මියුරු පෙම් වසන්තේ – 57

“මට හිතාගන්න බෑ බාසුර නදී කොහෙද ගියේ කියල. එයා එකපාර රස්සාවට එන්නෙ නෑ කියල උඹලව කොපි කරලා මට ඊමේල් එකක් දාලා තිබුණා. මම කොච්චර ට්‍රයි කරත් එයාගෙ ෆෝන් එක වැඩ කරන්නෙ නෑ. ඩිස්කනෙක්ටඩ් කියලා කියන්නෙ” මියුරු ඉන්නේ සති ගාණකින් නොකැපූ රැවුල එක්ක පිස්සෙකු වෙලා වගේය. කාර්‍යාලයේ සියලුම දෙනා කිසිම දිනක දැක තිබ්බේ නැති අන්දමේ අවුල් වෙච්ච පෙනුමකින් ආ මියුරුට තමන් දිහා ඔෆිස් එකේ මිනිස්සු බලන්නේ අමුතුම ආකාරයකින් කියන එකවත් නෝට් උනේ නැති තරම් ය.

“ගෙදර ගිහිල්ලා බැලුවා නේද උඹ?” බාසුර කියන්නේ මේ ප්‍රශ්නය තමන් මීට කලිනුත් කීප වතාවක්ම අහපු බව අමතක කරන් මියුරු එක්ක මොනවා හෝ කතාකරන්න ඕන බව කියන යුතුකම මතක් කරගෙනය.

“අනේ මං ගියා බං, හැමදාම මම යනවා. ඒ කවුරුවත් දන්නේ නෑලු එකපාර උදේ ඇහැරෙද්දි මේ මිනිස්සු කොහෙද අතුරුදහන් උනේ කියල. අනික නදීව විතරක් නෙවෙයිනෙ, ආච්චි අම්මයි, තාත්තයි තුන් දෙනාම එක්ක අතුරුදහන් උනේ කොහොමද කියල. ගෙදර යතුර ගේ ඉස්සරහ බුදුන්ට තියන පහන යට තියල ගිහිල්ලා” මියුරු ඉන්නේ හොඳ සිහියෙන් නෙවෙද කියා හිතන තරමට ඔහුගේ කතා බහත් හැසිරීමත් අමුතු බව බාසුරට නොතේරුනා නොවේ. එහෙත් ඒ වෙනුවෙන් තමන් කල යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුව බාසුර උන්නේත් එක්තරා විදියක තිගැස්මකිනි.

“මං මෙහෙම අහන එක ගැන උඹ මුකුත් හිතන්න එපා, උඹයි නදී අතේ මුකුත් ප්‍රශ්නයක් උනාද? ඒ නිසාද නදී මෙහෙම එකපාර අතුරුදහන් වෙන්න ඇත්තෙ?”

“අනේ නෑ බං, එහෙම කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. අපි දෙන්නම කතා කරගෙන තිබ්බේ මොන ප්‍රශ්නෙ ආවත් අපි දෙන්නාම එකතුවෙලා තමයි ඒකට උත්තර හොයාගන්නෙ කියලා. එහෙම එකේ මෙහෙම කිසිම දෙයක් කියන්නෙ නැතුව නදීට මාව මගාරින්න තිබ්බ හේතුව මට හිතාගන්න බෑ බං” කියූ මියුරු නැගිට්ටේ පාර දිගේ ඔහේ රවුම් ගහමින් දකින හැම මූණක් අස්සේම නදීව දකින්න ලැබේවායි හිතමිනි. 

වෙනදා උදේ අට වෙද්දී වැඩට ආ මියුරු දැන් කාර්‍යාලයේ රැඳෙන්නේ නැතිම තරම් ය. වෙනදා ඉතාම පිළිවෙලට ඇන්ද පැලැන්ද මනුස්සයා ඔගේ අතට අහුවෙච්ච, පොඩිවෙච්ච ඇඳුමක ඇඳගෙන එද්දී ඒක නුදුටුව කෙනෙක් නැති තරම් ය. එහෙත් නදීව හම්බුවෙන තුරුම මියුරුගේ මේ හැසිරීම වෙනස් නොවන බව දන්න හන්දාම බාසුර ඒ ගැන කතාකරන්න ගියේ නැත.

මේ සියල්ල පිටුපස ඉන්නේ තමන් බව දන්නා මුත් ධම්මිකා සුපුරුදු පරිදිම අනුගමනය කරේ තමන්ගේ චරිතාංග නිළිය භූමිකාවය. ඈ මියුරුගේ වෙනස් වීම ගැන දුක්වෙන බව ඇඟෙව්වාය. නදී ගැන තමන්ට නොකීව එක ගැන මියුරුට දොස් පැවරුවාය. තමන් ඔය ගැන දැන උන්නා නම් නදීට තියන ප්‍රශ්නයක් තමන් එක්ක හෝ කතාකරන්න තිබුණා නොවේද කියා කිව්වාය.

“ඔයාට මට කියන්න තිබ්බෙ පුතා ඔයා එහෙම ගර්ල් කෙනෙක් එක්ක අෆෙයාර් එකක් තියෙනව කියල” ධම්මිකා කිව්වේ ඇඳේ වැටී කල්පනා කරමින් උන් මියුරුගේ අපිලිවෙලට වැවිච්ච කෙස් අතරින් අත දමා ඔලුව අතගාමිනි.

“ගැලපෙන කෙනෙක්ව හොයාගන්න කියල අම්මා දන්න කාලෙ ඉඳන් කිව්ව නිසා මම බය උනා අම්මි ඔයා නදීට අකමැති වෙයි කියලා”

“අම්මල එහෙම කියනව තමයි දරුවො. මොන අම්මද එහෙම නොකියන්නෙ? කියද්දි එහෙම කිව්වට ඕව අපිට කතා කරල විසඳගන්න බැරි ඒව නෙවෙයිනෙ. මං එදා ඔෆිස් පාටි එකේදිත් ඒ ගර්ල්ව දැක්කම කල්පනා කරා හරිම ලස්සන ළමේක් කියල. එයා ඉපදිච්ච තැන කොහෙ උනත් ඒ ළමයගෙ පෙනුම, කොලිෆිකේශන්ස් ඔයාට ගැලපෙන එකේ අපිට ඕව කතා කරල සෙට්ල් කරගන්න තිබුණනෙ” කියා ධම්මිකා වඩා ආදරබර හැඟීමක් පෙන්වමිනි.

“අනේ ඇයි අම්මි නදී ඇත්තටම එහෙම ඩිසපියර් උනේ? එයාට මොකක් හරි කරදරයක් වෙන්න ඇතිද?” කියා මියුරු අහද්දී කොහෙවත් ඉන්න කෙල්ලක හන්දාත්, ක්ලීටස්ගේ වැරදි හන්දාත් තමන්ගේ දරුවා දුක් විඳින එක ගැන හිතද්දී නම් ඇත්තටම ධම්මිකාට ක්ලීටස්ව පරලොව යවන්න හිතුණාය. ඒක එක පැත්තකින් අසාධාරණයැයි කියන්න බැරි කතාවකි. මේ ඉන්නේත් ක්ලීටස්ගේ දරුවෙකි. ඒ ඉන්නේත් ක්ලීටස්ගේ දරුවෙකි. ක්ලීටස්ට ඒ දෙන්නාම දරුවන් උනාට තමන්ට දරුවන් කියා ඉන්නේ අමයුරුත් මියුරුත් පමණකි. ක්ලීටස්ගෙන් වසන්තාට ලැබිච්ච දරුවා මෙන් නොව ඒ දරුවන් දෙදෙනා නීත්‍යානුකූල දරුවන්‍ ය. අනික “ඔය කෙල්ලත් අම්මා වගේම වල් වනචර එකියක් වෙන්නැති” කියා නොහිත ඉන්න ධම්මිකාට බැරිය.

“මටත් ඇත්තටම හිතාගන්න බෑ පුතා, ඒ ළමය විතරක් අතුරුදහන් උනා නම් අඩුම ගානෙ එයාගෙ ආච්චි හරි තාත්තගෙන් හරි අහල පොලිසියකට යන්න තිබුණා. ඒත් දැන් මේ කියන විදියට මුලු පවුලෙම අය අතුරුදහන් වෙලානම් මට හිතන්න පුලුවන් එකම එක දෙයක් විතරයි පුතා” ධම්මිකා කිව්වේ මොහොතකට හිස අතගාන එක නවතා කල්පනා කරන අතරවාරයේය.

“ඒ මොකද්ද?” මියුරු හිස ඔසවමින් ඇහුවේ අම්මාගේ මුහුණේ ඇඳිච්ච බරපතල බව පිටිපස්සේ සැඟවී තිබෙන්නේ දරාගන්න අමාරු කතාවක් වෙන්න හැකි බව දැන දැනමය.

“ඒ මොකද්ද අම්මි?”

“සමහරවිට ඒ ළමයට හිතුණද දන්නේ නෑ පුතා ඔයාලා දෙන්න මැච් වෙන්නෙ නෑ කියල. කතා බස් කරල ඕක සෙට්ල් කරගන්න බැරිවෙයි කියල හිතල හැංගිලා යන එක හොඳයි කියල හිතල වෙන්න බැරිද?”

“මාව අතෑරල යන්න, මාව මගාරින්න, නොකියම යන්න මගෙන් නදීට වෙච්ච වරද අඩුපාඩුව මොකද්ද අම්මි?” මියුරු ඇහුවේ අඬන්නේ නැතුව නමුත් ඇඬුම්බර කටහඬකිනි. 

“අයි ලව්ඩ් හර් අ ලොට් අම්මි. ස්ටිල් අයි ඩූ. එයාට මගෙන් ප්‍රශ්නයක් උනා නම් වයි කුඩන්ට් ශී ටෝක් ටු මී අබවුට් දැට්? හරි ඒ ප්‍රශ්නෙට උත්තරේ අපි බ්‍රේක් අප් වෙන එකනම් ඒක උනත් කරන්න එයාට තිබුණා නේද මට කතාකරන්න?”

“සමහර දේවල් තියෙනව මේ ලෝකෙ පුතා අපිට කතා කරල විසඳගන්න බැරි. ඒ ගර්ලුත් සමහර විට එහෙම හිතන්න ඇති. කතා බහ කරලා ප්‍රශ්න විසඳන්න, ප්‍රශ්නවලට උත්තර හොයන්න යනවට වඩා මේ විදියට හැංගිලා යන එක ඒ ළමයගෙ ජීවිතේට වගේම ඔයාටත් හොඳක් වෙන්න හේතුවක් වෙනවා කියල සමහරවිට එයා හිතන්න ඇති”

“ඉතින් ඇයි එයා මට ඒක කිව්වෙ නැත්තෙ?”

“ගෑණු එහෙම තමයි පුතා. ආදරේ කරන ගෑණු එහෙම තමයි. තමන් ආදරේ කරන පිරිමියට දරාගන්න අමාරු විදියෙ දුකක් දෙනවට වඩා තමන් තනියෙන් හැම දුකක්ම විඳින එක හොඳයි කියල තමයි ගෑණු හිතන්නෙ. ඒ වගේ ප්‍රශ්නවලදි ගොඩක් ගෑණු හැංගිලා යන්නේ පිරිමියව බේරන්න විතරක් නෙවෙයි තනියෙන් හැම දුකක්ම දරාගන්න” ධම්මිකාගේත් මියුරුගේත් කතාබහට සවන් දෙමින් උන් ක්ලීටස්ට ඒ වචන එහෙමම මියුරුට කියන්න තිබුණා නම් හොඳ බව හිතුණ නමුත් ඒ වචන ඔහු තමන්ගේ හිත අස්සේම හංග ගත්තේය.

අන්තිමේ නදී කලේත් වසන්තා කල දේමය. තමන්ව බේරන්න වසන්තා හැංගී ගියා සේම මියුරුගේ ජීවිතේ බේරන්න නදීත් එලෙසින්ම හැංගි ගියාය,

එහෙත් ධම්මිකා උන්නේ ඇත්තටම කුතුහලයකිනි. “මං ඇති කරපු ප්‍රශ්නෙ මංම විසඳන්නම්” කියා ක්ලීටස් කිව්වාට තමන්ටවත් කිසි දෙයක් හිතාගන්න බැරි විදියට ක්ලීටස් ඒක කරේ කොහොමද කියන එකත් නදීටත් ඇගේ පවුලේ අයටත් වුණේ මොකද්ද කියා හිතාගන්න බැරුවත් ධම්මිකා උන්නේ දැවෙමිනි.

“මං හැම තැනම හෙව්වා මැඩම්, හැබැයි උන්ට ඇත්තටම මොකද උනේ කියල මට පොඩි හෝඩුවාවක්වත් හිතාගන්න බෑ. ලොකු බොස් සුපිරි ගේමක් ගහලා තියෙන්නෙ” කියා රොඩ්‍රිගු කියද්දී තමන් ඇතිකල ගින්නකින්ම ධම්මිකා දැවුණාය.

එහෙත් මේ හැම දෙයකටම උත්තර තියෙන්නේ ක්ලීටස් ළඟ බව දන්නවා උනත් ක්ලීටස් ගෙන් මේ ගැන අහන එක තමන්ගෙ සැබෑ ප්‍රතිරූපය ඔහුට පෙන්වාවිද කියා බය නොවී ඉන්න හැටියක් ධම්මිකාට නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles