුළුවන් කාලයක් කරයි. ඒත් ඔය මඩ කියන්නේ බූමරංගයක් මලී. අවුරුදු ගාණක් වුණත් එයා හරි සන්තෝසෙන් ඔය මඩ ගොඩේ නට නට ඉන්න පුළුවන්. හැබැයි එයා අමතක කර ගන්න කාරණාව තමයි එයා මට ගහන මඩ ගුලි මිනිස්සුන්ට එකතු කරගන්නත් පුලුවන් කියන එක. මේ මඩ දරාගන්න මාත් එක්ක ඔයාලා ඔක්කොම ඉන්නවා. එයාට ආපහු මඩ වැදෙන කාලෙක එයාට උදව්වට එයාව දරාගන්න කවුරුත්ම නැති වෙන්න පුළුවන්.”

විනිශ්චය කරන්නට අකමැති වුවද උත්පලා දියණිය ප්‍රතික්ෂේප කිරීම ගැන මලිතිගේ සිතේ තිබුණේ පහන් හැඟීමක් නොවේ. තුහිනගේ ආදරය බාර ගන්නට හිත හදාගත් දවසක ශේන්යාගේ අම්මා වන්නට ඉඩ ලැබීම සුළුපටු සතුටක් නොවන බව ඇය දනී. නමුත් මලිති ආදරය මහමෙරක් සේ ලබා දුන්නද තමන්ගේ අම්මා අතින් ප්‍රතික්ෂේප වීමේ වේදනාව  කුඩා දියණියට කෙසේ දැනේවිදැයි  කියන්නට මලිතිට නොවැටහේ. ඇතැම්විට ඇය මලිතිට වඩවඩාත් බැඳෙන්නට ඉඩ තිබේ. නැතිනම් ඇයව ප්‍රතික්ෂේප කරන්නට ද ඉඩ තිබේ. මෙතැන වඩාත් අසාධාරණයට ලක්වී හිඳින්නේ ශේන්යා ය.

“ආදරේ ඉස්සරහ පුංචි දරුවන්ට වේදනාව අමතක වෙනවා. මං එයාගේ අම්මා වුණොත් උත්පලාව අමතක වෙලා යන තරමේ ආදරයක් ශේන්යාට දෙනව.”

මලිති ඒ වචන තුහිනට නොකීවා ය. නමුත් ඇය ඇයටම එය කියා ගත්තේ පොරොන්දුවක් ලෙසිනි. බිඳුණු තැන් වලට ආදරය කිරීම පහසු නොවුණද බිඳුණු තැනකට ද ආදරය උවමනා බව ඇය සිතන්නට වූවා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles