මස්කරි තුනපහ ගෙදරදීම හදාගමු

බොහෝ ආසියාතික රටවල් වලට වගේම, ශ්‍රී ලාංකීය අපිටත් ඉතාම අභිමානවත් ආහාර සංස්කෘතියක් තියෙනව කියල මුළු ලෝකෙම අද වෙද්දි පිළිඟන්නව. 

මේ ආහාර සංස්කෘතිය ගොඩනැගෙන්න, පෝෂණය වෙන්න වගේම සුවිශේෂී වෙන්න අපේ එළවළු පළතුරු එක්ක වගේම අපිටම අනන්‍ය වුන කුළුබඩුත් ප්‍රධාන වශයෙන් බලපාල තියෙනව. 

අපි කතාවටත් කියනවනේ අපිට නන් කොස් පොළොස් හරි කන්න තියෙනව කියල. ඒක ඇත්ත. අපි බොහෝදෙනෙක් අද වෙද්දී ගතකරන කාර්‍යබහුල ජීවිතය එක්ක ක්ෂණික ආහාර වර්ග අපි අතරට ඇවිත් තිබුණත් පුළුවන් හැම වෙලාවෙම අපේ රසට බත් කටක් කන්න අපි බොහෝදෙනෙක් උත්සහ කරන්නෙ ඒ නිසාමයි. 

කුළුබඩු ගැන කතා කරද්දි කුරුඳු ඇතුළු බොහෝ කුළුබඩු වර්ග හරිම සාරෙට වැවෙන පොළවක් හිමිකරගන්න ශ්‍රී ලාංකීය අපි ඉතාම වාසනාවන්ත වෙලා තියන්නෙ. 

ඒ නිසාම, කුළුබඩු වර්ග කීපයක් එකතු කරල හදන ස්වභාවික රසකාරක සහ සුවඳකාරක  යොදාගෙන ආහාර රසවත් කරන විදිහ පාරම්පරික අපි බොහෝදෙනෙක්ට උරුම වෙන ඉවුම් පිහුම් රහස් වලින් එකක්. 

අන්න ඒ විදිහට අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය එහෙමත් නැත්තන් කුළුබඩු කීපයක් පාවිච්චි කරල මස් කරි තුනපහ හදාගන්න එක ක්‍රමයක් ගැන ඔබට කියල දෙන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ. 

මුලින්ම අපි බලමු, අපිට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය 

කොත්තමල්ලි ඇට මේස හැඳි 03 ක් 

සූදුරු මේස හැඳි 02 ක් 

මහදුරු මේස හැඳි 01 ක් 

ගම්මිරිස් ඇට මේස හැඳි ½ ක්

වියළි මිරිස් කරල් 08 ක් 

උළුහාල් තේ හැඳි ¼ ක් 

කුරුඳුපොතු කැබැල්ලක්

කරපිංචා ඉති දෙකක කොළ 

හොඳයි, දැන් අපි බලමු කොහොමද මස්කරි තුනපහ හදාගන්නෙ කොහොමද කියල? 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, මේ සියළුම කළමණා සෝදාගෙන අව්වේ තබා හොඳින් වියළා ගත යුතුයි. 

දැන්, මඳගින්නේ භාජනයක් ලිපතබා ගත යුතුයි. 

ඊළඟට එම භාජනයට කොත්තමල්ලි ඇට, සූදුරු, මහදුරු, ගම්මිරිස් ඇට, වියළි මිරිස්, කුරුඳුපොතු සහ උළුහාල් එකතු කරගෙන හැඳිගාමින් බැදගත යුතුයි.

කුළුබඩු රන්වන් පාට වී සුවඳ එනතෙක් බැදගෙන එම භාජනයෙන් ඉවතට ගෙන පසෙකින් තබා ගත යුතුයි.

කොත්තමල්ලි ඇට තරමක් විශාල නිසා ඒවා බැදීමට වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. 

ඒ අතරතුර සූදුරු, මහදුරු ඇට කරවීමට ඉඩ ඇති නිසා ඔබ මේ ගැන වඩා සැළකිලිමත් විය යුතුයි. 

ඒ නිසා කොත්තමල්ලි ඇට වෙනම බැදගන්නත් පුළුවන්. 

දැන්, රත්වූ භාජනයටම කරපිංචා කොළත් එකතු කර කරපිංචා කොළ වල වියළි ගතිය ඉවත් වෙන තෙක් බැදගත යුතුයි. 

දැන්, මේ බැදගත් සියල්ල බ්ලෙන්ඩර් කෝප්පයට දමා කුඩු වෙන තෙක් හොඳින් අඹරාගත යුතුයි. 

ඔන්න අපි මස්කරි තුනපහ පිළියෙල කරගෙන අවසන්. 

වාතය ඇතුළු නොවෙන භාජනයක දමා ගබඩා කරගෙන තබාගන්න ඔබට පුළුවන්. 

මේ අනුපාතයන් අනුව ප්‍රමාණය අඩු වැඩි කරගෙන මස්කරි තුනපහ එකවර සකසාගෙන තිබ්බොත් ඔබට පහසුයි. 

රස, සුවඳ, පාට මේ හැමදේම පිරුණු රසවත් මස් කරියක් හදාගන්න මේ තුනපහ මිශ්‍රණය ඔබට උදව් වෙයි කියල අපි හිතනවා. 

මේ වගේම රසවත් ලිපියකින් නැවත ඔබව මුණගැසෙන බලාපොරොත්තුවෙන් අපි අදට සමුගන්නවා. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles