කෙසෙල් මුව වලින් රසවත් මෝජුවක්

ගමේ නගරයේ ඕනෑම තැනක හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් ලාභදායි, පෝෂණීය සහ රසවත් කෙසෙල් මුව පාවිච්චි කරල සීනි සම්බෝලයක් හදන්නෙ කොහොමද කියල https://smartlady.lk/article/35299/cooking-21/ ලිපියෙන් smart lady අපි ඔබට කියල දුන්න මතක ඇතිනේ.

ඔන්න අදත් කෙසෙල් මුව යොදාගෙන හදාගන්න පුළුවන් තවත් රසවත් කෑමක් ගැන ඔබට කියන්නයි අපේ මේ සූදානම. 

බටු වලින් හදන මෝජුව අපි කා අතරත් ප්‍රසිද්ධයිනේ. දානෙ ගෙදරක්, මඟුල් ගෙදරක්, අමුත්තන්ට සංග්‍රහ කරන විශේෂ අවස්ථාවක් වගේ ඕනෑම මොහොතකට හරි අපූරුවට ගැළපෙන බටු මෝජුවට නොදෙවෙනි රසක් දෙන කෙසෙල් මුව මෝජුව හදාගන්නෙ කොහොමද කියල එහෙනම් අපි අද බලමු. 

මුලින්ම, පුරුදු විදිහට අවශ්‍ය දේවල් සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

කෙසෙල් මුවක්

රතුළූණු 100g ක් 

අමු මිරිස් 50 g ක් 

රටඉඳි 150 g ක් 

හාල්මැස්සන් 100 g ක් 

තක්කාලි සෝස් මේස හැඳි 02 ක් 

කෑලි මිරිස් 

ලුණු කුඩු 

කහ කුඩු 

සීනි තේ හැඳි ½ ක් 

දෙහි ගෙඩියක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, කෙසෙල් මලක් ගෙන එහි වටේ පොතු ඉවත් කරගන්න.

කෙසෙල් මුව හොඳින් සෝදා වතුර බේරීමට තබන්න.

දැන් භාජනයක් ගෙන එයට වතුර දමා වතුරට කහ කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක් සහ දෙහි බෑයක යුෂ එකතු කර හොඳින් කලවම් කරගන්න.

වතුර බේරුනු කෙසෙල් මුව දෙකට මැදින් පලාගෙන මැද ඇති නාරටිය ඉවත් කරගන්න. 

දැන් කෙසෙල් මුව සිහින්ව ලියාගන්න.

ලියාගත් කැබලි කහට පිපීමෙන් වළක්වා ගැනීමට කහ වතුරට දමන්න.

ලියාගත් කෙසෙල් මුව කැබලි ටික වේලාවක් කහ වතුරේ තබා ගන්න. මේ අතරතුර අනෙක් ද්‍රව්‍ය සූදානම් කරගන්න ඔබට පුළුවන්. 

ඒ සඳහා රතුළූනු පොතු ඉවත් කර සූදානම් කරගන්න. 

අමු මිරිස් වෙන් නොවෙන සේ දෙකට මැදින් පලාගන්න. 

හොඳින් සෝදා පිරිසිදු කරගත් හාල්මැස්සන් දෙකට පලාගෙන තබාගන්න. 

දැන්, වතුර පොඟවා ගත් කෙසෙල් මුව කැබලි වල වතුර හොඳින් මිරිකා ඉවත් කර අතුරා තබන්න.

තෙල් තාච්චියක් ලිප තබා තෙල් රත්වෙන විට විට වතුර බේරා ගත් කෙසෙල් මුව කැබලි කොටසින් කොටස එක්කර රන්වන් පැහැවන තුරු බැඳගන්න. 

ඊළඟට, රතුළූණු සහ අමුමිරිස් කරල් බැඳගන්න. 

අවසානයේ දෙකට මැද්දෙන් ඉරා ගත් හාල්මැස්සන් රන්වන් පාට වනතුරු බැඳගන්න.

බැඳගත් සියල්ල පසෙකින් තබාගන්න. 

රට ඉඳි හීනියට ලියා ගන්න. 

ලියාගත් රටඉඳි වෙනම භාජනයකට දමා එයටම සෝස්, සීනි සහ රස අනුව කෑලි මිරිස් සහ ලුණු කුඩු එකතු කර රටඉඳි පොඩි නොවෙන සේ හොඳින් කලවම් කරගන්න.

දැන් එයට බැඳගත් සියල්ල එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

ඔන්න අපි රසම රස කෙසෙල් මුව මෝජුවක් පිළියෙල කරගෙන අවසන්. 

ඊළඟ දවසේ මේ විදිහටත් කෙසෙල් මුව හදල බලන්න කියල ඔබට ආදරෙන් ආරාධනා කරන ගමන් අද ලිපියෙන් අපි සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles