ළපෙති මල් -36

නිස්කලංක සති අන්තයක හවස් වරුවේ හිමංගි සිටියේ ගෙඋද්‍යානයේ මල් සිටුවමිනි.කොළඹින් එපිට පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක සති අන්ත විශේෂ දේශනයකට යන්නට නියම වූ රහල් නිවසේ සිටියේ නැත.මන්දාරා එදින දහවලේ තේජන සමඟ පිටතට ගොස් නිවසට පැමිණ සුළු මොහොතකි.සෝමදාස හා එක්ව ගෙඋද්‍යානය සකසන අතර හිමංගි ඉහළ මාලයේ සදැල්ල දෙස බැලුවේ මන්දාරාගේ සූ හඬට ය.

“ඇයි..සූ ගාන්නේ?”

හිමංගි අසන්නේ දෑත් ඉඟෙහි ගසාගෙන ය.

“තාත්තා නයෙක්ද අහන්න..”

මන්දාරා ප්‍රාථමික පන්තියක දැරියක සේ හිනැහේ.හිමංගිගේ අණ පරිදි තණකොළ කපන සෝමදාසට ද සිනා පහළ වේ.හිමංගි පැමිණි පසු මන්දාරා ද ඇය ද අතර ගැටුම් ඇති විය හැකි අන්දම ගැන ජයන්ති පැවසූ ඇඟ සලිත කරන කතා සිහි වෙද්දී සෝමදාසට උපදින්නේ කෝපයකි.

“නෝනලා දෙන්නගෙ වැඩේ සිරික්කිය.දෙන්නට දෙන්න නොදැක මොහොතක් ඉන්නෑ..ඒත් අර අම්මන්ඩි මවපු කතන්දරනෙ වැඩේ..”

සෝමදාස වේගයෙන් තණකොළ කපන්නේ ජයන්ති ගැන උපන් ආවේගයෙනි.
හිමංගි මන්දාරා පැවසූ දෙයට හිනැහෙමින් සඳැල්ලට ඇස් දල්වන්නී ය.

“තාත්තා සිංහයෙක් කියල මං දන්න හින්දා ඒ වගේ මෝඩ ප්‍රශ්න අහන් නෑ මං ඉතිං..”

මන්දාරා ද ඒ සිනාවට එක් වන්නී සැහැල්ලුවෙනි.

“අපෝ ඔයාගෙ කුමාරයට මං නයා කිව්ව කියලා අහු වෙන්න එපා හරිද? රෑට කන්නෙ මොනවද මිසිස් බමුණුසිංහ අපි?”

හිමංගි යළිත් සිය මිතුරිය දෙස බලන්නේ සිනා සඟවාගෙන ය.

“මේ සෝමදාස කපන්නෙ ඔයාගෙ ඩිනර් එක තමා බබා..”

හිමංගි එසේ කියා උස් හඬින් හිනැහෙන්නට ගත්තා ය.මන්දාරා ඈ වෙත ඇඟිල්ලක් උලුක් කරමින් තර්ජනය කරද්දී ඒ සිනාව තවත් දිගු විණ.

“මෙවන් ප්‍රැක්ටිස් ගිහින් එනකොට ඩිනර් අරන් එනව කීවා.ඔයා දැන් ගිහින් වොෂ් දාගන්නවද? නැත්තං පහළට ඇවිල්ල මට උදව් කරන්න.තේජනගෙ අම්මාටත් ලස්සන ගාඩ්න් එකක් තියනව නේද? ඒක හරියට මේන්ටේන් කරගන්න බැරි වුණොත් ඒ මනුස්සය මටත් එක්ක බනියි.වැඩක් පළක් ඉගැන්නුවෙ නෑ කියලා..”

මන්දාරා ආපසු කාමරයට ආවේ හිමංගි ගැන හදවත උතුරා යන සෙනෙහසකිනි.ඇය තමාට දැන් සලකන්නේ මිතුරියකට ලෙස නොව දියණියකට ලෙස බව දැනෙද්දී හදවතට දැනෙන හැඟීමට නමක් දෙන්නට ඇය වෙහෙසුණා ය.

“කවුද ඇවිත් නෝන..”

සෝමදාස පැවසුවේ පොහොර මිශ්‍රණයක් සකසමින් සිටි හිමංගිට ය.අනතුරුව ඒ කවුදැයි පරීක්ෂා කළ ඔහු ඒ සුනෙත් බව හෙළි කළේ ය.

“හිමංගි වැඩ වගේ..”

සුනෙත් රියෙන් බැස්සේ එසේ අසමිනි.හිමංගි සහ ඔහු අතර නෑකම ගැන හෙළිදරව් කිරීම කාලයට පවරන්නැයි සිරිමා මහත්මිය කළ ඉල්ලීම නොවන්නට ඔහුට සිතෙන්නේ හිමංගිව තදින් පපුතුරේ හොවා ගන්නට ය.එහෙත් ඔහු හැඟීම් වාවාගත්තේ ප්‍රවේසමෙනි.

“රහල්නම් තාම ආවේ නෑ මිස්ට සුනෙත්.මායි මන්දියි තමයි ගෙදර.එන්න වාඩි වෙන්න..”

හිමංගි හිස ඇල කර සිනා නගද්දී සුනෙත්ට සිහි වන්නේ හිමාලිගේ තරුණ විය ය. ගමකින් පැමිණි අහිංසක කෙල්ලක එතරම් රුදුරු ගැහැනියක බව තේරුම් ගියා නම් මේ යුවතියට ජීවය නොදී හිඳින්නට තිබුණු බව සුනෙත් සිතී ය.

“ගේට් එක වහන්න එපා සෝමදාස.දැන් මෙවන් එයි..”

හිමංගි සෝමදාසට උපදෙස් දෙන අතර තම සුනෙත් හා හිනැහුණා ය.

“හිමංගි ගාඩ්නින් වලට උනන්දුයි වගේ නේද? රහල් නම් මෙලෝ ආසාවක් නෑ ඕකට.මං නම් හරි කැමති සබ්ජෙක්ට් එකක්..”

සුනෙත් එසේ කියද්දී වගා පරිසරයක හැදී වැඩුණු තමන්ගේ අතීතය ගැන හිමංගි සැකෙවින් පැවසුවා ය.

“දැන් මේ බද්ධ කරලා තියන ගොඩක් පළතුරු ජාති එහෙම අපේ ගම්වල රූස්ස ගස් හැදෙන පළතුරු මිස්ට සුනෙත්.මං මේ වරකා පැලයක් ගෙනාවා.මේක පෝච්චියෙම පීදෙනවලු.දැන් මාදං පවා බද්ධ පැල තියනවනෙ..අපේ ගම්වල අහක දාන සමහර වල් ගස් පවා දියතේ එහෙම ලොකු ගාණක මල් පැල.සමහර ලස්සන දේවල්වලට ඇත්තටම මිලක් තියනව කියලා මටත් තේරුණේ කොළඹ ආවට පස්සෙ.”

ලෝකයේ නව ප්‍රවණතා ගැනත් විදේශයන්හි වගා ක්‍රම ගැනත් සුනෙත් පවසද්දී හිමංගි අසා හුන්නේ ආශාවෙනි.රහල්ගේ මිතුරන් ද ඔහු මෙන්ම ඇසූ පිරූ මිනිසුන් ය.අනෙක් කාරණාව සුනෙත් සමඟ කතාබහ කරමින් හිඳින්නට කැමැත්තක් සහ උනන්දුවක් තමන්ට ඇති බව ඇයට දැනෙයි.ඇතැම්විට ඒ ඔහු ඉතා බුද්ධිමත් සහ කරුණාවන්ත නිසා වන්නට ඇතැයි ඈ සිතුවා ය.

“ආනන්ද අබේනායකගෙ ටෙලි නාට්‍යයක් බලල තියනවද හිමංගි? අප්පච්චි කියල.මං හරි ආසයි ඒ ලයිෆ් එකට..ඈත ගමකට වෙලා වගාවක් කරගෙන ඉන්න මම ආසයි.”

සුනෙත් එසේ කියද්දී මන්දාරාගේ ඉල්ලීමට ඒ ටෙලි නාට්‍යය නැරඹු අන්දම හිමංගිට සිහි විණ.උසස් කලා නිර්මාණ රස විඳීමේ ගුණය මන්දාරා රහල්ගෙන් හිමි කරගෙන සිටියා ය.

“හරි ලස්සන ටෙලි නාට්‍යයක් තමයි.ඒත් මං ආස නෑ ඒකට..”

හිමංගි එසේ පැවසුවා ය.අනතුරුව එසේ පැවසීමට හේතුව ද හෙළි කළා ය.

“මට ඇත්තටම ඒ ගෑනු ළමයි හතරදෙනා ගැන ඉරිසියා හිතෙනව මිස්ට සුනෙත්.එච්චර ආදරේ හිතෙන අප්පච්චි කෙනෙක් ඉන්න එක ගැන මං ඉරිසියාවයි.මං ඉස්සර මන්දාරාටත් ඉරිසියාවයි.ජීවිතේ අපට ඕනෑම කරන ඒත් කවදාවත්ම නොලැබෙන දේවල්වලට ඉරිසියා කරන එක ගෑනු ගතියනෙ..”

සුනෙත් එබස් අසා කම්පිත වූයේ ය.දෑසට උනන කඳුලු හිමංගිගෙන් සැඟවීම පිණිස කඩුපුල් මල් පාත්තියකට නැඹුරු වූ ඔහු එය වඩා උනන්දුවකින් පිරික්සන්නට ගත්තේ ය.

අනවසර මෝටර් රථයක් සෝමදාස නොවැසූ ගේට්ටුවෙන් ඇතුළු වූයේ ද ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles