ඔයා මොනවද කළේ?

“රිද්ම..එන්න මේ පහන පත්තු කරන්න..”

රංගන තමන්ගේ සේවක මණ්ඩලයේ එකිනෙකාට අඬ ගහන හැටි චූලනි බලාගෙන හිටියේ මඳ සිනාවකින්.ඒත් හැමෝම හිටියේ වෙනම කල්පනාවක.”චූලනි මැඩම්ට සර් කතා කරන්නේ නැද්ද” ඒ ප්‍රශ්නය හැමෝගෙම ඔලුවට ආවේ චූලනි පැත්තකට වෙලා රංගන දිහා බලා ඉන්නකොට.ඇත්තටම ඉතින් චූලනිට පහනක් පත්තු කරන්න ඉඩ ලැබුණෙත් නැහැ.රංගන චූලනි එතන ඉන්න බවක්වත් වැඩියෙන් හිතන්න ගියේ නැහැ.

“මේ තරම් ඉහළට රංගනට එන්න පුලුවන් වෙන්න චූලනිගේ උත්සාහයත් බලපෑවා..”

නගරයේ ලොකුම ව්‍යාපාරිකයා වුණු රාජසුන්දර මහත්මයා එහෙම කියනකොට රංගන හයියෙන් හිනා වුණා.චූලනි රාජසුන්දර දිහා බැලුවේ කෘතඥපූර්වක සිනාවක් එක්ක.

“මට මේ දේවල් කරගන්න නාලකයි රිද්මයි තමයි උදව් කරේ රාජසුන්දර මහත්තයා.ඒ ළමයි හොඳ උගත් ළමයිනෙ..”

චූලනි සුපිරි වෙළඳසැලෙන් එළියට එන්න ආවා.තවදුරටත් එතැනට තමන් වැඩි බව ඇයට හිතෙන්න පටන් ගත්තා.මේ අද හිතෙන්න ගත්තු දෙයක් නෙවෙයි.දැන් මාස ගණනක් තිස්සේ ඔලුවට ආව සිතුවිල්ලක්.ටිකක් තදට දැනෙන්නේ දැන්.

“චූලා..මාව අහක තියන හොරකමකට පැටලිලා..”

රංගන එහෙම කියාගෙන ගෙදර ආව දවස චූලනිට තාමත් මතකයි.රංගන එක්ක ජීවිතේ හැමසතුටක් දුකක්ම පරිස්සමින් බෙදා ගන්න ඕනෑ කියලා දන්න නිසාම චූලනි රංගනගේ ඔලුව අතගෑවේ හිත නොරිදෙන්න.

“ඔයාට ඕකෙන් නිදහස් වෙන්න ලැබෙයි රංග..”

ඒත් වැඩේ ලේසි වුණේ නැහැ.රංගනට කෙළවරක් නැති නඩු, විනය පරීක්ෂණ සහ තවත් දාහක් අභියෝග ආවා.අන්තිමට රස්සාව නැති වීමෙන් කතාවට නැවතීමේ තිත වැටුණා.

“ඔයාටවත් රස්සාවක් තිබ්බානම්..”

රංගන එහෙම කියනකොට චූලනි මොකුත් නොකියා හිනා වුණා.චූලනිගේ කල් තබා ගන්නා ආහාර විකිණීමේ ව්‍යාපාරය නිසා කොහොමටත් ජීවිතය අන්ත අසරණ නොවෙන බව චූලනි දන්නවා.ඒ නිසාම චූලනි බය වුණේ නැහැ.ඒත් ඉවසීමෙන් හැමදේම සැලසුම් කළා.

“රංගන..මම ඔය අච්චාරු එහෙම හදන්න පළතුරු ගන්න තැන්වලින් පළතුරු අරන් බිස්නස් එකක් කරොත් මොකද?”

ඒ යෝජනාව ගෙනාවේ චූලනි.ඊටත් පස්සේ ඒ යෝජනාව වෙනුවෙන් සැලසුම් හැදුවෙත් චුලනි.රංගන මුලින්ම අඹ,අන්නාසි,ගස්ලබු වගේ පළතුරු අරගෙන ඒවා සුපර් මාකට් වලට දාන්න පටන් ගත්තා.ඊටත් පස්සේ කාබනික පළතුරු එළවලු වලට වෙළඳපොළේ ඉඩකඩ වැඩි බව තේරුම් ගත්තෙත් චූලනි.

“අපි ෆාම් එකක් පටන් ගත්තොත්..”

කිසිම දෙයක් පහසු නැහැ.හැබැයි අමාරුත් නැහැ.රංගන තමන්ගෙම කියලා කාබනික ගොවිපොළක් ඇරඹීමේ ඉඳලා ඒවා විදෙස් රටවලට යැවීම දක්වා ගමනක් ආවා.චූලනිගේ කල්තබා ගන්නා ආහාර ව්‍යාපාරය යන්ත්‍ර සහ සේවක මණ්ඩලයක් එක්ක දියුණු කරන්න හැම පිඹුරු පතක්ම සැකසුවේ චූලනි.

“ඔයා ඔක්කොම ප්ලෑන් කරනව.මට තියෙන්නෙ බලන් ඉන්න..”

ඒ දවස්වල රංගන කිව්වේ බොහොම ආදරේකින්.රංගනගේ රස්සාව නැති වුණු වෙලාවේ එයාව පීඩාවට පත් කරන්න කිසිවක්ම නොකියා වැටුණාම නැගිටින්න අත දෙන්න පුලුවන් වීම ගැන චූලනිට තමන් ගැනම සතුටක් දැනෙන්න පටන් ගත්තා.සමහරවිට රංගන ඒ වරද කරන්න ඇති.එහෙම නැත්නම් කුමන්ත්‍රණයකට අහු වෙන්නත් ඇති.ඒවගෙ අගමුල හොයනවට වඩා එයාව මේ තරම් දුරකට රැගෙන ඒම ගැන චූලනිට සතුටක් දැනෙනවා.

“මේ කිසිම දෙයක් කරගන්න බෑ ඔයා නැත්නම්..”

රංගන තිස්සෙම ඒ කතාව මතුරමින් රස්සාව නැති වුණු දවසේ ඉඳන් අවුරුදු පහකටත් වඩා දුරක් ඇවිදගෙන ආවා.චූලනි හිටියේ සතුටින්.උතුරා යන තරමක සතුටකින්.

“ඔයා මොනවද චූලා දන්නේ?”

අන්න එහෙම අහන්න රංගනට මතක් වුණේ මාස කීපයකට එහා දවසකදි.ව්‍යාපාරය සම්බන්ධ රැස්වීමකදි කාර්ය මණ්ඩලය ඉස්සරහම රංගන එහෙම අහනකොට චූලනි මොකුත් නොකියා හිටියා.තමන්ගේ මහන්සිය කැපවීම රංගන අමතක කරද්දි පවා මොකුත්ම නොකියා ඉවසගෙන හිටියා.

මේ ඇති!!

චූලනි එහෙම හිතුවේ ගෙදර ඇවිල්ලා කල්පනා කරද්දී.රංගන රස්සාව නැති වෙලා ගෙදර එනකොට චූලනිට බයක් දැනුණේ නැහැ.තමන්ගෙම කියන ව්‍යාපාරය ලක්ෂෙට කොඩි දාන ජීවිතයක් නැතත් සැනසීමෙන් ඉන්න ජීවිතයක් තමන්ට ලබා දෙන බව චූලනි දැනන් හිටියා.ඒත් දැන්? හැමදේම රංගනට පවරලා පස්සෙන් ඉන්න නිසා තමන්ට කියලා කිසිම දෙයක් චූලනිට ඉතුරු නැහැ.තමන් මොනවද කරේ කියලා රංගන අහද්දී තමන්ට මොනවද ඉතුරු කියල චූලනී තමන්ගෙන්ම අහගත්තා.

“ඔය මොනවද කරන්නේ?”

තමන්ගෙම නිෂ්පාදන සහිත වෙළඳ සැල විවෘත කරපු සන්තෝසෙට හොඳටම මත් වෙලා හිටිය රංගන ඇහැරුණේ පහුවදා දවාලේ.පහත මාලයට බහිනකොට චූලනි ලොකු තාච්චියක් ලිප තියාගෙන ලොකු වැඩක්.දැන් එහෙම ලොකු කෑම ගෙදර කුස්සියේ හැදෙන්නෙම නැති තරම් නිසා රංගනට ආවේ පුදුමයක්.

“සීනි සම්බල් එකක් හදනවා..”

චූලනි කහටක් නැතිව හිනා වෙන ගමන් කිව්වා.රංගන බිරිඳ දිහා බැලුවේ පුදුමයෙන්.කාලයකට පස්සේ මුළුතැන්ගෙයට ආවත් ඇය කතාබහ කරන අතරම වැඩ කරන්නේ කඩියෙක් වගේ

“ෆැක්ට්‍රි එකේ හදන්නෙ.අනික අපි හතරපස් දෙනාට ඔච්චර ගොඩක්..”

පුදුමයෙන් ඇස් ලොකු කරගත්තු රංගන දිහා චූලනි බලාගෙන හිටියෙත් උපේක්ෂා සහගත බැල්මකින්මයි.ඇගේ මුහුණේ කිසිම තරහක් නැහැ.කෝපයක සේයාවක්වත් නැහැ.කලකිරීමක් හිතේ තිබුනත් එය පිට නොකර හිඳිම යහපත් කියලා චුලනි හිතන්න පටන් ගත්තා.

“ඒ ඔයාගේ දේවල්නෙ රංගන.මම මොකුත්ම කරන්නේ නෑ නිසා මාත් ආපහු කෑම බිස්නස් එක පටන් ගන්න හිතුවා.මගේ සීනි සම්බල්,අච්චාරු,මෝජු,ජෑම් එහෙම ඔයාට ඕනනම් සල්ලි දීලා ගන්න පුලුවන්..”

ගින්දර බොහොම සැරෙන් ඇවිලෙනවා.රංගන වචන හොයාගන්න බැරුව චූලනි දිහා බලාගෙන හිටියා.චූලනි කියන දේ කරන ගෑනියෙක්.නොසලකා හැරීමක් ගෑනුන්ට මොන තරම් හයියක් දෙනවද කියලා රංගන කල්පනා කළා.තමන්ගේ නොසලකා හැරිමක අවසානය චුලනිට අලුත් පාරක ගමන් කරන්න උදව් දීමක් කියලා ඔහුට අදහා ගන්නත් බැහැ.

කතා කරන්න හිතුවත් වචන හොයා ගන්න බැරිකමින් අසරණ වුණු රංගන චූලනි දිහා බලාගෙන හිටියා.ගෑනුන්ට මොනතරම් හයියක් තියනවද! වචනවලින් ගැහුවම ගෑනුන්ට කොච්චර රිදෙනවද ඔලුව ඇතුළේ කවුදෝ කෑගහන හඬ රංගනට ඇහෙන්න ගත්තා.ඒත් දැන් තමන් හොඳටම ප්‍රමාද බවත් කරන්න කිසිවක්ම ඉතිරි නැති බවත් ඔහුට හිතෙන්න පටන් ගත්ත.

ගෑනුන්ගේ හයිය මතු වෙන්නේ නොසලකා හැරීම් දරුණුවටම වින්ද වෙලාවක!

More Stories

Don't Miss


Latest Articles