ඇයි ඌට අත් දෙකක් – 12

0
4870

ඒ අද්භූත ජනක සිද්ධියෙන් දවස් තුනකට පස්සේ මට ආපහු සැරයක් තාත්තගෙ පරණ ඩයරියක් හම්බවුණා. ඒ පරණ ඩයරිය තිබුණේ අප්පුගේ කාමරයේ පෙට්ටියක් ඇතුලේ තිබිලා.එදා අප්පුව මම තැපැල් කන්තෝරුවට ඇරියා වසන්තිට ලියුමක් තැපැල් කරන්න.අප්පු ගෙදරින් යනකං ඉඳලා මම අප්පුගේ කාමරයේ ඔක්කොම ඇදලා බැලුවේ සැක කටයුතු මොනවා හරි දෙයක් තියෙනවද කියලා හොයාගන්නයි. ඒකෙදි මට හම්බ වුණේ මෙන්න මේ ඩයරියයි. පරණ බඩු දාපු පෙට්ටියක් ඇතුලේ මේ ඩයරිය අප්පු හංගලයි තිබුණේ….ඒ වෙලාවේ මට හිතුණා තාත්තගෙ වගේ ඩයරි ලියන පුරුද්දක් මගේ ළඟ තිබුණෙ නැති එක හරි පාඩුවක් කියල.සමහර සිද්ධි හරියටම සිද්ධ වෙච්ච දවස් දින වකවානු මට මතක නැත්තේ මම ඒවා ලියලා තිබ්බෙ නැති හින්දයි..

ලංකා…මගේ ඇඟ හිරි වැටෙන එක පරිච්ඡේදයක් ඒ ඩයරියේ  තිබුණා.
මට වගේම අර මායාකාරී නපුරු අත්දැකීම තාත්තටත් හම්බවෙලා තිබුණා.

මේ කොලයේ මෙතනින් අලවලා තියෙන්නේ මම තාත්තගේ ඩයරියෙන් ඉරා ගත්ත ඒ පිටුව..

සේනා  ගොඩක් පරණ ඩයරියකින් ඉරාගත්ත පිටුවක් ඒ කොලේ එතනින් අලවලා තිබුණා.

පුතා.. සමහරවිට මට මේ දේවල් ඔයාට කටින් කියන්න බැරුව යයි.මම දන්නෙ නැහැ. ඊයේ හැන්දෑවේ මට මොකක්ද උනේ කියලා.කවද හරි  දවසක ඔයාට මේ ඩයරිය හම්බවෙයි.එදාට ඔයා මේක කියවයි.එදාට ඔයා මොන තත්ත්වයෙන් මේක කියවනවද කියන්න මම දන්නේ නැහැ.ඒත් පුතා මට ඔයාට අනතුරු අඟවන්න ඕන.ඔයා අපපුගෙන් පරිස්සම් වෙන්න. මට මේක ඔයාට කටින් කියන්න බැරි හේතුවක් තියෙනවා.මේ බංගලාවේ මම හිටියේ තනිවෙලා.ඒ හින්දා මම ගොඩක් බීම වලට ඇබ්බැහි වෙලා හිටියා.මං හිතනවා මගේ ව්‍යාපාර කඩන් වැටෙන්න ප්‍රධාන හේතුව මගේ අනිසි බීම කියලා. ඒ වගේම club එකේදී අඳුනගත්ත ගෑණු ළමයි කීප දෙනෙක්වත් මම සැරින් සැරේට බංගලාවට ගෙන්න ගත්තා. මේ දේවල් මට කවදාවත් ඔයාට කටින් කියන්න බැරුව යයි.
එදත් ඒ වගේම ගෑණු ළමයෙක් බංගලාවට එන්න නියමිත වෙලා හිටියා.  ඒ ගෑණු ළමයා එනකන් මම බලාගෙන හිටියා. පුරුදු විදිහටම බ්‍රැන්ඩි වීදුරුව  හදලා දුන්නේ අප්පු.ඒ බ්‍රැන්ඩි වීදුරුව බිව්වට පස්සේ මට මහා අමුත්තක් දැනෙන්න පටන් ගත්තා.කවදාවත් නොදනිච්ච විදිහට.මට මතක ඊට පස්සේ හැම දෙයක්ම ඡායාවක් විදිහට විතරයි.ඒ පුටුවේ මම ගල් වෙලා හිටියා.මම අප්පුට කොයිතරම් කෑ ගහන්න උත්සාහ කලත් මට කට තියා ඇඟිල්ලක්වත් හොලව ගන්න බැරුව ගියා.ඡායාවක් වගේ මම දැක්කේ කවුරු හරි මනුස්සයෙක් මගේ ලඟට ඇවිල්ලා මගේ කට ඇරලා මොකක් හරි අමුතු දෙයක් කට ඇතුලට බස්සවනවා කියන එක විතරයි.මට දැනුණු හැඟීම විස්තර කරන්න තේරෙන්නේ නැහැ.මගේ උගුරෙන් පහළට මොනවා හරි උණුවෙන් දෙයක් පිච්චීගෙන යනවා කියන හැඟීම විතරයි මට ඒ වෙලාවෙ තේරුනේ.ඊට පස්සේ ඒ ආපු මනුස්සයා කටට දාපු දේත් අරගෙන ආපහු ගියා.මම දන්නෙ නෑ මට සිහිය ආවේ කොයි වෙලාවෙද කියලා.මට කෑ ගහගන්න පුළුවන් වෙච්ච පළවෙනි තත්පරේදී මම අප්පුට කෑ ගැහුවා.ඒ වෙනකොට පහුවෙනිදා දවස එළිවෙලත් ඉවරයි.මම අප්පුගෙන් ඇහුවා මොකද්ද උනේ කියලා.අප්පු මට කිව්වේ මම බ්‍රැන්ඩි එක බිව්වට පස්සේ සිහියක් පතක් නැතුව වැටිලා හිටියය…  එන්න හිටපු ගෑණු ළමයා ඇවිල්ලා පැය දෙකක් තිස්සේ බලන් ඉඳලා ආපහු ගියා කියන එකත් විතරයි. මම එවෙලෙම වාහනයෙන් club එකට ගිහිල්ලා ඒ ගෑණු ළමයව හම්බවුණා.ඒ ගෑනු ළමයා කිව්වෙත් එයා ඇවිල්ල පැය දෙකක් තිස්සේ මං දිහා බලාගෙන හිටියා නැගිටින පාටක් නැති හින්දා එයා ආපහු ආවා කියන එක විතරයි. මම දැක්කේ මායාවක්ද ඇත්තක්ද කියන්න මම දන්නේ නැහැ..ඒත් මට හොඳටම විශ්වාසයි ඒ මායාව ඇතුලේ අප්පු කියන්නේ පළවෙනි පුරුක කියලා… උබ පරිස්සමෙන් සේනා …

සේනාදීර ගේ තාත්තගේ ඩයරියේ පිටුව ඒ විදිහට ඉවර වෙලා තිබුණා.

ලංකා…මම මේ ඩයරිය අරගෙන මගේ කාමරයේ අල්මාරියෙන් හංග ගත්තා. පහුවෙනිදා උදේ මම දැක්කේ අප්පු එයාගේ  කාමරයේ තිබිච්ච පොත් පෙට්ටි දෙකකට ගිනි තියල කියන එක විතරයි.මම ඇහුවහම ඒ මොනවද කියලා පරන  පත්තර වගයක් කියලා.සමහරවිට ඒක ඇතුලේ තාත්තගෙ තව දේවල් තියෙන්න ඇති … මේ ඩයරිය නැතිවෙලා කියන එකත් අප්පු දැනගන්න ඇති.එතකොට එයාට තේරෙන්න ඇති මම එයාගෙ කාමරය ඇතුලට ඇවිල්ලා එක එක දේවල් හොයනවා කියලා..සමහර විට ඒකෙ..මං කියන්නේ ඒ ගිනිතියපු ගොඩේ.. මොනවාම හරි දෙයක් තියෙන්න ඇති…

ලංකා..මගේ ඇඟට දැන් ටික ටික අමාරුකම් දැනෙන්න පටන් අරගෙන තියෙනවා.මම දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා.මට බඩගිනි දැනෙන්නේ නැහැ.මගේ බඩ එන්න එන්න ලොකු වෙනව.ඉස්සර විස්කි ෂොට් එකක් බ්‍රැන්ඩි ශොට් එකක් ගන්න ආසාවෙන් පෙරුම් පුරන මම දැන් ඒ කිසිම දෙයක් ආස නැති මනුස්සයෙක් තත්ත්වයට පත්වෙලා.මගේ බඩ ඇතුලේ මොනවා හරි ගොඩක් දේවල් එකට දඟලනවා කියලා මට දැනෙනවා.උඹ හිතයි ඇයි මම ඉස්පිරිතාලෙට යන්නේ නැත්තේ කියලා.ඒක මට උඹට විතරයි කියන්න පුළුවන්.ඒක මගේ නම්බුව ගැන ප්‍රශ්නයක්.මේ ගැන උඹ කාටවත් කියන්නේ නැහැ කියලා මම දන්නවා.වසන්තිගෙන් පස්සේ මගේ එක එක අයතා සම්බන්ධතා තිබුණා.මමත් මනුස්සයෙක්.ඒ ගැන උඹ තේරුම් ගනී කියලා මම හිතනවා.ඒ එක සම්බන්ධතාවයකින් මම සමාජ රෝගියෙක් වුණා.මම ඉස්පිරිතාලෙට ගියොත් ඒ හැම දෙයක්ම එළිවෙනවා.මෙච්චර කාලයක් මම රැකගෙන ආපු නම්බුකාර ජීවිතය …නම.. මේ හැම දෙයක්ම මට නැතුව යනවා.වසන්තිට  උනත් මේ දේවල් ආරංචි උනහම මම ගැන තිබුණු ගරුත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා යයි.මට මොන දේ වෙලා මැරිල ගියත් මම මගේ නම්බුවට ආදරෙයි.උඹ මම ඉන්න තත්ත්වය තේරුම් ගනී කියලා මම හිතනවා.ඒ වගේම මට තියෙන්නේ සාමාන්‍ය අසනීපයක් නෙමෙයි කියන එකත් මට දැනෙනවා.මෙතන මොකක් හරි අද්භූත දෙයක් සිද්ධ වෙනවා.මං හිතන්නේ මට වැඩි කාලයක් තව ඉතුරු වෙලා නැහැ.මේ සිද්ධිය පිටිපස්සේ අප්පුට සහාය දෙන තවත් කවුරුහරි ඉන්නවා කියන එක මට දැනෙනවා.ඒ කවුද කියන්න මම හරියටම දන්නේ නැහැ.උඹ මේ සිද්ධියට දැනටමත් සම්බන්ධ වෙලා නම් ඉන්නේ මගේ අතිශය පෞද්ගලික දේවල් ඇරෙන්න සිද්දියේ අනික් දේවල් උඹට විශ්වාසවන්ත තව කාට හරි කියලා තියපන්..ඒක සමහරවිට උඹේ මතු ආරක්ෂාවට වටීවි.මම එහෙම කියන්න හේතුව තමයි එදා මට මායාවක් විදිහට පෙනිච්ච සිද්ධියේදී අප්පු විතරක් නෙමෙයි එතන හිටියේ.මට දැන් ටික ටික මතක් වෙනවා තවත් කවුරුහරි එතන හිටියා කියලා.මං හිතන්නේ මේ ගොල්ලෝ එක කුලයක්..අපිට නොදැනී මනුස්ස වේසයෙන් ඉන්න එක කුලයක්.අවශ්‍යතාවයකදී විතරක් මේ කුලය එකට එකතු වෙනවා.සමහර විට ඒ ගොල්ලන්ගේ ප්‍රජාව බෝ කරන්න.මම දන්නෙ නැහැ මට මේ හිතෙන දේවල්..

********************************

මගේ ඔලුව කැරකෙන ගතියක් මට දැනෙන්න පටන් ගත්තා.මේ දේවල් වල අවසානය මොකක්ද කියන එක හිතාගන්න බැරුව ගියා. මම කාවද විශ්වාස කරන්න ඕනේ කාවද අවිශ්වාස කරන්න ඕනේ කියන එක මට හිතාගන්න බැරිව ගියා.මේ සිද්ධියට පොලිසිය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම මට තේරුණා.මගේ ජීවිතය බේර ගන්න නම් මම අනිවාර්යයෙන්ම ඉහළ පොලිස් නිලධාරියෙකුගේ සහය ලබා ගන්න ඕන කියන එක මට හිතුනා.
සේනාධිරගේ ජීවිතය ගැන මට ඇත්තටම දුක හිතුණා.හිතේ කියාගන්න බැරි ලොකු පීඩාවකින් සේනාධිර ජීවත් වෙන්න ඇති කියලා හිතුනා.ඉස්පිරිතාලෙකට යන්න බැරි හේතුව විහිළුවක් හැටියට අනිත් කෙනෙකුට තේරුනත් හැබෑවටම ඒ ප්‍රශ්නයට මුහුණ දීපු මනුස්සයාට කොයි වගේ හැඟීමක් දැනෙන්න ඇද්ද කියන එක මම තේරුම් ගන්න උත්සාහ ගනිමින් හිටියා.හෙට දවසේදී මට හොයාගන්න පුළුවන් තරම් කරුණු තොගයක් හොයාගෙන තව දවස් කීපයකින් වසන්ති ලංකාවට ආවහම මේ හැම දෙයක්ම බාර දීලා  ඉක්මනින්ම ආපහු යන්න ඕනෙයි කියලා මම තීරණය කළා.දැන් වසන්තිගේ පුතාත් අවුරුදු 15ක විතර ඉලංදාරියෙක් නිසා සමහරවිට වසන්තිට මේ හැම දෙයක්ම බලා කියාගන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා. විශ්වාස කළත් නොකළත් මට මේ හැම සිද්ධියක්ම වසන්තිට කියන්න සිද්ධ වෙනවා.මම දන්නෙ නැහැ මේකේ අවසානය මොකක්ද කියලා.අප්පුව පොලිසියට අල්ලලා දෙන්න නම් සාක්ෂි සහිතව අල්ලගන්න ඕනේ කියන එකත් මට තේරුනා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here