අද මම වත්තේ වැඩ බලන්න යනවයි කියලා ගිහින් හොර රහසේම ආපහු වත්ත පිටිපස්සෙන් ගෙදරට ආවා. ඒ වගේ දෙයක් කරන්න මට හිතුනේ ඇයි කියන්න මම දන්නේ නැහැ.ඒ වුනාට මට ඇත්තටම අප්පු ගැන දැනගන්න ඕන උනා.
මගක් දුර එනකොට ගෙට පල්ලෙහායින් තියෙන කජු ගහ අස්සෙ අප්පු ඉඳගෙන ඉන්නවා කියලා මම දැක්කා. මම බොහොම සෝදිසියෙන් හෙමින් ආපු නිසා මට අප්පුගේ ඔළුව යාන්තමින් පෙනුනා.ඒ වගේම පය තියෙන සද්දයවත් කිසිම කෙනෙකුට ඇහෙන්නේ නැති විදිහට එන්න පුළුවන් වීමත් ලොකු දෙයක් කියලා මට ඒ වෙලාවේ හිතුනා .
මම බොහොම හෙමින් ළංවෙලා අප්පු කරන්නේ මොනවද කියලා බලාගෙන හිටියා.අප්පුගේ අතේ තිබුණේ කෝටුවක් …අනික් අතේ තිබුණේ ගිනිතිල්ල වැලක්.ඒකෙ කිසිම විශේෂත්වයක් නැහැ තමයි.හැබැයි අප්පු මොන මොනවද කුටු කුටු ගාලා ඒ ගිනි තිල්ලා වැලට කිව්වා.මගේ ඇස් අදහගන්න බැරුව ගියා. ඒ කෝටුව වටේ ගම් ගාල වගේ ඇඹරි අඹරි ඇඹරි ඇබරි ගිනිතිල්ලා වැල එතෙන්න පටන් ගත්තා. අප්පු පොඩි එකෙක් වගේ හිනාවෙවී ඒක දිහා බලාගෙන හිටියා.
මගේ හිතට මහා අමුත්තක් දැනෙන්න පටන් ගත්තා.ඊට පස්සේ අප්පු එතනින් නැගිටලා යනකම්ම මං ඒ ගහ ගාව පාත් වෙලා හිටියා.පැයකට විතර පස්සේ අප්පු එතනින් නැගිටලා ගියා.මම ආපහු සැරයක් පල්ලම් බැහැලා පාර පැත්තෙන් දළු කඩන මිනිස්සු ඉන්න හරියට ආවා.මම දන්න දා ඉඳන් අප්පුට යන්න එන්න තැනක් තිබුණේ නෑ.. මගේ ඇස් දෙකට දැක්ක දේ මොකක්ද කියන එක මට හරියටම තේරුම් ගන්න බැරුව ගියා.කොහොමද පණ නැති වැලක් ඒ විදිහට කෝට්ටකට එතෙන්නේ. ඇත්තටම අප්පු මන්තරකාරයෙක්ද… මැජික්කාරයෙක්ද..
ඇත්තටම ඒ දේ දැක්කයින් පස්සේ මම බය වුනේ මොකටද …
බය වෙන්න තරම් ලොකු දෙයක් ඒකෙ තිබුණේ නැහැනේ..
නෑ සමහරවිට මට බය හිතෙන්න ඇත්තේ..ඒ වැල සහ කෝට්ට කියන එක සංකේතයක් නම්..
කෝට්ට කියන්නේ අප්පු වැල කියන්නේ අපි නම්…
හිතාගන්න පුළුවන් නේද මොකක්ද කියලා…
ලංකා …උඹ ප්‍රවේසමෙන් අප්පුගේ වචන වලට අහු වෙන්න එපා..
*******
ඊට දවස් දෙකකට පස්සේ මම දැක්කේ මහා පුදුම දෙයක්.අප්පු හිටියේ මිදුල කෙළවරේ තියෙන රෝස පඳුර ගාව.ඒ මම දවල්ට නිදියන වෙලාව.නිකමට වගේ මම ගිහිල්ලා ජනේලයෙන් බැලුවේ.අප්පු අතේ තියාගෙන හිටියේ තරමක ලොකු සරපයෙක්.
හැබැයි ඒ අපි දකින සර්පයෝ නෙමෙයි.ඒ සර්පයට අත් දෙකක් තිබුණා.අවාසනාවට මට කෑ ගැහුණා…මම කෑගහන සද්දෙට අප්පු බය වුණා.අප්පු සර්පයා අත ඇරියා. ඌ අත් දෙකෙන් වත්ත ඇතුලට දිව්වා.
**********
මො..ක.ක්… සරපයෙක් ….
මොනාද මේ සේනාධිර ලියලා තියෙන්නේ..මට මේ කිසි දෙයක් හිතා ගන්න බැරුව ගියා.අත් දෙකක් තියෙන සර්පයෙක්..මොන විකාර කතාවක්ද ඒ…
නෑ… නෑ.. නෑ…. එතකොට එතකොට මං එනකොට දැක්කේ අප්පුවද… අර… අර.. මහ පාන්දර තේ කෑල්ලෙ…
දැන් එතකොට අප්පු කෝ..
නෑ.. නෑ…. එපා…. එපා…..
“ආඩ වනේ …මොකද මාත්තයා ….
ඇයි මේ කෑගහන්නෙ…”
සේනාධිර ගෙ විස්තර ටික කියව කියව ඉන්න ගමන් මහන්සියටත් එක්ක මට පුටුව උඩම නින්ද ගිහින් තිබුණා. එකපාරට ගැස්සිලා ඇහැරෙන කොට
අප්පු මං දිහා බලාගෙන උන්නා .
“මාත්තියා…. තේ බොමු…..
මාත්තියා සර් හීනෙන් බය වුණාද කෑගැහුවේ?..”
අප්පු කතා කරන සද්දෙන් මම ගැස්සිලා ගියා.
තප්පර කීපයක් ගියා මම ඉන්න තත්ත්වය මට තේරුම් ගන්න.. ටික වෙලාවකින් තමයි මට තේරුනේ මම ඒ හැම දෙයක්ම දැකලා තියෙන්නේ හීනෙන් කියලා.
එතකොට …එතකොට මම මේ කොළ කියෙව්වෙම නැද්ද…මොකක්ද මට මේ සිද්ධ උනේ?….
“අප්පු..සේනාදීර මහත්තයා කෝ.. නැගිට්ටා ද… “
“ලොකු සර්ට සනීප නෑ… මාත්තියා…
දැන් තමා නින්ද ගියේ”
එහෙම කියපු අප්පු ආපහු සැරයක් කුස්සිය පැත්තට ගියා.
මොනා වුණත් මේ කිසි දෙයක් අප්පුට කියන්න නරකයි.මම මේ කිසිම දෙයක් දන්නේ නැති විදිහට ඉන්න ඕනෙ..කියලා මම හිතා ගත්තා.ඇඟට දැණුන කෙඩෙත්තුව නිවාගන්නත් එක්ක මට තේ එක බොන්න ඕන උනා.සේනාදීර ඒ වෙනකොට හොඳටම නිදාගෙන හිටපු හින්දා මම ආපහු කාමරයට ගියා.මම කොල ටික පිළිවෙලට හදනකොට ඒකෙ කොළ අඩුයි වගේ කියලා මට තේරුණා.ශික්…මං වගේ මෝඩයෙක්..අඩුම තරමේ මේ කොළ ටික කියවන්න ගන්නකොට කොල කීයක් තියෙනවද කියන එකවත් මම බැලුවේ නෑනේ..දැන් ඉතින් මේක මගේ හිතේ ඇති වෙච්ච සැකයක්ද නැත්තං ඇත්තටම කොළ අඩුයිද කියන එකවත් මම දන්නේ නෑනේ..
ආපහු සැරයක් තැනින් තැන උඩින් පල්ලෙන් කියවපු හරිය කියවගෙන ආවත් සේනාධිර ජනේලයෙන් බලන කොට අප්පු සරපයෙක් අතේ තියාගෙන හිටියයි කියන කොටස කොයිම තැනකදීත් මට හම්බවුණේ නැහැ..
හ්ම්… එහෙනම් ඊට උඩ තමයි මට නින්ද යන්න ඇත්තේ..එකත් එකටම එහෙනම් ඒ කොටස එහෙනම් මට හීනෙන් පෙනිච්ච එකක් … මොනා වුණත් මීට පස්සේ මීට වඩා ලොකු අවධානයකින් වැඩ කරන්න වෙයි කියන එක නම් මට හිතුනා.කිසිම වෙලාවකදී අප්පුව සැකයි කියන එක පෙන්නන්න හොඳ නැහැ කියලා මට හිතුනා.. ඇත්තටම මම කොලේ එහෙම කොටසක් කියෙව්වද නැත්තං ඇත්තටම මට ඒක හීනෙන් පෙනිච්ච දෙයක්ද කියන එක මටම හිතාගන්න බැරුව ගියා.හරියටම සාක්ෂියක් නැතුව මනුස්සයෙක්ගේ ඒ විදිහට සැක කරන්න බැරි බව මට හිතුනා. මගේ ඉතුරු කොළ ටික මම පරිස්සම් කරලා තියාගන්න ඕනෙ කියල මට හිතුනා.ඒ හින්දා මම ඒ කොළ ටික මගේ ගමන් බෑග් එකට දාලා ඉබි යතුරු දාලා වැහුවා…යතුර මගේ සාක්කුවට දාගත්තා .
කුස්සිය පැත්තෙන් ආවේ මාර සුවඳක්. අප්පු සුවඳට උයනවා කියලා හිතුනා..අප්පු බත් උයලා කරවල තෙල් දාලා කොච්චි සම්බෝලයක් හදලා තිබුණා.කාලෙකට පස්සේ කටට සැරට ලංකාවේ කෑමක් කන්න හම්බවෙච්ච හින්දා මම හරිම ආසාවෙන් කෑම කෑවා.
රෑ කෑමෙන් පස්සේ මම ආපහු සේනාධිර හම්බවෙන්න ගියා..
“සේනා … උඹ දීපු කොළ වලින් කොටසක් මම කියෙව්වා.ඒත් තාමත් මට මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න බැහැ.. ඔබට මහන්සියක් නැත්නම් මට මේ ප්‍රශ්නේ තේරුම් කරලා දෙන්න පුළුවන්ද..”
සේනාධිර මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියේ හරියට මට මේ වෙලාවේ ගැන මුකුත් කියන්න බෑ කියනවා වගේ..
“සේනා .. ඇයි දෙයියනේ උඹ ඉස්පිරිතාලෙකට යන්න බෑ කියලා කියන්නේ..දෙයි හාමුදුරුවනේ උඹ ගෙදර හිටියොත් තව දවස් දෙකකට වඩා ඉන්න එකක් නෑ..මොළේ තියෙන මනුස්සයෙක් හැටියට මට සිද්ධ වෙනවා බලෙන් හරි උඹව ඉස්පිරිතාලයට ගෙනියන්න”..
තවත් මේ විකාරය බලාගෙන ඉන්න බැරි තැන මම තදින් සේනාට කිව්වා.
සේනාධිර බොහොම තදින් ඉල්ලා හිටියා එයාව ඉස්පිරිතාලෙට ගෙනියන්න එපා කියලා. ඒ උනාට මම සේනාධිරට පැහැදිලි කරන්න උත්සාහ කළා මේ වෙලාවේ ගෙදර ඉන්න එකේ භයානකකම ගැන..
“පුළුවන් තරං ඉක්මනට උඹ මම දීපු කොල ටික කියවපන්..මේ ප්‍රශ්නවලට උත්තර හම්බවෙන්නේ එතකොට.. අන්තිම පාරට මම උඹට කියන්නේ .. මම මැරිච්ච ගමන් මාව අර වලට දාලා පුච්චපාං…”
එහෙම කියපු සේනාධිර ආපහු ඉක්මනින් නින්දට වැටුනා.. මේ කතන්දරේ අගමුල තේරුම් ගන්න බැරි වෙච්ච මම සේනාධිර ගාවින්ම අප්පුට ඉන්න කියලා මොනවා හරි හදිස්සියක් වුනොත් ඕනම වෙලාවක මට කතා කරන්න කියලා මම මගේ කාමරයට ගියේ ඉතුරු කොළ ටික
කියවන්න හිතාගෙනයි..
*************************
මගේ තනිකම කාන්සිය මකා ගන්න මම වැඩිපුර විස්කි වලට ආදරය කරන්න පටන් අරන් කියලා මට හිතෙනවා.වෙලාවකට මට හිතෙනවා මේ හැම දෙයක්ම විකුණලා දාලා කොහේ හරි යන්න..එදා මම දැක්ක දේ මටවත් විශ්වාස කරගන්න බැරි හින්දා ….
මොකක්ද …මොකක්ද …
එදා මම දැක්ක දේ විශ්වාස කරන්න බැරි හින්දා…?
ඒ කියන්නේ…ඒ කියන්නේ සේනාධිර සර්පයෙක් දැක්කයි කියන කොළය මේකෙ තිබිලා තියෙනවා.. ඒ කියන්නේ ඒක හීනෙන් පෙනිච්ච දෙයක් නෙමෙයි මම ඇත්තටම කියවපු දෙයක්..
ම්ම්ම් ඇත්තටම ඒ කොළේට මොකද උනේ..
හරි හරි …බලමු මේක ඉතුරු ටික මොකද කියලා තියෙන්නේ කියලා…
;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;/;;;;
එදා මම දැක්ක දේ මටවත් විශ්වාස කරගන්න බැරි හින්දා ….
මම මගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඒ ගැන ඇහුවා.එයා නං කිව්වේ මම බීලා වැඩි හින්දා මනසේ ඇඳෙන විකාර රූපයක් ඒක කියල.
ඩෙලරින් ටර්ම්ස්… කියල ඒකට කියන්නේ. අනේ මන්දා. මට තාමත් ඒක විශ්වාස කරන්න බෑ..
සිහිය විකල් වෙන තරමටම මම බොන්නේ නෑ..