සැරිසරන්නී – 44

මා සිටින්නේ මගේ මාපිය නෑසියාදීන් පිරිවරාගෙන මගේ උපන් දින සාදය තුළ බව සිහිපත් වූයේ විනාඩි කිහිපයක් රවීන් ගේ දෑතත් පපුවත් අතර උණුහුම් ම පෙදෙසේ දෑස් පියා ගෙන සිටීමෙන් පස්සේ ය. 

බියක් හෝ තිගැස්මක් මගේ සිරුර දිගේ විදුලියක් සේ පැතිර ගියේ ය. මගේ තාත්තා තරමක් වෙනස් විදිහට හිතනා මිනිසෙකි. ඔහු කුඩා කල සිට ම අප ව හුරු කරවන්නට තැත් කළේ ද එසේ හිතන්නටයි. ගෑනු ළමයින් ලෙස ලැජ්ජා බය ඇතිව ජීවත් විය යුතු ය යන අදහස තාත්තා දැඩි ලෙස අපේ සිත් වල රෝපණය කොට තිබුණේ ය. ඒ නිසා ම, පවුලේ සියලු දෙනා අතර මැද, ගෙදරින් අනුමත නොකරන ලද රවීන් ගේ තුරුලේ මේ විදිහට සුවපත් වීම ගැන දෙගිඩියාවක් මා තුළ ඇති විය.

මා ඔහු ගෙන් මිදෙන්නට හදනකොට ම ලොකු අයියා විත් අප දෙදෙනාව ම සිය දෑතින් වැළඳ ගත්තේ ය. 

“අවුරුදු තුනකට කිට්ටුව මං බලං හිටිය මචං රවීන්. උඹ නැතුව මේකිට  ජීවිතයක් තියෙයි. හැබැයි ඒ ජීවිතේ ට කවදාවත් සතුටක් තියෙන එකක් නෑ”

මම රවීන් අතැර ලොකු අයියා ගේ පපුවේ මූණ හොවා ගතිමි.

“අනේ අයියේ”

ඒ කොහේ තිබි කඳුළක් ද කියා මා දන්නේ නැත. අවසාන වතාවට ලොකු අයියා ළඟ මා මේ විදහට හැඬුවේ රවීන් ගෙන් සමු ගත්තා ට පසු දා විය යුතු ය. ඉඳහිට හුදෙකලා කඳුළක් වැටුණාට, ඉනික්බිති මා මගේ කඳුළක් වෙන කිසිවෙකු හට පෙන්වූයේ ම නැත. අද ඒ කඳුළු සොරොව් බිඳගෙන පිට මං වෙන්නට පටන් ගෙන තිබේ. 

“අඬන්නෙපා සිරියාවතී…උඹ ඉපදිලා තියෙන්නෙ අඬන්න නෙවෙයි. තවත් මට මේක බලං ඉන්න බෑ. මේක මං උඹට දෙන උපන්දින තෑග්ග. අපේ එවුං මාව මරා ගත්තත් කමක් නෑ. උඹ මේකිව අරං පලයං රවීන්. මං දන්නව උඹල දෙන්න සතුටෙන් ඉඳියි”

මා වැළඳ ගෙන ලොකු අයියා ද කඳුළක් පිස ගත්තා කියා සිතමි. මගේ කඳුළු නම් ඇස් දිය කර ගෙන ද මන්දා ගැළුවේ ය.

“චී චී ඔහොම අඬන්න එපා. දැන් ඉතින් ඔය දාල තිබුණ මේකප් තට්ටුව චොරයක් වෙලා මෙතනට ඇවිත් ඉන්න මානිස්සුන්ට කෑම ටිකවත් කන් හිතෙන්නෙ නැති එකනෙ වෙන්නෙ”

කඳුළු අතරින් ම මට සිනහා ගියේ ය. මේ වගේ අහඹු නිමේශයක් ලොකු අයියා සිය අසීමිත දඩබ්බරකම තුළින් උපද්දා තිබිණි ද, එය සදාකාලික කර ගන්නට අපට බැරි බව මම ඉඳුරා දැන සිටියෙමි. අම්මා ගේ මූණ දෙස නම් බලන්නට පවා මම බිය වීමි. 

“ඔයාට බැනුං අහ ගන්න වෙයි ලොකු අයියෙ”

රවීන් සුනෙත් ලා ළඟ අසුන් ගත වූ පසු මම ලොකු අයියා ගේ කනට කෙඳිරුවෙමි.

“සුදු නැන්දා ඇයි ගෙයි දොර වැහුවේ…මාමණ්ඩී මට ඇයි මගහැරියේ…”

නාටක විලාශයකින් ලොකු අයියා ගැයුවේ ය. 

“සුදු නැන්දා අදින් පස්සෙ තමයි මට දොර වහන්නෙ. කමක් නෑ එන විදිහක් බලමු”

අයියා ගේ ඇස් වලින් සතුට පෙරිණි. ඔහු කෙබඳු සොයුරෙක් ද? ආච්චා හිටියේත් මේ ජීවිතේ අන්තිම හෝරාව වුණත් කම් නැත යන අදහසකින් සේ ය. ඇය රවීන් වෙත ගොස් බෝ වේලා කතා කරමින් සිටිනු මම දුටිමි.

සාදය නිමා වී අප ගෙවල් වලට යන්නට සූදානම් වූ මොහොත, එදා රවීන් ගෙන් මා සදහට ම සමු ගත් අවසන් මැන්දෑව තරම් ද වේදනාවක් හදවතට බර කරමින් තිබි මොහොතකි. කවුරු කවුරුත් ශාලාවෙන් පිටතට යමින් ද එකිනෙකා ගෙන් සමු ගනිමින් ද සිටි ඒ වෙලාවේ මා හිටියේ රවීන් ට දෙඅඩියක් තරම් දුරකිනි. ඔහු දුටු මුල් නිමේශයේ සෙයින් සමීප වන්නට, පියවි සිහියෙන් හිඳිනා මෙවන් වෙලාවක නුපුළුවන. නමුත් කාන්දම් බලයක් මා ඔහු වෙතට අදිමින් සිටියේ ය. මම ඒ බලයට එරෙහි ව සටන් කරමින් සිටයෙමි.

“රවීන්”

කියා ගෙන තාත්තා ඔහු වෙතට ම ආවේ ඒ වෙලාවේ ය. 

“අපේ ගෙයල් පැත්තට ගිහින් යමු”

රවීන් ගේ උරහිසක් මත අතක් තබමින් තාත්තා කීවේ ය. මම නෙතු විසල් කර ගෙන බලා සිටියෙමි.

” මට රවීන් එක්ක කතා කරන්න ඕන වෙලා තිබුණෙ. මලිත්ටත් මං ඒ ගැන කියලයි තිබුණෙ. යංකො. තාම ගොඩක් රෑ වෙලා නෑනෙ කොහොමත්”

අත්පුඩි ගසා සිනා සෙමින් සතුට ප්‍රදර්ශනය කරන්නට පෙළඹෙනා අවස්ථා අපේ ජීවිත වෙත උදා වන්නේ ය. නමුත් ළමා වියෙන් මත්තට, එවන් සිතැඟි උපන්න ද අපි එසේ නොකරමු. මේ මට එසේ කරන්නට සිත් වූ මුත් එසේ කළ නො හැකි වූ මොහොතකි.

නමුත් ඒ සතුට තාත්තා රවීන් ට ගෙදර යන්නට කළ ආරාධනය වෙනුවෙන් පමණකි. ගෙදර ගිහින් ඔහු මොන දේශනයක් කරාවිද කියා මා දන්නේ නැත. 

මා හා ලොකු අයියා ගියේ මගේ මෝටර් රථයෙනි. පවුලේ අනිත් සියලු දෙනාගේ ප්‍රවාහණය වෙනුවෙන් ලොකු අයියා බස් රථයක් කුළියට ගෙන තිබිණි. රවීන් අපට පසුපසින් ඔහු ගේ රිය පැද ආවේ ය. මම කිහිප වතාවක් ම හිස හරවා එය එනවා ඳැයි බැලුවෙමි.

“හරි හරි ඌ නොදන්න පාරක් නෙවෙයිනෙ. උඹ බෙල්ල ඇම්මැට්ටි කර ගන්නෙ නැතුව හිටපංකො”

ලොකු අයියා ගේ ඒ විහිළුව මට ටිකක් වැඩිපුර ලැජ්ජාව දැනවී ය.

“තාත්තා හදන්නෙ ඔක්කෝටම දේශනයක් දෙන්නද ලොකු අයියෙ..”

“බලමු ඉතිං ගිහිං නේ…මට ඉකිං බණින්න හේතුවක් තියෙනව. රවීන් ට එතනට ඉන්වයිට් කළා කියල. හැබැයි ඉතිං ඌට බණින්න බෑනෙ”

සතුටෙහි දුක කැළතුන විට ඇති වන්නා වූ මිහිරියාව ගැන ලියන්නට සුදුසු ම වචන ගැන මා දන්නේ නැත. එය හෘද ස්ඵන්දන වේගය වැඩි කරන්නා වූ මිහිරි හා කලබලකාරී තිගැස්මකි. මා හිටියේ අන්න ඒ දෙගිඩියා හැඟීමේ කර වටක් ගිලී ගෙන ගියා පමණක් දනිමි.

“හදමුකො කෝපි ටිකක්”

අපේ රිය පෝටිකෝව යට නැවතෙන කොට ම තාත්තා කියනු ඇසිණ. පවුලේ අනිත් අය ගෙවල් වලට විසිර යමින් සිටි අතර නයනා නැන්දා තව දුරටත් අපේ මිදුලේ පමා වෙමින් සිටියා ය.

“අම්ම මොනාද තවත් මෙහෙ කරන්නෙ..යන්න යන්න ගෙදර”

ලොකු අයියා ඇය ට සැර දැම්මෙන් නයනා නැන්දා ඔහු ට රවමින් යන්නට ගියා ය. මම බිත්තියට හේත්තු වී බලා සිටියෙමි. රවීන් අපේ ගේට්ටුව ඉදිරියේ නතර වුණ රියෙන් බැස ගන්නා අයුරු, චිත්‍රපටයක දර්ශනයක් සේ මගේ දෑස් ඉදිරියේ දිගහැරෙන්නට වූයේ ය. ඔහු ගේ දෙතොලතර මඳහසක් වූයේ නැත. නමුත් ඒ වත මත බියක්, තිගැස්මක් හෝ දෙගිඩියාවක් වූයේ ද නැත. අඩියක් පෙරට තබනා ගමන් ඔහු අතේ ගුලි කොට උන් රිමෝට් යතුරෙන් මෝටර් රථය අගුළු දැමුවේ ය. මා ඔහු නොදුටු මේ වසර තුනකට ආසන්න කාලයේ දී ඔහු ගේ සිදුව ඇති වෙනස්කම් මොනවා දැයි හැඳින ගන්නට මට ඕනෑ විය. නමුත් මට එවන් එක ලක්ෂණයක් හෝ සොයා ගත හැකි නොවිණි. ඔය පැමිණෙමින් සිටින්නේ මගෙන් සමු ගත් රවීන් ම ය.

“එමු එමු රවීන් ඇතුළට”

තාත්තා ඇරයුම් කළේ ය.මම බිත්තියට පිට දී ගත් වන සිටියෙමි. රවීන් නෙතගින් මදෙස බලා ගෙන මා පසු කොට ගියේ ය. මම ඇස් වල ගැබ්බර සිනහවක් දරා ගෙන බලා සිටියෙමි. ඔහු එදා මගේ හදවතේ ඉතිරි කොට තබා ගිය රවීන්මය සුවඳ, මේ මොහොතේත් ඔහු ගල්වා තිබූ විලවුන් වල තැවරී තිබුණේ ය. මම ඉතා හෙමිහිට දිගු හුස්මක් ගනිමින් තවත් ආත්ම ගණනකට ඒ සුවඳින් මගේ පපුව පුරවා ගතිමි.

මේ වගේ ආගමික වචන හා හැඟීම් වලට සැබවින් ම කළ හැක්කේ කුමක් දැයි ඒ අව් අස්සේ ම මට සිතිණි. ඒවා ඒ මොහොතට අපේ දුක්බර චිත්ත සන්තානයන් සනහා ලනවා පමණක් ද?  අප සංසාරයක් ආදරයෙන් ලංව හිඳිනා පැතුමක් පතා ගෙන මේ ආත්ම භවයේ දී මිනිස් හදකට උහුලා ගත හැකි උපරිම දුක් කන්දක් ඔසවා හිඳිනා මිනිස්සු වෙමු.

“ඉඳගන්න රවීන්”

තාත්තා ගේ වචන සවන් හි වදිත්දී යළිත් පියවි සිහියට එළඹුණ මම හෙමිහිට පිය තබා ගෙතුලට යන්නට ගියෙමි. රවීන් අතීතයේ දී මගේ වූවා ට දැන් ඔහු වූ කලී මට අයිති වස්තුවක් නොවේ. අපේ ගෙදරට ඔහු ට කළ ආරාධනය තාත්තා ගේ ය. ඔහු වෙනුවෙන් කෝපි තැනීමත් තාත්තා අම්මා ට භාර කළේ ය. ඉස්සර නම් ලොකු අයියා එක්ක රවීන් අපේ ගෙදර බොරුවට කල් මරත්දී මම තේ හදමි. තාත්තා තේ වලට දක්වන දැඩි කැමැත්ත නිසා ඊට ඔහු ගෙන් ද අනුබල ලැබෙයි. නමුත් ඒ අතීතයේ ය. දැන් එහෙම නැත. 

මම මතු මහලට නැගෙනා පියගැට පෙළ දෙස ට ඇවිද ගියෙමි.

“සනුකි”

තාත්තා ගේ එහඬන් මා ගැස්සුණා ය කියනා එක කිසි සේත් අතිශයෝක්තියක් නම් නොවේ. 

“මෙතනිං ඇවිත් වාඩි වෙන්න”

ඒ තරම් දුරක් ඒ තරම් අමාරුවෙන් මීට පෙර මා ගමන් කොට නැත. පිය ගැට පෙළ ළඟ සිට තාත්තා හා රවීන් හිඳ සිටිනා සෝෆා එක ළඟට දුර!

“මං මලිත් එක්ක කතා කරල තිබුණෙ. රවීන් ට ගෙදරට එන්න කියල මේ ගැන කතා කරනව කියල. රවීන් වැරදියට හිතන්න එපා. මුලින් ඔයාව අපේ පවුලට සම්බන්ධ කර ගන්න අකමැති වෙලා පහු වෙලා කරගන්න දෙයක් නැති වෙනකොට කතා කරනව නෙවෙයි මේ. ඕන පේරන්ට් කෙනෙක් බලන්නෙ තමන්ගෙ දරුවට තමන් විශ්වාස කරන හොඳම ජීවිතේ උදා කරල දෙන්න. සනුකි ගෙ අම්මයි මමයි වුණත් එහෙමයි. මැරි කරල ඩිවෝස් වුණ කෙනෙක් කියන්නෙ ආයෙ මැරි කරන්න සුදුසු නැති කෙනෙක් නෙවෙයි කියල අපි දන්නව. ඒත් දෙමව්පියො විදිහට අපි කැමති වුණේ විවාහය ගැන ඒ වගේ බරපතල අත්දැකීමක් නැති කෙනෙක් අපේ දුව මැරි කරනවනං. මටත් වඩා දුවගෙ අම්මට ඒක දරා ගන්න පුළුවන් දෙයක් වුණේ නෑ. බලපෑමක් නොකර මං පැත්තකට වෙලා හිටියෙ අම්මටයි දුවටයි ඕන විදිහකට මේක විසඳ ගත්තාවෙ කියල. ඒත් කවදාවත් මේක විසඳෙන පාටක් නැති නිසයි අන්තිමට හරි මං මැදිහත් වෙනව කියල හිතුවෙ. සනූ කියන්නෙ ඉස්සෙල්ලම මාව තාත්තෙක් කරපු දරුවා රවීන්. ඒ ළමය මේ තරං හිත තද කරං මෙහෙම දුකක් උහුලං ඉන්නව කියන එක මටත් දරා ගන්න පුළුවන් ලිමිට් එකක් තියෙනව. එයා වෙන කෙනෙක් ගැන හිතල ජීවිතේ පිළිවෙලක් කර ගන්නවනං…ඒකට ඔයා දුරකින් හිටපු මේ අවුරුදු තුන හොඳටම ඇති. ඒත් එහෙම දෙයක් නොවෙන නිසා…තවත් අවුරුදු තුනක් සනූගෙ ජීවිතේ ලස්සනම කාලෙ ගෙවිල යන්න ඇරල ඔයාට කතා කරනවට වැඩිය අද කතා කරන එක හොඳයි කියල මට හිතුණා. මලිත් ගෙන් දැන ගත්ත විදිහට ඔයත් සනූ වෙනුවෙන් හැමදාම තනියම ඉන්න තීරණේ කරල කියන්නෙ…ඔයා ඇත්තටම මගෙ කෙල්ලට ආදරෙයි කියන එක කියල තේරුං ගන්න බැරි තරං මෝඩ තාත්තෙක් නෙවෙයි මං. ඕගොල්ලො එච්චරට ඕගොල්ලො වෙනුවෙන් ම හිටයනං…ඇත්තටම අපි දැනටමත් පැරදිලා ඉවරයි. මලිත්ට විශේෂයෙන් තෑන්ක් කරන්න ඕන මං…සනූව අත් අරින්නැතුව මේ මොහොත වෙනකල්ම එයා එක්ක හිටියට. මලිත් ඇත්තටම හොඳ අයිය කෙනෙක්”

මම ලොකු අයියා ගේ උරහිසට වාරු වුණෙමි. මට ඉකි ගැසී හැඬුණේ ය. ඔහු සිනහ වෙමින් මගේ උරහිස වටා අතක් දමා ගත්තේ ය.

“ඒයි ලෙච්චමී. මොකද බං මේ…කෑ ගහල අඬන්න ඕන හැම වෙලාවෙම උඹ හිටියෙ යකඩ ගෑනියෙක් වගේ හයියට හිනා වෙලා. ඒත් හිනා වෙන්න ඕන මේ වෙලාවෙ වැලහින්නක් වගේ අඬනව. පිස්සු ආච්චියෙක් බං උඹනං”

මට ඒ හැඬුම නතර කර ගන්නට බෝ වෙලාවක් ගත විය. කෝපි කෝප්ප සහිත බන්දේසිය ගෙන ආවේ නංගී ය. අම්මා සේ ම ආච්චා ද පසු පසින් පැමිණියහ.

“මගෙ ඇස් දෙක පියවෙන්න කලින් මේ දේවල් මෙහෙම වෙච්ච එකම මදෑ. සනූ හිතුවක්කාරයි කියල මන්නං මුල ඉඳලම දැනං හිටිය. එයාට ඕන කොල්ලව මිසක් රාජ කුමාරයෙක්වත් එයා බඳින්නෑ කියලත් මන්නං දැනං හිටිය. සනූ ගැන ආච්චා හරි ආඩම්බරයි පුතේ”

ආච්චා මගේ හිස පිරිමැද්දා ය. මම ඇගේ අතක් අල්ලා ගෙන සිප ගතිමි.

“රවීන් පුතා මාත් එක්ක තරහ වෙන්න එපා. මං විරුද්ද වුණේ ඔයාට නෙවෙයි මගෙම හිතෙන් හදා ගෙන හිටිය සම්ප්‍රදාය සදාචාරය වෙනස් කරනවට. ඒත් ඒ දේවල් කර පින්නගෙන ගිහින් සනූව දවසක ජීවිතේ මැද තනි කරල මැරිල යන්න බෑ”

මම වහා ම අසුනෙන් නැගිට අම්මා වැළඳ ගතිමි. 

අම්මා!

ඇය තරම් මා ගැන හිතූ වෙනත් ජීවියෙකු මේ මිහි මත නොවනා බව මම දනිමි. හිතුවේ ඇගේ රාමුව තුළ ට වී හිඳ වී ද, ඇය සිතුවේ මගේ යහපත ගැන ම බව මම දන්නෙමි. මුලදී අම්මා ගැන නො රිස්සුමකින් සිටිය ද පහු වෙත්දී මම ඇය කෙරේ අනුකම්පා පෙරදැරිව හැසිරෙන්නට පටන් ගතිමි. ඒ ක්‍රමයෙන් මට ඇය ව අවබෝධ වන්නට ගත් නිසා ය. කෙසේ වෙතත් අම්මා දෙන දෙයක් ගන්නවා මිසක මම ඇගෙන් කිසිවක් ඉල්ලා සිටින්නට නො ගියෙමි.

“අම්…ම…”

මම අලුතෙන් හඬන්නට වූයෙමි.

“දැන් ඉතින් අඬන්න දෙයක් නෑනෙ. හැමෝම දොස් කිව්වෙ මට. මං නිසා සනූ දුක් විඳිනව කියල. දැන් ඉතින් සතුටෙන් ඉන්න පුතේ”

අම්මා ගේ හඬ බිඳිණි. නමුත් ඇය හැඬුවේ නැත. අම්මා කියන්නේ සවිමත් කර ගත හැකි හදවතකට කියනා තවත් නමකි!

අනෙක් කොටස්

More Stories

Don't Miss





Latest Articles

හසරැලි වැස්සේ -36

"මෝඩ විදියට හැසිරුණු කාලේ නම් හැදෙයිද කියලා අපි ඉවසගන බලාගෙන හිටිය.ඒ උනාට දැන් වැඩ කරන්නේ මහම මහ ගොබ්බ විදියට.."

(අ)හිමි සිහින -19

සංසාරගත බැඳීමක් බව සිතූ ප්‍රේමය හැරදා පැමිණි පසු මම අසංකට ආදරය කළාද කියලා ඔයාලාට හිතෙනවා ඇති.අම්මට තාත්තට අසංක සැලකීම ගැන ඇතිවෙන්න තරම්...

සඳ කත් මිණි ඇස් 15

සූර්යා දැන් භුක්ති විඳිනා නිදහස ඇගේ යෞවනයේ දී නො ලැබුණ එකකි. ඇය දෙමව්පියන් ගේ දැඩි නීති රීති හා පාලනය යටතේ හැදුණ වැඩුණ...

හසරැලි වැස්සේ – 35

"මම්මේ…."රෝහල් කාමරයේ ඇත්තේ පාළු ස්වභාවයකි.මට මම්මා සමග එක්වී අතීතය දිග ඇවිද යාමට සිත් විය.මා වෙනුවෙන් තේ සාදමින් සිටි...

(අ)හිමි සිහින -18

යුද්ධය නිසා ජීවිතය අහිමි විය හැකි, ආබාධිතයකු බවට පත් විය හැකි, තමන්ගෙ මහන්සියෙන් උපයා ගත් දෙයක් මිසක ඒ තරමට දේපල නැති සුදාරක...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content