නෙමටෝඩා.. එහෙමත් නැත්නම් රවුම් පනුවා.. එහෙමත් නැත්තං කොකු පනුව… මේ සේරම අපේ ඇඟ ඇතුලේ ඉන්න පණුවෝ වර්ග තමයි.මේ පනුව උනත් කරන්නේ අපේ බඩවැල් වල එල්ලිලා අපේ ලේ උරා බොන එක තමයි.එහෙම නැත්නම් අපේ ජීර්ණය වන ආහාර කොටස් වල තියෙන පෝෂ්‍ය පදාර්ථ උරා බොන එක තමයි.මේ පණුවෝ වර්ගය වැඩි වුණහමත් අපිට කෑම අරුචිය නැතිවෙනවා.බඩ මහත් වෙනවා ඇග කෙට්ටු වෙනවා. ඒත් මට හිතෙන හැටියට මේ පණුවෙක් නෙමෙයි.මොකෙක් හරි සරපයෙක් . ඌ පණුවන්ට වැඩිය බොහොම ශක්තිමත්..ඊට වඩා බොහොම දරුණුයි..මේ සර්පයා කෙලින්ම ආහාරයට අරගන්නේ මනුෂ්‍ය ශරීරයේ කොටස්.ඌට ඉස්සෙල්ලාම කන්න හම්බවෙන්නේ ආමාශය. ඒ කියන්නේ මම දැන් මේ කියවපු සිද්ධි වලින් මට තේරිච්ච විදිහට..ඒ සර්පයා බිත්තර දාන්නේ මිනිසුන්ගේ කටට..එතකොට ඒවා කෙලින්ම යන්නේ මිනිස්සුන්ගේ ආමාශයට..එතකොට ඒ බිත්තර පුපුරලා පැටව් වර්ධනය වෙන්න ගන්නේ මනුස්ස ආමාශය ඇතුලේ.. සර්ප පැටවුන්ගේ පළවෙනි සහ ප්‍රධාන ආහාර වේල වෙන්නේ ආමාශය..
ආමාශය කාලා ඉවර වෙන කොට සර්පයා වර්ධනය වෙලා ඉවරයි.එතනින් එහාට උන් ජීවය ලබන්නේ ලෝකයේ තියෙන දරුණුම විදිහටයි. මම දන්නව වෛද්‍ය කරුණුත් එක්ක සංසන්දනය කරලා බලනකොට මට හිතුනේ එහෙමයි.
ඇත්තටම මේ සංසිද්ධිය පොලිසියට කිව්වට කොයිම වෙලාවකවත් පොලිසිය මේ දේ විශ්වාස කරයිද කියන එක මට හිතාගන්න බැරුව ගියා.මේ සිද්ධියට මුහුණ දීපු මම විතරක් මේක දන්න නිසා විශ්වාස කරනවා.අඩුම තරමේ මේ සිද්ධි මාලාව කියවන ඔබ උනත් මේක ඇත්තක් කියලා හිතන්නෙ නෑ නේද..අන්න එතන තමයි අපිට වරදින එකම තැන.ඇත්ත කොයිතරම් කිව්වත් ඒක විශ්වාස කරන්න අපි සූදානම් නැහැ.
“ලංකා මහත්තයා ලොකු කල්පනාවක වගේ..මං මේ කඳු ගැටේ නගිනකම්ම බලාගෙන හිටියේ.අන්න අර පේන පුංචි ගල්පොත්ත ගාව තමයි යෝගි තුමා ඉඳගෙන ඉන්නේ.අර පේන්නේ අර..”
සමන් ගේ කතාවට ඇත්තටම මම කල්පනා ලෝකයෙන් මිදිලා මේ ලෝකයට ආවා.ගල්පොත්ත අස්සේ ගල් පොත්තේ පාටටම කවුරුහරි ඉඳගෙන ඉන්නවා කියන එක නම් මට පෙනුනා.මූණක් කටක් ශරීරයක් පේන්නෙ නැති විදිහට කොණ්ඩයයි රැවුලයි ඒ මනුස්සයව වහගෙන තිබුනා. ඝනකම් රෙද්දකින් තමන්ගේ ශරීරය වහගෙන තිබුණා.සීමිත කාලයකට පමණක් ඒ ඇස් දෙක අරින බව මට හිතුණා.සීමිත කාලයකට ඇස් දෙක ඇරියට අසීමිත දෙයක් ඒ මනුස්ස පරානය දන්නවා ඇති කියලා නිකමට වගේ මට කල්පනා වුණා.
අපි කිසිම සද්දයක් කරන්නේ නැතුව බොහොම හෙමින් ගිහිල්ලා ගල් පොත්ත ඉස්සරහින් වාඩි වුණා.සමන් එයා ගෙනාපු කෝපි එක උණුසුම් බෝතලයෙන් එළියට අරගෙන කෝප්පයට වක්කරලා යෝගීවරයාට පිළිගැන්නුවා.එතකොට යෝගීවරයා එයාගේ ඇස් දෙක ඇරලා ප්‍රියමනාප මුහුණින් කෝපි එක පිළිගත්තා..තමන්ගේ මුළු ජීවිත කාලයම කැලයක් ඇතුලේ ගතකරන මනුස්සයෙක් ඇත්තටම භාවනායෝගී වෙන්නේ මේ හැමදේම අතඇරලා දාලා තමයි.ඉඳලා හිටලා හම්බවෙන උණුසුම් කෝපි කෝප්පයක් කොයි තරං ආශාව ප්‍රහීණ කරලා ඉන්න මනුස්සයෙක්ගේ වුණත් ගත සිත පුබුදුවන දෙයක් බව මට හිතුණා.
“ඒක විශ්වාස කරන තරමට අනතුරක් විදිහට පේන.. අවිශ්වාස කරන තරමට ජීවත් වෙන්න ලේසි සිද්ධියක්..ඒක නවත්තන්න අපි පහු උනා වැඩි..මේ ලෝකයේ පාලනය කරන්න පුළුවන් දේවල් තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයයි..ඔබට ඔබව උනත් පාලනය කරන්න බැහැ නේද..”
එකපාරටම යෝගීවරයා මගෙන් එහෙම අහනකොට මොකක්ද දෙන්න ඕන උත්තරේ කියලා මට හිතාගන්න බැරුව ගියා.
” ඔබගේ ඔලුවේ ඇති කෙස් කාගෙද…”
මට පුදුම හිතුණා.මගේ ඔළුවේ කොන්ඩේ මගේ ඇරෙන්න වෙන කාගෙද ..
“මගේ සාමි”
“හොඳටම විශ්වාසද ඒ ඔබගේ කොණ්ඩය කියලා..”
මේ මනුස්සයා මගෙන් මොකක් අහන්ඩ එනවද කියන එක මට හිතාගන්න බැරුව ගියා.මගේ ඔළුවේ කොන්ඩේ මගේ තමයි.ඒක වෙන කාගෙවත් වෙන්නේ කොහොමද..
“ඇයි සාමි අවිශ්වාස..? මගේ ඔලුවේ තියෙන කොන්ඩේ මගේ තමයි…”
“ඔබ ඔය ඇඳගෙන ඉන්න ඇඳුම කාගේද..ඔබ ඔය දාගෙන ඉන්න ඔරලෝසුව කාගෙද…”
“මේ ඇඳගෙන ඉන්න ඇඳුමත් මේ දාගෙන ඉන්න ඔරලෝසුවත් මගේ තමයි සාමි… මේවා වෙන කාගෙවත් නෙමෙයි…”
“ඔබට හොඳටම විශ්වාසයි ද ඔය කියන හැමදේම ඔබගේ කියලා..ඔය කියන හැමදේම ඇත්තටම ඔබට අයිතියි කියලා..”
” සාමි.. ඒ හැමදේම මගේ තමයි”
“ඔබගේ කොන්ඩේ සුදුවෙන එක ඔබට නවත්තන්න පුළුවන්ද… ඔබගේ ඇඳුම් පරණ වෙන එක ඔබට නවත්තන්න පුළුවන්ද..ඔබගේ බඩු භාණ්ඩ ඔරලෝසු යම් කාලයකදී අකර්මණ්‍ය වෙන එක ඔබට නවත්තන්න පුළුවන්ද…”
“ඒකනං මට කරන්න බැරිවෙයි සාමි..”
“ඒ හැමදේම අයිති ඔබට කියලා කලින් කිව්වා නේද.. ඉතින් ඔබට අයිති දේවල් ඔබට පාලනය කරන්න බැරිද”..
යෝගිවරයා අවසානයේ මට ඒත්තු ගන්න උත්සාහ කරපු දේ මට තේරුණා.මට පුදුම හිතුනා. දෙයක් නොකියා කියන්නේ කොහොමද කියන එක මට තේරුණා.මේ සිද්ධි හැම දෙයක්ම මේ යෝගීවරයා දන්නවා. ඒත් එයා දන්නවා මනුස්සයෝ හැටියට අපිට ඒ දේ පාලනය කරන්න බැහැයි කියල.එයා කියන්න හදන්නේ ඒකයි..මට නොදැනීම මට හිතාගන්න බැරි විදිහට මගේ ඇසළ කඳුළු පිරෙන්නේ ඇයි කියන එක කියල දෙන්න කෙනෙක් එතන හිටියේ නෑ..
“මහත්මයා මට උදව්වක් කරන්න පුළුවන්ද..මේ ගල් පොත්තෙන් පල්ලෙහා තියෙනවා අක්කපාන පැල වගයක්.මට ඒකෙන් කොළ හතරක් කඩලා ගෙනත් දෙන්න පුළුවන්ද..අක්කපාන කොළ තමයි අද මම දවල්ට ආහාරයට ගන්නේ.පුළුවන් නම් එතන දොළ පාරෙන් මෙන්න මේ ලබු කැටයට වතුර එකකුත් ගෙනල්ලා දෙන්න..”
යෝගීවරයා සමන් මහත්තයා දිහා බලලා එහෙම කියනකොට සමන් එක පාරටම නැගිටලා ලබු කැටෙත් අරගෙන ගල් පොත්තෙන් පල්ලෙහාට බැහැගෙන ගියා.මම ඒ දිහා බලාගෙන හිටියා.
“මහත්මයා..
මෙන්න මේ පිරිත් පැන් කුප්පිය මහත්තයාගේ ආරක්ෂාවට තියාගන්න.අවශ්‍යතාවයක් සිද්ධවෙනකන් ඔය පිරිත් පැන් කුප්පිය සතර කම්මන්ත්‍රණයේ විතරක් තියා ගත්තොත් හොඳයි..”
යෝගීවරයා ඒ විදිහට මගේ අතේ සුදු පාට පුංචි කුප්පියක් තියෙනකොට ඒ ඇයි කියලා මට හිතාගන්න බැරුව ගියා.ප්‍රශ්නාර්ථයක් පිරිලා තිබිච්ච මගේ ඇස් දෙක දැක්ක යෝගිවරයා
“ලඟදිම ඕක උවමනා වෙයි. ඉක්මනින්ම ගන්න පුළුවන් තැනක තියාගන්න…”
කියලා කියනකොට මට බයත් හිතුනා.ඉන් එහා වචනයක්වත් කතා කරන්න හම්බවුණේ නැත්තේ සමන් මහත්තයා එතනට වතුර භාජනයයි අක්කපාන කොලයි කඩාගෙන ආපු හින්දයි.
“සාමි.. මේ මහත්තයට දැනගන්න උවමනාලු අර රාජසිංහ රජ්ජුරුවන්ගේ කුමාරිකාවගේ පරම්පරාව ගැන…”
එහෙම කියන ගමන් සමන් මහත්තයත් ආපහු අපි ගාවින් වාඩි වුණා.
“ඒ දේවල් අපිට ආපහු සැරයක් වෙනස් කරන්න විදිහක් නැහැ.මේ විශ්වයේ නීතිය කරන්න බුදුරජාණන් වහන්සේටවත් බැරි බව ඔය මහත්තයලා හොඳටම දන්නවා..
මේ විශ්වය නවතින තාක් කල් කුමාරිගේ පරම්පරාව බිහි වීම නවතින්නේ නැහැ.. පරම්පරා බෝ කරන්නෙක් කිසිම කාලයක නැති කරන්නත් බැහැ…
අපි විශ්වාස කරන හුඟාක් පුද්ගලයන් ඒ කුමාරිගේ පරම්පරාවේ අය තමයි..අපිට ඒ දේවල් තේරෙනකොට අපි කරන්න ඕන හැම මෝඩ වැඩේම කරලා ඉවරයි.ඒ පරම්පරාවල් වලින් ගැලවෙන්න අවශ්‍ය නම් මම වගේ තපස් රකින්න එන්න ඕනේ.මේ විශ්වයේ කොහේ ගියත් කුමාරිගෙ පරම්පරාවෙ අය ඕන තරම් ඉන්නව මනුෂ්‍ය වේසයෙන්…”
එහෙම කියපු යෝගීවරයා තමන්ට තවත් කතා කරන්න අවශ්‍යතාවයක් නෑ කියලා පෙන්නන්න වගේ ආපහු සැරයක් ඇස් දෙක වහගෙන භාවනායෝගීව වැඩ ඉන්න බවක් පෙන්නුවා.තවත් කතා කරලා වචනයක්වත් එළියට ගන්න බැහැයි කියලා අතින් පෙන්නපු සමන් මහත්තයා ඉතින් නැගිටලා යමු කියන එකත් හස්ත සංඥාවෙන්ම කිව්වා..
“ඒ කියන්නේ සමන් මහත්තයා මේක කවදාවත් ඉවරයක් වෙන දෙයක් නෙමෙයිද..”
“ලංකා මහත්තයා..ඇත්තටම මට තේරෙන විදිහට නං ලංකා මහත්තයා තවදුරටත් මෙහේ ඉන්න එකේ තේරුමක් නැහැ..ඔය කියන වසන්ති නෝනට ඔය ටික කියලා මහත්තයා මෙහෙන් යන්න. මේ දේවල් අපි පොලිසියට කිව්වට කවදාවත් අපිට මේ දේවල් ඔප්පු කරන්න හම්බවෙන්නේ නැහැ. නීතිය ඉදිරියේ අපි පිස්සෝ හැටියට ගණන් ගන්න එක විතරයි වෙන්නේ…”
“යන්න…. යන්න …. දෙ..යි.. හාමුදුරුවනේ … සමන්.. මහත්තයා …. අනේ… අනේ… මගේ පාස්පෝට්..වීසා ඉන්ශුවරන්ස් සේරම නග්‍රැක් බංගලාවේ කබඩ් එකෙ… දෙයියනේ … එදා කලබලයට මම අරගෙන ඇවිල්ල තියෙන්නේ සේනාධිර ලියපු කොළ කෑලි ටික විතරයි…”
වතුර බෝතලය ගන්න හදිසියේම මගේ උරපත්තේ එල්ලගෙන හිටපු බෑග් එක ඇරපු මට දෙලෝ රත් උනා..
“අප්පා… එතකොට ඒ කබඩ් එක ලොක් කරලා තිබුනේ නැද්ද”
“කබඩ් එක ලොක් කරපු බව නම් හොඳටම මතකයි..ඒත් දෙයියනේ කබඩ් එක කඩලා අප්පුට ඕනෙනම් ඒ දේවල් ගන්නත් පුළුවන්..”
“දැන් අපි මොකද කරන්නේ?..”