ඔබ දකින තුරා -46

විවාහයට පෙර පවුලේ සියලු දෙනා ගෙදරට කැඳවා කෑම වේලක් දෙන්නට අමාරසී තුළ ආශාවක් ඇති විය. එහි පරමාර්ථය වූයේ සිය සොයුරාටත් සොයුරියටත් දිසත් හඳුන්වා දීමයි. ඔවුන් සිටින්නේ ඔහු ගැන වැරදි අවබෝධයක බව ඇය දැන සිටියා ය. විශේෂයෙන් ම තාත්තා සිටින වෙලාවල් මගහැර කලාතුරකින් ගෙදර එන අයියා යළි පවුල වෙත කැඳවා ගන්නට ඇයට උවමනා වී තිබිණ.

“ඉතිං අපි හොඳ තැනක් බලල එතන ඩිනර් හරි ලන්ච් හරි ඇරේන්ජ් කරමු”

දිසත් යෝජනා කළේ ය.

“එහෙම නෙවේ. මට ඕනෙ ගෙදරට එන්න කියන්න”

“එහෙනං ඔයා කැමති විදිහකට කරමු”

එළඹෙන සති අන්තයේ ඒ කටයුත්ත සිදු කරනු වස් අමාරසී මුලින් ම රුක්ෂාන් ට කතා කළා ය. එහෙම හමුවක් සඳහා මහ ගෙදර එන්නට ඔහු ගේ කැමැත්තක් වූයේ නැත.

“මං ඉතිං දැං ඔය ගෙදරට අයිති කෙනෙක් නෙවෙයිනෙ. පාටි ඕන නෑ. ලොකු නංගි ඔය කෙනා ගැන හොඳට හොයල බලල තීරණයක් ගන්න. මොකද ඔයත් අම්ම වගේ විඳවනවට මං කැමති නෑ”

“අයිය අයිති අපේ ගෙදරට. අපේ හදවත් වලට. වෙන තැනක ජීවත් වුණා කියල ඒක වෙනස් වෙන්නෙ නෑ. සමහර වෙලාවට අපි දැඩි කරං ඉන්න හිත් ලිහිල් කරල දැම්මම පුදුම සැහැල්ලුවක් දැනෙනව අයියෙ. අවුරුදු ගාණක් ඔයා ඔය පරණ තුවාලයක් එක්ක ජීවත් වෙන්නෙ. සමහර විට දැන් ඒ තුවාල සනීප වෙලත් ඇති. කබොල්ල තමයි ඉතුරු වෙලා තියෙනව ඇත්තෙ. අපි ඒව අතෑරල දාමු අයියෙ. තාත්ත වුණත් දැන් ඉස්සර හිටියට වැඩිය හුඟක් වෙනස්. අයියට රිස්සුවෙ නැත්තෙ ඒ පරණ හිටපු තාත්තනෙ. දැන් තාත්ත ගැන ඔයාට එහෙම දැනෙන එකක් නෑ”

අමාරසී කියූ දේවල් අහගෙන සිටිත්දී, මිදී ගල් ගැසී තිබි යම් කිසි දෙයක් දිය වී යන බවක් රුක්ෂාන් ට දැනිණ. හිතක් හිර කර ගෙන ඉන්නවාට වඩා නිදහස් කොට දැමූ විට පහසු ය. 

“සමාව දීල අමතක කරල දැම්මහම ඕනම වැරදි කාරයෙක්ව දරා ගන්න පහසුයි අයියෙ. තාත්ත කියන්නෙ දරුවෙක්ට හතුරෙක් නෙවෙයිනෙ කොහොමත්”

ස්ථිර වචනයක් නොදී ඒ කතා බහ නිමා කොට දැමුවාට, අමාරසී ගේ ඒ අන්තිම වචන ටික නම් රුක්ෂාන් ගේ ඇතුළාන්තයෙහි නිබඳ පිළිරැව් දෙමින් පැවතිණ. 

පබසරා නම් අමාරසී ගේ ආරාධනය එසැනෙන් පිළි ගත්තා ය. නමුත් ඇගේ හිතේ කොස්සක් නොවූවා නොවේ. අක්කා යොහාන් හා විවාහ වූවා නම් දිසත් ට වඩා ඇය කැමති ය. දිසත් කියන්නේ සිය සැමියා ගේ සමාජ මට්ටමේ කෙනෙකු නොවේ. ඇගේ මිනුම් දඬු වලට අනුව ඔහු ඊට වඩා ඉහළින් පවතින්නෙකි. පබසරා ගේ හිතේ ඇයට හෝ නොදැනෙන සියුම් ඊර්ෂ්‍යා සහගත හැඟීමක් පැවතිණ. නමුත් ඕ එය වසංගා ගෙන මූණිච්චාවට හොඳ මූණ පෙන්වා ගෙන සිටියා ය.

නිර්මලා සේ ම අජිත් ද මේ කටයුත්තට සූදානම් වූයේ සතුටෙනි. ඒ සතුට කොහොම එකක් ද කියා සමහර විට ඔවුන් පවා නො දන්නවා විය හැක. දීග ගොස් වෙනම දිවි ගෙවනා දරුවන් සිය දරුවන් ද ගෙන මහ ගෙදර එත්දී, මව් පියන්ට දැනෙන සතුට ගැන කවදාවත් ලොව කව් ගී ලියැවී නැතුවා විය යුතු ය.  එහෙම දවසක් යනු වියපත් හදවත් වලට තව්තිසා සුව ගෙනෙන හැඟීම් ජනිත කරවන්නක් බව බොහෝ අය නො දන්නවාත් ඇත. ඇතැම් විට දැනුණත්, නො දැනුණා සේ ඉන්නට තරම් එය කිසි දා කිසිවෙකු ගේ අවධානයට ලක් වූවක් නො වන්නට ද ඇත. 

නිර්මලා ගේ සේ ම අජිත් ගේ ද මුහුණු වල වෙනදා නො තිබුණ විදිහේ රේඛාවන් කැටි ගැහී තිබෙනු අමාරසී දුටුවා ය. ඒ සතුටු රේඛා ඕනෑම මොහොතක මුහුණ පුරා සිනහවක් අඳිනා සූදානමක බලා සිටියේ ය. දෙමව්පියන් ගැන දරුවන් හිතනවා හොඳට ම මඳ බව අමාරසී සිතුවා ය. උස් මහත් වන විට දරුවන්  සිතන්නේ දෙමාපියන් යනු කල් ඉකුත් වූ භා භාණ්ඩ සේ ය. පොඩි කාලේ දී සිය දරුවන් ව ඔවුන්ට සතුට ඇති කරනා තැන් වලට කැටුව යන්නට දෙමාපියෝ නිතර උනන්දු වෙති. තාත්තලා දරුවන්ට පෙරහැර පෙන්වන්නේ කර උඩ තබා ගෙන ය. පොඩි කාලේ දී ඔවුන් තිදෙනාව ම ගෙන තාත්තා හා අම්මා කානිවල් වලට ගෙන ගිය හැටි අමාට අද ඊයේ මෙන් මතක ය. සත්තු වත්ත පෙන්වන්නට, මුහුදු වෙරළේ සෙල්ලම් කරන්නට, උද්‍යාන වල ඇවිදින්නට, චිත්‍රපට නරඹන්නට පමණකුදු නොව ළමයින් ආස වෙයි කියා හිතෙන තවත් බොහෝ තැන් වෙත ඔවුහු විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව දරුවන් කැටිව යති. නමුත් ඒ දරුවන් උස් මහත් වූ කල සිය දෙමාපියන් ට ද සතුට උදා කර ගත හැකි අවස්ථා උදා කර දිය යුතු යයි නිකමට හෝ සිතන්නේ නොවේ. ඇතැම් විට සිය අටෝරාසියක් වැඩ රාජකාරී හා ඔවුන් ගේ දරුවන්ගේ කටයුතු  අතරේ ඔවුන් ට ඒ බවක් අමතක වී යනවා විය හැක. නමුත් දරුවන් තමන් වෙත සතුට කැන්දා ගෙන එන තෙක් දෙමව්පියෝ හුදෙකලා ව බලා සිටිති. එනමුත් සිය හිත් වල වන අවංක හැඟීම්, දරුවන්ට කරදර කළ නො හැකිය කියා නො පවසා සිටිති. සිය හදවත් තුළ ම හංගා ගෙන සිටිති.

අජිත් එදා මතක් වෙන වෙන සැරේට කඩේ ගියේ ය. පුතා කන්නට ආසා දේවල් ද පොඩි දුව කන්නට ආසා දේවල් ද ඇගේ පුතා කන්නට ආසා දේවල් ද මතක් කරමින් වරින් වර කඩේ ගියේ ය. රුක්ෂාන් නො එන බව නිර්මලා ට ද කියා තිබිණි. කුඩා කල පටන් ම ඔහු හිතුවක්කාර දැඩි චරිතයක් බව අජිත් ද දැන සිටියේ ය. ඔහු නො එන බව ඔහු ද දැන සිටිය ද එතැයි රහසිගත පැතුමක් ඇතුළාන්තයේ විය. 

නිර්මලා වෙහෙස නොබලා කෑම පිසුවා ය. දැන් දැන් නිතර ඇය ට නොයෙකුත් කැක්කුම් වේදනා ඇති වුව ද මේ වෙලාවේ ඇය ඒවා අමතක ම කර සිටියා ය.

දිසත් ආවාට පස්සේ අජිත් බීර බෝතල කරලියට ගෙනාවේ ය. ඔහු වෙනදාට වඩා බෙහෙවින් කතා කරන බවක් දිසත් ට ද දැනිණ. නමුත් ඔහු සිය මාමණ්ඩිය ඉවසා ගත්තේ ය. 

පබසරාලා සේ ම ලොකු බලාපොරොත්තුවක් තබා නො සිටි රුක්ෂාන් පවා පැමිණියේ ය. පුතා තාත්තා ව මගහරිමින් සිටිය ද, තාත්තලා, පුතාලා හා බෑණලා එක් ව සව්දිය පුරත්දී ඒ මග හැර යාම නමැති ආරක්ෂක කවචය බිඳී ගියේ ය. රුක්ෂාන් කෙසේ වතුදු අජිත් පුත්‍රයා සමග එල්ලි එල්ලී කතාවට ගියේ ය. කෙසේ වෙතත් ඒ භෝජන සංග්‍රහය නිම වන විට තාත්තලා පුතාලා අතර වූ නොහොඳ අමතක ව ගොස් තිබූ අතර දිසත් රුක්ෂාන් ගේ සිත් බැඳ ගෙන ද සිටියේ ය.

“ලොකු නංගිගෙ වෙඩින් එක ගන්න ඕන කාලෙකට අමතක නොවෙන විදිහට. හොටෙල් එකේ වියදං ඔක්කොම මං බලා ගන්නං”

අන්තිමට රුක්ෂාන් පොරොන්දුවක් ද වූයේ ය. අජිත් හෝ අමාරසී එවැන්නක් බලාපොරොත්තු නොවුණ ද, පබසරා නිර්මලා එක්ක කුටු කුටු ගා ඒ ගැන දොස් කීවා ය.

“අපිත් බැන්දා. වෙඩින් ගත්තා. ඒ වුණාට අපේ අයියලට මතක් වුණෙ නෑනෙ අයියලගෙන් වෙන්න ඕන යුතුකං”

නිර්මලා පොඩි දුව දෙස දයාවෙන් බැලුවා ය.

“ඒ කාලෙ ඉතිං තාත්ත එක්ක හිත හොඳකුත් නෑනෙ”

“ඒක තමයි අපේ අක්ක ඉක්මන්ට ඒ දෙන්නව යාළු කෙරෙව්වෙ. කපටි කමට..”

“ඔයා කොයි දේකවත් හොඳක් දකින්නෙ නැද්ද දරුවො…”

නිර්මලා එසේ කීවේ ගෙදර අනිත් අයට ඇසේවියි හෙමිහිට ය.

විවාහයෙන් පසු ඇය ගෙදරින් නික්ම ගිය කල අම්මා හා තාත්තා තනි නොවෙනවා නම් අමාරසී කැමති ය. රුක්ෂාන් නැවත මහ ගෙදර විත් නැවතෙනවා නම් ඔවුන්ට ට තනි කම ගැන හැඟීමක් නො දැනෙනු ඇත. කොහොමත් මහ ගේ ලියැවෙනු ඇත්තේ අයියා නමිනි. ඉතින් ඔහු විවාහ වී මහ ගෙදර නතර වෙන එක වඩා හොඳ ය.

“දවසක අම්මවයි තාත්තවයි දෙන්නව මට මං ඉන්න තැනක තියං බලා ගන්න ඕන”

සිය හැඟීම් වල අවසාන ප්‍රකාශනය අමාරසී විසින් පිට කරන්නට යෙදුණේ දිසත් ඉදිරියේ ය.

“තාත්ත කිව්වෙ බැන්ද අලුත අපි තනියම ජීවත් වෙන්න ඕන කියලනෙ. ඉතින් ටික දවසක් ගිහිං අපි ඒ දෙන්නව අපේ ගෙදරක තියා ගමු. මන් දන්නව ඔයාට අම්මයි තාත්තයි නැතුව ඉන්න බෑ කියල. අනිත් අතට ඔයා ඇත්තටම ඔයා වෙන්නෙ…ඔයාව සම්පූර්ණ වෙන්නෙ ඒ දෙන්නත් ඉන්නකොට. මට ඕනෙ අන්න ඒ ඇත්ත ඔයාව”

ඔහු හරියට ම ඇය වටහා ගෙන සිටියේ ය. අමාරසී ගේ නෙතග කඳුළක තෙත විය.

“අපේ තාත්තයි අම්මයිනං කවදාවත් ගම දාල එන්නෙ නෑ. එයාලට කොළඹ පරිසරේට හැඩ ගැහෙන්නත් බෑ. එහෙම එකේ ඔයාගෙ අම්මල අපිත් එක්ක ඉන්නවනං කොච්චර දෙයක්ද…”

අමා තාත්තා එක්ක මේ ගැන කන්කෙඳිරි ගෑවත් ඔහු ස්ථිර වචනයක් දුන්නේ නැත.

“හරි හරි. ඕව ඉතිං දැන්ම හිතන්න ඕන දේවල් නෙවේනෙ. මොකද අපි තාම නාකි වෙලා නෑනෙ. දෙයියනේ කියල රස්සාව කරං දරුවන්ට කරදරයක් නොකර ජීවත් වෙන්න මට පුළුවන්නෙ. වයසට ගියා වුණත් බේත් හේත් ටික කර ගන්න හරි පෙන්ශන් එකක් ලැබෙනවනෙ…අනිත් එක අපිට මේ ගෙයක් තියෙන්නෙ. දරුවො තුන් දෙනෙක්ම ඉන්නෙ..කාගෙ ළඟ ඉන්න බැරිද දරුවො…කාගෙ කාගෙත් ළඟ මාරුවෙන් මාරුවට හරි ඉන්න බැරියෑ. නේද නිර්මලා..”

අජිත් සිය අදහසට නිර්මලා වද සම්බන්ධ කර ගන්නට හැදුවාට ඇය හිනැහුණා මිස වාචික පිළිතුරක් දුන්නේ නැත. ඇය ට නම් දරුවන් තිදෙනා ළඟ ම සිටිත හැකි බව නිර්මලා දනී. නමුත් අජිත් ට නම් ඉන්නවා නම් සිටිය හැකි වන්නේ වන්නේ අමාරසී ළඟ බව ද ඇය ඉඳුරා දැන සිටියා ය. රුක්ෂාන් විවා පත් ව ඔහු ට මහ ගෙදර දුන් දා ක කොහොමටත් ගෙදරින් පිටත් වන්නට නිර්මලා හිත හදා ගෙන සිටින්නී ය. ලේලියක එක්ක ජීවත් වෙනවාට වඩා දුවක ළඟ ජීවිතය පහසු බව ඇය කවදත් විශ්වාස කළා ය.

“කොහොමත් ඉතින් අන්තිම මොහොතෙ වතුර උගුරක් හරි දෙන්නෙ ඉතිං කෙල්ලෙක් තමයි”

නො දැනුවත් ව ම ඇය ට එසේ කියැවී තිබිණ.

“ඒ වුණාට පබසරා එක්කනං වසන්න බෑ කියල අපි නොදන්නව නෙවේනෙ”

අජිත් අත්දැකීම් වලින් පැසුණු බව කියා පානා සිනහවකින් අවසාන තීන්දුව දුන්නේ ය. ඒ අනුව අමාරසී ගේ මුහුණේ සිනහවක් ඇඳිණි.

රාජ්‍ය අමාත්‍ය වරයෙකු ගේ දෙටු පුත්‍රයා වන ඩිලන් ගේ විවාහය ගැන පුවත මාධ්‍ය වෙත නිකුත් වූයේ දිසත් ගේ විවාහයට දෙසතියක් තබා ය. සමාජ මාධ්‍ය ඔස්සේ ඒ බව දැන ගත් දිසත් ගේ ඇතුළාන්තයේ යම් කිසි කැළඹීමක් ඇති විය.  කේෂි අවසාන වශයෙන් සම්බන්ධයක් ඇති කර ගෙන සිටියේ ඔහු සමගින් බව දිසත් දනී. මේ විවාහය ගැන ඇය දැන සිටියා ද නො දැන හිටියා ද යන ගැටළුව ඔහු තුළ ඇති විය.

සැබවින් කේෂි ද මේ බව දැන ගත්තේ මාධ්‍ය ඔස්සේ ය. ඇය හා විවාහ වීම කවදත් ප්‍රතික්ෂේප කළ ඩිලන්, විවාහ වීමට සූදානම් වූයේ වසරේ අවිවාහක රූ රැජිණ ව ය. කේෂි මේ බව දැන ගත් පසු අතිශය කලබල වූවා ය. ඇය ඩිලන් සමග දබර කර ගත්තා ය. සිය විවාහය බිඳ වැටුණේ ඔහු නිසා යයි කියමින් වැළපුණා ය. ශාප කළා ය. නමුත් ඒ කිසිවකට කිසිත් වෙනස් කළ නො හැකි විණි. 

අවසානයේ විශාධය උත්සන්න ව ඇය දිවි නසා ගන්නට උත්සාහ කළා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -28

නිශාමනී ඒ සැඳෑවේ ගෙදර පැමිණියේ අලුතෙන් ම ශාන්ත වූ හිතකින් කියා කිව හැක. ඇය ශාරද සමගින් කතා බහකට ගියේ ම නැත. ඇගෙන්...

අමිහිරි විවාහ ජීවිතය නිසා විඳ වූ බිරිඳක්.

මනෝ උපදේශිකා ප්‍රබුද්ධිකා විජේතුංග මෙනෙවියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙන් පළ කරන්නකි.වෘත්තිය ආචාර ධර්ම රැකෙන පරිදි සත්‍ය කතාවේ නම් ගම් සහ යම් සිදුවීම් වෙනස්...

හිමගිරි අරණ -13

"මොන දේ වුණත් ඔහේ දරා ගන්න පුරුදු වුණාම ජීවිතේ ලේසියි රවිඳු." හිමාෂා එසේ පැවසුවේ ඇගේ ජීවිතය ඇසුරිනි.එයට කිසිත් නොකියා...

ශරදාකාසේ -27

නිශාමනී අරමුණකින් තොර ව ඔහේ බලා සිටියා ය. නටුවෙන් ගිළිහෙන කහ පාට ඇහැල මල් පෙති කැරකී විත් ඇගේ හිස මත ද පතිත...

අපිට අපි

"අම්මේ බඩගිනියි." පුංචි නෙතුක එහෙම කියාගෙන මුළුතැන්ගෙයට එබෙනකොට චමරි පුතා දිහා බලා ගෙන හිටියේ දරා ගන්න බැරි වේදනාවකින්.උයන්න මොකුත්ම...