පුංචි වෙහෙසක් නො දැනුණා ම නොවේ. නමුත් පාරුල් දෙව්රූ ඇල්ලගේ වෛද්‍ය පීඪයෙන් පිටත් වූයේ වෙහෙස අමතක වෙන සිනහවන් මිතුරියන් සමග බෙදාගනිමිනි. පුංචි බොරැල්ල පැත්තට ඇවිද යන්නට සූදානම් වත්දී ම සුදු කමිස හා කළු කලිසම් හැඳි පිරිමි දෙතුන් දෙනෙකු ඇගේ මග අවුරා සිටියහ. පාරුල් සේ ම අනිත් යුවතියන් ද ඔවුන් දෙස බැලූයේ තරමක විශ්මයකිනි.
“අපිට මේ මිස් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනෙ”
පිරිමියෙකු එසේ කීවේ අනිත් වෛද්‍ය සිසුවියන් දෙස බලමින්, ඔවුන්ට එතැනින් යන්නයි නො කියා කියමිනි. එවන් මොහොතක එහෙම අමුතු පිරිමින් කිහිප දෙනෙකු ගේ සන්සුන් තර්ජනයකට, ගෑනු ළමයින් දෙතුන් දෙනෙකු තැති ගැනීම අතිශය සාමාන්‍යය ය.. පාරුල් ගේ ඇස් වල භීතියක සෙවනැලි නො ඇඳුණා ම නොවේ. යුවතියන් ඈත් වූයේ ඇදෙස හැරී බලමිනි.
“කලබල වෙන්නවත් බය වෙන්නවත් දෙයක් නෑ මිස්. අපිත් එක්ක යන්න එන්න”
එතැනින් වඩාත් පරිණත පාට තැනැත්තා පරිණත ස්වරයකින් ම කීවේ ය. පාරුල් ගේ ගැස්ම තරමක් උත්සන්න විය.
“කව්ද ඕගොල්ලො… ඇයි මේ… කොහෙද මට යන්න කතා කරන්නෙ…”
“මිස්ව එක්ක එන්න කියල කිව්වෙ සුරත් විජයවීර ඇමතිතුමා. කලබල වෙන්න කිසිම හේතුවක් නෑ මිස්. සර් ට මිස් එක්ක පොඩි වෙලාවක් කතා කරන්න විතරයි ඕනෙ. ඊට පස්සෙ අපි පරිස්සමට මෙතනටම මිස්ව ගෙනත් දාන්නං. නැත්තං මිස්ට යන්න ඕන කියන ඕනම තැනකට…”
සිදු වෙන්නට යන්නේ කුමක් දැයි පාරුල් ට වැටහෙන්නට පටන් ගත්තේ එතකොට ය. එසේ නම් මේ සුරත් විජයවීර ගේ උපක්‍රමයකි. ඔහු සූදානම් වන්නේ කවරකට විය හැකි ද? පාරුල් වහා බෑග් එකෙන් දුරකතනය අතට ගත්තා ය. ගඟුල් ට මේ බව දැනුම් දීම ඇගේ අරමුණ විය. නමුත් ඇය බලාපොරොත්තු නොවූ ලෙස එක් පුරුෂයෙකු දුරකතනය ඩැහැගත්තේ ය.
“කාටවත් කෝල්ස් ගන්න බෑ මිස් මේ වැඩේ ඉවර වෙනකල්. කරුණාකරල දැං ගිහිං වාහනේට නගින්න”
“එහෙම කොහොමද… මං කොහොමද ඕගොල්ලො කාගෙ කවුද කියල විශ්වාස කරන්නෙ… මගෙ ෆෝන් එක දෙන්න”
“මෙතන කලබල කරන්න හදන්නෙපා මිස්. මේ බොහොම හොඳින්නෙ කියන්නෙ. හොඳින් ගිහින් හොඳින් එමු. නැත්තං අපිට සිද්ද වෙනව මිස්ව අල්ලල වාහනේට දාගන්න. එහෙම ඕන්නෑනෙ නේද…”
ඔහු ඒ අන්තිම ටික කීවේ පහළ ස්වරයකිනි. ඔවුන් ට එරෙහි වී ද එකඟ වී ද අවසාන වශයෙන් කරන්නට සිදු වන්නේ එක ම දෙයක් බව පාරුල් ට වහ වහා කල්පනා විය. මොවුන්ගෙන් සුරත් ගේ නම කියවුණ නිසාවෙන් තත්වය නරක අතට හැරෙන්නට කොහොමත් බැරි නැත. පාරුල් හිත හයිය කරගෙන විවර වී තිබූ වෑන් රියට නැගගත්තා ය. වෛද්‍ය සිසුවියන් කිහිප දෙනා තරමක් ඈතට වී, සිදු වෙන දෙයක් නිශ්චිත නැතිව බලා සිටියහ. රිය ඉගිලිණ.
“මෙන්න මිස් ෆෝන් එක. හැබැයි කාටවත් මේ වෙලාවෙ කෝල්ස් ගන්න හදන්නෙපා”
ඇගේ ජංගම දුරකතනය නැවතත් ඇගේ අතට ලැබිණ. සැබවින් මේ සිදු වන්නේ කුමක් ද? පාරුල් ගේ උගුර කට වියළී යමින් තිබිණ. මේ මිනිසුන්ගෙන් ඇයට කරදරයක් නැති බව පැහැදිළි ය. නමුත් සුරත් කියන්නේ හොඳ මිනිසෙකු නොවන බව රට ම දනී.
අමාත්‍යාංශයේ සුරත් ගේ කුටියෙහි පාරුල් පෙනී සිටියේ ඔහු ගැන තව තවත් අප්‍රසාදයට පත් වෙමිනි. දේශපාලන බලය කියන්නේ මෙය නොවේ. සාමාන්‍ය ජනතාව දේශපාලකයන් ගේ දෙපා පාමුලට ගෙන එමේ බලයක්, ශුද්ධ වූ දේශපාලන නීතිය විසින් ඔවුන් වෙත ලබා දෙන්නේ නැත. මේ ඔවුන්ගේ අමනකම මිස අන් කිසිවක් නොවේ.
“ඉඳගන්න ළමය”
සුරත් යහපත් මිනිසෙකු සේ රංගනයෙන් දායක වන උත්සාහයක් ගත්තේ ය. පාරුල් මූන පුම්බාගත් වන ම අසුන්ගත වූවා ය.
“කරදරයක් කලබලයක් නොකර ඔය ළමය ආපු එක හොඳයි. මොකද මට ඕන වුණේ ඔය ළමයත් එක්ක ටිකක් නිදහසේ කතා කරන්න. අපි තේ එකක් බීල ඉමු”
තේ සඳහා අඩුවැඩිය රැගත් ට්‍රොලිය පාරුල් වෙතට පැමිණියේ ය. ඇය එදෙස බැලුවේවත් නැත. කොටින් ම ඇයට ඕනෑ ඇති තේ එකක් නැත. ඇයට ඕනෑ හැකි ඉක්මනින් සුරත් ට කියන්නට ඇති දෙයක් අසාගෙන නික්ම යන්නටයි. බෑග් එක ඇතුළෙන් දුරකතනය හැඬවෙන්නට විය. මේ වෙලාවට කතා කරන්නේ ගඟුල් බව ඇය දනී. ඇගෙන් ඇමතුමක් නොවූ තැන ඔහු කතා කරන්නට ඇත. නමුත් පාරුල් දුරකතනය ගැන විමසන්නට ගියේ නැත.
“ඔය ළමයට මොනවද ඕන…”
පාරුල් තිගැස්සී ගිහින් සුරත් දෙස බැලුවා ය. සුදු පිරුවට වලින් වැසී හිඳිනා ඔහු ගේ පිළුණු දේශපාලන ආත්මය ගැන පිළිකුලක් දැනී නො දැනී ගියේ ය.
“ගෙයක්ද ඕන…”
ඇගේ ඇස් මහත් විය. ඔහු ගේ වයස හා ගඟුල් ගේ පියා ය යන කාරණා දෙක නොවිණි නම් ඔහු ගේ මූණට කෙළ ගසා එතැනින් නික්මෙන්නට තරම් පිළිකුළ තීව්‍ර විය.
“හරි මං ඔය ළමයට ෆ්ලැට් එකෙන් ගෙයක් අරං දෙන්නං. එතනිං නැත්තං වෙන තැනකිංහරි අරං දෙන්නංකො. හැබැයි කොන්දේසියක් උඩ. ගඟුල් එක්ක තියන සියලුම විදිහෙ සම්බන්ධකං එතනිං එහාට නතර වෙන්න ඕනෙ”
පාරුල් ගේ අත මිට මෙළවිණ. ඇගේ කම්මුල් රතු වන්නට ඇත. ඇය ඉක්මන් කෙටි හුස්ම ගනිමින් සිටියා ය. ඔහු හිතන්නේ ඇය ගඟුල් සමගින් සම්බන්ධයක් ඇති කරගෙන බලාපොරොත්තු වන්නේ නිවසක් බව ද? ඔවුන්ය තිබෙන්නේ ඒ තරමට පටු කල්පනා ද? ඇය අවඥා සහගත සිනහවක් කට කොනක තවරාගත්තා ය.
“තව ඕන්නං… ඔය ළමය කැමති රටකට ගිහින් ඉගෙන ගන්න ස්කොල් එකකුත් හදල දෙන්නං. මොකද කියන්නෙ…”
සුරත් එසේ විචාලේ මේසයට බර වී පාරුල් ගේ මුහුණට එබෙන්නට උත්සාහ කරමිනි.
“එපා”
දෙතොල් වෙව්ලා යත්දී ඇය කෙසේ හෝ ඒ වචනය පිට කොට ගත්තා ය. දැන් හිතට හයිය ය. දැන් සුරත් ඉදිරියේ පැය කිහිපයක කතාවක් එක දිගට කරගෙන යන්නට තරම් වුව ඈ ශක්තිමත් ය.
“එපා…”
සුරත් ගේ මුහුණ ඒ තරම් කිට්ටුවට මීට පෙර ඇය දැක නැත. එහි මාංශ පේශීන් නටමින් තිබිණ. කළු හා සුදු රැවුල් ගස් දිනනා තරගයක නිරත ව සිටියේ ය. කාලයේ සටනක නිරත වන වයස විසින් ඒ මුහුණ මත වියපත් රේඛා සනිටුහන් කරමින් හිඳී. සුරත් මේ පොරබදන්නේ ඒ සියල්ලට එරෙහිවයි.
“එපා. මට නෙවෙයි සර්… ඔය දේවල් ගඟුල් ට දෙනව කියල මාව අත්අරින්න කියන්න. එයා එහෙම කරන්න කැමතියිනං මං ඔය මොනාත් නැතුව සර්ගෙ ඉල්ලීම ඉෂ්ට කරන්නං”
දැන් ඇගේ මුහුණ මත වන්නේ ජයග්‍රහණය පොපියනා සිනහවකි. පාරුල් නිවී සැනසිල්ලේ කතා කරන්නට වූවා ය.
“මං ගඟුල්ට ලං වුණානං… ඒ එයාගෙන් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔව් අපිට තියෙන්නෙ ලොන්ඩරිවත්තෙ පොඩි ගෙයක් විතරයි තමයි. හැබැයි තව අවුරුදු කීපෙකින් අලුත් ගෙයක් සල්ලි දීල ගන්නවයි කියන එක මට අමාරු දෙයක් නෙවෙයි. ස්කොල් එකක් වුණත් ඉස්සරහට ඇප්ලයි කරන්න බැරි වෙන එකක් නෑ. හැබැයි ගඟුල් කියන්නෙ මට ඊට වැඩිය ගොඩාක් උඩින් තියන දෙයක් සර්. උඩින් ඉන්න කෙනෙක්… කියන්න තියෙන්නෙ එච්චරයිනං මං යන්නං සර්”
එහෙම කියනවිටත් පාරුල් අසුනෙන් නැගී සිට අවසාන ය. ඇගේ පෞරුෂයේ මහත! හරියට නිර්ධා ගේ වාගේ ය.
“ගඟුල් කැමතියිනං… මං එක තත්පරයක්වත් ගන්නැතුව එයාගෙන් ඈත් වෙලා ඉන්නව සර්. සර් එයා එක්ක කතා කරල බලන්න”
පිටතට පැමිණි විට පාරුල් ට දැනුණේ පුදුම දාහයකි. ඇගේ සිරුර ඇසිල්ලකින් දහදියෙන් නැහැවී යන්නට විය. ගිනි කන්ද පුපුරා යාමට ආසන්න ය. මතු යම් දිනෙක කුමක් සිදු විය හැකි දැයි දෙවියන්වත් දන්නවා යි සිතිය නො හැක. ඊනියා දේශපාලකයන් සතු බලය දෙවියන්ටවත් පාලනය කළ නො හැකි එකකි.
නැවතත් දුරකතනය හැඬවෙනු ඇසිණි. පාරුල් විගස එය ගෙන පිළිතුරු දුන්නා ය.
“කොහෙද ඉන්නෙ… මං දැං කීප සැරයක් ගත්තනෙ… ඔයා ආන්සර් කළේ නෑ”
“දැනුයි මං මිනිස්ටර් සුරත් විජයවීරගෙ මිනිස්ට්‍රි එකෙන් එළියට ආවෙ”
පාරුල් මඳහසක් තවරාගෙන කතා කරන්නට උත්සාහ කළා ය. නමුත් මේ වෙලාවේ ඇයට ඔහු අත්‍යවශ්‍ය බව ගඟුල් ඒ සිනහ සරින් වටහාගත්තේ ය.
“මිනිස්ට්‍රි එකට ගියේ ඇයි පාරු…ඉන්න මං ඔයාව පික් කරන්නං”
පාරුල් ට ඉකිගසා හඬන්නට අවැසි වූයේ ය. මේ කුණාටුව නියත බව දන්නා නිසා ම ඇය කාලයක් ගඟුල් ගෙන් මුවහ වෙවී සිටියා ය. දැන් ඉතින් වතුරට පැන තිබේ. ගිලෙනවාට වැඩිය පිහිනන එක පහසු බව ඇය අසා තිබේ.
විනාඩි කිහිපයක් තුළ ගඟුල් පාරුල් ඉදිරියේ සිටියේ ය. ප්‍රේමය වෙනුවෙන් සිය ආත්මය පාවා නොදුන්නෙමැයි අභිමානය තදින් ම පාරුල් ගේ හදවතට දැනුණේ රියට ගොඩ වී ගඟුල් ගේ අත අල්වාගත් ඉක්බිතියි.
“ඇයි එතනට ගියේ… මොකද්ද වුණේ… මොනා කරන්නත් කලින් ඔයාට තිබුණනෙ මට කතා කරන්න”
ඔහු තරමක් නො සන්සුන් ව සිටියේ ය. පාරුල් මන්දස්මිතයක් නගාගෙන ලොකු හුස්මකින් පපුව පුරවාගත්තා ය.
“බය වෙන්නෙපා ඉතිං. මට මුකුත් වුන්නෑ. මේ මං හොඳින් ඉන්නෙ”
නමුත් ඇගේ ඇස් වල තිබුණේ ලොකු කතාවකි. ගඟුල් ඉවසීමෙන් ඒ කතාවට සවන් දුන්නේ ය.
“මට ඔයා ගැන ආඩම්බරයි”
“ඇමතිතුමා දෙන්න හදපු ගේ ගත්තෙ නැති එක ගැනද…”
“නෑ. කොන්ද කෙළින් කියාගෙන ඕන ඇමතියෙක් ඉන්සරහ එහෙම කතා කරන්න පුළුවන් වුණ එක ගැන. ඔයා ඒ ටික කිව්වනෙ. දැන් තියෙන්නෙ මගෙ වාරෙ. අපේ තාත්තට මට ඒ ටික කියන්න ම වෙනව. පුතෙක් විදිහට මං කවදාවත් හිතුවෙ නෑ එයාව කන්ට්‍රෝල් කරන්න මට ඒ තුරුම්පු දාන්න වෙයි කියල. මට එහෙම කරන්න ඕන්නෑ. ඒත් මේ වෙලාවෙ ඒක නොකරත් බෑ”
“මොකද්ද ඔයා කරන්න හදන්නෙ…”
ගඟුල් සන්සුන් ව පාරුල් දෙස බැලුවේ ය. මේ වෙලාවේ එතැන හිටියේ පාරුල් දැක පුරුදු සැහැල්ලු ගඟුල් නොවේ. ඔහු ගේ මුහුණෙහි පරිණත බවක් වූයේ ය. කල්පනාබර බවක් වූයේ ය. ඔහු කරන්නට යන දෙය කළ යුතු ම දෙය බවට ස්ථීර හැඟීමක් ද වූයේ ය. ඔහු ඇගේ හිස් මුදුනෙහි අත තබාගෙන තත්පර කිහිපයක් තව දුරටත් ඇදෙස බලාගෙන සිටියේ ය.
“දැන් ඔයා මගෙ වගකීමක්. ඔයාගෙ ගෙදර අයට මං ඒ පොරොන්දුව දීලත් තියනව. ඔයා වෙනුවෙන් ඕනම දෙයක් කරනව”
පාරුල් ගේ උගුරෙහි ගිනියම් ගුලියක් හිර වී තිබිණ. තාත්තා හා පුත්‍රයා අතරේ නොහොඳ නෝක්කාඩුවක් ඇති නොවෙනවා නම් ඇය කැමති ය. නමුත් කවර හේතුවක් මත හෝ ගඟුල්ගෙන් මිදෙන්නට වූවොත් එය දරාගත නො හැකි වනු ඇති බව ද ඇයට දැනී නො දැනී යයි. එහෙව් වේදනාවකට ගොදුරු නො වෙනු වස් ඕනෑ ම සටනක් කරන්නට දැන් ඇයට පුළුවන.