සීත මාරුතේ -14

“මේ ගී කාටදැයි…මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී…හිත මගේ පිදු හැටී.. සිහි වේ නො නැවතී..මේ ගී කාටදැයි…මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී..හිත මගේ පිදු හැටී.. සිහි වේ නො නැවතී..මේ ගී…”

යහනේ වැතිර නිදි ලොවත් පියවි ලොවත් අතරේ අන්තර් අවධියක පා වෙවී හිටි මගේ උඩු කය ඍජු වූයේ ඒ ගී හඬත් එක්ක ය. මුණිවර! ඒ ඔහු බව ට මට කිසිවෙකු ගෙන් හෝ කිසිවකගෙන් හෝ සහතික කිරීමක් අනවශ්‍ය ය. ඒ ඔහු ය. ඒ හඬ මට පුරුදු ය. එය වූ කලී මාසයක දෙකක හුරු පුරුද්දක් නොවේ. ඊට අතීතයක් තිබේ. දුර ඈත අතීතයක් තිබේ.

“ඇයි..”

නින්දකට යමින් සිටි නංගී ද හැරී විත් කෙඳිරුවා ය. මගේ ඇස් ඇදෙස බලන්නට ඇත්තේ කණීනිකාව ලොකු කොට ය. 

“හිතු පැතු අන්දම රෑ දිවා අමුතු ම ලොවක් මවා..මට මා අමතක වූවා සිහිය පැන දිවා..බලාපොරොත්තුව කඩ තිර ඉරා..පාළුව විඳ දරා.. ඉවසමි දිවි තුරා..මේ ගී..කාටදැයි මේ ගී කාටදැයි ඔබ දන්නවා ඇතී..හිත මගේ පිදු හැටී සිහි වේ නො නැනවතී..මේ ගී..”

මගේ පපුවේ මැද රිදුමක් උපදිමින් තිබිණි. හුස්ම හිර වී කන් අගුළු වැටෙනා සෙයක් මට දැනිණ. කෙසේ වෙතත් නංගී යළි නින්ද ට අවතීර්ණ වෙමින් සිටීම මට සැනසුමක් දැනවූයේ ය. මම එහෙම ම හෙමිහිට යහනේ උඩුකුරු ව වැතිරුණෙමි. එය අසාමාන්‍ය වූ හද ගැස්මකි. පණ කෙන්දක් සිරුරේ ඉතිරි ව තිබුණේ නැත.

“එක ම හිනාවට ගී දහක්..බිහි වෙයි මාගෙ මුවින්…ඇති වුණි නම් අවබෝදේ අද මේ විලස නොවේ..කොතැනක හිටියද මෙම ලෝකේ.. රකිමි හැම කලේ..සිහි වේ හැම වෙලේ..මේ ගී කාටදැයි..මේ ගී කාට දැයි..ඔබ දන්නවා ඇතී..හිත මගේ පිදු හැටී සිහි වේ නො නැවතී..මේ ගී…”

කශේරුව දිගේ වේදනාවක් ඇදී යනවා මට දැනිණ. කෙඳිරියක් නැගෙන්නට ආවත් මම සුසුමකින් හෝ එය පිට නො කරන්නට වග බලා ගතිමි. නමුත් ඇස් කෙවෙනි වලින් ගිලිහුණ කඳුළු දෙපේළියක් කොපුල් තලා දිග ගලා ගොස් කන් පෙති ළඟින් සැඟව ගියේ ය. මම නම නො දන්නා රිදුමක කරවටක් ගිලී යමින් සිටියෙමි. 

ඒ කියන්නේ ඒ බිඳ වැටුණු ප්‍රේමය තවමත් ඔහු ගේ හදවතේ ජීවත් වෙයි ඔහු ඒ ගී ගැයුවේ මට නොවේ. මා න්සා නොවේ. මා වෙනුවෙන් ද නොවේ. දිවි තුරා රකිනා ප්‍රේමයක්, අහිමි වූවත් කොතැනක සිටියත් රකිනා ප්‍රේමයක් ඔහු️ ට තියේ. ඒ කිසි තැනෙක මා නොවේ. 

පොරෝනාව ඇද කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම වසා ගෙන මම එහි ගුලි වීමි. මගේ පුංචි අඳුරු සීතල ලෝකය තුළ මට ඕනෑ තරම් හැඬීමේ නිදහස තිබිණි. මම ප්‍රථම වතාවට ප්‍රේමයේ නාමයෙන් හැඬුවෙමි ප්‍රථම වතාවට පිරිමියෙකු වෙනුවෙන් හැඬුවෙමි. ඒ කඳුළු විටෙක මා දවන තරම් උණුහුම් වූයේ ය. විටෙක මා මුදවා ලන තරම් සිසිලස් වූයේ ය. නමුත් කඳුළු කියන්නේ කඳුළු ම ය. ඒවාට කියෙන්නේ වචන කරනු බැරි අසරණ කමක් විතර ය. මට දැනුණේ මේ මොහොතේ මෙලොව සිටිනා අසරණ ම ප්‍රාණියා මා වාගේ ය. මා වූ කලී උපන් ගෙයි මිය ඇදුණ ප්‍රේමයක හිමිකාරී වෙමි.

ඉන්පසු නින්දක් කියා දෙයක් ඇස අසට පැමිණියේ නැත. මම දුක් ගින්දරක අපා දුකක් විඳිමින් රැය පහන් කළෙමි. උදයේ ඇඳෙන් නැගී සිටිනු බැරි වේදනාවක් මා ඔත්පල කොට තිබුණේ ය.වේදනාව පවත්නේ කොතැනක දැයි මා දැන සිටියේ ද නැත. වේදනාව කුමක් ද කියා හෝ මට නො දැනිණ. මට කළ හැකි වූයේ යහනට ගුලි වී ඉන්නා එක පමණකි. 

“ඕක තමයි මං කිව්වෙ ඊයෙ රෑ වෙනකල් මිදුලට වෙලා පිනි බබා ඉන්නකොට…දැං ඉතිං හරිනෙ”

අම්මා ආදරණීය තරවටුවක් කරමින් හිස් මුදුනේ ඕඩිකොලෝන් ගැල්වූවා ය. මම ඇස් පියා ගෙන කඳුළ හිර කර ගෙන සිටියෙමි. ඇස් පියන් විවර කළ සැනෙන් ගිනියම් කඳුළක් විසි විය.

විත් යූ…විතවුට් යූ…මට ඒ කැප්ශන් එක සිහි වේ. ඔහු ඒ ලියා ඇත්තේ ඔහු ගෙන් දුරස් ව ගිය ඒත් තවමත් ඔහු ගේ හදවතේ ඉන්නා ඇය වෙනුවෙන් ය!

කසුනි ලා ආවත් මම ඇවිද්න්නට යාම ප්‍රතික්ශේප කළෙමි. කකුල් දෙකේ පණ බින්දුවක් වත් නැතැයි මට සිතුණේ ය. අනිත් අතට මවා ගෙන උන් ලෝකය මගේ පා මුල ම බිඳී විසිරී ගොසිනි. ඒ කම්පනය තව කෙතරම් දින ගණනක් මා වටා දැවටී හිඳිනු ඇත්දැයි නිශ්චිත ව කිව නො හැකි ය.

“ඔය ඇවිල්ල හිතේ ලෙඩ. කොල්ල සින්දුවක් කියනව ඇහිල නින්දෙන්ම ගැස්සිල ඇහැරුණෙ. ඒ යකා කිව්වෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ට කියන සින්දුවක් වුණහම ඉතිං…”

නංගී මා මැනවින් වටහා ගෙන හිඳීම ගැන සැබවින් පුදුම වෙන්නට හෝ මා සිටියේ නිරවුල් මනසකින් නොවේ.

“මන්දාකිණී නැද්ද මිස්..අද දැක්කෙම නෑ” කියා මුණිවර කසුනි ගෙන් විමසා තිබේ. මා අසනීපයෙන් බව ඇය කියා ඇත. කසුනි හැරෙන තැපෑලෙන් මට කතා කොට කේලම කීවා ය.

ඔහු මා ගැන විමසන්නට ඇත්තේ මා ඔවුන් සමග නො සිටි නිසාවෙනි. ඒ නිකං මනුස්සකමට කරනා විමසීමක් පමණකි. මම ඇස් දෙක තද කොට පියා ගෙන නිදන්නට තැත් කළෙමි. මුළු රාත්‍රියක් අවදිව හිඳීමේ හා කඳුළු ටිකක් හැලීමේ කෙඩෙත්තුව මට දරුණුවට දැනේ. 

තවමත් ගුරුතලා ආදි සිසුන් ගේ උස් සිනා කතා හඬවල් ඈතින් ඇසේ. ඊයේ සේ අද ඒවා මා රසවත් මිහිරක ගිල්වන්නේ නැත. මට දැනෙන්නේ මා මුළුමනින් ම එතැනට අදාල නැති ආගන්තුකයෙකු සේ ය.

මා තිගස්සා ගෙන පැමිණි ඇමතුම මුණිවර ගෙන් යයි දුරකතන තිරය මත සනිටුහන් ව තිබීම නිසා ඒ ගැස්ම වෙව්ලීමක් සේ දෙතොල් මතින් නික්මෙන්නට විය. දුරකතනයේ හඬට කිසිවෙකු ගේ අවධානය යොමු වන්නට පෙර මම එය සවනට ගතිමි.

“හෙලෝ”

මගේ හඬේ වූ මලානික බව මට ම දැනිණ.

“ඔයාට අසනීපයි කියල යාළුව කිව්ව. ඇයි…”

ඔබ විශ්වාස කරන්න. මගේ සිරුරට අරක් ගෙන තිබූ තුන් දොස් ඒ මොහොතින් අහෝසි වී සමනය ව ගියේ ය. මම හයිය හත්තිය ඇති වෙළඹක සේ ඇඳෙන් බිමට පැන්නෙමි.

“අසනීපයක්මත් නෙවේ මිස්ට මුණිවර…ටිකක්…මං හිතන්නෙ සෙම ඇවිස්සිල”

“අම්…ඩොක්ට කෙකෙක් ළඟට යනවනං…”

“නෑ නෑ. ඕන වෙන එකක් නෑ. තැන්කූ”

“හෙට ඔෆිස් එන්න බැරි වෙයි වගේනං දැංම බෙහෙත් ගන්න”

එපමණක් කියා හෙතෙම දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ මගෙන් සමු ගන්නේ හෝ නැතිව ය. අහසින් පොළොවට වැටුණා සේ මම විපිළිසර වීමි. 

“මෝඩය. වැඩට එන්න බැරි වෙයිද බලන්නයි මට තකහනියෙ කෝල් කරල තියෙන්නෙ. හම්..”

නමුත් ඒත් මට ප්‍රමාණවත් බවක් දැනිණ. එහෙම හෝ ඔහු කතා කළ එකෙන්, අතුරුදන් ව තිබූ මගේ සිරුරේ ප්‍රාණය යළි මවෙත එළඹිණ. 

හැන්දෑවේ අපි ඔහිය පාරේ ඇවිදින්නට ගියෙමු.ඒ වන විට පාසල් වත්තෙහි ආදි සිසුන් කිසිවෙකු සිටියේ නැත. ඒ සිනා කතා හඬවල් නැතිව පාසල් බිම පාළු සන්තාපයක නිමග්න ව සිටියේ ය. පෙර දා සිය ගණනක් ආදි සිසුන් ගේ සපත්තු අඩි පවා ආදරයෙන් වැළඳ ගත් විදුහල් බිමට ඒ සියල්ල අමතක කොට යථාවත් වන්නට සිදු ව තිබේ. 

මගේ හිතේ ද එවන් සන්තාපයක් විය.  මා ස්කූටිය පැදවූයේ ඉතා හෙමිහිට ය. ඒ පාළු, ගුප්ත, හුදෙකලා රිදුම ෆයිනස් කැලයත් මගේ හිතත් අතරේ ඒකාත්මික බවක් දනවමින් තිබිණ. ඔහු ට බිඳ වැටුණ ප්‍රේමයක් තිබූ බව මම දැන සිටියෙමි. විදුනි ඒ බව මට කීවා ය. නමුත් ඔහු ට අමතක කළ නො හැකි, අත් හළ නො හැකි අතීතයක් වන බව සොයා ගත්තේ මා ය. මගේ හදවත ය. 

“එනවකො ඉක්මන්ට”

කසුනි ගේ ස්කූටියේ අපට වඩා මීටර කිහිපයක් ඉදිරියෙන් යමින් සිටි නංගී පිටුපස හැරී බලමින් කෑ ගෑවා ය. නමුත් මට කිසිදු හදිසියක් හෝ ඉක්මනක් දැනුණා නොවේ.

මේ දේවදාර ගසක හදවත අතුළේත් මොන තරම් සංවේගයක් හෝ සන්තාපයක් හිර වී තිබෙනවා විය හැකි ද? සමහර විට අපේ හදවත් වලට දැනෙනා හැඟෙනා කිසිවක් අපට තවකෙකු හා කිව නො හැකි වේ. කීවාට කිසිවෙකු වටහා ගනු ඇත් ද යන පැනය පසෙකින් ම තැබුව ද අපට අපේ අවංක ම හැඟීම් කිසිවෙකු ට විවර කළ නො හැකි අවස්ථා උදා වන්නේ ය.

ඉදිරියෙන් රතු පාට ලංගම බසයක් හෙමිහිට ඇදෙමින් තිබිණ. මම හුස්මක් ගෙන ස්කූටියේ වේගය වැඩි කොට බස් රිය ද කසුනි ගේ ස්කූටිය ද පසු කරමින් ඉදිරියට ගියෙමි. මුණිවර ගේ රතු පාට ජීප් රිය මග කොට නතර කොට තිබෙනවා මා දුටුවේ ඒ වේගය අතරේ දී ය.

“ඒ..යි…හෙමිහිට…”

හංසිකා මගේ උරහිසින් අල්ලා ගෙන කෑ ගෑවා ය. තවත් කිසිවෙකු සමග රියට හේත්තු වී කතා කරමින් සිටි මුණිවර හිස හරවා බලමින් ම රියෙන් මෑත් වූයේ ය. ඒ හරියේ දී මා තිරිංග තද කළේ සිහියෙන් ද අසිහියෙන් ද කියා මම ම නො දනිමි.

“පිස්සුද ආ ඔච්චර ස්පීඩ් යන්නෙ…අර බස් එක ඕවර් ටේක් කරපු හැටි”

මුණිවර ස්කූටිය වෙතට අඩියක් දෙකක් තැබුවේ එසේ කියමින් කෑ ගසා ගෙන ය. මම ඉක්මන් කෙටි හුස්ම ගනිමින් සිටියෙමි. කසුනි ද සිය බයිසිකලය අපට මඳක් ඉස්සර කොට නතර කරමින් සිටියා ය.

“පෙරේදා යන්න තිබුණ ගමනක් ද දැන් ඔය යන්නෙ…”

ඔහු කෙලින් ම මගේ මූණ දෙස බලා ගෙන තව දුරටත් සැරෙන් ම විමසී ය. මට එය හරි හැටි වැටහුණේ නැත.

“ආ…සොරි…”

“නෑ ඔච්චර හදිස්සියෙ යන නිසා මං ඇහුවෙ”

මම යටි තොල යන්තම් සපා ගෙන බිම බැලුවෙමි. හද තුළ දහස් ගණන් සමනල තටු සැලෙමින් තිබිණ. 

“යට වුණානං අර බස් එකට…සෙල්ලං කරන්න හදනව”

එවර මම නිවී සැනසිල්ලේ ඔහු දෙස බැලුවෙමි. ඒ ඇස් වල වූයේ බොර පැහැයකි. ඔහු ළඟින් බීර පුසුඹක් ආවේ ය. මම හැරී රිය දෙස බැලුවෙමි. එතැන සිට අප දෙස බලා උන් මුණිවර ගේ මිතුරා ගේ අත බීර කෑන් එකක් වූයේ ය. ඔහු සිනහවකට සැරසුණේ දෙගිඩියාවෙනි. මම යළිත් මුණිවර දෙස බැලුවෙමි. ඒ බැල්ම නෝක්කාඩුවක් වන්නට ඇත. ඔහු ඒ හැඳින්නා හෝ නැතිවා හෝ මිතුරා දෙස බලා යළි මදෙස බැලුවේ ය.

“යාළුව කොළඹ යන්න කලින් ටිකක් කතා කරන්න ආව. හරි මන්දාකිණී යන්න. පරිස්සමට”

යන්නට තබා ස්කූටිය යළි ස්ටාට් කර ගත හෝ නො හැකිවා වාගේ ය මට දැනුණේ. මා වටහා ගෙන දෝ හංසිකා “මං ගන්නද” කියා ඇසුවා ය. මම බැස ඇය ට ඉදිරියට එන්නට සලස්වා ඈ පසු පසින් හිඳ ගතිමි.

“මොකද්ද බං වෙලා තියෙන්නෙ…”

හංසිකා එසේ ඇසුවාට මට දෙන්නට පිළිතුරක් වූයේ නැත. 

තුවාලයක් පෑරි පෑරී හදවතේ විය. සමහර විට මා ඒ පෑරීම තුළ විකෘති සතුටක් විඳින්නට ඇත. මිනිස් ගතිය නම් එසේ ය. මිනිසුන් අතීතයෙන් නැගිට අනාගතයට යන්නට පසු බාන්නේ ද එබැවිනි. අතීත තුවාල සුව කර ගන්නට ද ඔවුන් තුළ වන්නේ අකමැත්තකි. වේදනා විඳීම තුළ විකෘති සතුටක් විඳිත හැක!

සඳුදා උදේ මිස්ට් ෆීල්ඩ් වෙත ගිය මා වැඩ පටන් ගත්තේ පුරුද්දට, යන්ත්‍රාණුසාරයෙන් සේ ය. අත් වැරදීමකින් හෝ මුණිවර ගේ කැබින් එක දෙස නො බලා ඉන්නට මට ඕන විය. නමුත් ඊයේ යනවා කී මිතුරා ඔහු සමග කුටියේ සිටින බව මට පෙනුණේ ය.

මා මල් ඕඩර ගෙන අවසන් වන ව නැගී සිටියේ සයිට් එකේ යන්නට ය. මුණිවර සේ ම මිතුරා ද මදෙස බලමින් හිඳිනා වග නො බැලුව ද මගේ අඩැසට පෙනිණ. මට නො බලා ම සිටිත හැකි විය. කෙසේ වෙතත් මා පිට වන්නට හදත්දී ම මේසය මත වන දුරකතනය නාද විය. එය අභ්‍යන්තර ඇමතුමකි.

“මන්දාකිණී පොඩ්ඩක් එන්න”

දිය වීම පපුවෙන් ආරම්භ වෙමින් තිබිණ. වෙනදා පුරුදු දාංගලය ම දමා පලා ගොස් ය. ගුඩ් මෝනිං කියන්නට හෝ මට අමතක ව තිබුණේ ය.

“ගුඩ් මෝනිං මන්දාකිණී”

හුරු පුරුදු තැනැත්තෙකු වාගේ සිනහ වෙවී සුබ පැතුවේ මුණිවර ගේ මිතුරා ය. මම ඉක්මන් සිනහවක් පෑවෙමි.

“ගුඩ් මෝනිං”

“අම්…සයිට් රවුන්ඩ් යන්නද හදන්නෙ..”

ඒ පැනය මුණිවර ගේ ය.

“ඔව් මිස්ට මුණිවර”

“මන්දාකිණී..මං ඊයෙ කොළඹ යන්නැතුව නතර වුණෙත් ඔයාව හම්බ වෙලාම යන්නමයි”

මගේ කකුල් වලින් සීතලක් කාන්දු වන්නට විය. ඒ සීතල සිරුර පුරා දිව ගියේ අසරු සැනෙනි.

“මා…ව…ඇයි දන්නෑ…”

“මේ…නැද්ද අනේ හොඳ ගෑනු ළමයෙක් එහෙම දන්න කියන…”

“ගෑනු ළමයෙක්…”

සැබවින් ම ඔහු කියන්නට යන දේ ගැන මට අවබෝධයක් වූයේ නැත. මුණිවර පවා ඒ මොහොතේ මඳ කලබලයකට ලක් ව සිටියේ ය.

“ඔව්. අපි මැරි කරල අපේ ළමයිනුත් ලොකු වේගෙන යනව. උං කසාද බඳිනකොටත් මූ මෙහෙම තනියම ඉන්නද…කාට හරි බන්දවන්න ඕනනෙ. අපේ පොඩි උංව වෙඩින් එකේ ගෲප් ෆොටෝ එකට කියන්න හරි…”

“ආ…ඒකටද උඹට මාව බන්දන්න හදිස්සි වෙලා තියෙන්නෙ…”

මුණිවර ගේ ලස්සන සිනහව පිපුණේ ය. එක මොහොතක දී මා වසඟ කොට ගෙන වෙනම ම ලොවකට කැටිව යන්නට ඒ සිනහව ප්‍රමාණවත් විය.

“හදිස්සි…යකෝ හදිස්සි නෙවේ තව බලං හිටියොත් දන්නෙම නැතුව එක්ස්පයර් වෙලා තියෙයි ආ. මන්දාකිණී…නෙක්ස්ට් ඉවර් ඒජීඑම් එකට කලින් මූ මැරි කරන්න ඕන හරිද…ඔයා මං කියපු දේ ගැන පොඩ්ඩක් බලන්නකො”

කියා ගෙන ඔහු නැගී සිටියේ ය.

“මං යනව එහෙනං. සීයූ මන්දාකිණී”

“ගුඩ් බායි. ටේක් කෙයා”

“උඹ ගිහිං කෝල් එකක් දීපං”

ඔහු නික්ම ගොස් සිය රියට නැගෙනා තෙක් මම එතැන සිට ම මුණිවර සමගින් බලා සිටියෙමි. දැන් ඉතින් මා රාජකාරියට නික්ම යා යුතු ය කියා සිහි වූයේ එසේ සිටියදී ය.

“මං..යන්නං”

“ඉඳගන්නකො පොඩ්ඩක්”

යළිත් අර සීතල කොඳු නාරටිය දිගේ දිව යන්නට විය. මම හුස්ම අල්ලා ගත් වන අසුන් ගතිමි.

“දසුන් කියන ඒව ගණං ගන්නෙපා. අම්…මොකද අපේ වැඩ වල තත්වෙ…අද ඇන්ටි ෆන්ගස් ස්ප්‍රේ කරන්න තියනව නේද…”

ඔහු ලොකු පොතක් පෙරලා ගත්තේ ය.

“කොහොමත් මිස්ට මුණිවරගෙ යාළුව කියපු දේ කරන්න අමාරු වෙයි”

මම එහෙම කියමින් කෙළින් ම ඒ මූණ බැලුවෙමි. ඔහු ගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් විය.

“මිස්ට මුණිවරගෙ හිතේ තාම ඉන්නෙ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්…ඊයෙ රෑ කියපු සින්දුව පුරාම හිටියෙ එයා. එයා ඉන්නකල් වෙන කෙනෙක්ට එන්න බැරි වෙයි”

මා ඒ අන්තිම ටික කියා ගත්තේ අමාරුවෙන් උගුර යටිනි. කෙසේ හෝ ඒ ටික කියා නිම කර ගන්නට දිරිය දීම ගැන මම දෙවියන්ට ස්තූතිවන්ත වූයෙමි.

මහත් සැහැල්ලුවක් මට දැනුණේ ය. ඊයේ සිට ඇති ව තිබූ තුවාලය සුව වූවා වන් සැනසීමක් ද ඒ අස්සේ විය. ඊටත් වඩා ඔහු ගේ සින්දුව ඇහුණ බව දැනවීමේ ඕනකමක් හා ඔහු ඒ ගැයුවේ පරණ පෙම්වතියට යයි දන්නා බව හැඟවීමේ කුරිරු සතුටක් ද මම වින්දෙමි.

“ඒක මං වර්ඩ් ටු වර්ඩ් මීනිං එක හිතල කියපු එකක් නෙවේ”

ඔහු අසරණ ලෙස කොඳුරා ගත්තේ ය. ඇත්ත ම ඇත්ත නම් මට ඔහු ගේ පපුවට තදින් තුරුළු වී හඬනා ඕන කමක් දැනිණ. ඔහු මා වැළඳ ගෙන සනසනු ඇත්නම් යන හැඟීම මා වසා ගනිමින් තිබිණ. එක මොහොතකට ඒ උරහිසෙහි හිස තියා ඇස් පියා ගැනීමේ ආශාවකින් මම ආතුර වෙමින් සිටියෙමි. නමුත් මට ඒ එකක් හෝ හැබැහින් කළ හැකි වූයේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles