සිසිර ගේ ත්‍රීවීලරය ගෙවල් පේළිය ඉදිරියේ නතර විය. ඔහු ඉන් බැස ලොකු කොස් ගෙඩි හත අටක් බිමට දාන්නට වූයේ ය. වත්තේ ගැහැනුන් ඒ වටා රොක් වන්නට මහ කාලයක් ගියේ නැත. කොස් සුවඳ දැනුණා සේ ය.
“අද සින්දු බලන ගමන් කන්න තම්බමු කොස් කල්දේරමක් දෙකක්”
ඔහු පුරුදු සිනහව දෝර ගලන්නට හැර කීවේ ය.
“දෙයියනේ… මැණික් වගේ තමා සිසිර අන්නා”
“අද කොස් දන්සලක්”
“කට්ටිය වටවෙලා කපල ගමු නේ… ශිවම්ගෙ ගෙදර ඇති කෝවිලේ දානෙ උයපු කල්දේරං. අද සිසිර අයියගෙ ගානෙ කොස් දන්සල”
වහ වහා කැති පිහි ද බංකු හා බේසම් හට්ටි මුට්ටි ද ගෙන ගැහැනු ටික වටවූහ. වත්ත එහෙම ය. සිසිර කොස් ගෙඩි දෙපලු කළේ ය. ගැහැනු කොස් මදුළු ගැලවූහ. හනි හනික කොස් කැපූහ. කොස් ඇට තැලූහ. සිසිර ගේ සිනහව වක්කඩ කැඩුවා සේ වත්ත පුරා ගලා යයි. ඒ සිනහව ආකර්ෂණීය ය. කෙස් ගස් ටිකක් ඉදී තරමක් වියපත් වී සිටියාට තවමත් ඔහු තුළින් දිස් වන්නේ තරුණ සිසිර ම යි. දැන් දැන් ඔහු වෙනදාටත් වැඩිය ප්‍රබෝධවත් ය. මුළු වත්ත ම ඔහු ට වසඟ වී සිටී. ඔහු ගේ සිනහවට ද කතාවට ද ආශක්ත වී සිටී. ගැහැනු ඔහු ලවා ගී ගයවති. ඔහු ට තියෙන්නේ චිත්‍රපට ගායකයෙකු ගේ බඳු විසිරෙන හඬකි.
රිදී ගෙදර සිට බලා හිඳී. ඕ සිසිර සමගින් ලොකු කතා බහකට යන්නේ නැත. චන්දුල හා පාරුල් ද එසේ ය. ඔවුන් දෙදෙනාට නම් තාත්තා සමගින් කතා කරන්නට දෙයක් ඇත්තේ ද නැත. නමුත් ඔවුන් ගේ හදවත් වල දැන් අමනාපයක් නොවේ. සිසිර වත්තට ආවා ගියා කියා වෙනසක් නොවේ. ඔහු රිදී ගේ ගෙතුළට එන්නේ නැත. ගේ ඉදිරිපිට පාරේ ගැවසේ. ඇතැම් විට ඉලන්දාරින් සමග වත්තේ කරක් ගසයි.
දැන් රිදී සතුටෙනි. ඇගේ හිතේ කාලයක් තිස්සේ පැටවී තිබූ බර අතුරුදහන් වූයේ කවදාදැයි ඇය ම නො දනී. ඇදෙස බලා සිටිනා පාරුල් තුළ ජනිත වනුයේ සැනසිලිමත් බවකි. මිනිසුන්ව කෙතරම් අල්ප වූ දේවලින් සතුටු කළ හැකි වන්නේ ද? එසේ තිබියදී අප වැඩිපුර සැලකිලිමත් වනුයේ ලොකු දේවල් ගැන යි. රිදී ද සිසිර ද උනුන් වෙතින් කිසිවක් බලාපොරොත්තු වන බවක් පෙනෙන්නට නැත. නමුත් උනුන් නිසා ඔවුහු දැන් සැනසිල්ලේ සිටිති. එක අතකට වෙහෙස දරා හිත් හංගාගෙන ඉන්නවාට වඩා එසේ පැවතීම කෙතරම් පහසු ද?
දරුවන්ට මුහුණ දීමේ දී සිසිර ට යම් අපහසුවක් නො දැනෙනවා නොවේ. විශේෂයෙන් ම ඔහු පාරුල් මගහැරියේ ය. තාත්තා කෙනෙකු වශයෙන් ඔහු අතින් සිදු වූයේ දුවකට මුහුණ දිය නො හැකි වරදක් බව ඔහු දනී!
එදා ගායන තරු තරගයට පෙර මුළු වත්ත ම තැම්බූ කොස් හා පොල් සම්බෝල වලින් සප්පායම් වූහ. කාන්තාවන් ගේ ඉල්ලීම් වලින් බේරිය නො හැකි ගැන සිසිර ජෝති ගී කිහිපයක් ගැයුවේ ය. ඔහු කාට අයිති කාගේ මිනිසෙකු ද කියා කිසිවෙකු කතා කළේ නැත. කිසිවෙකුට ඕනෑ වූයේත් නැත. ඉතින් එතැන වූයේ මනුශ්‍යත්වයේ නිදහසයි.
ගඟුල් පැමිණියේ තරමක් රෑ වී ය. ඔහු පැමිණෙන තුරු පාරුල් ගේ හදවතේ යම් කිසි නො පිරුණු බවක් පැවතිණි. ඔහු ආවාට පස්සේ එය අතුරුදන් ව ගියේ ය. නමුත් ඒ වන තුරු ඇය පවසමින් සිටියේ ඔහු යළි ලොන්ඩරි වත්තට නෑවිත් සිටිය යුතු බවයි.
“මට එන්නෙපා කිව්ව නේ…”
අත් දෙක පපුව මත බැඳගනිමින් ඔහු ඈ තනි කොටගත්තේ ය. ඒ දෑස් වලින් ස්නේහය වාං දමයි. දෙනෝදාහක් අතර මැද්දේ එහෙම තනි වීමක් යනු ප්‍රේමයේ දිගු මාවතක අතරමං වීමකි.
“තාත්තයි පුතයි කොයි වෙලේහරි පැටලෙයි කියල මට බයයි. අනිත් එක ආයෙ ඇමතිතුමා එන වෙලාවක ඔයා මෙහෙ ඉන්නව දැක්කොත් එහෙම… විසුමක් වෙන්නෑ”
“ඕගොල්ලොන්ට කරදරයක් වෙන්න දෙන්නෑ. මට ඒ ගැන පොරොන්දු වෙන්න පුළුවන්”
“අපිට වෙන කරදරයක් ගැන නෙවේ අනේ කිව්වෙ”
“ඕන්නං ඇවිත් ජල්ලියක් අල්ලල ගියාවෙ. හැබැයි එයා එකම දේ ආයෙ ආයෙ කරන්නෑ. එදා මෙහෙට ඇවිත් සද්දෙ දාල ගියාට පස්සෙ ගෙදරදි මාත් එක්ක තාම ඒ ගැන වචනයක්වත් කතා කළේ නෑනෙ. හැබැයි එයා කාලෙ ගන්නෙත් නිකංමනං නෙවෙයි”
“ඒකනෙ ඉතිං”
“දැං එයාගෙං හංගන්න දෙයක්වත් එයාට අලුතෙන් දැනගන්න දෙයක්වත් නෑනෙ. ඒක නිසා ඔහොම ගියාවෙ. මං දැං ඕගොල්ලොංගෙ පවුලෙ කෙනෙක්. ඉතිං මාත් චන්දුල සින්දු කියනව බලල සතුට සමරන්න ඕනෙ ඕගොල්ලො එක්ක ඉඳංමයි”
වත්තේ පිරිමින් වෙනුවෙන් ගඟුල් බීර බෝතල කිහිපයක් ගෙනැවිත් තිබිණ. ඔහු ඒවා මෝටර් රථයෙන් ගෙන දුන්නේ සිසිර අතටයි.
“හප්පටසිරි. නගරාධිපතිතුමාගෙන් සංග්‍රයක්… එළිකිරි ඈ”
සිසිර හඬ නගා සිනහ වූයේ ය. ගඟුල් ඔහු ගේ උරයට තට්ටුවක් දැමූයේ ය. සිසිර ගේ සිනහවට ගඟුල් කැමති ය. ඒ සිනහව අව්‍යාජ වූවකි. එබැවින් එය දකින අසනා හදවත් තුළ පිළිරැව් නැගේ. පාරුල් ද සිසිර ගැන මොකක්දෝ ඇල්මක් හිත දරාගෙන හිඳී. ඔහු ඔවුන් අතැර ගියා ය යන කාරණය ගැන ඇය නො සිතයි. ජීවත් වීම තුළ මිනිසුන් ට විවිධාකාර සිදුවීම් වලට මුහුණ දෙන්නට ද නොයෙකුත් ක්‍රියාවන් හි නිරත වන්නට ද සිදු වේ. ඒවා අවස්ථානුකූල ය. නිවැරදි මිනිසුන් මෙලොව ඉපදී ඇතැයි සිතිය හැකි නොවේ. කාලයක් ජීවිතය තුළ සිට නික්ම ගිය මිනිසුන් ට වුව ද්වේශයෙන් තොරව සිනහ විය හැකි මිනිසුන් සතු ආත්මීය ශාන්තිය සුවදායක ය.
“තාත්ත ලස්සනයි නේද…”
සිසිර දෙස බලා උන් දිගු බැල්මක කෙළවර පාරුල් ගඟුල් විමසුවා ය. යෞවනයා සිනහවක් නගාගත්තේ ය.
“මටත් වැඩිය…”
“ඒ කාලෙ ලස්සනටම ඉන්නැති ඉතිං. මං එයාගෙ හිනාවට ආසයි”
“මාත්. ඕනම මනුස්සයෙක්ගෙ… වැරදි ගොඩක් තියන මනුස්සයෙක්ගෙ වුණත් හොඳ දකින්න එයාගෙ ලස්සන දකින්න කියල ඉස්සර අම්ම මට කියනව. ඒ කතාව කොච්චර හරිද කියල තේරෙන්නෙ දැං. කිසිම මනුස්සයෙක් කළු ම කළු පාටවත් සුදු ම සුදු පාටවත් නෑ”
“අම්මත් ඒ කාලෙ ලස්සනට ඉන්නැති ඉතිං. තාත්ත වගේ ලස්සන පිරිමියෙක් වශී වෙන්නැත්තෙ ඒකනෙ. පව්… අම්ම කොච්චර දුක් වින්දද…”
“චන්දුල තාත්ත වගේ. අම්ම ඔයා වගේ ඉන්නැති ඒ කාලෙ”
තරගය ඇරඹී තිබිණ. චන්දුල ගේ ගායනය සඳහා අවස්ථාව උදා වූයේ ඔවුන් ගේ කතා අතරේ ය. උමා ලී ගේට්ටු කණුවට බර වී උනන්දුවෙන් ඒ අවස්ථාව තුළ කිමිද සිටියා ය. චන්දුල ගෙන් පිට වෙන එක වචනයක්, එක බැල්මක් වුව අපතේ නො හැර මනසේ රඳවා ගනිමින් සිටියා ය.
“ඉතිං චන්දුල… දැං ගෑනු ළමයි චන්දුල ගැන මාර විදිහට උනන්දුයි නේ…”
වැඩසටහන ඉදිරිපත් කරන්නා ගේ ප්‍රශ්නයට චන්දුල සිනහවක් නගා ගත්තේ ය. උමා ද ඒ අනුව සිනහ වූවා ය.
“ඒ වුණාට… චන්දුල වගේ හැන්ඩ්සම් කොල්ලෙක්ට ගෑනු ළමයෙක් නැති වෙන්න බෑ නේ…”
උමා දෙතොල් පියන් අතරෙහි සිනහව තද කරගත්තා ය.
“නෑ”
ඔහු එසේ කීවේ ලැජ්ජාවක් පාමිනි.
“නෑ කිව්වෙ ගෑනු ළමයෙක් නෑ…”
“නෑ”
“ඔන්න එහෙනං චන්දුලගෙ සුවහසක් රසික ගෑනු ළමයින්ට අවස්ථාව…”
ප්‍රේක්ෂකාගාරය සිනහවෙන් ඉතිරී ගියේ ය. නමුත් උමා ගේ මුහුණේ එතෙක් ඇඳී තිබි සිනහව වියැකී යන්නට පටන් ගති. ඇය වහා ම රූපවාහිනිය ඉදිරියෙන් නික්ම ගෙවල් පේළිය අතරින් පාර දිගේ ඇවිද යන්නට වූවා ය. චන්දුල එතුවක් ඇදෙස ම බලා සිටියේ ය. උමා ගේ සිනහව තුනී වී ඇය හැඬුම්බර වී ඊළඟට මූණට කේන්තියක් නගා ගන්නායුරු මැනවින් දුටුවේ ය. චන්දුල ගයනා තුරු රූපවාහිනියේ ඇස් අලවාගෙන ම සිටි අය මේ කිසිත් දුටුවේ නැත. දුටුවා නම් පාරුල් පමණකි. නමුත් ඕ නො දුටුවා සේ සිටියා ය. දැන් දෙන්නා එක්ක ප්‍රශ්නය විසඳා ගනු ඇත.
චන්දුල ඈ හඹා එන බව දැනුණු නිසා උමා සිය වේගය තවත් වැඩි කළා ය. චන්දුල දිගු අඩි තබා ඇයට ලං විය.
“මොකද මේ යන්නෙ… සින්දුව බලන්නැද්ද…”
“මටෝන්නෑ”
චන්දුල ලස්සන සිනහවක් නගා ගත්තේ ය. උමා එදෙස බලා ගස්සා ඉවත බැලුවා ය.
“හරි හරි මන් දන්නව මොකටද තරහ අරං ඉන්නෙ කියල”
“මගෙ ඇති තරහක් නෑ. මං මොකට තරහ ගන්නද…”
“එහෙම කියන්න කිව්වෙ ඒගොල්ලොමයි අප්ප. ඒව ස්ක්‍රිප්ට් එකේම තියන ඒව. ප්‍රශ්නෙත් ඒගොල්ලොංගෙ උත්තරත් ඒගොල්ලොංගෙ. අපි රඟපානව විතරයි”
“ඔව් ඔව්. මෙයාට කෙල්ලෙක් නෑ කිව්වහම ඒගොල්ලොන්ට මොකද්ද දන්නෑ වෙන වාසිය…”
“එතකොට ප්‍රෝග්‍රෑම් එකේ ජනප්‍රියත්වය වැඩිවෙනවලු. මන් දන්නෑ ඉතිං ඕව. යංකො සින්දුව බලන්න”
“ආයෙ කියල තිබුණොත්නෙ ඔය කතාව”
උමා යළිත් ගස්සාගෙන විත් රූපවාහිනිය පේන මානයේ හිටගත්තා ය. පාරුල් සිනහව හිර කරගෙන ඉවත බලාගත්තා ය.
වැඩසටහනින් පසු පිරිස ගෙවල් වලට නික්ම යාමට සැලකිය යුතු වෙලාවක් ගත වේ. සිසිර ද සිනහ වෙමින් සමුගෙන ත්‍රිරෝද රිය වෙත යන්නට සූදානම් වූයේ ය. රිදී කලින් ඉඳන් සූදානම් කරගෙන සිටි වැලිතලප කැබලි කිහිපය සහිත පාර්සලය ගෙනැවිත් සිසිර වෙත පෑවා ය.
“වැලිතලප ටිකක්. නෝනට දෙන්න”
සිනහ වී “හරි හරි මං දෙන්නං” කීවා ට සිසිර ගේ හදවතට හෝස් ගානා දැවීමක් දැනිණ. නමුත් රිදී නම් සිටියේ මුළුමනින් නිවී ය.