ආකාස මෝස්තර – 25

නෙත් බැමි පුපුරා කඳුළු පොකුණු පිටාර ගැළුවේ ය. පාරුල් අතකින් මුව වසාගෙන ඉකිළන්නට පටන් ගත්තා ය. උමා ගේ හදවත ලී මෝලක් වාගේ සද්දෙට ගැහෙන්නට ගති. පාරුල් මේ විදිහට හැඬීම ගැනත්, කොයි මොහොතක හෝ තේ බොන්නට චන්දුල ගෙට ගොඩවීම ගැනත් උමා එක සේ දෙගිඩියාවට පත් ව සිටියා ය. පාරුල් මේ විදිහට හඬන්නට ලොකු හේතුවක් තිබිය යුතු වේ. ඒ කුමක් වුණත් මේ වෙලාවේ එය මේ ගෙදර කතා කළ නො හැකි බව උමා වහ වහා තීරණය කළා ය.

“ඉක්මනට ලෑස්ති වෙයං බොරැල්ලට යන්න. අපි එළියට ගිහින් කතාකරමු. මට බඩු වගයක් ගන්නයි කියල කවුරු ඇහුවත් කියන්නෝන හරිද… ඔය කඳුළු පිහිදං ලෑස්ති වෙලා වරෙං මං විනාඩි දෙකෙං ඇඳුමක් දාං එන්නං”

කියමින් ඇය වහ වහා පාරුල් ගේ ගෙදරින් පිට වූවා ය. මේ චිත්ත පීඩාව තව දුරටත් හිතේ හිර කරගෙන සිටිත නො හැකි බැව් පාරුල් ට ද දැනෙමින් තිබිණ. මිතුරියන් දෙදෙන බොරැල්ලට හෝ කොටුවට ගියාට ඒ ගැන ගෙවල් දෙකේ ම ඇත්තන්ට ගාණක් නැත. එවැනි ගමන් ඔවුන්ට පුරුදු බැවිනි. ආසා කරන දෙයක් මිල දී ගන්නට හිතේ හැටියට අත මිට නොවී ද ඔවුන් ඇඳුම් ආයිත්තම් හෝ වෙනත් බඩු මුට්ටු හෝ දැක සතුටු වී පැමිණෙන එක සිරිතකි.

ඉඩකඩ සීමිත අවන් හලක හිඳ කන්නට යමක් ද කෝපි කෝප්ප දෙකක් ද ලං කොට ගෙන දෙමිතුරියෝ දොඩමළු වූහ.

“මං හැමදේම ඉවසං හිටිය. එයා මොනා කිව්වත් යන්තං හිනා වෙලා ඒක අමතක කරල අත්ඇරල දැම්ම. ඒත් මගෙ අයියට මාත් එක්ක තියන නෑකං කියන්නෙපා කියල කියද්දි මට ඉවසන්න බෑ උමා. ඒකා මාත් එක්ක එක බඩවැල කඩං ආපු එකා. මාත් එක්ක එකට දුක් විඳපු එකා. අපි එක පාන් රාත්තල ගෙනත් පහට බෙදං පෙත්ත ගානෙ කාලෙ නිදාගත්ත දවස් තිබුණ සෙදෝ ආච්චි ඉන්න කාලෙ. මං පොඩි ම එකානෙ. අම්ම මට ටිකක් ලොකු පාන් පෙත්ත දෙනව. අයිය එයාගෙ පාන් පෙත්තෙන් වාටිය කාල මට දෙනව උමා එයා පාන් මද කන්න ආස නෑ කියල. හැබැයි මං මගෙ පාන් පෙත්තෙ වාටිය දුන්නත් ගන්නෑ. මේ මනුස්සය මට කියන්නෙ අපේ ඒ සහෝදරකං අමතක කරන්නද… මං දවසක ස්පෙශලිස්ට් කෙනෙක් වුණත් මගෙ අයිය ඒකාම තමයි. මෙහෙම ගිහිං මේ මනුස්සය මට අපේ ගෙදර අත්ඇරලම දාන්න කියයිනෙ. එතකොට මං එහෙම කරන්නත් වෙයිනෙ… බෑ උමා…ඒක කරන්න බෑ”

ඒ වෙත්දී පාරුල් ගේ ඇස් වලට අලුත් කඳුළු ඉනුවේ නැත. ඇය දැඩි තීරණයකට එළඹ ඇති බවක් පේන්නට තිබිණ. ඇගේ කොපුල් රක්ත වර්ණ ගැන්වී තිබුණේ දුකට නොව කේන්තියට ය. උමා පාරුල්ට අවශ්‍ය තරම් කතා කරන්නට ඉඩ හැර නිහඬව කල්පනා කළා ය.

“ඒත්… ඩොක්ට පසන් ඔය තරමටම ගැලපෙන්නෑ කියල දැන දැනත් ඔයා එහෙනං කලබල වෙලා එයාට කැමැත්ත දුන්නෙ ඇයි පාරුල්…”

ඇයට විසඳා ගත නො හැකි පැනය වූයේ එයයි. පාරුල් සුසුමක් හෙළුවා ය.

“මට දැනුණ විදිහට ගඟුල් තරඟෙට වැටිල ඉද්දියි ඔයා පසන්ට දිනුම දුන්නෙ”

“ගගුල් ගැන එහෙම හිතන්න ඇත්තටම මට ඕන වුණෙ නෑ උමා. ඒගොල්ලො කවුද අපි කවුද… එහෙම දෙයක් ගැන හිතන එකත් මහ භයානක දෙයක් විදිහට මගෙ හිතේ හොල්මන් කළා. මං හිතුව පසන් එක්ක ගමනක් යන්න ගත්තහම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවනෙ කියල. ඇත්තටම පසන් ඇහුවෙ මැරි කරන්නනෙ. එතන ආරක්ෂාවක් තියන එක ගැනයි මං හිතුවෙ. තාත්ත අම්මව ළමයි දෙන්නෙක් එක්ක ලේසියෙන්ම අත්ඇරියෙ බැඳල හිටියෙ නැති නිසානෙ. අම්මට වෙච්ච දේ මන්නං කරගන්නෑ කියන එක යමක් කමක් තේරෙන්න ගත්ත දවසෙ ඉඳන්ම මං තදින් ඔළුවට දාන් හිටියෙ. ගඟුල්ට නෙවෙයි ඊට කලින් වුණත් මං කිසිම කොල්ලෙක්ට අනුබල දුන්නැත්තෙ ඒ නිසා වෙන්නැති. මට දැනෙනව එක මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් කියල. මං ඔය ගැන ඉන්ටර්නෙට් සර්ච් කරල පවා ස්ටඩි කරල තියනව. ඒක මට ඇනලයිස් කරගන්න පුළුවන්. අපි පත්වෙලා හිටිය අනාරක්ෂිත ජීවිතේ මගෙ ළමා මනසට තදින්ම බලපෑම් කරල නිසා තමයි ඒක මේ විදිහට රිෆ්ලෙක්ට් වෙන්නෙ. මටත් ළමයෙක් එක්ක තනි වෙන්න වෙයි මාවත් පිරිමියෙක් රවට්ටල යයි වගේ මානසිකත්වයක් මට තියනව. ඒ වගේ මෙන්ටලිටි එකක ඉන්න ගෑනු ළමයෙක්ට ගඟුල් සේවිංස් අකවුන්ට් එකක්නං පසන් කියන්නෙ ෆික්ස් ඩිපොසිට් එකක් වගේ පේන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ මාස දෙක තුනට පසන් මාත් එක්ක පුදුම විදිහට රණ්ඩු කරල තියනව උමා. මට බණින්නෙ සමහර වෙලාවට සතෙක්ට වගේ. පුදුම විදිහට සැක කරන්නෙ. මහා නරක විදිහට මාව හිර කරන්න හදනව කියලත් මං දන්නව. මට නොතේරෙනව නෙවෙයි. ඒත් මං ඒ හැම දේම හිනාවකින් ඉවසුවෙ… විනාඩි ගාණකින් අමතක කළේ… අදට වැඩිය හෙට ගැන හිතල. මං ගැනටත් වැඩිය මගෙ දරුවො ගැන හිතල. මායි අයියයි විඳගත්ත දේවල් දවසක මගෙ දරුවොත් විඳින්නනං ඕන නෑ කියල හිතල. ඔයා හිතයි මට පිස්සු කියල. ඇත්ත මේකත් එක මානසික ගැටළුවක් තමයි. අපි කවුරුත් ජීවිතේ කොතනකදි හරි බිඳිච්ච මිනිස්සු… පසන් කියන්නෙත් එහෙම කෙනෙක් වෙන්නැති කියල දැං මට හිතෙනව. හැබැයි අපි දෙන්නගෙම මේ මානසික ප්‍රශ්න එකතු වුණහම දවසක ඒක පරමාණු බෝම්බෙකටත් වැඩිය නරක ප්‍රතිඵල ඉතුරු කරල පුපුරයි කියන සාධාරණ බය දැං මට තියනව. එයා අද අයිය ගැන කියපු දේවල් එක්ක මට හරි අමාරු වුණා උමා. ඒ වෙලාවෙ මං කොහොම එයාගෙ බෙල්ල මිරිකන්නැතුව හිටියද කියල මං දන්නෑ”

“දෙයියනේ දෙයියනේ දෙයියනේ”

උමා සිය දෑත් හිසෙහි ගසාගත්තා ය.

“ගඟුල්ව මට හරියට දැනෙනව කියල මං පිළිගන්නව උමා. ඒත් මං එයා ගැන එහෙම හිතන්නැතුව ඉන්නව. එයාට කතා කරන්න ඕන කියල හිතෙන වෙලාවට කතා කරනව. හම්බවෙන්න ඕන කියල හිතෙන වෙලාවට හම්බවෙනව. හැබැයි පොලිටීශියන් කෙනෙක් නිසා මට දවසක තනියම ළමයි හදන්න වෙයි කියල මගෙ යටිහිතේ හැංගිල ඉන්න කෙනෙක් කෑගහල කියන නිසා මං හිතාමතාම පරතරයක් තියං ඉන්නව. සමහර විට ගඟුල් මං ගැන එහෙම හිතලවත් නැතුව ඇති. එයා ඔය මාව හම්බ වෙන්නෙ පසන් ගැන නොදැන නෙවෙයිනෙ. මේ හැම දෙයක්ම මේ විදිහට තියනවට මං කැමතියි. හැබැයි අදනං මට හිතුණ පසන් එක්ක තව එක අඩියක්වත් ඉස්සරහට තියන්න බෑ කියල”

පාරුල් ගේ හිතට අපමණ නිදහසක් දැනිණ. මේ මාස කිහිපය පුරාවට ඒ සියල්ල හිර වී තිබුණේ ඇගේ තනි හිතේ ය. දැන් ඉතින් ඒවා බෙදා හදා ගන්නට උමා සිටී. එය සැනසිල්ලක් සේ ම හිතට හයියකි.

“මන්නං කියන්නෙ දැනටමත් ප්‍රමාද වැඩි නෑ කියලයි. ඔයයි පසනුයි අතරෙ තත්වය ඔය තරමටම භයානකයිනං දැන්ම කතාකරල වෙන් වෙන එක හොඳ නැද්ද… මං කියන්නෙ රිලේශන්ශිප් එකක් කියන්නෙ මරාගන්නව කියන එකටවත් එකෙකුගෙ ප්‍රෙශර් එකට යටවෙලා අනිත් එකා හුස්ම ගන්නත් බැරුව දුක් විඳිනව කියන එකටවත් නෙවෙයිනෙ. මං කියන්නෙ ඔයා පසන්ගෙන් අයින් වෙලා ගඟුල්ට කැමතිවෙන්න කියල නෙවෙයි. එයාට කැමති වෙනවද නැද්ද කියන එක ඔයාගෙ තීරණයක්. කොහොමත් මේ වගේ දේවල් වලට හදිසි තීරණ ගන්න එක කොච්චර භයානකද කියලද කියල දැන් අපි තේරුං අරංනෙ තියෙන්නෙ. අනික පාරු ඔයාට ඔය තියනවයි කියල ඔයාම හිතන මානසික ප්‍රශ්නෙ… ඔයා මෙඩිසින් ඉගෙනගන්න ළමේක්නෙ අප්ප. දන්න කියන ඩොක්ට කෙනෙක් එක්ක හරි කතාකරල ඔය ප්‍රශ්න ඔයාම විසඳගන්න බලන්න. කොහොම වුණත් පසනුයි ගඟුලුයි කියන්නෙ මේ ලෝකෙ ඉන්න එකම පිරිමි දෙන්න නෙවෙයිනෙ පාරු. ඔයා හිතන විදිහෙ කෙනෙක් දවසක ඔයාට හම්බවෙයි. ඒ වෙනකල් අපි කලබල නොවී ඉමු… ම්…”

ජීවිතය කියනා අනපේක්ෂිත ගමනෙහි ඊළඟ තත්පරය ගැන කිසි සේත් කිසිවෙකුට අනාවැකි කිව නො හැකි ය. එබැවින් වඩා වැදගත් වන්නේ මේ මොහොත තමන්ගේ හදවත තෘප්ත වනාකාරයෙන් ජීවත් වීමයි. පාරුල් යම් දෙගිඩියාවකින් වී ද හිතේ සැහැල්ලුවකින් උමා දෙස බලා තීරණාත්මක ප්‍රශ්නය ඇසුවා ය.

“එහෙනං මං කියන්නද පසන්ට… අපි අතරෙ ගොඩක් නොගැලපීම් තියන නිසා වෙන් වෙමු කියල…”

“මාත් හිතන්නෙ හොඳම දේ කතාකරල මේක බේරුමක් කරගන්න එක තමයි පාරො. කාලෙ ගතකරං දුරදිග අරං යන්නෙ මොකටද දෙන්නගෙම හිතට සැනසීමක් නැති සම්බන්දයක්”

“අයිය බනීද උමා…”

“පාරු… මේක රාජාගෙ නෙවෙයි උඹේ ජීවිතේ ගැන ප්‍රශ්නයක්. පසන්ව ජීවිතේට ලංකරගන්නවද ඈත් කරනවද කියන එක ඔයාගෙ කැමැත්ත..ඒ නිසා ලැබෙන හැම ප්‍රතිඵලයක්ම විඳගන්න වෙන්නෙත් ඔයාටනෙ. ඔයාට හොඳක් වෙයි කියල හිතල ඩොක්ට පසන්ට කැමති වුණාට… එයා ඔයාගෙ ජීවිතේට මේ තරං ප්‍රශ්නයක් වෙලා කියනව කියල දන්නවනං මුලින් පසන්ව පන්නන්න එන්නෙ රාජා කියල මට හොඳටම ශුවර්”

“එහෙනං මං අද රෑටම මේ ගැන පසන් එක්ක කතා කරන්නං”

හිතේ ගැස්මක් වී ද ඇත්තට ඇති සැටියෙන් මුහුණ දිය යුතු නිසාම පාරුල් හිත හදාගෙන බංකුව මතට ගියා ය. ඇගේ අත වෙව්ලමින් තිබිණ. වරක් ඇය පසන් ගේ දුරකතනය අංකනය කළා ය. නමුත් එය හැඬවෙන්නට පෙර වහා ම සබඳතාව බින්දා ය. උමා සමගින් පැවසූ තරමට මේ තීරණය පසන්ට දැනුම් දෙන එක පහසු නැත. හුස්ම ගැනීමේ අසීරුවක් ද දහඩිය දැමීමක් ද අත්විඳින්නට පාරුල් ට සිදු විය. ඇය එසේ ඒ දෙගිඩියාවේ පෙළෙමින් සිටියදී පසන් ගෙන් ඇමතුමක් ආවේ ය.

“හෙ… හෙලෝ…”

පාරුල් ගේ හඬ වෙව්ලා යන හැටි පසන් ට දැනුණා නොවේ.

“ඇයි රිං කට් ගහන්නෙ…”

“පසන්… පසන් අයියෙ…”

“ඇයි දෙව්…මොකද මේ බය වෙලා වගේ…”

“මට… මට ඔයත් එක්ක ටිකක්… කතා කරන්න ඕනෙ”

“දැං යාළුවෙකුත් එනව මාව මීට් වෙන්න. කමක්නෑ ඉක්මනට කියන්නකො”

“පසන් අයියෙ… ඔයා මේක වැරදියට තේරුං ගන්නෑ නේද…”

“වැරදියට තේරුං ගන්නවද නැද්ද කියල බලන්න කියන්නෙපැයි. අනේ බබා වගේ හුරතල් වෙන්නැතුව කියන්න දෙව්”

“අපි…අපි ගැලපෙන්නෑ නේද පසන් අයියෙ…”

හුස්ම අල්වාගෙන ඇය දිරියෙන් කියාගත්තා ය. එක මොහොතකට මුළු ලෝකය ම නතර විය. පසන් ගේ කන් අගුලු වැටී ගිය සෙයකි. ඔහු ඇස් වඩාත් හොඳින් විවෘත කොටගෙන බලා සිටියේ ය. නමුත් ආසන්නයෙන් ම වන දෙයක්වත් ඔහු ට පෙනුණේ නැතිවා විය යුතු ය. පාරුල් අතින් මුව වසා ගත්තා ය. ඉතාමත් අසීරු කඳු මුදුනකට අවතීර්ණ වූවා බඳු වෙහෙසක් ඇයට දැනිණ. නමුත් ඉදිරියෙහි වන පල්ලම දකිත්දී සැනසිල්ලක් වගේ දෙයක් හමාගෙන ආවේ ය.

“මොකද්ද තමුසෙ කියන්නෙ…”

එසැනෙන් කාල බෝම්බය පිපිරිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles