ගෑනු ළමයි

අක්කේ,මම අහන්නමයි හිටියේ.”

සෙනුරි එහෙම ඇහුවේ වත්සලා දිහා දුක්බර බැල්මකින් බලන ගමන්.තමන්ගේ වෙන්න ඉන්න නෑනා අහන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න බැරුව වත්සලා රිය පදවන ගමන් සෙනුරි දිහා එක් බැල්මකින් බැලුවා.

“මොකක්ද නංගි”

විවාහ උත්සවය අත ළඟටම ඇවිත් නිසා සෙනුරිට ප්‍රශ්න කීයක්නම් ඇතිද කියලා වත්සලාට හිතුණා.තමන්ගෙම නංගි කෙනෙක් වගේ දැනෙන සෙනුරිට ඒ හැම ප්‍රශ්නෙකට උදව් කරන්න ඇය හිතා ගත්තා.

“මං ජොබ් එකෙන් අයින් වෙන්න වෙයි නේද අක්කේ?”

වත්සලාට ඒ ප්‍රශ්නය මහ පුදුම ප්‍රශ්නයක් වුණා.ඇය මහා මාර්ගයේ ඉඩ ඇති තැනක වාහනය නැවැත්වූයේ ඒ පුදුමයෙන්මයි.

“ඇයි නංගි? අපේ මල්ලි ඔයාට එහෙම කතාවක් කිව්වද?”

වත්සලා ඇහුවේ විශ්වාස නැතුව.ඉගෙනීම සහ රැකියාවක වටිනාකම හොඳටම දන්න මල්ලි එහෙම දෙයක් කියයි කියලානම් වත්සලාට හිතන්න අමාරුයි.ඒත් ඉතින් කියන්න බෑනෙ.මල්ලිට කොහෙන් කොහොම හරි එහෙම දෙයක් ඔළුවට වැටුණා වෙන්නත් පුලුවන්.

“අනේ නෑ අක්කෙ.විරාජ් නම් කවදාවත් එහෙම දෙයක් කියන්නේ නෑ.මම එයාගෙන් අහන්න කලින් මේ අක්කගෙන් ඇහුවේ.”

සෙනුරිගේ හිත ඇතුළේ මහා ප්‍රශ්නයක් තියන බව වත්සලාට හිතෙනවා.ඇය සෙනුරිත් එක්ක අවන්හලකට ගොඩ වැදුණෙ මොනවාහරි බොන ගමන් ඇගේ හිත ඇතුළේ තියන ඒ ගැටළුව ගැන කතා කරන්න හිතාගෙන.

“ඇයි නංගි ඔයා වෙඩින් එකෙන් පස්සේ රස්සාවෙන් අයින් වෙන්න හිතුවේ?”

වත්සලා එහෙම අහනකොට ඒ යෝජනාව තමන්ගේ අම්මාගේ යෝජනාවක් බව සෙනුරි කිව්වේ ඇහෙන නෑහෙන තරමේ හඬකින්.හොඳ පාසලක ඉගෙන ගෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් ලබපු තමන්ගේ දියණියට එහෙම කියන්න අම්මාට හිතුණු හේතුව දැන ගන්න වත්සලාට ඕනෑ වුණා.

young girl in sad

“අම්මා කියන්නේ මොන දේ වුණත් ගෑනු කෙනෙකුට වටින්නේ පවුල කියලා අක්කේ.ඒ දවස්වල ඉඳලම පාඩම් වැඩ කරන තරමටම අම්මා මට ගෙදර දොරේ වැඩත් ඉගැන්නුවා.”

ඒ කතාවේ සමහර තැන්නම් වත්සලාට වරදක් පෙනුණේ නෑ.උයන පිහින වැඩ,ගෙවල් දොරවල් අස්පස් කර ගන්න වැඩ ගෑනු පිරිමි භේදයක් නැතුව හැම දරුවෙක්ම පුරුදු පුහුණු විය යුතු ජීවන කුසලතා බව ඇය දැනගෙන හිටියා.

ඒත් සෙනුරිට කියන්න ලොකු කතා ගොඩක් තිබුණා.අම්මා ඒ කාලෙත් සතියකට පාරක් මුළු ගෙදරම අයට කෑම වේලක් සකසන්න සෙනුරිට නියම කරපු හැටි සෙනුරි වත්සලා එක්ක පැහැදිලි කළා.ඒ වගේම තමයි ඒ කටයුත්ත මුලින්ම පටන් ගන්නකොට සෙනුරිට යාන්තම් අවුරුදු දොළහක් වගේ කියලත් සෙනුරි කියන්නේ වේදනාවෙන්ද කියලා වත්සලා කල්පනා කරන්නට වුණා.

“රස්සාවකුත් කර කර ගෙදරක වැඩ පාලනය කරන්න බෑ කියලයි අම්මා කියන්නේ අක්කේ.අනිත් එක අම්මා කියනවා ඉක්මනින්ම දරුවෙක් හදා ගන්න කියලත්.විරාජ් පවුලේ එකම පිරිමි ළමයා නිසා ඒක මගේ වගකීමක් කියලයි අම්මා කියන්නේ.”

එහෙම කියපු සෙනුරි ඊළඟ කාරණාව නම් කිව්වෙ ටිකක් හිතලා මතලා.

“රස්සා කර කර බබෙක් හදා ගන්න පරක්කු කරන්න ගත්තොත් අක්කලගෙ අම්මට තරහ යයි කියලත් අපේ අම්මා කියනවා.”

වත්සලාගේ විවාහයට දැන් වසර හතරක් පිරෙන්න කිට්ටුයි.ඒත් අම්මා කිසිම දවසක දරුවෙක් ගැන නාහපු බව වත්සලා සිහිපත් කළා.

“කසාදයක් කියන්නේ දෙන්නෙක් එකතු වීමක් පුතේ.ඔයාලට ඔය ගමන එකට යන්න පුලුවන්.ඒත් මොනවම හරි නොගැලපීම් වෙනවානම් රණ්ඩු වෙවී ඉන්න එපා.එක්කො විසඳා ගන්න.නැත්නම් වෙන් වෙන්න.”

Two friends talking in a park drinking coffee

අම්මා විවාහයට පෙර දුන්නේ ඒ අවවාදය විතරක් බව වත්සලා සිහිපත් කළා.ඒත් සෙනුරිගේ අම්මා ඇයට මොනතරම් අවවාද ලබා දීලා තියනවද?

“සෙනුරිගේ කොණ්ඩේ මාරම ලස්සනයිනෙ.පොඩි හෙයා කට් එකක් දුන්නනම් තවත් ලස්සන වෙලා එයි.”

දවසක් මල්ලි එක්ක එහෙම කියනකොට “එයා කොණ්ඩේ කපන්න අකමැති බව” මල්ලි කියපු හැටි වත්සලා සිහිපත් කළා.මොනතරම් ලස්සන ඇඟක් තිබුණත් සෙනුරි අඳින්නෙත් ඇඟ වැහෙන විලාසිතා බව ඇයට ඊළඟට මතක් වුණා.

ඒ ප්‍රශ්න දෙකටත් උත්තර හොයන්න වත්සලා තීරණය කළා.

ඔව්! වත්සලා හරි! 

පුංචි කාලේ ඉඳලම ගැහැනු ළමයින්ට බොරු විලාසිතා අනවශ්‍ය බව අම්මා තදින්ම පැවසූ බව සෙනුරි කිව්වේ සාංකාවෙන් වගේ.දිගට අඳින්න,කොණ්ඩ කරලක් ගොතන්න,රූපලාවණ්‍ය සත්කාර වලට වැඩිය යොමු නොවෙන්න වගේ කී දාහක් නීති තමන්ට තිබුණද කියලා සෙනුරි වත්සලාට කියනකොට වත්සලා තමන්ගේ අනාගත නංගි දිහා බලාගෙන හිටියේ දුකින්.

“අක්කා දන්නවද? අපේ අම්මා කොහෙවත්ම යන්නේ නෑ.අපි කඩෙන් කනවට අම්මා අකමැති.ඒ නිසා වේල් තුනම අම්මගෙ අතින් උයන්න අම්මා හැම වෙලාවෙම ඉන්නේ ගෙදර.”

ඒ ජීවිතය සෙනුරිත් ඒ විදියටම ගෙවා දැමීම සෙනුරිගේ අම්මගේ සතුට බව වත්සලාට වැටහුණා.ගැහැනියක් මොනතරම් හොඳට ඉගෙන ගත්තත් කුස්සිය මුල්ලට තල්ලු විය යුතු බවත් ඇය අනිවාර්යයෙන් විවාහ වී ඉක්මනින් දරුවන් හැදිය යුතු බවත් විශ්වාස කරන අම්මා කෙනෙකුගෙන් ටිකක් ඈත් වෙන්න සෙනුරිට කාලය ඇවිත් කියලා වත්සලා සෙනුරිට වටහා දුන්නේ බොහොම ප්‍රවේසමින්.

“අනිත් අයට ඔහොම නීති දාන්නේ නැන්දම්මා.මට මගේම අම්මා.”

හිත සැහැල්ලු වුණු නිසා සෙනුරි එහෙම කියලා හිනා වෙන්න අමතක කළේ නෑ.

“ඔයාට දැන් වෙනස් වෙන්න පුලුවන්.ආස දේවල් කරන්න.තව ඉගෙන ගන්න.කැමති ස්ටයිල් කරන්න.ඔයාගේ පවුල ඔයාට ඕන විදියට අරගෙන යන්න.”

තව දුරටත් රැකියාව කරනවද,විවාහයෙන් පස්සේ දරුවෝ හදනවද වගේ තීරණවලට බලපෑම් කරන්න දෙමාපියන්ටවත් හැකියාවක් නෑ කියන එක සෙනුරිට පැහැදිලි කරන්න හැකි වීම ගැන වත්සලාට දැනුණේ සතුටක්.

“අපිව අනවශ්‍ය විදියට පාලනය කරන්න,අපේ හීන විනාස කරන්න අම්මාට වුණත් ඉඩ දෙන්න නරකයි නංගි”

ආපහු යන්න නැගිටින අතරේ වත්සලා සෙනුරිට කිව්වෙ ආදරය පිරුණු කටහඬකින්.

More Stories

Don't Miss


Latest Articles