ඇයි ඌට අත් දෙකක් – 2

0
5854

ඒ හරියටම මට සේනාධිර ලියූම එවලා  සති දෙකකට පස්සේ.
සති දෙකකට පස්සේ තමයි මට නිවාඩු ගන්න පුළුවන් උනේ..

හුඟක් වෙලාවට සේනාධිර ලියුම්ම එව්වෙ නග්‍රැක් වල දුරකථන සංඥා අන්තිම සවුත්තු හින්දයි.සමහර වෙලාවට හදිසි ඇමතුමක්වත් ගන්න බැරිවීම ඇත්තටම නග්‍රැක් වල දුෂ්කරකම කියාපෑවා.

ඒ වුනාට මම නම් ඇත්තටම ආස

ඔබ අමතන දුරකථන අංකය ආවරණ කලාපයෙන් බැහැරව ඇත…

කියලා ඇහෙන පළාතක ජීවත් වෙන්නයි. ඒ විදිහට මට මිනිස්සුන්ව වගේම  මේ කාර්යබහුල පිත්තල ලෝකයෙන් මිදෙන්න වුවමනා වුණේ ඇයි කියන්න තේරෙන්නේ නැහැ.
අශ්ව  ගෑණු සතෙක් උදාහරණයට අරගෙන අපි නිෂ්පාදනය කරන්න ගියව් අලුත් සතාගෙ කළලය සාර්ථක වුණයි කියලා පෝලා එවපු කෙටි පණිවිඩය කටුනායකින් බහිනකොටම මගේ දුරකථනයට ආවා..ක්ෂණිකව  මගේ හිතට සන්තෝෂයක් දැනුනත් එකපාරටම මට හිතුනෙ ඒ සංසේචනය වෙච්ච කලලය ජීවියෙක් හැටියට උපත ලැබුවට පස්සේ කොහොමට හිටීද කියලයි.අපේ ලොක්කා වෙච්ච මහාචාර්ය වැල්මිදීර් නම් කිව්වේ සියයට 75 ක් විතර මනුස්ස ගතිගුණ තියෙන කෙනෙක් හැටියට උපත ලබයි කියලයි.හැබැයි එයා මිනිස්සුන්ගේ රූපයට වඩා ටිකක් වෙනස් නිසා එයාව ජීවිත කාලයම කූඩුවක තමයි හදන්න වෙන්නේ කියන එකත් එයා කිව්වා.ඒ වගේම සතෙකුට වඩා හැඟීම් දැනීම් තියෙන හිතන්න පුළුවන් ජීවියෙක් වීම හින්දම මේ අලුතින් හදන සත්වයා වැඩුණු සතෙක් උනාට පස්සේ එයාගේ සහකරුවා තෝරලා දෙනකොටත් අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයි කියලා සර් කිව්වා . ඒ වගේම තමයි මොනයම් හෝ අවස්ථාවක මේ සතා හෝ අර්ධ මනුස්සයා කූඩුව කඩාගෙන එළියට පැන්නොත් සිද්ධ වෙන දේ හිතාගන්න බෑ කියලත් ලොක්කා කිව්වා.මොනවා වුණත් දැං මම මගේ විද්‍යාගාරය පහු කරලා ඇවිල්ලා කිලෝමීටර් ගානක්.
ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නැත්නම් මට සමහරවිට සතියකින් දෙකකින් ආපහු ලැබ් එකට යන්න පුළුවන් වෙයි.මොනා උනත් සේනාට මොකද උනේ කියලා බලන එක මගේ යුතුකම හින්දා මං දැන් ඉස්සෙල්ලම කරන්න ඕනේ එහාට යන එක කියලා මට හිතුනා.මං හිතුවා කටුනායක එයාපෝට් එකට මාව අරගන්න සේනා කවුරුහරි එවයි කියල.ඒ වුණාට එහෙම කවුරුවත් එවල හිටියේ නෑ.

සේනාධිර මාව බාරගන්න කටුනායකට එයි කියලා මම බලාපොරොත්තු වුනේ ඇයි කියලා මට හිතුනා.  සේනාධීර මගේ ජංගම දුරකථනයට පණිවිඩයක් එවලා තිබුණේ එයාගේ අසනීප තත්වය නිසා එයාට එන්න විදිහක් නැහැ කියන එකයි. සිග්නල් එනකං වරු ගානක් ෆෝන් එක ජනේලේ ගාව ඌ අල්ලගෙන ඉන්න ඇති කියලා හිතුනා.
හවස හතට විතර  කටුනායකින් ගොඩ බැස්ස මම කුලී රථයකින් නග්‍රැක් බංගලාව බලා පිටත් උනා.සේනාධිරගේ ඔය කියන බංගලාවට මම කවදාවත් ගිහිල්ලා තිබුනේ නැහැ.මගේ මෙහෙ ඉඩකඩම් ඔක්කොම විකුණලා ගිය නිසා මම කවදාවත් ලංකාවට එන්න හිතාගෙන හිටියෙත් නැහැ.සේනාධිර මගේ දුරකථනයට බංගලාව තිබුන තැන සිතියමක් හැටියට එවලා තිබුන නිසා මට පාර හොයාගන්න කරදර වුණේ නැහැ.

ඒ හින්ද මම කුලියට ගත්තු  වාහනයෙන්  නාන්පේරියල් වලට යන්න පිටත් උනා.කටුනායක ඉඳන් නාන්පේරියල් වලට විතරයි වාහනයක් යන්න පුළුවන් වුනේ. ඊට පස්සේ නග්‍රැක්  බංගලාව හම්බවෙනකම් කිලෝ මීටර් තුනක් විතර පයින් තමයි යන්න තියෙන්නෙ. මගේ වාහනේ මාව නාන්පේරියල් වලට ගෙනියනකොට හරියටම පාන්දර දෙකයි.එතනින් එහාට වාහනයක් යන්න බැරි හින්දා මට සිද්ධ වුණා මගේ බෑග් එකත් කරගහගෙන පයින්ම බංගලාව හම්බ වෙනකන් යන්න. රුසියාවේ අපි හිටපු පැතිවලත් සමහර කාල වලට හිම වැටුණා.ඒ වගේම සීතලක් තමයි මට පාන්දර දෙකට නාන්පේරියල් වලිනුත් දැනුනේ…

“සර්ට තනියම යන්න පුළුවන්ද..මේ තිත්ත කළුවරේ… අනික පාරක් තොටක් අහගන්නවත් කෙනෙක් මේ වෙලාවේ කවුරුත් නෑ.. ටිකක් එළිය වැටෙනකන් ඉඳලා ගියොත් නේද හොඳ”..

මාත් එක්ක කුලී ගමන ආපු රියදුරා මගෙන් එහෙම ඇහුවා..

“මං හිතන්නේ ප්‍රශ්නයක් වෙන එකක් නෑ..වත්තේ අයිතිකාර මහත්තයා මට එන්න ඕනි පාර ලියලා එවලා තිබුණා.මං එයාට කියලා ආපු ගමනක් නෙමෙයි නෙ මේ…නැත්නම් එයා එයාගේ සේවකයෙක් මෙතනට එවලා තියෙයි..”

මගේ බඩු බෑග් එකත් අරගෙන මම කන් දෙක වැහෙන්න හොඳට තොප්පියක් හදාගෙන මං ගමන පටන් ගන්න තේ වත්ත මැදින් වැටිල තිබිච්ච පාර පැත්තට හැරෙනකොට.. කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියනවා වගේ හැඟීමකින් වාහනේ රියදුරු මහත්තයා තමන්ගේ වාහනය ආපහු හරව ගත්තා.

ඕනෙම හදිසි වෙලාවක ගන්න මගේ බෑග් එකේ තිබිච්ච පුංචි විදුලි පන්දම පාවිච්චි කරන්න මේක තමයි හොඳම වෙලාව කියලා මට හිතුනා.මම විදුලි පන්දමේ එළියෙන් නග්‍රැක්  වතුයාය පටන් ගන්න තැන ඉඳන් කන්ද මුදුනට  තිබිච්ච ගුරු පාර  දිගේ  හෙමින් හෙමින් උඩට නගින්න පටන් ගත්තා. ඇත්තටම මිනිස්සුන්ගෙන් හිස් වෙලා තියෙන ස්වභාව සෞන්දර්යාත්මක පරිසරය කොයිතරම් නිහඩද ලස්සනද කියලා මට ඒ වෙලාවේ හිතුණා.අහම්බයකින් මිසක් මේ වගේ වෙලාවක කවදාවත් අපි හිතලා මේ වගේ පාරක ඇවිදින්න එන්නේ නැති හින්දා ඒ සුන්දරත්වය කවදාවත් අත්විඳින්න හම්බවෙන්නේ නැහැයි කියලා මට හිතුනා. බොහොම තද මීදුමකින් මුළු පාරම වැහිලා තිබුණා වගේම මගේ පුංචි විදුලි පන්දමේ එළිය ඒ මීදුම කපාගෙන ඉස්සරහට යන්න තරම් තද නැහැ කියලත් මට තේරුණා. යාන්තමට මගේ ඔරලෝසුවේ වෙලාව සටහන් වෙලා තිබුණේ ඒ වෙලාවේ හරියටම පාන්දර දෙකහමාරයි කියලයි. ඒ වෙනකොට මගේ වේගය බොහොම අඩු වෙලයි තිබුණේ.ඝන මීදුම හින්දා මට හරියට පාර පෙනුනේ නෑ.. තේ වත්ත දෙපැත්තේ පිපිලා තිබිච්ච ලිලී මල් වලයි අර මොකක්ද මේ… මතකත් නෑ.. අර පුන්චිම පුන්චි සුදු පාට මල්වලයි අමුතුම සුවඳ අර මීදුමත් එක්ක කලවම් වෙලා ආවෙ අමුතුම සුවඳක්..

මං හිතන්නේ මම කිලෝ මීටර් එකහමාරක් විතර මීදුම මැද්දෙන් කන්ද නැගගෙන ගේ පැත්තට එන්න පටන් ගත්තා. ඒ හරියෙ ගස්කොළන් මොකුත් තිබුනේ නැහැ.මගේ දකුණු අත පැත්තෙන් තිබුණෙ මහ විශාල සානුවක්… නෑ මෙහෙමයි..තිත්ත කළුවරේ මට එච්චර දේවල් පෙනුනේ නෑ…මගේ දකුණු අත පැත්තෙන් තද හුළඟක් හමාගෙන ආපු හින්දා මට නිකමට එහෙම හිතුණා.බොහොම සුළු මොහොතකින් හුළඟ තද හින්දම වෙන්න ඇති අර ගණවට තිබිච්ච මීදුම ටිකක් විතර අඩුවෙලා පරිසරය ටිකක් පැහැදිලි වෙන්න පටන් ගත්තා. මම බොහොම හෙමින් ගිය හින්දා මගේ අඩි සද්දය වත් එච්චර ඇහෙන්නෙ නැතුව ඇති. එක පාරටම මම දැක්කේ මහා පුදුම දෙයක්.

තේ ගස් ගොන්නක් අස්සෙන් සුදු පාට ජටාවක් බැඳ ගත්ත පිරිමි කෙනෙක්  පාරෙන් එහා පැත්තට ගියා.ඒ ජටාවත් එක්ක මනුස්සයව මට හොඳටම පෙනුනේ ඒ මනුස්සයා නළලේ බඳින පොඩි ටෝච් එකක් බැඳගෙන හිටපු හින්දා.මං හිතන්නේ මම හිටපු පැත්තේ ගනව මීදුම තියෙන්න ඇති.මිනිහට මාව පේන්නෙ නැත්තේ ඒකයි.ඊටත් ඔය හද්ද පාන්දර මං වගේ මනුස්සයෙක් ඔතන ඉඳී කියලා මේ මනුස්සයා කීයටවත් හිතන්න නැතුව ඇති..මම ඉතින් විද්‍යාඥයා හින්දා හැමදේම පර්යේෂණාත්මක ඇහැකින් බලන්න පුරුදු වෙලා හිටියා.එක පාරටම ඒ මනුස්සයට කතා කරන්න යන්නේ නැතුව මම මගේ බෑග් එකත් කැටි කරගෙන බොහොම  හෙමින් තේ පඳුරු දෙකක් අස්සේ පත්වුණා.මගේ කනා මැදිරි ටෝච් එකත් මම නිවා ගත්තා.ඇත්තටම මම කලේ මහා පිස්සු වැඩක් කියලා මට හිතුනා. ඒ මනුස්සයා තේ වත්තේ මුරකාරය හරි ලැයිමෙ මනුස්සයෙක් හරි වෙන්න ඇති. හදිසි ශරීර අවශ්‍යතාවයක් පහ කර ගන්න කොහාට හරි යනවා වෙන්න ඇති. ඒක ඉතින් හැංගිලා බලාගෙන ඉන්න තරම් දෙයක්ද…
නෑ නෑ.. ඒ මනුස්සයාගේ අතේ මොකක් හරි මල්ලක් තියෙනවා…
ශික්..  මේ මීදුම හින්ද මට කිසි දෙයක් පේන්නේ නෑනේ..
මේකා හොරෙක්ද  මන්දා..සේනා ලෙඩින් ඉන්න වෙලාවෙ කොච්චර විශ්වාසවන්ත සේවකයෝ වුණත් හොරු වෙනවා වෙන්න පුළුවන්.පාන්දර ඇවිල්ල හොරෙන් තේ දළු කඩනවා වෙන්නත් පුළුවන්…
නෑ ..
නෑ… මොකක්ද ඒ මිනිහා පාත් වෙලා කරන්නේ ..
ඒ මනුස්සයා මොකක් හරි මල්ලට අත දාලා අරගත්තා.. මොකක්ද ඒ… මොකක් හරි ඒ අත දාලා ගත්තු දේ රෙදි කෑල්ලක වගේ එකක ඔතලා වගේ මට පෙනුනේ..මේ මනුස්සයා එක දිගටම ඒක ඉඹින්න පටන් ගත්තා.. එකත් එකටම ලැයිමෙ ගෑනියෙකුට ළමයෙක් හම්බෙලා වෙන්න ඇති.. මොනවා හරි මගුලක් කරලා මේකා ලමයව විසි කරන්න ඇවිල්ලද කොහෙද..
ආහ්… මොකක්ද දෙයියනේ අර…
අපොයි අම්මෙ… ඒක නිකං හරියට එහාට මෙහාට වැනෙන්නේ…
ඈ..හ්… දෙයියනේ සරපයෙක්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here