තිස් නව වැනි නෙත් සැරිය
අවිශ්ක අයත්මාද කැටුව නිවෙසින් පිටත්ව ගියේ කුලී රථයක් ගෙන්වාගෙනය. අයත්මා චත්‍රගේ අතින් අල්ලා කලබල නොවී සිටින ලෙස පවසා ත්‍රී රෝද රථයට ගොඩ වූවාය. චත්‍ර වහා සිහිනි වෙත ගියේය. සිහිනි උන්නේ යහනේ ගුලිවය. මාලා කාමරය පිලිවෙල කරමින් උන්නාය.
” අම්මලට මේ මුකුත් අඟවන්න එපා ..”
චත්‍ර මාලාට කීවේ සිහිනිට නෑසෙන තරමටය. මාලා හිස වැනුවාය. චත්‍ර මාලාගේ දෑතින්ම අල්ලා ගත්තේය. ඔහුට කුමක් පවසන්නදැයි සිතා ගත නොහැකි විය. මාලා මදක් ඉස්සී චත්‍රගේ හිස පිරිමැද්දේය. මේ දරුවන් දෙදෙනා කුඩා කල පටන්ම තම ඇස් මානයේ උන් අයය. ඒ නිසා මාලා ලා මවුවත් හැඟීම් දරන්නෝය.
” කලබල නොවී කතා කරලා බලන්න පොඩි සර් .. හෙමින් සීරුවේ විසඳගමු…”
චත්‍ර හිස සැළුවේය. මාලා කාමරයෙන් නික්මුනාය. චත්‍ර සිහිනි අසලින් හිඳගත්තේය. ඇගේ හිස පිරිමැද්දේය. සිහිනි වහා හැරී චත්‍රගේ දෙපා මත හිස වන සේ තබාගෙන ඔහු වැළඳගත්තාය.
” අනේ මට සමාවෙන්න අයියේ .. මට මොකක් වුනාද දන්නේ නෑ…”
” ඔක්කොම හරි චූටි … ඔක්කොම හරි..දැන් හිතන්න එපා ඒ ගැන … මං ඉන්නවනේ…”
චත්‍ර ඇගේ හිස පිරිමැද්දේය.
“අයියේ .. අයත්මා ….”
චත්‍ර සිහිනිව නැගිටුවා කෙලින් කරවා ගත්තේය. ඇගේ සිතෙහි ඇති කතන්දරය බිඳ හෙලන්නට තමා කල යුත්තේ කුමක්දැයි නොවැටහෙනවා වුවද තවත් වරක් උත්සාහ කරන්නට චත්‍ර තීරණය කලේය.
ඔහු කලකට පෙර අයත්මාගේ නිවසට මදක් බීමතින් තමා ගිය දවස ගැන කතා කරන්නට පටන් ගත්තේය. සිදුවු සියල්ල යලි කීවේය. තමා කරන්නට ගියේ ඇයට නපුරක් නොවන බවත්, අවැසි වූයේ ප්‍රේමයම පමණක් බවත්, බීමතින් උන් නිසාවෙන් සීමාවෙන් එපිටට යෑමෙන් වැලකෙන්නට නොහැකි වූ බවත් චත්‍ර කීවේ සිහිනි හඬා වැටෙද්දීය. එහෙත් තමා ඇයට ලිංගික අතවරයක් නොකල බවත්, සිප ගන්නට සහ ඇය තමා වෙත ගුලි කරගන්නට උත්සාහ කල බවත් බිඳුණ හඬින් කීවේය. දෙදෙනා පොර බැඳි නිසා තත්වය සාමකාමී නොවූ වගද කීවේය.
අයත්මා කලබල වීමෙන් පසු අසනීප වූ බවත්, ඇය රෝහල් ගත කිරීමෙන් පසුව සිහිනි අමතා සිදුවූයේ කුමක්දැයි කීමේදී ඇතිවූ වැරදි වැටහීම දිගින් දිගටම කතා බස් ඔස්සේ තහවුරු වූ අයුරුත් චත්‍ර කීවේය. සිහිනි උන්නේ ඇසෙන්නේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිවය.
සහන්ට පැවසූ කතන්දරය නම් අතැර දැමිය හැක. එහි ගිණි දැල් වලින් ඇවිලෙන්නට ගිය ගින්න දැන් සාමකාමී ලෙසින් නිවා පාලනයේ පවති. එහෙත් අවිශ්ක අයියාට ද තමා සියල්ල පැවසුවේය. ඔහු කුමක් කරාවිදැයි සිහිනිට සිතා ගන්නට හෝ හැකි වුයේ නැත.
“අයියේ …අනේ …”
සිහිනි තවදුරටත් සැබෑ තතු චත්‍රගෙන් වසන් කරමින් උන්නාය. ඇයට අන් කල හැකි දෙයක් වූයේ නැත. තමා නටා ඇත්තේ සුලු පටු නඩගමක් නොවන වග දැන් දැන් සිහිනිට පැහැදිලි වන්නේය. කල යුතුව තිබුණේ අයියාගේ ප්‍රශ්න ඔහුට ඉතිරි කර තමන් පසෙකින් සිටීම බව දැන් ඇයට වැටහෙන්නේය. එහෙත් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවීම කල නොහැක.
” ඒ කතා ඔක්කොම අමතක කරන්න චූටි .. අයියාගේ ප්‍රශ්න අයියාට බලගන්න පුලුවන් .. මෙහෙම කලබල වෙලා තීරණයක් ගන්න මොකද්ද ඔයාට තිබුන ප්‍රශ්නේ නංගී ?..”
සිහිනි තිගැස්සුණාය. සහන් පිළිබඳව අයියාට කියන්නට හැකිදැයි සිතුවාය. අවිශ්ක අයියාට සියලු විස්තර පවසා අවසන් ය. ඔහු සහන් සොයාගෙන ගොස් කතා බහ කරන්නටද පොරොන්දු විය. එහෙත් අයියාට මේ සියල්ල පැවසුවහොත් අයියා කිසිවක් සරලව ගන්නේ නැත. ඇතැම් විට ඔහු සහන් සොයා ගොස් ආරවුලක් පවා ඇති කරගන්නට හැක. එවැන්නක් සිදු වුවහොත් වන්නේ සහන්ව සදහටම අහිමි වීමය. සිහිනි කිසිවක් නොපවසා චත්‍රගෙන් ඉවතට සුසුමක් හෙලුවාය.
” මට ලැජ්ජ හිතුණා අයියේ ..”
ඕ මුසාවක් කීම ඇරඹුවාය.
” ඒ මොකටද?..”
” දන්නේ නෑ…”
” මගේ සිද්දියටද?..”
සිහිනි යළි ඉකිබින්දාය. චත්‍ර ඇගේ හිස පිරිමැද්දේ පැවසිය යුත්තේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිවය.
අවිශ්ක අයත්මා හඬද්දීම ඇයව දිගින් දිගටම ප්‍රශ්න කලේය. ඇය සත්‍ය නොපවසන්නේ නම් චත්‍ර මරා දමන බවට තර්ජනය කලේය. එහෙත් අයත්මාට කට කතා වල වූ කතන්දර සත්‍ය බව පැවසිය හැකිව තිබුනේ නැත. ඒවා සත්‍ය නොවන නිසාය. එදින චත්‍ර තමා සිප ගන්නට උත්සාහ කරද්දී තමා කලබල වී අසනීප වුන වග ඇය පිලිගත්තේය. ඔහු තම කාමරය තුළට විත් යහනේ තමා සමඟින් පෙරලී ගිය කොටස ඕ සැඟවූවාය. අවිශ්ක උන්නේ වෙඩි කෑ ඌරෙකුගේ වේදනාව සහ කෝපය සමඟය.
” ඇයි මට බොරු කිව්වේ?…”
අවිශ්කගේ උස් හඬට සාලයේ උන් දියණියද මහ හඬින් හඬා වැටෙන්ට වූවාය. නිමලා අම්ම පැමිණ කතා බහ කර ප්‍රශ්න විසඳා ගන්නට අවිශ්කට දැඩි තරවටුවක් කලාය.
” අයියේ… මට එවෙලේ බය හිතුනා .. මං එවෙලේ ඒ වුන සිද්දිය කිව්වා නම් එතන ලොකු කලබලයක්…”
” ඉතින්..ඉතින්… තමුසේ මට බොරු කිව්වා.. මාව රැවැට්ටුවා… මං අරුගේ දෙපා මුලට ගිහින් ස්තූතිවන්ත වුණා… පින් දුන්නා… තමුසෙට එතකොටවත් මං ගැන දුකක් හිතුනේ නැද්ද ඕයි …”
“ඇයි අයියේ එහෙම අහන්නේ?.. අනේ අයියේ ..”
අයත්මා හැඬුම් වැඩි කරගත්තාය. හැඬුම් නවතා ගන්නා ලෙස පවසමින් අවිශ්ක බැණ වැදුනේය.
” කිස් කරන්න ආව එකා ඉන් එහා දෙයක් වුනත් කරන්න බලාගෙන නේ එන්න ඇත්තේ .. එහෙම අසනීපයක් වුනේ නැත්නම් කොහොමටත් වෙන්නේ ඒක… අරූගේ ගෙදර උන් හිතන් ඉන්නේත් තමුසෙව රේප් කරලා කියලා ඌ .. එතකොට උන් මට හිනාවෙන්න ඇති පස්ස පැත්තෙන් …”
අවිශ්ක කුඩා පුටුවක් ඔසවා පොළවේ ගැසුවේය. අයත්මා නැගිට්ටේ හෝ නැතිවම උන්නාය.
” එහෙම හිතුවේ නෑ…”
“අනේ මේ …..උඹ උන්ට මුට්ටි අල්ලන්නේ නැතුව හිටපං අයත්මා …ඇහේ මූණේ තියන් තමුසෙව පරිස්සම් කරපු අම්මයි තාත්තයි මට සාප කරාවි …. “
“අයියේ ..චත්‍ර මට ආදරෙයි ..”
” මං දන්න ආදරයක් නෑ.. මේ කතාව මෙතනින් ඉවර වෙන්න ඕනි.. එච්චරයි … තමුසේ ආයේ උගේ පස්සෙන් යනවා නම්, ඌත් එක්ක සම්බන්ධකම් තියාගෙන ඉන්නවා නම්, මං කෙල්ලවත් අරගෙන යනවා ඔලුව හැරුන අතේ..එච්චරයි …”
“අනේ අයියේ ..”
” ආයේ මගේ වචන දෙකක් බලාපොරොත්තු වෙන්න එපා අයත්මා.. මං එක ඌටත් කියන්නම්.. තමුසෙත් දැනගන්නවා…”
අවිශ්ක කිසිදිනෙක නොවූ පරිද්දෙන් නැගණියට බැණ වැදුණාය. ඇය සැබැවින්ම චත්‍රට ප්‍රේම කරද්දී පවා සිහිනි වැන්නවුන් ඇය පිළිබඳව සිතා උන් ආකාරය සිහිවෙද්දී අවිශ්කට දැනුනේ දරා ගන්නට නොහැකි තරමේ වන වේදනාවකි. ප්‍රේම කලා වුවද, ඇතැම් විට චත්‍ර පවා තම නැගණියව එලෙසින් සැක කරන්නට ඇතිය යන සිතුවිල්ල අවිශ්කට දරා ගන්නට පහසු වූයේ නැත.
අවිශ්ක චත්‍ර ඇමතුවේය. ඔහුගේ තීරණය පවසා ඇමතුම විසන්ධි කලේය. චත්‍රට කිසිත් පවසන්නට හෝ ඉඩක් වූයේ නැත. චත්‍ර වහා අයත්මා ඇමතුවේය. එවෙලෙහි අයත්මාගේ ජංගම දුරකතනය වූයේ අවිශ්කගේ අතේය.
” උඹට සිංහල තේරෙන්නේ නැද්ද මන්ත්‍රීතුමා… මං කීව්වේ මගේ නංගිව උබට දෙන්නේ නෑ.. නෑ කියලා කිව්වේ.. මොකක් හරි තිබුනා නම් ඒක මෙතනින් ඉවරයි …”
” මං කියන එක අහපං..තේරුම් ගනින්කෝ..”
” මෙතන ගොනා වෙලා හිටියේ මම තමයි මෙච්චර කල් ..හැබැයි දැන් මම ගොනා නෙවෙයි තවදුරටත් .. මට ඔක්කොම උන්ගේ පැටිකිරිය පැහැදිලීයි …”
” උඹට බොරුවක් කලා නෙවෙයි අවිශ්ක ….”
“අනේ *&* මේ … ආයේ තෝ කියවගෙන ආවොත් මං ගෙදරටම ඇවිල්ලා තොගේ රෙදි ගැලවෙන්න කියලා යන්නේ.. අතුකෝරල පවුලට පාරට බහින්න බැරි වෙන්න …”
” මගෙන් එහෙම වරදක් වුනේ නෑ බං …. එවෙලේ මට මාව කන්ට්‍රෝල් නැතුව ගියා.. ඒත් මං සිහියෙන් උන්නේ බං … ඔය ගොසිප් වල කියන දෙයක් වුනේ නැහැ.. මං දන්නේ නෑ කොහොමද එහෙම කතාවක් පැතිරුණේ කියලා..ඒත් මං ඒක හොයාගන්නවා බං..”
“අනේ මේ මට උබේ බයිලා වැඩක් නෑ .. මගේ වචනේ කියල ඉවරයි .. ආයේ උබ අයත්මාගේ පේන මානේ ඉඳලාවත් අහුවෙන්න එපා මට ….”
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |