රස වෑහෙන ඕට්ස් බිස්කට් හදමු 

කාබ්ස්, ෆයිබර්, ඉතා හොඳ වර්ගයේ ප්‍රෝටීන විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක ඇතුළු පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් අඩංගු ඕට්ස් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් වෙනුවෙන් සැළකිලිමත් වෙන ඔබට තියෙන ඉතාම හොඳ තේරීම් වලින් එකක් කියල හඳුන්වන්න පුළුවන්. 

අද අපි සූදානම් වෙන්නෙ, සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරල ඉතාම පහසුවෙන් පිළියෙල කරගන්න පුළුවන් රසම රස ඕට්ස් බිස්කට් රෙසිපියක් ඔබට කියල දෙන්නයි. 

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

ඉදුණු කෙසෙල් ගෙඩි 02 ක් 

ඕට්ස් කෝප්ප 01 ½ ක් (ඕට්ස් පවුඩර් කෝප්ප 01 යි ඕට්ස් පෙති කෝප්ප ½ යි) 

චොකලට් චිප්ස් කෝප්ප ⅓ ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, ඔබේ අවන් එක ෆැරන්හයිට් 350 උෂ්ණත්වයේ රත්වීමට තබා ගන්න. 

බේකින් තැටියක තෙල් කඩදාසියක් අතුරා හෝ  එහි බටර් / තෙල් ස්වල්පයක් ආලේප කර පසෙකින් තබාගන්න.

භාජනයක් ගෙන ලෙල්ල ඉවත් කරගත් ඉඳුණු කෙසෙල් ගෙඩි දෙක එයට දමා ගෑරුප්පුවක යට පැත්ත භාවිත කර කෙසෙල් ගෙඩි දෙක හොඳින් පොඩි කරගන්න.

එයටම ඕට්ස් එක්කර සියල්ල හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට චොකලට් චිප්ස් ද එකතු කර නැවතත් සියල්ල හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් මේ මිශ්‍රණයෙන් මේස හැන්ඳක ප්‍රමාණය බැගින් ගෙන බිස්කට් වල හැඩයට සකසා කලින් සාදාගත් බේකින් තැටියේ අතුරා ගන්න.

මේ ප්‍රමාණයෙන් බිස්කට් 12 ක් පමණ සාදාගන්න පුළුවන්. 

දැන් ෆැරන්හයිට් 350 උෂ්ණත්වයේ විනාඩි 12 ත් 15 ත් අතර කාලයක් බේක් කරගෙන ඉවතට ගත් බිස්කට් නිමුණු පසු රසවිඳින්න ඔබට පුළුවන්. 

හුළං නොවැදෙන සේ අසුරාගත් භාජනයක දමා ශීතකරණයේ දවස් 05 ක් පමණ මේ බිස්කට් තබාගන්න ඔබට පුළුවන්.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles