හතලිස් හතර වැනි නෙත් සැරිය
කලණ නිවෙසට ගියා වුවද හිතේ සැනසීම තිබුණේ නැත. ඔහු නුවර වැව රවුමේ ඇවිදිමින් වරුවක්ම ගෙවා දැම්මේය. අයත්මා තමා කෙරෙහි යම් විශේෂයක උන් බව දැන් දැන් කලණට ගැලපෙන්නේය.
ඇගේ ඇස් තමා පසුපස්සෙන් බොහෝ දුර ආ වග මඟ හැරුනේ කෙලෙසකදැයි කලණට සිතන්නට අවැසි විය. ඇය තමා කෙරෙහි සැබැවින්ම උද්‍යෝගීමත්ව උන්නාය. එහෙත් තමාට ඇය කෙරෙහි එවන් උද්‍යෝගයක් නොවූ බව කලනට සහතිකය. එහෙත් දැන් දැන් මේ සිදුවන රිදීම් සහ නොසන්සුන්කම් යම් සිදුවීමක් වෙනුවෙන් අර අදින බව කලණට වැටහේය.
අයත්මා සහ චත්‍ර අතරේ වන සම්බන්ධතාවය පිළිබඳව අයත්මා කිසිදිනෙක තමා සමඟ දොඬමලුවී නැති බව කලණ දනී. අඩුම තරමේ ඇය ඍජුවම එවැන්නක් ඇඟවූයේවත් නැතිය. එහෙත් ඇය අසනීප වුවාට පසු ගෙවුණ කාලයේ තමා මඟ හැරීමට කටයුතු කලා නොවේදැයි කලණ සිහි කලේය. නාට්‍ය තරඟාවලියේ දෙවෙනි අදියරේ වැඩ කටයුතු වෙනුවෙන්ද ඇයගෙන් ලැබුනේ සීමා සහිත දායකත්වයක් නොවේදැයි කලණට ආපස්ස්සට කල්පනා කර බලද්දී සිහි විය.
එසේනම් ඇය තමාගෙන් දුරස්ව යෑම සිදු කර ඇත. එහෙත් තමා ඒ දෙස උනන්දුවෙන් බලා නො උන් නිසාම තමාට ඒ වෙනස්කම් මඟ හැරෙන්නට ඇත.
චත්‍රට තමා එල්ල කෙරූ අතුල් පහර පිළිබඳව සිහි වෙද්දී කලණට යම් පසුතැවීමක්ද දැනුනේය. ඔවුන් සියලු දෙනා අතරේ තමා ලැජ්ජාවට පත් වූවාක් වනි හැඟීමක්ද ඒ පසුතැවීම සමඟ විය.
” කොහොමටත් වෙන්න තියෙන දේ වෙනවා … අයත්මා එක්ක ඉස්සර උන්නා වගේම ඉන්න එක තමයි හොඳම … එහෙම නොවී අයත්මාව මඟ අරින්න ගියොත් ඒකෙන් හෑල්ලු වෙන්නේත් මමමයි .. අයත්මා ගත්ත තීරණේ මට ගානක්වත් නැති ගානට හැමෝටම පේන්න ඉන්න ඕනි … මොන දේ වුනත්, මම ප්‍රමාද වුනා කියන්නේ ඒ ප්‍රමාදයේ ප්‍රතිපලත් මමම විඳින්න ඕනිනේ…”
කලණ අවසානයේ තමාටම එලෙස කියා ගත්තේය. සැහැල්ලුවක් නොදැනුනා වුවද, ඔහු සැහැල්ලුවක් පවත්වාගන්නට උත්සාහ කලේය.
” අයත්මා නංගී… වැකේශන් එකේ අන්තිම වීක් එකේ ඩ්‍රාමා ප්‍රැක්ටිස් දාගමු …. මම එන්නම් …. ප්‍රින්සිපල් සර්ට ඉන්ෆෝර්ම් කරන්නම් මම ….”
කලණ නිවෙසට ගියාට පසු අයත්මාට කෙටි පණිවිඩයක් තිව්වේය. චත්‍ර ගේ අසනීපය සමඟ හිත කලබලයෙන් උන් නිසාම අයත්මා ඒ පණිවිඩයට පිළිතුරු දුන්නේ පසුදින උදෑසනය.
” හරි කලණ අයියේ .. එහෙම කරමු … මම අනූ ටීචර්ටත් කියන්නම් ….”
කලණ පිළිතුර දෙස බලා හිනැහුනේය. සියල්ල සිදුවන්නේ යම් පිළිවෙලකට සහ ප්‍රමුඛතාවයකට අනුවය. ජීවිතය යනු ඒ වෙනස්කම් වලට අනුගත වෙමින්, ඒවා පිළිගනිමින් ජීවත් වීමය.
දින තුනකින් චත්‍ර රෝහලෙන් නිදහස් විය. ඒ අතරවාරයේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා අත්සන් කෙරුණි. චත්‍රට දිස්ත්‍රික් නායකත්වය සමඟ හමුවක් කැඳවා තිබුනද, චත්‍ර රෝහල් ගතව සිටින වග දැනුම් දී එම හමුව මඟ හැරියේය. පසුව දිස්ත්‍රික් නායකවරයා චත්‍ර හමුවීමට නිවෙසට පැමිණියේය.
” දැන් කොහොමද කොල්ලෝ ?…”
” දැන් නම් ටිකක් හොඳයි සර් .. ඇඟ පතට අමාරුව තමයි …”
“ඔය උණ ඔහොම තමයි ….”
සුහද කතාබහ අවසාන වූයේ අතුකෝරල මහතාද චත්‍ර අසලින් හිඳගත් පසුවය. හදිසියේම නගරයට යෑමට සිදුවූ වග පවසා ඔහු සමාව ඉල්ලද්දී දිස්ත්‍රික් නායකයා ඒ පිළිබඳව සමාව ඉල්ලීම අනවශ්‍ය බව කියමින්ම අතුකෝරල මහතා පිළිගත්තේය.
” දැන් මේ චත්‍ර පාර්ලිමන්ට් ඉල්ලන්නේ නැත්තේ මොකෝ අපේ අතුකෝරල මහත්තයා ?…”
දිස්ත්‍රික් නායකයා විමසුවේ අතුකෝරල මහතාගෙන් වුවද, පිළිතුර චත්‍ර සතුව තිබුණි. මේ දේශපාලන ධාරාව තුල තමා තවම කුඩා පැලයක් බවත්, තනිව පැල වීමට නම් තමාට තව කාලයක් අවැසි බවත් චත්‍ර කීවේය.
” ඒක හරි කොල්ලෝ …. ඒත් අපි ඉන්නවානේ ෆලෝ අප් කරන්න … මේ චාන්ස් එක මඟෑරෙන එක අපරාදේ .. ආයේ අවුරුදු පහක් ….”
පක්ෂ නායකවරයා අවධාරණය කරද්දී චත්‍ර යටහත් පහත් ව්‍යාජ සිනහවක් පෑවේය.
” ලොකු ගහක් යට කවදාවත් පොඩි ගහකට උපරිම ශක්‍යතාවයෙන් වර්ධනයක් ලැබෙන්නේ නෑ සර් … ඒකට ලොකු ගස් යටින් ඈතට විසිවෙන තරමට ඉදිරිලා යන්නම ඕනි …”
අතුකෝරල මහතා වැඩිමහල් පුතු පිළිබඳව උපන් ස්නේහයෙන් හිනැහුනේ ආඩම්බරයද එක්කමය. පක්ෂ නායකයාටඉන් එහා චත්‍ර ගේ හිත වෙනස් කිරීමේ උත්සාහයක් වෙනුවෙන් කිසිවක් පවසන්නටවත් අදහසක් වූයේ නැත. චත්‍රගේ දේශපාලන ගමනේ අවසානය සියල්ලන්ටම සිතා ගන්නට නොහකි ඉමක වනු ඇති බවට වන අනාවැකිය සමඟින් ඔහු සමුදුන්නේය.
” ආඩම්බරයි උඹ ගැන….”
පඩිපෙළ නඟිමින් උන් චත්‍රට අතුකෝරල මහතා එලෙස පවසද්දී සාලයට එමින් සිටි සන්ධ්‍යාද අඩම්බරයෙන් හිනැහුනාය. චත්‍රගේ ජීවිතය විනාශ වී යනු ඇතැයි වූ බය දැණ් සිතේ නැත. මේ සියලු වෙනස්කම් අර අයත්මා නම් ගුරුවරිය නිසා බව සන්ධ්‍යටාද නිකමට මෙන් සිතෙන්නේය. එහෙත් ඕ ඒ ගැන කිසිවෙකු සමඟවත් කතා කරන්නට උත්සුක වූයේ නැත.
තමා කෙතරම් අකමැත්තෙන් උන්නද, මෙවෙලෙහි චත්‍ර සහ අයත්මා අතරේ වන යම් සම්බන්ධතාවයක් වේ නම් එයට තම ආශිර්වාදය එක් කරන්නට සන්ධ්‍යා ඉටාගත්තේ චත්‍ර රෝහල් ගතව උන් දින තුන අවසානයේය. අයත්මා සමඟින් චත්‍රගේ ජීවිතය ආලෝකයෙන් පිරී යනවාය යන හැඟීම ඇගේ මවුවත් හැඟීම් අතරට හොඳින්ම දැනුණි.
” අයත්මාගේ වැඩිහිටියෝ මුණ ගැහිලා මේ කාරනා පිළිවෙලට කතා කරගන්න වෙනවා… දවසක් දාගෙන අපිට කියන්න ….. කොහොමටත් දෙන්නා දෙපැත්තට වෙලා ඉන්නකල් ඔය කතන්දර ගෙතෙන එව්වා වැඩියි.. දෙන්නා එක තැනකට වුනාම මේ හැමදේම පිළිවෙලක් වෙයි ….”
චත්‍ර අතුකෝරල මහතා දෙස බලා උන්නේ විමතියෙනි. අයත්මාගේ නම යළි මේ නිවස තුල ඇසෙන්නට හෝ නොදිය යුතු වග ඔහු කීවේය. ඇයට ඇයගේ පාඩුවේ ඉන්නට දී තමා ඇයගේ ජීවිතයෙන් ඉවත් නොවූවහොත් ඉන් එහා සිදුවීම් වල පාලනය පිළිබඳව තමා වග නොකියනා වගද කීවේය. එහෙත්? දැන් සියල්ල වෙනස් වී ඇත.
සිහිනි සහන්ව සම්බන්ධ කරගන්නට හැකි සෑම උත්සාහයක්ම ගනිමින් උන්නාය. එහෙත් කිසිවක් සාර්තක වූයේ නැත. ඕ ඊ මේල් හරහාද ඔහුට ලීවේය. එහෙත් එක් පිළීතුරක්වත් ආවේ නැත.
ඕ උන්නේ මනසින් මෙන්ම ශාරීරිකවද විඩාවකය. මනෝ උපදේශකවරයා කුමක් කීවද සිහිනිට හිත වෙනස් කර ගන්නට හිතෙන්නේ නැත. අයියාද මාලාද නිතර නිතර එබිකම් කිරීමද වදයක්ව දැනෙන්නේය. එහෙත් ඔවුන් වලක්වන්නට ඉඩක් නැත. අවසානයේ සිහිනි අවිශ්කට ඇමතුමක් ගත්තාය. අවිශ්ක උන්නේ දියණියගේ සුව නින්ද නොකැඩෙන සේ යහනට ගොඩවෙමිනි. ජංගම දුරකතනයේ හඬින් ඔහු තිගැස්සුනේය. වහා නිහඬ ස්වරූපයට ජංගම දුරකතනය මාරු කලේය. සිහිනි රාත්‍රී එකොළහත් පසුවී තිබියදී තමා අමතන්නේ මන්දැයි අවිශ්කට සිතාගන්නට හැකි වූයේ නැත. එහෙත් ඕ මඟ හරීමටද සිත් දුන්නේ නැත.
” හෙලෝ ….”
” අයියේ ….”
” කියන්න සිහිනි නංගී … මුකුත් ප්‍රශ්නයක් නෙවෙයි නේද ?…”
“එහෙමම ප්‍රශ්නයක් නෙවෙයි …. නිකන්….”
අවිශ්කට එයට දිය යුතු පිළිතුර වැටහුනේ නැත. ඔහු කාමරයෙන් පිටතට විත් සෙටියේ ඇල වූයේය.
” අයියා සහන්ට කතා කලාද?…”
” ඔව් .. ඌට මං කවුද කිව්වම ෆෝන් එක කට් කලා..ඊට පස්සේ ආන්සර් කරන්නේ නෑ… අපි බලමුකෝ …”
” එයා ඇයි එහෙම ?…”
සිහිනි සුසුම් ලමින් විමසුවාය.
” ඒ මිනිහාට නංගීව ඒ තරමටම එපා නම්, නංගී කොහොමටවත් ඒ මිනිහා ගැන හිතන්න ඕනි නෑ… එච්චරයි කතාව.. මම මේ ඌ පස්සෙ යන්නේ, මගේ නංගිගේ ජීවිතේ ගැන කතන්දර පතුරවන්න ඌට තිබූණ උවමනාව හොයාගන්න .. එහෙම නැතුව වෙන කිසි දෙයක් අග්ගිස්සන්න නෙවෙයි …”
සිහිනිට රිඳුණි. අවිශ්කට තමා නොවටින්නේය දැනුණි. අවිශ්කට තමා ගැන වටිනාකම්ක දැණිය යුත්තේ මක් නිසාදැයි අනෙක් පසට සිතුණි. එහෙත් ඕ උන්නේ පැටලෙමිනි. ඕ ජංගම දුරකතනය විසන්ධි කලාය.
| අපේක්ෂා ගුණරත්න |