හතලිස් තුන් වැනි නෙත් සැරිය
චත්‍ර පියවි සිහියට එලැඹුනාට පසු අවිශ්ක වෛද්‍යවරයෙකු ගෙන්වා ගැනීම සඳහා වන අන්තර්ජාල සේවාවක සහය පැතුවේය. ඒ අතරේ සිහිනිට ඇමතුමක් දී චත්‍ර තම නිවසේ වග පවසන්නටද අවිශ්කට සිතුනි. එලෙස පවසන්නේ ඇයිදැයි ඔහුටද පැහැදිලිව නොවැටහුනත් ඔහු එලෙසින් අමතා ඇය දැනුවත් කරන්නට කටයුතු කලේය.
මිතුරා ලවා චත්‍රගේ වාහනය තම නිවෙසට ගෙන්වා ගන්නටද ඔහු කටයුතු කලේය. අයත්මා වහා නාන කාමරය තුලට රිංගාගෙන ගවුමක් ගත ලා ගත්තාය. වෛද්‍යවරයා පැමිණියේ පැය භාගයකට පසුවය.
” මිස්ටර් චත්‍රගේ ප්‍රෙශර් පොඩ්ඩක් වැඩියි .. ඩේන්ජර් එකක්ම නෙවෙයි .. ඒත් හැබිට්ස් ටිකක් වෙනස් කරගන්න… ස්ට්‍රෙස් එකෙන් මිදෙන්න.. තවම තරුණ ළමයිනේ ඕගොල්ලෝ …. ඕනිම දෙයක් ඕවර් යනකොට තමයි එව්වා අහිතකර වෙන්නේ … දැනට හයි ෆීවර් තියෙන නිසා ඇඩ්මිට් වෙන්න වෙනවා…. අනෙක කකුලේ ෆ්‍රැක්චර් එකක් වෙන්න ඕනි කියලා මට සැකයි .. ඒක වෙනමම චෙක් කරවන්න වෙනව.. කකුල මෙච්චර උඩට ඉදිමිලා තියෙන එක හොඳ නැහැ…”
චත්‍ර කිසිඳු සැලකිල්ලක් නැතිවද. අයත්මා දෑස් විසල් කරගෙන ඉතා සැලකිල්ලෙන්ද, අවිශ්ක ඔවුන් දෙදෙනා ගැන සැලකිල්ලද සමඟින් වූ අඩ සැළකිල්ලකින්ද වෛද්‍යවරයාට සවන් දෙමින් උන්හ.
” මම ඇඩ්මිට් කරන්නම් ඩොක්ටර් දැන් මල්ලිව…”
“ගුඩ් … මම දවල්ට ආයෙම චත්‍රව බලන්නම් .. එතකල් ට්‍රීට්මන්ට්ස් ටික කෙරේවි …”
අවිශ්ක වෛද්‍යවරයාට ස්තූතිවන්ත වෙමින් ඔහුට සමුදෙන්නට කාමරයෙන් පිටතට ගියේය. අයත්මා වහා චත්‍ර අසලට විත් හිඳගත්තාය.
” විකාර අයූ .. දොස්තරලා කරන්නේත් ජොබ් එකක් … අපිට වැඩිපුර ලෙඩ තිබ්බොත් තමයි ඒගොල්ලන්ට වැඩිපුර සල්ලි හොයන්න පුලුවන්.. මට එහෙමට අමාරුවක් නෑ … මම ගෙදර ගිහින් ඇලර්ට් එකක් දාන්නම් …. කපිලව ගෙන්නගෙන යන්න පුලුවන් නේ මට …”
අයත්මා චත්‍ර හා එකඟ නොවූවත් , උගුරේ යමක් සිරවි ඇත්තාක් මෙන් දැනෙමින් තිබුන නිසා ඇයට කතා කරගන්නටවත් ඉඩක් ලැබුනේ නැත. ඕ චත්‍රගේ හිස පිරිමදිමින්, අත්ල සහ ඇඟිලි අග්ගිසි ඉඹිමින් ඈ සතුව තිබූ පීඩනය සහ වේදනාව ක්ශය කරවාගන්නට මඟක් සෙව්වාය.
” පිස්සුද අයූ… මම මෙහෙම ගේම් ද ගහලා තියෙන්නේ අප්පා..අනෙක මහ වැස්සකට තෙමුනේ නෑ මම …. මේ පොඩි ඇඟ රස්නයක් … කෝ මම නැගිටින්න…”
චත්‍ර එලෙස පවසමින් උත්සාහ කලේත් අවිශ්කගේ ගෝරනාඩුවෙන් දෙදෙනාම ගැස්සී ගියෙත් එකම මොහොතකය.
” අනෙක් කකුලත් කඩලා තෝ ඇඳටම කරලා තියන්න කලින්, කියන එක විතරක් කරපං … ඇහුනනේ ඩොක්ටර් කිව්වේ මොකද්ද කියලා.. හයි ෆීවර් නෙවෙයි ප්‍රශ්නේ … තොගේ ප්‍රෙශර් හයි ….”
අවිශ්ක දිගින් දිගටම අයත්මාට සහ චත්‍රට දෙදෙනාටම බැන වැදුනේය. නිමලා අම්මා රැගෙන ආ කිරි වීදුරුවෙන් උගුරු කිහිපයක් පමණක් පානය කරද්දීම චත්‍ර පෙර දිනයේ පටන් කුසේ වු සියල්ල යළි වමනය කලේය. අවිශ්ක ඔහු නාන කාමරයටම ඔසවාගෙන ගොස් පිරිසිදු කලේය. අයත්මා කාමරය පිරිසිදු කලේ හඬමිනි. අවිශ්කගේ මිතුරාගේ වෑන් රියෙන් චත්‍ර රෝහල් ගත කරන්නට ගියේ අවිශ්ක පමනය.
” මාත් එන්නද අයියේ?…”
“ඕන් නෑ… “
අවිශ්ක ඉක්මවා යන්නට එවෙලෙහි අයත්මාට ඉඩක් ලැබුණේම නැත. ඕ නැවතුණාය. සිහිනි දිගින් දිගටම අවිශ්කට ඇමතුම් ලබා ගනිමින් උන්නාය. චත්‍ර පිළිබඳව වර්තමාන විස්තරයක් දැනගැනීම යන කාරණාවට යටින් වන යම් නොවැටහුණු හැඟීමක් ඇයව ඒ සඳහා පොළඹවමින් තිබුණි.
එහෙත් අවිශ්කට ඇයට එවෙලෙහි පිළිතුරු දෙන්නට ඉඩක් ලැබුනේද නැත. චත්‍ර රෝහල් ගත කෙරූ අවිශ්ක ඉන් පසුව චත්‍රගේ නිවෙසට ගියේය. සිහිනි උන්නේ අවිශ්කට ඇමතුමක් ගන්නා අතරේය. එක්වරම මිදුලට ඇතුලු වුන වාහනයෙන් අවිශ්ක බසිනවා දුටු සිහිනි කිසිත් සිතාගන්නට නොහැකිව මෙන් ගල් වූවාය.
” චත්‍රට චුට්ටක් සනීප මදි වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරා… “
අවිශ්ක අතුකෝරල මහතාට විස්තර යන්තමින් කීවේ පෙර දින රැය චත්‍ර තම නිවසේ පහන් කල බවට වන ආරංචිය මඟ හරිමිනි. කැබ් රිය නිවෙසට ගෙන ඒම මිතුරෙකු විසින් සිදු කරනු ඇති බවත්, දැන් චත්‍රගේ තත්වය පිළිබඳව එහෙමට කලබල විය යුතු නොමැති වගත් කීවේය. ඔහු ජංගම දුරකතනය අතට ගත්තේ අතුකෝරල මහතාට සමුදෙන්නට සූදානම් වෙද්දීය. සිහිනිගෙන් මඟ හැරුණ ඇමතුම් විසි දෙකක් විය. අවිශ්ක තිගැස්සුණි. ඔහු වහා වටපිට බැලුවේය. සිහිනි බියපත් දෑසින් බලා උන්නාය. අවිශ්ක වහා ඇය මඟ හැරියේය.
” අයියාට අවුලක් නැහැ ..”
යන මඟදී සිහිනිට කෙටි පණිවිඩයක් පමණක් යොමු කලේය. මේ දැනෙන දැවීම නිවීමක ආරම්භයක් යැයි තමට දැනෙන්නේ ඇයිදැයි අවිශ්කට වැටහුනේ නැත.
අයත්මා චත්‍ර දකින්නට ගියේ අවිශ්ක නිවසට ආ පසුය. අවිශ්ක ඇයට කිසිත් නොපවසා පරෙස්සමෙන් ගිහින් එන ලෙස පමණක්ම කීවේය. අයත්මා නිවෙසින් පිටතට ගියේ අයියා වැළැඳගෙනය. අයත්මා එහි යන විට චත්‍රගේ දෙමාපියන් සහ සිහිනි සහ කපිල උන්නේ චත්‍රගේ ඇඳ අසලය. අයත්මා ආපසු හැරෙන්නට උත්සාහ කලද චත්‍රගෙන් ඉඩක් වූයේ නැත.
” එන්න අයූ …”
සිහිනි කිසිඳු හැඟීමක් නැති ලෙසින් බලා උන්නාය. අතුකෝරල යුවල චත්‍ර දෙසත් අයත්මා දෙසත් බැලුවේ මේ කිනම් දෙයක් සිදුවන්නේදැයි සිතාගන්නට නොහැකිව මෙන් ය.
” අප්පච්චී .. මට අයත්මාව මැරි කරන්න ඕනි ….”
අයත්මා ගේ සීතලව ගොස් තිබූ සුරත අල්ලාගෙන චත්‍ර අතුකෝරල යුවල වෙත හැරී කීවේය. අයත්මා උන්නේ බිම බලාගෙනමය.
” මේ යකාට පුදුම පිස්සුවක් තියෙන්නේ… මේ මඟුල් කතා කරන වෙලාවක්ද?…”
සිහිනි කපිලට එලෙස කීවාය. කපිලද බලා උන්නේ පුදුමයෙනි. තමා සිතුවේ අයත්මා චත්‍රගෙන් පළි දරන්නට සැලසුම් සකසනවා යැයි කියා වුවද, දැන් ඇය මෙතැන සිටින විදිය අනුව නම් ඇය චත්‍රට පෙම් කරනවාමදැයි සැකයක් කපිලටද ඇති විය.
” අයත්මාත් මට කැමතියි … කියන්න අයූ අපේ අම්මලාට ඔයා ….”
චත්‍ර ඇගේ අත්ල මිරිකමින් කීවේය. ඕ හිස ඔසවාවත් බැළුවේ නැත.
” එයා ලැජ්ජාවෙන් ඉන්නේ … ඒකට කමක් නෑ.. මම අවිශ්ක එක්කත් කතා කරලා තියෙන්නේ .. ඌ කැමතියි ..”
චත්‍ර එලෙස පවසනවිට සිහිනි සුසුමක් හෙලුවාය. අවිශ්ක අයියා සියල්ල වටහාගෙන නම් ඒ ප්‍රමානවත් බව සිතුවාය. තමා කල වරදෙන් අයියාගේ ජීවිතය අවුල්ව යාවිය යන සැකයෙන් මිදුණු සැනසීම ඇයට දැනිණි. ඕ ඉවතක් බලා හිනැහුණාය,
” උඹට පුදුම කඩි කුලප්පුවක් නේ තියෙන්නේ චත්‍ර … මේ මඟුල් කතා කරන වෙලාවක්ද?…”
අතුකෝරල මහතා විමසද්දී කපිලද එයට එක් වෙමින්ම හිස සැලුවේය. සන්ධ්‍යා උන්නේ යම් සැනසීමක්ද, දෙගිඩියාවක්ද එක්කය. චත්‍ර එයට පිළිතුරු නොදී උන්නේය. ඔහුට යුද්ධයක් දිනා ගත් සෙන්පතියෙකුගේ සෙයියාව දැනෙන්නේය. දැන් කුමක් වුවත් අප්පච්චී තමා වෙනුවෙන් සිටිනු ඇතැයි යන විශ්වාසය චත්‍රට දැණුණි.
චත්‍රට සේලයින් ද දෙමින් තිබුණි. ඔහුගේ ශරීර උෂ්ණත්වය මදක් අඩුව තිබුනද දින දෙකක්වත් රෝහල් ගතව සිටින්නට වෙනු ඇතැයි එවෙලෙහි එතැනට ආ හෙදිය අයත්මාට කීවාය. ඔහුගේ රුධිර පීඩනයද සාමාන්‍ය වෙමින් තිබුණි.
” බය වෙන්නෙපා මිස් .. හස්බන්ඩ් දැන් නෝර්මල් සිටුවේශන් …. දවස් දෙක තියාගන්නේ ඉන්ස්පෙක්ශන් වලටත් එක්ක …”
අයත්මා හෙදිය සමඟ අපහසුවෙන් සිනාසී, අන් සියල්ලන්ගේම දෑස් මඟ හැරියාය. චත්‍ර, තම ස්වාමිපුරුශයා ලෙසින් හැඳිනීම මෙතරම් ආහ්ලාදජනකද?
| අපේක්ෂා ගුණරත්න |