නිබ්බුත ගීත -21

ඒ මින් පෙර කිසි දාක නො සිදු වූ දෙයකි. අපේ ගෙදර එහෙම රණ්ඩුවක් තබා උස් හඬින් කතා කිරීමක් හෝ සිදු වන්නේ නොවේ. කුස පිරෙන්නට කන්නට නැතත් ඒ දුප්පත් නිවහනේ හිත පිරෙන්නට ආදරය තිබිණි. හද උතුරා යන්නට සැනසිල්ල තිබිණ. කුස ගින්නේ අප මිය යාවිද කියා කිසි දාක නො සිතූ, කට්ට කළුවරේ අපට සර්පයින් දෂ්ට කරාවිද කියා අප ගැන අනුකම්පාවෙන් විදුලි බල්බයක් දමා නොදුන් මිනිස්සු ඇවිත්, පන්සලක් වගේ තිබූ අපේ ආත්මීය සමාදානය හැඩි කොට අවුල් කොට විනාශ කොට දැමූහ. 

තවමත් මගේ මනසේ වන්නේ මල්ලී හා අවන්ත උනුන් හා පොර බදන දර්ශනයයි. එය හිතින් පහ කොට දැමීම පහසු නැත. අවන්ත ඇඟ පතින් මල්ලීට වඩා ලොකුවට හිටියාට මල්ලිගේ කෝටු ඇඟේ හයියට කිට්ටු වන්නට හෝ හැකි වූයේ නැත. රණ්ඩුව බේරීම වෙනුවෙන් නොව සිය දුර්වල පුත්‍රයා ගුටි කන එක වලක්වා ගැනීම පිණිස නීලිකා නැන්දාත් ආච්චි මමීත් කෙසේ හෝ දෙදෙන දෙපසට කළහ. අම්මා විස්සෝපයෙන් මල්ලීට පහර කිහිපයක් ද ගැසුවා ය. 

“මුන්ට හොඳක් වෙන්නනං එපා දෙයියනේ…අපේ ළමයින්ට පුරුදු නෑ මුං වගේ ගුස්ති අල්ලල..අනේ දෙයියනේ මේ වගේ ජරා ගෑනියෙක්ගෙං මගෙ පුතාව බේරල දැන්ම අපේ ඇස් වලට ඇත්ත පේන්න ඇරියට පින් සිද්ද වෙන්න ඕනෙ”

නීලිකා නැන්දා සාහසික ලෙස අපට අපහාස කරමින් දෙවියන් ට ස්තූති කළා ය. 

“සුදූ ගැන එකෙක් හරි තව ජරා කතාවක් කිව්වොත්…මෙතන මි ණී මැ රු ම ක් වෙන එක නතර කරන්න යකාටවත් බෑ. අන්න ඒක මතක තියා ගත්තොත් හොඳයි”

මල්ලී මහ ගෙදර ඇත්තන් ගේ මුහුණු වෙතට සිය දබරැඟිල්ල දිගු කළේ තර්ජනාත්මක බවකිනි. කිසිවෙකු වචනයක් නොකීවේ ඔහු එය නොකර ඉන්නට වුව බැරි නැති බවට හැඟීමකින් විය හැක. 

“නන්දනියො…”

ඉන් පසු ආච්චි මමී අම්මා වෙතට හැරුණා ය.

“මොනා නැතත් උඹට හරි චණ්ඩි පුතෙක් ඉන්නවනෙ බං. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. උඹලට නවාතැනුත් දීල ගුටිත් කන්න අපිට බෑ. පුළුවන් තරං ඉක්මනට…අද හෙටම උඹල මෙහෙං තොලොංචි වෙලා යන්න ඕනෙ. පව් කියල අනුකම්පා කළහම උන් එනව කියහංකො අපේ ඔළුවට අත හෝදන්න”

“නෑ යන්නෙ නෑ. මේවයෙ අපිටත් අයිතියක් තියනව”

මල්ලී නැවතත් කුපිත වූයේ ය.

“රාහුල් කට වහගෙන උඹ පලයං ගෙට”

අම්මා යක්ෂාවේශයෙන් සේ කෑ ගැසුවේ ඇය අන්තයට ම අසරණ වූ නිසා බව මම දනිමි. ඇය සියල්ල ඉවසා දරා සිටියේ මේ සෙවන අහිමි කර ගනු බැරි නිසාවෙනි. නමුත් ඈ බලාපොරොත්තු වූ අවසානයට පෙර එය සිදු වෙමින් තිබේ!

“ඈ යකෝ ඒ කොහේ තියන අයිතියක්ද…උඹෙ අප්පගෙං ලැබිච්ච අයිතියක්ද…නන්දනී…මං නොකිව්වයි කියන්න එපා. සතියක් දෙන්නං මං සතියක්. ඊට එහාට උඹලට මෙහෙ ඉන්න බෑ”

ඒ අවසාන තීන්දුව සේ සලකා ඔවුන් නික්ම ගියේ විජයග්‍රාහීව ය. මඳක් පමා වූ වසන්ති පුංචී මට සමීප ව, “ලොකු අතු අල්ලන්න යන්න හදන්නෙපා නිබ්බුතා. මං කිව්ව වගේ රස්සාවක් හොයා ගෙන මේ ප්‍රශ්න ටික විසඳ ගන්න බලන්න”

කියා නික්ම ගියා ය. ගල් ගැහී ඇති දෙපා අද්ද අද්දා  මම මල්ලී ළඟට ගියෙමි. ඔහු ගේ ඇස් වල වූයේ අම්මා හා මා ආරක්ෂා කිරීමේ පරම වගකීම සිය හිස මත දරා ගත් පෙනුමකි. එතෙක් හදවතේ හිර කර ගෙන උන් ඉකියක් විලාපයක් ව පිට වෙන්නට හැදුවද මම සුසුමක් හෝ පිට නොකර මල්ලීව බදා ගතිමි. ඔහු වඩාත් තදින් සිය දෑත් මා වටා දමමින් මා වැළඳ ගත්තේ ය. මේ වෙලාවේ මට මල්ලී තාත්තා කෙනෙකු වාගේ දැනිණ. 

ඔහු මාත් එක්ක මට හයියක් ව සිටීම ගැන මම මගේ ඉරණමට හෝ දෛවයට හෝ දෙවියන්ට හෝ ස්තූතිවන්ත විය යුතු ය. ඔහු මා විශ්වාස කිරීම ගැනත් මට වැටෙන්නට නොදී හිඳීම ගැනත්, මට එහෙව් සහෝදරයෙකු ලබා දුන් අම්මාට හා අප දමා ගිය තාත්තාට ද ස්තූතිවන්ත විය යුතු ය. 

අප වචනයක් හෝ කතා නොකළ බව මට මතක තිබේ. වචන කෝටි ගණනක් අපේ පපු ඇතුළේ සුළි සුළඟක් වගේ කැරකෙමින් තිබෙන්නට ඇත. අම්මා ඇවිත් අප දෙදෙනාව ම වැළඳ ගත්තා ය. 

තව ඉස්සරහාට බොහෝ නපුරු දේවල් වලට මුහුණ දෙන්නට සිදු විය හැකි බව අපේ යටි හිත් හොඳින් දැන සිටින්නට ඇත. නමුත් අපි එකිනෙකා ඉදිරියේ ඒවා ගැන කතා නොකර සිටියෙමු. එන හැටියකට මුහුණ දෙන්නට ඉනික්බිති අප තිදෙනා ම නිහඬ සම්මුතියකට එළඹුණා සේ ය.

මල්ලී පසු දා පාසල් නොගියේ ය.

“අර කුළු මීමා රා බීපු නාලාගිරි ඇතා වගේ කුලප්පු වෙලා එන්න බැරි නෑ අපි කවුරුත් ගෙදර නැති වෙලාවට”

මහ මිනිසෙකු සේ මගේ රැකවරණය ගැන හිතා මල්ලී එහෙම තීන්දු තීරණ ගනිත්දී වාවා ගත නොහැකි හැඟුම් සමුදායක් පපුව ඇතුළේ හිර වී මගේ ශ්වසනය අවහිර කරවී ය. සමහර ඉස්සර දවසක සේ ‘තනියම ඉන්න නිසා සුදූ යං මාත් එක්ක’ කියා අම්මා මට කතා කළේ නැත. එහෙම කියන්නට බැරි කමක් ඇයට වේ. ඒ නිසා ම කම්මැළි කමට ඉස්කෝලේ නොයා ඉන්නට හැදූ ඇතැම් දිනෙක මෙන් මල්ලී ට බැණ බලහත්කාරයෙන් හෝ පාසල් යවන්නට ඇයට දිරියක් වූයේත් නැත.

“හැමදාම ඕක කරන්න බෑනෙ. මොකද ඉස්කෝලෙ නොයා ඔයා මට තනි රකින්නද…ඕලෙවල්ස් වලට මාස කීයද…”

මා මල්ලීට ආදරයෙන් නෝක්කාඩු කීවේ පාසල් නොයා සිටීම ලොකුවට නො දැනෙනු වස් දවසේ පාඩම් ටික කියා දෙන්නට ඔහු ව ළඟට ගනිමිනි.

“මට ඉතින් ඒ අටේ නවයෙ හීන නෑනෙ. යන්තං ගොඩ ගියානං ඇති”

ඔහු අහිංසක ලෙස සිනහ වූයේ ය. නව යොවුන් මල්ලී ගේ මුහුණ තුළින් මට මැවී පෙනුණේ ළමා මල්ලී ගේ අවිහිංසක මුහුණ ය. මහ ගෙදර ඇත්තන් ඇට්ටර කොල්ලා යි ඒ දින වලත් මල්ලී හඳුන්වමින් කීව ද මට නම් කවදත් ඔහු අහිංසක ය.

“පිස්සු නටන්න හිතන්නවත් එපා. අපිට තියන එකම පාර ඉගෙනීම. ඒ ලෙවල්ස් කරන්නම ඕන”

“නැත්තං දොස්තර නෝනගෙ තත්වෙට හරි මදි නේ…”

“මෝඩයො…දොස්තර නෝනා කෙනෙක් වෙන්න කලින් නිබ්බුතා කියන දුප්පත් කෙල්ලගෙ ලෝකෙ වෙලා තිබුණ හැම දේකටම මං හරි ආදරෙයි. මේ තාරකා මලකට පවා…මගෙ ජීවිතේ තියෙනකල්ම…”

මනුෂ්‍යයන් ට වඩාත් ම උවමනා මොනවා දැයි සමීක්ෂණයකින් තොරතුරු සොයා බැලුවහොත් ඒ ආදරය කියා අනාවරණය කර ගන්නට හැකි වනු ඇත. නමුත් ආදරය කියන්නේ කවරක් ද? ස්පර්ශ කළ නොහැකි, ඇසින් දැකිය නො හැකි යමකි. ඒ දැනිය හැක්කේ හදවතට ය. අපි වත් පොහොසත් කම් අතින් කෙතරම් පහළ අඩියක සිටිය ද ආදරය අතින් පොහොසත් හිත් ඇත්තෝ වෙමු. වේලක් හැර වේලක් කුස පිරුණ ද අපි අපට ආදරය කළෙමු. පාන් කැබැල්ලක් හෝ තුනට බෙදා ගෙන කන්නට වීම ආශ්වාදයක් සේ සැලකීමු. අම්මා හෝ මල්ලී සෙම්ප්‍රතිශ්‍යාවකින් හෝ පෙළෙනා දිනෙක මහ රැයේත් අවදි වී  මා ඔවුන් හුස්ම ගන්නවා දැයි හඬ අසා උන්නා මතක ය. පහන් එළියක් නොදැල්වෙන ඝණඳුරු රාත්‍රියෙහි අපට අප හුස්ම ගන්නා බවක් පෙනෙන්නේ නැත!

බාච්චු ගවුමක් ඇඟ ලා ගෙන උස කොස්සක මැදින් අල්ලා ගෙන ඔවුන් ගේ දිළිසෙන බිම අතු ගෑ පුංචි ම කෙල්ල ගැන මතක අමතකව නොතිබියදීත් ඒ කෙල්ලට ආදරය කරන්නට තරම් අභීත වූ ලෝචන මදුරාපුර කියන්නේ දිනෙක මට අහිමි වන්නට නියමිත වූව ද, ආදරයේ ශුද්ධ වූ දෙව් රුව බව මම සදහට විශ්වාස කරමි. ඒ වූ කලී මගේ දුප්පත් අම්මා හා මල්ලී ගැන කාලයක් තිස්සේ ආත්මය තුළ හෙමි හෙමිහිට ගොඩ නැගුණා වූ ආදරයේ බරට සමාන හැඟීමකි.

ගින්දරක රස්නයක් පපුවේ වුණත් දෙදිනක් ම මම මල්ලී එක්ක පාඩම් වැඩ වලට අවධානය යොමු කළෙමි. ඇස් කෙවෙනි වල වැලි වැටුණා වැනි කෙවීමක් වූයේ ය. හිත ඇතුළේ තෘප්ත කළ නො හැකි අනියත බලාපොරොත්තුවක් වද වූයේ ය. ඒ ලෝචන බව මා හරියට ම පසක් කොට ගත්තේ හැන්දෑවේ ඔහු මල්ලී සොයා ගෙන අපේ ගේ පැත්තේ පැමිණි කල ය. එතකොට මා සිටියේ ලෑලි බංකුව මත වාඩි වී ගෙන ය. ලෝචන මගේ ඇස් වලින් සංවේගයට බර කතාවක් කියවා ගන්නට ඇත. ඔහු මල්ලී එක්ක ක්‍රිකට් ගසත්දී මම ගෙතුළට වැදුණෙමි. මහ ගෙදර අයගේ ඇස් වල කටු ඇනිය යුතු නැත.

ටික වෙලාවකට පස්සේ ගෙතුලට වැටුණ දැවැන්ත හෙවනැල්ල නිසා මම හිස නගා බැලුවෙමි. ඒ වෙලාවේ මා සිටියේ බිත්තියට හේත්තු වී බිම හිඳ ගෙන ය. උළුවස්ස අත් දෙකෙන් අල්ලා ගෙන ලෝචන මදෙස බලා සිටි ඇස් වල වූ හැඟීම් ගැන මට තේරුමක් නැත. ඔහු දුටු වන මගේ පපුව හෝස් ගා දැවී ගිය ද අධිකතර ප්‍රීතියක් එක්ක මම නැගී සිටියෙමි. ලෝචන අඩියක් දෙකක් තබා මවෙතට ආවේ ය. අපේ පහත් වහලයේ දැන් දැන් ඔහු ගේ හිස වැදේවියි මා බලා සිටියේ සිනහවකිනි. 

“මෙච්චර දේවල් වෙද්දිත් ඔහොම හිනා වෙලා ඉන්නෙ කොහොමද…”

ඔහු ගේ ඒ වදන් පෙළෙහි ඇරඹුමේ සේම අවසානයේ ද සුසුමක බර රැඳී තිබිණ.

“මට හෙට ඉඳල වැඩ බාර ගන්න වෙලා තියෙනව. නිතර හවසට එන්න බැරි වෙයි. වීක් එන්ඩ් එකේ තමයි මට ඔයාව දකින්න වෙන්නෙ. පරිස්සමෙන් ඉන්න ඕන තේරුණාද…”

මම මඳහසකින් හිස සැළුවෙමි. ඒත් ඇයිදෝ මන්දා ඇස් වලට ගිනියම් කඳුළක් උනා ගෙන ආවේ ය. 

“අපි හිතන තරං යකා කළු නොවෙන්න පුළුවන්. කොහොම වුණත් ඉවසීමයි පරිස්සමයි වැදගත්..මල්ලිට ඉස්කෝලෙ නොයා ඉන්න බෑනෙ. දැං මං දවල්ට ගෙදර නැති නිසා ඔයා අම්ම එක්ක අපේ ගෙදර යන්න. මල්ලි එක්ක එන්න. මොන දේ සිද්ද වුණත් මං වෙනුවෙන් ඉන්න”

ඔහු මා සිය තුරුලට ගත්තා ද නැත්නම් මා ඔහු තුරුලට වූවා ද කියන්නට නො දනිමි. ඇතැම් විට ඒ දෙක ම එකවර සිදු වෙන්නට ඇත. හිත හරියට රිදෙමින් තිබිණ. නමුත් මා හඬන්නට ගියේ නැත. ඒ සියල් රිදුම් සුවපත් කරනා සුවයක් ලෝචන ගේ අත් දෙකත් පපුවත් මැද්දේ තිබුණේ ය. ඕනෑ තරම් වෙලාවක් නො මිදී ඒ උණුහුමට ගාල් ව ඉන්නට හිතෙනා විදිහේ ලෝභී හැඟීමක් මා වසා ගන්නට ඇත. නමුත් අපට ඒ තරම් කාල වේලාවක් නොමැති බව වදනින් නොකීව ද අපි දැන සිටියෙමු. 

“මං හරි ආදරෙයි නිබ්බුතා. ඒක කවදාවත් කොච්චරක්ද කියල වචන වලින් ඔයාට කියන්න මට බැරි වෙයි. ඒත් ඔයාට දවසක දැනෙයි”

අතේ ගුලි කර ගෙන උන් තාරකා මලක්  මගේ වරලේ රඳවමින් ලෝචන මගෙන් මිදුණේ ය.  වෙන් වෙන්නට බැරි දුක් හැඟීමකින් පපුව බර වී තිබිණි ද ඔහු කම්බි වැට පැන යන්න ගියේ ය.

ඉන් පසු මල්ලී පාසල් යන ගමන් ඔහුත් එක්ක මම මදුරාපුර මැදුරට ගියෙමි. සමහර දවසක ලෝචන නික්ම ගොස් තිබිණ. සමහර දවසක ඔහු ඉන්නා බවට සලකුණු තිබිණි. නමුත් අම්මා මට කුස්සියෙන් හෙළවෙන්නට දුන්නේ නැත. එවන් විටෙක වතුර එකක් ඉල්ලා ගෙන ලෝචන කුස්සියට ආවේ ය. සුදු අත් දිග ස්ලිම් ෆිට් කමිසක් අළු,කළු හෝ බේජ් පැහැති කලිසමකට හැඳ කණ්ණාඩි තරම් දිළිසෙන සපත්තු පැළඳ කොණ්ඩය ජේත්තුවට සකසා සිටින ඔහු මට මගේ ඇස් මුදා ගන්නට අමතක කරයි.

“මං ගිහිං එන්නං නිබ්බුතා”

කියා ඔහු කියන්නේ කවදාවත් මගේ ජීවිතයෙන් නික්ම යා නො හැකි හඬ තානයකිනි. ඒ වචන තුළ ඔහු නො කියා කියන ‘මං ඔයාට ආදරෙයි නිබ්බුතා…පරිස්සමට ඉන්න නිබ්බුතා…මං ඔයාට නැති වෙන්නෑ නිබ්බුතා’ වැනි වචන කෝටි ගණනක් මට දැනේ.  ඔහු ගල්වන මිලාධික ‘හියුගෝ බොස් සිලෙක්ශන්’ වර්ගයේ විලවුන් සුවඳ ඉන් පසු දවස පුරා මගේ හදවතින් බැහැර ව නො යයි.

ලෝචන මදුරාපුර කියන්නේ ප්‍රේමයට කියනා පර්යාය පදයකි! 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles