හිමගිරි අරණ -32

කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහන්ට සමු දෙන්නට හිත හදා ගත්ත ද ඔහු වෙනත් ප්‍රේමයක හිඳීම ගැන හිත රිද්දා ගත් හිමාෂා හිත හදා ගත්තේ ඔහුගේ නව දිවිය ගැන සිතීමෙනි.ඔහු දැන් තාත්තා කෙනෙකු වන්නට සූදානමින් හිඳියි.

“අනිත් හැම ආදරයක් ම වගේ තමයි.දරුවකුට අම්මට තාත්තට තියන ආදරේ වත් ගත්තා කෙනකුට දරුවෙක්ව තියෙන ආදරයවත් බලෙන් නං ඇති කරන්න අමාරුයි.සහන් හිතන්නේ අලුත් දරුවා ගැන විතර නම් මගේ දරුවාට හිත හදාගන්න වෙනවා.”

ඇය අමායා සමඟ එසේ කීවේ දියණියගේ උපන් දිනය පසු වී හෝ සහන්ට ඇය බලන්නට එන්නට උවමනා නොවූ බැවිනි.

“දරුවෝ කියන්නේ දරුවන්ට අක්කා.තමන්ගෙ පාට්නර් එපා වෙච්ච පලියට  මිනිස්සුන්ට දරුවොත් එපා වෙලා යන එක නම් මහ පුදුම නරක වැඩක්.”

අමායාට තිබුණේ කෝපයකි.දිනාරා උපදින්නට සිටි කාලයේ පවා සහන් මෙතරම් උනන්දුවකින් ඇගේ වැඩ කටයුතු නොකළ බව අමායා සිහිපත් කළා ය.හිමාෂා සමඟ සමහර වෛද්‍ය හමු වීම් වලට පවා පැමිණියේ අමායා ය.එවකට උසස්පෙළ හදාරමින් හුන් තමන්ට අක්කා සමඟ වෛද්‍යවරයා වෙත යන්නට සිදු වූ අන්දම ඒ සිහි කළා ය.සහන් සිතා හුන්නේ මුදල් දීම සෑහෙන බවකි.නමුත් එය එසේ වූයේ නැත.හිමාෂා සිටියේ දැඩි සිත් වේදනාවකින් යුතුව ය.

” මට සහන් එපා වෙන ලොකුම හේතු වුණේ පොඩ්ඩක්වත් හොයල නොබලන එක.අඩුම තරමේ එයා මේ කසාදේදිවත් ඒ වැරැද්ද හදාගෙන නම් ඒක ගැන මට සතුටුයි.”

හිමාෂා එසේ පැවසුවද ඇය නැගණියට නොපැවසූ කතාවක් වූවා ය.ඕනෑම කෙනෙකු වද වෙන්නේ තමන්ට අත්‍යවශ්‍ය කෙනෙකු වෙනුවෙන් පමණක් වග ඇය හොඳින්ම දන්නා කාරණාවකි. සැබෑවටම සහන්ට තමන් අත්‍යවශ්‍ය කෙනෙකු වූයේ නැත.කුමන හේතුවකට හෝ හිමාෂා විවාහ කර ගත්තද ඔහුගේ ආදරය නතර වී තිබුණේ මල්මි ළඟ බව ඇය දැන් හොඳින් දනී.ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කළ හැකි ය.සහන් තමන්ගේ පළමු දරුවා පවා අතහැර දැම්මේ එනිසා වග හිමාෂා අවබෝධ කරගෙන අවසන් ය.

“මම නම් කියන්නේ ඔයාටත් ලැබෙන්න ඕන හොද කෙනෙක්.මල්මිට ජීවිතේ හැමදේම ලැබුන නම් ඔයාට කිසිම දෙයක් නොලැබී යන්න බෑ අක්කේ”

ඇද වැටෙන සමහර තැන් වල ලේ බැඳීමක් හෝ ඉතිරි වීම මොනතරම් සැනසීමක්දැයි හිමාෂා සිතුවා ය.මේ බිස්කට් පැකට්ටුවක ඇති බිස්කට් ගණනට රණ්ඩු වූ කාලයවත් හරිම මිනුමට චොකලට්ටුවක් දෙකට බෙදා ගත් කාලය වත් නොවේ.ඒ ළදැරියන් උස් මහත් වී අවසන් ය.අක්කාගේ ඕනෑම වරදක් අම්මාගේ අතට හසු කර දීමේ ප්‍රීතිය තවදුරටත් අමායාට ප්‍රීතියක් නොවේ.දැන් ඈ සතුටු වන්නේ අක්කා තමන්ගේ වේදනාත්මක මතක අවසන් කර නව ජීවිතයක් වෙත යන්නේ නම් පමණි. 

“මම ඔයාට ලොකු රහසක් කියන්නද?”

හිමාෂා නැගණියගේ අත තදින් අල්ලා ගත්තේ එක් වරම ය.අමායා අක්කා දෙස පුදුමයෙන් බැලුවා ය.ඇගේ දෑසේ ඇඳී ඇති කතාවට අනුව හිමාෂාට කියන්නට බරපතල කතාවක් ඇති හැඩ ය.එය නොකියා තාවර වන අක්කාට “ඉක්මනට ඕක කියනවාකො” කියන්නට අමායාට නොසිතිණ.සමහර කතන්දර පවසන්නට වචන එකතු කරගන්නට ම සෑහෙන කාලයක් ගත වේ.

  “මං හිතන්නෙ මම කෙනෙකුට ආදරේ කරනවා.”

ඒ හඬෙහි තැවරී ඇත්තේ සන්තෝසයක් නොවන බව අමායාට වැටහිණ.ඇය වහා අක්කා දෙස බැලුවේ ඒ නිසා ය.නැගණියගේ බැල්ම මඟ හැර හිමාෂා ඉවතට හැරුණා ය.හදවතෙහි වූ මහා බරක් බිමින් තැබූ හැඟීමක් ඇයට දැනේ.නමුත් ඒ මහමෙරකින් අල්ප ප්‍රමාණයකි.වැඩි වේදනාව තවමත් ඇය උසුලා හිඳින්නී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles