ඒ දැක්ක දෙයින් මගේ කකුල් දෙක වෙව්ලනවා වගේ තේරුණා.මනුස්සයා ඒ විදිහට විනාඩි පහක් විතර එහාට මෙහාට වැනෙන දේ ඉම්බා. මොනවදෝ ළංවේවී කුටු කුටු ගගා කිව්වා.
මට බලාගෙන ඉද්දි මහා අප්පිරියාවක් දැනුනා.මේ මොන මල සමයමක්ද මේ අනේ… මට හිතුණා.. ඒ මනුස්සයා ජටාවේ බැඳගෙන තිබිච්ච ටෝර්ච් එකේ එලියෙන් යාන්තමට මට මේවා පෙනුනා .
එක පාරටම මට හිතුනා මගේ ගමන් මහන්සිය හින්දා මට මේ පේන මනෝ විකාරයක්ද කියලා.. ඒ මොනවා වුණත් මට දැන් එතනින් නැගිටින්න බය හිතුනා.ඒ මනුස්සයා කොයි වගේ කෙනෙක්ද කියන එක මට හිතාගන්න බැරුව ගියා.සමහර විට අපේ ලංකාවේ ඉන්න දක්ෂ කට්ටඩියෙක්ද දන්නෙත් නෑ.සත්ත්ව විද්‍යාඥයෙක් වෙච්ච මමත් මොන තරං සත්තු අතගාලා මොන පර්යේෂණය කළත් සර්පයෙක් එක්ක ගනුදෙනු කරන්න හිත ඇතුලෙන් තියෙන්නේ මහා චකිතයක්..
මිරිදිය මත්සයෙක් වෙච්ච ආඳාගේ ජාන වලට පිඹුරන්ගේ ජාන මිශ්‍ර කරලා අපි අලුතෙන් මත්සයෙක් නිර්මාණය කළා.වෙළඳපොළට ලොකු ඉල්ලුමක් ඇතිවුණා ඒකෙන්.ඒ ආදෙක් සාමාන්‍යයෙන් කිලෝ දහයක් විතර උනා.. චීනය කොරියාව වගේ රටවල් වලට තමයි වැඩිපුරම ඒ මාළුවාව ඉල්ලන්න පටන් ගත්තේ.. හැබැයි උගේ හම නං සම්පූර්ණයෙන්ම පිඹුරෙක්ගේ වගේ උනා..ඒ හින්දා මාළුවාව උයනකොට හම සම්පූර්ණයෙන්ම අයින් කරන්න සිද්ධ වුණා.අපි හිතනවට වඩා පිඹුරන්ගේ ජාන මිශ්‍ර කරලා හදපු මාළුවාගේ මස රස උනා..ඒකයි ඒ තරම් ඒ මාළුවාව ජනප්‍රිය වුණේ..
ඒ පර්යේෂණය සාර්ථක කරගන්න එක සම්පූර්ණ මගේ වගකීමක් වෙලා තිබුණත් ඒ පර්යේෂණය පටන් ගත්තු අවුරුදු තුන පුරාවටම පිඹුරව අතකින් ඇල්ලුවේ මම එකම එකපාරයි. මම සර්පයින්ට කැමති නෑ..ආදව උනත් මට අල්ලන්න හිතෙන්නෙ නැත්තේ ඒකයි..මේ පුද්ගලයා සර්පයාව පොඩි ළමයෙක් වගේ ඉබ ඉඹ හුරතල් කරනව දැක්කහම මට හිතාගන්න බැරුව ගියා.
මොනවා උනත් දැන් ඒ මනුස්සයා එතනින් යනකන් මට නැගිටින්න බැරුව ගල් වෙලා වගේ හිටියා.ටික වෙලාවකින් ඒ මනුස්සයා සර්පයාව තේ ගස් අස්සට අත ඇරලා ඒ දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා ආපහු සැරයක් අනිත් පැත්තේ තේ ගස් අස්සෙන් නොපෙනී ගියා.මනුස්සයා ගිහිල්ලත් පැය බාගයක් විතර යනකං මම එතනම ඉඳගෙන හිටියා.තිබ්බ ගමන් මහන්සියට මට එතනම නින්ද ගියාද දන්නෙත් නෑ..යාන්තමින් එහෙන් මෙහෙන් ඉර එළිය වැටෙන කොට තමයි මම ආපහු දනිපනි ගහලා එතනින් නැගිට ගත්තේ.මට පස්සේ හිතුණා මම හිටපු ඒ අකුල අස්සෙත් සරපයෝ හිටියද කියල..මොනවා උනත් මම ඉක්මනට ආපහු මගේ ගමන් මල්ලත් අරගෙන නග්‍රැක් බංගලාවට යන පාර දිගේ වේගයෙන් ඇවිදගෙන ගියා. නැගෙනහිර පැත්තෙන් ඉර නැග නැගගෙන අලුතෙන්ම ඉර තීරු මහපොළොව හොයාගෙන එනකොට එයාලට ඉස්සෙල්ලාම හම්බෙලා තිබුණේ නග්‍රැක් බංගලාවේ වහලය. ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට මාව හම්බුනේ.. රතු පාට ඩේලියා එක්ක වයිට් වෝටර් රෝස් කලවමට හිටවපු මල් පාත්ති වලින් වැක්කෙරෙන පිණි ගල් වෙලා තිබුණා.මේ දැන් ආපු ඉර අව්වට තමයි ඒවා රත් වෙන්න පටන් අරන් තිබුණේ.. මට දැනුනේ මහා පාළු බවක්.මීදුමත් එක්ක ආපු නහය හාරවන අමුතු සුවඳ මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරුව ගියා.ඇත්තටම මම හිටියෙ හරිම තෙහෙට්ටුවෙන්…
මම මිදුලේ ඉඳගෙන හයියෙන් කතා කළත් කවුරුවත් පේන්න හිටියේ නෑ..හොඳට දුන් දාන කිරි තේකක අවශ්‍යතාවය මට හිමාලය කන්දට වඩා ටිකක් අඩුවෙන් දැනෙන්න පටන් අරගෙන තිබුණා.ඊට යටින් සීගිරියට වඩා පොඩ්ඩක් උඩින් හොඳට ටෝස්ට් කරපු පාන් පෙති හතරකට ලුණු යහමින් දාපු බේකන් පෙති දෙක තුනක් එක්ක ගම්මිරිස් සැරට දාපු බිත්තර බුල්සයි දෙකක අවශ්‍යතාව තිබුණා.
දෙපාරක් තුන්පාරක් කතා කළත් කවුරුවත් දොර ඇරීයෙ නැති හින්දා යන්තම් ඉබ්බ පටවලා තිබිච්ච වීදුරු කලවම් කරලා හදලා තිබිච්ච ලෑලි දොර මම හෙමිහිට තල්ලු කළා.
දොර අරින්න කලින් දොරේ තිබුණු වීදුරු අතරින් යාන්තමින් ඉටිපන්දම් එළියක් මට පෙනුනා.බොහොම ලස්සනට ඉර පායගන ඇවිල්ල තිබුණු උදේ තත්පර දෙක තුනකින් ආපහු සැරයක් මීදුමෙන් වැහිලා යන විදිහට වෙනස් වුණේ කොහොමද කියලා මම කල්පනා කළා.ගෑනුන්ගේ හිතත් හරියට නුවරඑළිය අහස වගේ කියලා කියන්නේ ඒක වෙන්න ඇති කියලා මතක් උනා. මේ තියෙන දේ නෙමෙයි තව ටිකකින්..
මගේ පැමිණීම සේනාධිර උණුසුම් පිළිගැනීමක් හැටියට පිළිගනී කියලා මම හිතුවත් බංගලාවේ දොර ඇතුළෙන් මට පෙනුනේ මළානික ඉටිපන්දම් එළියක් විතරයි.එකපාරටම මුළු පරිසරයම අයිස් මිදෙන සීතලෙන් සීතල වෙලා කිසිම දෙයක් පේන්නේ නැති විදිහට මී දුමින් කුට්ටි කපන විදියට ගන වෙලා තිබුණා.
මේ තරම් ධන කුවේරයෙක් තනියම පාළු බංගලාවක ඉන්නවා කියන එක මට විශ්වාස කරන්නත් බැරුව ගියා.අඩුම තරමේ දොර අරින්නවත් කෙනෙක් නැතිවෙන තරමටම තනි වෙන්න හේතුවක් තියෙන්න ඕනේ කියලා මට හිතුනා. මම බොහොම අමාරුවෙන් ඉස්සරහ දොර තල්ලු කරගෙන ඇතුලට ගියා.දොර ලොක් කරලා තිබිච්ච නැති නිසා මට ඇතුලට යන්න පහසු වුණා.ඉටිපන්දම් එළියෙන් එළිය වෙලා තිබුණේ සේනාධිර හිටපු කාමරයයි.
ඇඳේ හිටිය සේනාධිරව දැක්කහම මට පුදුම හිතුණා. මීට අවුරුදු පහලවකට විතර කලින් මගේ ඇස් දෙකට දැක්ක ඒ කඩවසම් සේනාධීර අවුරුදු හැට හැත්තෑවක වියපත් මනුස්සයෙකුගේ තත්ත්වයකට පත්වෙලා ඇඳේ වකුටු වෙලා නිදාගෙන හිටියා. හිතාගන්න බැරි තරම් විශාල වෙලා තිබ්බ සේනාධිරගේ බඩ දැක්කහම වෙලා තියෙන්නේ මොකක්ද කියන එක මට තේරුම් ගන්න පුළුවන් වුණා.
වසන්තිත් නැති අල්ලපනල්ලේ සේනා නැති භංගස්ථාන වෙනකම්ම බීලා කියලා මට තේරුණා. සිරෝසිස්වල අන්තිම අවධියේ තමයි සේනා දැන් ඉන්නේ කියලා මට හිතුනා. මගේ දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු සේනාදීර අමාරුවෙන් වගේ මාව අඳුනගත්තා.
“ලංකා… උබ ආවා… ස්තූතියි මචං… උබ ආවා…”
සේනාධිරගේ කටහඬ අවුරුදු අසූවක විතර වයස මනුස්සයෙකුගේ කටහඬක් බවට පත්වෙලා තිබුණා.මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන එක මට කොහොමටවත් හිතාගන්න බැරුව ගියා.
“අන්තිම මොහොතට පැයක් තියලා හරි උඹ මාව බලන්න ආපු එකට උඹට ස්තුතියි. ලංකා මට සමහර වෙලාවට උඹට සම්පූර්ණ විස්තරේම කියන්න බැරුව යයි.අන්න අර කබඩ් එකේ දෙවෙනි ලාච්චුවේ තියෙන ලියුම් ටික කියවපන්.මට කියන්න පුළුවන් උපරිම කෙටියෙන් මම මගේ කතාව ඒකේ ලියලා තියෙනවා.මේකෙ මොකක් හරි අනතුරක් උඹට තේරෙනවනම් ඉක්මනින්ම මෙතනින් පැන ගනින්…”
සේනාධිර ගොත ගගහා අමාරුවෙන් කතා කරනකොට මට හිතාගන්න බැරුව ගියා.
“අපි ඉස්පිරිතාලෙට යමු.මට හිතෙන විදිහට උඹව ඉක්මනට ඇඩ්මිට් කරන්න ඕනේ. උබට සහලවල උන නේද”…
“නෑ… නෑ… මට උන නෑ…. දෙයියන්ගේ නාමෙට මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න හදන්න එපා.. එහෙම උනොත් උබට වරදින පලවෙනි තැන එතන…”
මට සේනා ගැන දැනුනේ වචනයෙන් කියන්න බැරි තරම් දුකක්. ඌ මගෙ අතිජාත… අර මේ මොකක්ද …මේ.. ඔයාලා කියන්නේ ..ආ.. අතිජාත බොක්ක…
ඉතින් ..ඉතින් .. එහෙම එකේ ඌ මේ විදිහට උන විකාරයෙන් දොඩවන එක බලාගෙන ඉන්න පුලුවන්ද..
“එපා…. එපා.. ලංකා… වැඩක් වෙන්නෙ නෑ..මට එච්චර කාලයක් නෑ.. උඹ වැරදියට හිතන්න එපා..මං උන විකාරයෙන් දොඩවනවා කියලා…
උබට මහන්සි ඇති…
මට එක උදව්වක් කරපන්.තර්ක කර කර ඉන්න වෙලාවක් නැහැ.මං උඹව උගුලකට අහු කලා කියලා හිතනවා නම් මට සමාවෙයං..මේක සදාකාලික රහසක් වෙයි කියලා මට බයයි.ඒ වගේම මේ ගැන නොකියා මම මැරිලා ගියොත් අඩුම තරමේ මගෙන්වත් මේ සාපය ඉවර වෙන්නේ නැහැ. දෙවියන්ගේ නාමයෙන් ලංකා… මම මැරුණහම
පුච්චපං… පැයක් ඇතුලත…
උඹ කිසි දේකට බය වෙන්න එපා.මම මගේ ලෝයර් ගාව අන්තිම කැමති පත්‍රයේ ඔක්කොම ලියලයි තියෙන්නේ.ඒ වගේම මේ දේපල හැම දෙයක්ම වසන්තිගේයි පුතාගෙයි නමට මම ලියලයි තියෙන්නේ.උඹ මට විකුණපු උබේ ගෙදරයි ඉඩමයි මම ආපහු සැරයක් උඹේ නමටම ලියලා ඉවරයි. මේ කිසි දෙයක් වසන්තිට දැනගන්න ඉඩ තියන්න එපා.මට තවත් කතා කරන්න බෑ.ලංකා..උබට පුළුවන් නම් අර ලාච්චුවෙ තියෙන කොළ ටික අරගෙන කියවන්න බලපන්….”