සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

කෑම මේසය සූදානම් වෙන තුරු අපි තිදෙන බරාඳයට වී කතා කරමින් සිටියෙමු. තිදෙනා කීවාට වැඩිපුර කතා කළේ අම්මා හා සංකල්ප ය. මා නිහඬ ව අසා සිටියා පමණකි. ඔවුන් වැඩිපුර කතා කළේ රත්නපුරයේ පරණ අසල්වැසියන් ගැන ය. අම්මා ගේ අතීත මතක අස් කොන් පාදා සංකල්ප ඒවා අලුත් කර දුන්නේ ය. මට කතා කරන්නට තරම් දෙයක් තිබුණේ නැතත් මා එතැනට වී සිටියේ සතුටෙනි. අම්මා මේ තරුණයා කෙරේ පැහැදීමෙන් පසු වන බව පෙනෙන්නට තිබිණි. ඔහු අම්මා ගැන සැබෑ ආදර ගෞරවයකින් හැසිරෙන බව ද පෙනෙන්නට තිබිණි. මට දැනුණ සතුටටත් සැහැල්ලුවටත් හේතුව එය කියා සිතමි.

මීට පෙර මා ඇසුරු කළ තරුණයන් තිදෙනා ම සංකල්ප ගේ මෙවැනි ගතිගුණ දැරූ අය නොවේ. එක්කෙනෙක් නිතර ම මගේ අප්පච්චි ව විවේචනය කරමින් කතා කළේ ය. අනිත් කෙනා විවාහයෙන් පසු බිරිඳ ගේ දෙමාපියන් දකින්නවත් රිසි වූ කෙනෙක් නොවේ. අනිත් කෙනා අපේ ව්‍යාපාර වලට ඇස ගසා ගෙන මට ලං වූ බවක්, ඔහු කී කතා අනුව මට සිතා ගත හැකි විය. අම්මා ටත් අප්පච්චි ටත් වඩාත් ළෙංගතු අයෙකු වූ මට, විවාහය හෝ පෙම්වතා යනු දෙමාපියන් ගෙන් මා වෙන් කරන බෙදුම් රේඛාව කර ගන්නට කොහෙත් ම ඕනෑ වූයේ නැත.

අනිත් අතට අම්මා සංවේදී ගැහැනියකි. අයියා හා අක්කා සිය විවාහයන් සමග ඇයගෙන් ඈත් වෙත්දී, ඔවුන් සිහි කොට ඈ කඳුළක් පිස ගන්නා අයුරු පවා මා දැක තිබේ. අක්කා ගේ සැමියා අපේ මවු පියන් ට කොහෙත් ම සමීප වූයේ නැත. එක වහලක් යට හිටියත් අයියා ගේ බිරිඳ ප්‍රියංවදා සට කපට ගැහැනියක බව අම්මා දැන සිටියා ය. ඇයට සැබෑ මාතෘත්වයකින් සලකන බෑනා කෙනෙකු හෝ ලේලියක නො වීම ගැන, කාටවත් නො කීවත් අම්මා තුළ සන්තාපයක් වන්නට ඇත.

සංකල්ප අම්මා කෙරේ පෙන්වන මේ මිත්‍ර ශීලය ගැන අම්මා බෙහෙවින් සතුටු වන බවක් පෙනිණ. අනිත් අතට අවුරුදු අටේදී මවු අහිමි වූ සංවේගය වසර විස්සක් හදවතින් දරා උන් කොල්ලෙකුට, කට පුරා අම්මා කියා කතා කළ හැකි පිටස්තර කාන්තාවක ගේ සම්මුඛ වීම දේවාශීර්වාදයක් සේ දැනෙන්නට ඇත. ඒ සියල්ල එක් වූ තැන මගේ හදවත තටු ලැබූ විහඟ වේශයෙන් අපේ ම හිස් වලට ඉහළින් පා වෙවී තිබිණ.

කෑම මේසයට යත්දී අම්මා සංකල්ප කෙරේ වඩාත් ගෞරව සම්ප්‍රයුක්ත වූවා කියා සිතමි. කර දඬු උස් මහත් වූ තමන්ගේ ම පුතෙකු කෙරේ අම්මා කෙනෙකු තුළ උත්පාද වනාකාරයේ අපරිමිත බවකි එය. අයියා අසල දී අම්මා තුළින් එහෙව් විකිරණයක් මම අත්විඳ ඇත්තෙමි. නමුත් ප්‍රියංවදා ඉතා සියුම් හා දුෂ්ට ස්වරූපයකින් අම්මා වෙතින් ඒ අයිතිය උදුරා ගත්තා ය.

“අම්මටත් තියෙන්නෙ දැං රත්නපුරේට ඇවිත් නතර වෙන්න”

කෑම කන ගමන් සංකල්ප කීවේ ය. මගේ අතුණුබහන් සීතල වෙනවා මට දැනිණි. කෙසේ වෙතත් අම්මා ගේ මුහුණ ට ආ නිරායාස සිනහව තෘප්තිමත් එකක් බව පෙනුණේ ය.

“විවේකයෙං ඉන්න කොළඹට වඩා මෙහෙ පරිසරයත් හොඳයිනෙ”

“ඒක ඇත්ත. ඒත් පුතා මේ හැම දේම පිළිවෙලක් කරනකල් ඕව ගැන හිතන්නවත් බෑ”

“ඔය බොරු සංකල්ප. මාත් කොච්චර කියනවද මාත් එක්ක මෙහෙ ඉමු කියල. අම්ම ඉන්නෑ”

“මං මෙහෙ ඉඳල ඔයාට අයිති වෙන්න තියන බිස්නස් ශෙයාස් අත්ඇරිල යන්න දෙන්න බෑ උත්තරා. බිස්නස් සල්ලි වගේ දේවල් වලදි සහෝදරයො වුණත් ලොකුවට විශ්වාස නොකළට කමක් නෑ. අප්පච්චි අන්තිම කාලෙ මට නිතර නිතර කියපු දෙයක් ඒ. ඒ මනුස්සය මැරෙන්න වැටිල ඉද්දිත් ඔයා ගැන හිතපු එකේ…මං මේව අත්ඇරල දැම්මොත් මට සාප කරයි”

අම්මා ගේ හඬ බිඳී යන බවක් දැනිණ..මගේ ද ඇතුළාන්තයේ පැතිර යන රිදුමක් විය. සංකල්ප මුණිවත රැකගෙන සිටියේ ය.

“කාලාන්තරේකට පස්සෙ මේ ගෙදර මේ වගේ හිනා කතා හඬවල් ඇහෙන්නෙ. අනේ ඇත්තමයි ලොකු නෝනා අපේ සුදු බබා පෙළවහන් වෙලා මේ විදිහට මේ ගෙදරම නතර වුණානං මොන තරං සිරියාවද කියල මට හිතෙනව”

නීලා කීවා ය. අම්මා ගේ මුහුණ මත ආඩම්බරකාර සිනහවක් විය. නමුත් ඇය කිසිත් කීවේ නැත.

බෙහෙත් බොන්නට ඇති බව කියා කෑමෙන් පස්සේ අම්මා කාමරයට ගියා ය. සංකල්ප නික්ම යන්නට අම්මා ගෙන් සමු ගත්තේ ය. මම ඔහු ත් සමගින් ම මිදුලට බැස්සෙමි.

රාත්‍රිය ත් සීතලත් මැනවින් මුහු වී තිබුණේ ය. මම දෙඅත් පපුව මත බැඳගෙන සිටියෙමි. සංකල්ප සිය දෑත් කලිසම් සාක්කු වල ඔබා ගෙන සීතලෙන් හැංගුණේ ය.

මෙහෙම ඔහු නික්ම යන එක ගැන ප්‍රථම වරට මා තුළ ලෝභී සිතිවිල්ලක් උපන්නේ ය. ඔහු තුළත් එවැනි ම කල්පනාවක් වූවා දැයි නො දනිමි. කෙසේ වෙතත් ඔහුත් ගමන් කළේ කතා බහකින් තොර ව ය.

“ඔයා දැං නවතින්න”

අතර මගකදී නතර වී ඔහු කීවේ ය. ඇත්තට ම මගේ යටි හිතට ඕනෑ වූයේ ඔහු ඉන්නා තැනක නතර වන්නට බව මම නො කියා හිටියෙමි.

සංකල්ප නතර වී සිය වමතින් මගේ කොපුල ද ගෙල ද කන් පෙත්ත ද හසු වන සේ අල්ලා, අනිත් කොපුල මත සීතල තොල් වලින් හාදුවක් තැබී ය. මම ගල් වී සිටියෙමි. ඔහු සීතලේ ඈත් ව ගියේ ය.

අඳුරු සෙවනැල්ල තවත් ටිකක් ඈතට යන තුරු බලා උන් මම දෙපා අද්ද අද්දා ගේ දෙසට ආවෙමි. ඔහු ගේ අතට තද වූ කරාබුව කන පිටුපස ඇනී එතැන රිදුමක සේයාවක් දැනිණි. මම එතැන ඇඟිල්ලකින් පිරිමැද  ගතිමි. ලවන් අතරේ තුනී මන්දස්මිතයක් පා වෙන්නට ඇත.

කාමරයට ඇවිත්, ජනේලය ළඟට වී මම පිටත බැලුවෙමි. ඈත කඳු පැහැදිලි ව නො පෙනෙතත්, ඒ කඳු වල තැන් තැන් වල දැල්වෙන විදුලි එළි, කණාමැදිරි තිත් සේ පෙනේ. ඒ එළි දැල්වෙන හැම ගෙදරක ම අනේක විධ හීන හා බලාපොරොත්තු වලින් පිරී ගත් හදවත් ඇති මිනිසුන් ජීවත් වෙනවා නොවේ ද? ඒ හදවත් ගැහෙන්නේ ත් ඔය විදුලි බබුළු ගැහෙනාකාරයෙන් ම නො වනු ඇත්ද?

දුරකතනය ට පණිවිඩයක් ආවේ ය. ඒ සංකල්ප ගේ ගීතයකි. මම ඉයර් ෆෝන් ගසා ගෙන එය අසමින් ම කළුවර අනන්තයෙහි ඇස් හොවා ගෙන සිටියෙමි.

“සිහිල් සුළං රැල්ලේ ඔබේ සුවඳ මුසු වේ…ආදරයේ මඳ සිනිඳු පහස ලැබ හදවත දලු සෙලැවේ”

එ හඬ හා මේ සීතල පරිසරය අතරේ වන්නේ කෙතරම් කදිම සහජීවනයක් ද? මම කයුළුව හැර සීතල අවකාශය ට අත පෑවෙමි. ඔහු මේ හැම තැනක ම, හැම සීතල අංශුවක ම ඉන්නවා සේ මට දැනෙන්නට ගති.

“සුදු වැලි කතරේ පිපුණු මල වගේ ලොව්තුරු රස ගංගා…ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ”

ඇස් තෙත් වුණේ ඇයි කියා නො දනිමි. කෙසේ වෙතත් රැය පහන් වන තුරු ම නින්දේ දී මගේ ඇතුළු හද ගැබ ගීයක් මුමුණමින් සිටියේ ය.

“ඔබේ ආදරේ වරුසා වැහැලා කතර දෙව් ලොවක් වේ…”

මා උදේ පිබිදියේ ත් ඒ සතුටත් එක්ක ය. අද දවසත් මාත් එක්ක ගත කරන්නට අම්මා පොරොන්දු වී සිටියා ය. සූරිය කන්ද පැත්තේ යන්නට මම සංකල්ප ට යෝජනා කළෙමි. මේ දවස උදා වූයේ ම ඒ සතුට අපේ ජීවිත වලට උදා කරන්න ට ය. අප්පච්චි මිය ගිය පසු මා වැඩියෙන් ම සතුටු වූ හෝරා කිහිපය ඒ කියා සිතමි. අම්මා ගේ ඇස් වරින් වර මා ව සේ ම සංකල්පව ද කියවා ගන්නට තැත් කරනා බවක් ද නො දැනුණා නොවේ. ඒ රහස දැන් ම අම්මා ට වුව හෙළිදරවු කිරීමේ බියක් මට විය. දොස්තර මනාලයා ගේ යෝජනාව ගැන අයියා සිටින්නේ මහත් බලාපොරොත්තු තබා ගෙන ය.

අප ගෙදර එන විට අයියා හා ප්‍රියංවදා පැමිණ සිටියහ. ඔවුන් ගේ මුහුණු වල හොඳක් වූයේ නැත. නීලා ගේ මුහුණේ භීතියක් තිබුණේ ය. මගේ හිතට කිසියම් අශුභවාදී හැඟීමක් දැනිණ.

“අම්මත් මෙහෙට වෙලා ඉඳං පණින රිලවුන්ට ඉණිමං බඳින්නද හදන්නෙ…”

අයියා අම්මා වෙතට ඉතා මත් දැඩි ව චෝදනා කළේ ය. ඔහු ගේ ඇස් ගිනි ගනිමින් තිබිණි. බිය නොවී ඉන්නට මට ඕනා වුණත් හිත යට ගැස්මක් නො තිබුණා ම නොවේ.

“මොකද්ද ඔයා කියන්න හදන්නෙ..”

අම්මා අයියා ව ප්‍රශ්න කළා ය.

“කියන්න හදන්න අම්ම මේ කරන්න යන්නෙ අම්මා කියන වචනෙටවත් ගැලපෙන දෙයක් නෙවෙයි කියලයි”

අයියා කෝපාවිෂ්ඨ ව කෑ ගැසුවේ ය.

“මොකද මේ කෑ ගහන්නෙ…මොකද්ද දැං මෙතන වෙලි තියෙන්නෙ…”

“කට වහපං”

කියමින් අයියා මගේ කම්මුලක් හරහා අතුල් පහරක් එල්ල කළේ ය..ඒ පහර කෙතරම් තදින් මට දැනුණේ ද යත්, විනාඩි කිහිපයක් යන තෙක් මම කම්මුල දෝතින් ම අල්ලා ගෙන සිටියෙමි.

“මොනාද මේ කරන්නෙ…ඔයාට කිසිම අයිතියක් නෑ නංගිට මෙහෙම ගහන්න. අනික ඒ ළමය මොනා කළාටද…”

“මොනා කළාටද…මේකිට මෙහෙට වෙලා ඕන මගුලක් නටන්න ඇරල ඔයා ඇස් කන් නැති ගාණට බලං හිටිය. දැං ඇවිත් මේකිට ඒවට උඩගෙඩි දෙනව”

“පුතා මේ…අප්පච්චි මැරුණට අම්ම තාම මැරුණෙ නෑ කියල ඔයා මතක තියා ගන්න. නංගි ගැන බලා ගන්න මං ඉන්නව. හේතුවක් නැතුව ඔයාට බෑ මේ විදිහට මේ කෙල්ලට ගහන්න”

“තමුං අම්ම කෙනෙක්ද ආ…”

එවර කට දමා ගෙන ආවේ ප්‍රියංවදා ය.

“ෂ්…මේ..ඔයාට අයිතියක් නෑ අපේ අම්මට ඔහොම කතා කරන්න හරිද…ප්‍රශ්නයක් තියෙනවනං අපි විසඳ ගන්නං. ඔයා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නවද..”

මීට පෙර කවදාවත් මා ප්‍රියංවදා ට එසේ කතා කොට නොමැත. මේ වෙලාවේ ඒ පිට වූයේ අයියා පිටිං යවන්නට බැරි කේන්තිය වන්නට ඇත.

“ආ එහෙමද…බලන්නකො මෙයා ගිහිං තියන උඩ. හරියට ලොකු බිස්නස් කාරයෙක් ව අල්ලගෙන වගේ”

ඇය මට සමච්චලයට සිනහ වූවා ය.

“නෑ නෑ. ඔයාට ලොකු බිස්නස් කාරයෙක් අල්ලගන්න ඕන වුණාට මට එහෙම නෑ තමයි”

මා කතා කළේත් සාවඥව ය. එය දරා ගන්නට බැරි ව අයියා යළිත් මට ගහන්නට පැන්නේ ය.

“පුතා එපා. නවත්තනව ඕක…නවත්….”

අන්තිම හරියේ දී අම්මා ගේ හඬ දුර්වල ව ගියේ ය. ඇය වේදනාවෙන් පපුව අල්ලා ගන්නවා මට පෙනිණි.

“අම්මා…”

මම කෑ ගසා ගෙන ඇය වෙතට පැන්නෙමි. ඒ මොහොතේ දී මරණ බය කියන දේ මට හොඳට ම දැනිණ. එය දැනෙන්නේ තමන් මරණීය නිමේශයකට එළඹෙත්දී ම නොවේ!

අම්මා ව වහා ම රත්නපුරයේ පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගොස් මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරු ව ගිලන් රථයකින් කොළඹට ගෙන යන ලදී. ගිලන් රථය තුළ අම්මා සමගින් හිඳ උන්නේ මා ය. අම්මා සිටියේ දැඩි වේදනාවක් උහුලා ගනිමිනි. මම ඇගේ අතකින් අල්ලා ගෙන කඳුළු සලමින් සිටියෙමි. සැබවින් ම මට හඬන්නට ඕන වුණේ නැත. නමුත් සොරොව් හැරියා සේ කඳුළු ඉහිරුණේ ය. මම ඉක්මනින් ඒවා පිසදැමුවෙමි. නමුත් එසැනෙන් නැවතත් කඳුළු වැටුණේ ය.

මා සිටියේත් එක්තරා ආකාරයක විකල් සිහි තත්වයක කියා සිතමි.

කොළඹ පුද්ගලික රෝහලක අම්මා ව නේවාසික කෙරිණ. හොඳ ම හෘදය රෝග විශේෂඥවරු ඇය ට ප්‍රතිකාර කළහ.

“අම්මට හාට් ඇටෑක් එකක් ඇවිත් තියෙන්නෙ”

ඔවුහු කීහ.

ඒ දින කිහිපය මා ගත කළේ ගොළුවෙකු සේ ය. මම දැඩි කම්පනයක පසු වීමි. වචනයක් දෙකක් හෝ මා කතා කළේ දුරකතනය ඔස්සේ සංකල්ප සමගින් පමණකි. එද මා නොව කතා කළේ ඔහු ය.

“ශොක් වෙන්නෙ නැතුව ඉන්න. දැං ඉන්නෙ බරපතල තත්වෙං අම්මා ගොඩ ගියානෙ. අපි එයාව හොඳට බලා ගමු. මෙහෙ ගෙනත් තියා ගෙන හිතට කිසි කරදරයක් නොවෙන විදිහට පරස්සං කරගමු. ඔක්කෝටම ඉස්සෙල්ල ඔයා හොඳ සිහි කල්පනාවෙං වැඩ කරන්න ඕනෙනෙ. ඒක නිසා වැඩිපුර කල්පනා කරන්න එපා. දැං ඉතිං ටිකක් හරි කාල බීල ඉන්න”

කතා කරන හැම විටෙක ම ඔහු කියයි. ඔහු මගේ හිත හදන්නට හැදුවාට අයියා හා ප්‍රියංවදා උත්සාහ කළේ ම ඒ හිත ගිලන් කරන්නට ය.

“ඔයා නිසා තමයි මේ ඔක්කොම. අම්මගෙ ජීවිතේ ගැන ආදරයක් තියෙනවනං වෙඩින් එකට ලෑස්ති වෙනව. අනවශ්‍ය ප්‍රශ්න අම්මගෙ ඔළුවට දාන්න එපා කියල මතකද ඩොක්ට කිව්ව…ඒක නිසා කාගෙ කාගෙත් හොඳට ඔයා කරන්න ඕනෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර මේකට කැමති වෙන එකයි”

මම හදවතින් දැවෙමින් සිටියෙමි. අයියා ට එරෙහි ව ගොස් ඔහු ගේ කඋ කෝ ගැසීම් මත අම්මා නැවතත් ලෙඩ වේවිය කියන බිය දරුණුවට මා අසරණ කරමින් තිබිණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content