ඇයි ඌට අත් දෙකක් – 17 (අවසාන කොටස)

0
3954

ඇත්තටම ඒ සිද්ධියේ සිද්ධ වුණේ සමහරවිට තප්පරය දහයෙන් බෙදලා ඒකෙ එක කොටසකටත් වඩා අඩු වේගයකින් වෙන්න ඇති..
කැරපොත්තන්ට ගහන බෙහෙත් කුප්පියේ මිලිලීටර තිහට මරන සීයක් කියලා ගහලා තියෙනවා ඒ ඇහිල්ලෙ මොන කෙහෙල් මලකට මට මතක් වුණාද මන්දා..

ස්ස්ස්ස්ස්ස්.. ස්ස්ස්…

ඔව් .. ඒ වෙනකොට මගේ ජීවිතේ මම අහන්න අකමැතිම අප්‍රසන්නම ශබ්දය ඒක තමයි…

පිටිපස්ස සීට් එකේ ඉඳලා මගේ බෙල්ල දිගේ උඩට  එති එතී ආවේ
ඒ යක්සනී තමයි .. සරප දේනුවගේ දරාගෙන ඉඳීමේ කාලය මං හිතන්නේ ඒ වෙනකොට ඉකුත් වෙලා තිබුණේ.ඒ හින්දා සරපදේනුවගේ බිත්තර උගේ පිටිපස්සෙන් එළියට ඇවිල්ල තිබුණා..මම කවදාවත් ඒ විදිහේ බිත්තර දැකලා තිබුණේ නැහැ..ඒව ගෙඹි බිත්තර වලට වැඩිය විශාලයි.සරප දේනුවගේ පිටිපස්සෙන් වැල් වැල් වගේ එල්ලුනා.. මහා පිලිහිඩි ගන්දස්සාරයකින් වාහනය පිරිලා තිබුණා. ඒ වෙනකොටත් මම සනිය ලෑල්ලට පාගන ගමන් උන්නේ… පිටිපස්ස සීට් එකේ ඉඳලා එකපාරටම සමන් කාරයා නැගිටිනකොට මම උන්නේ සරප දේනුවගෙන් ගැලවෙන්න උත්සාහ කරන ගමන්..මට හිතාගන්න බැරි වුණා මට මොකක්ද මේ වෙන්නේ කියලා..ඒ වෙනකොට මම ඉන්න ඇත්තේ හොඳ සිහියෙන් නෙමෙයි..මම අසිහියෙන් වගේ කාර් එක දකුණට කැපුවා..දකුණු පැත්තේ තිබුණු හෙළ මට අමතක උනා.. කාර් එක වීසි වෙලා අඩි පහක් විතර උඩට යනකොට මට හිතාගන්න බැරි විදිහට මගේ දොර ඇරිලා මාව එළියට වීසි වුණා.. මට මතක එච්චරයි.. කොච්චර වෙලාවක් මම එහෙම හිටියද කියලා මම දන්නේ නැහැ..මට සිහිය එනකොට මම දැක්කේ පෙනෙන නොපෙනෙන ඉසව්වකට තරම් ඈතකට ප්‍රපාතයේ පහළට වැටිලා තිබුණු කාර් එක ගිනිගන්නවා විතරයි..

ඒ වෙනකොට වෙලාව කීයද කියන්නවත් මම දැනගෙන හිටියේ නෑ..ඇත්තටම ඒ වෙනකොට මම හිටියේ ඉස්පිරිතාලයක නැවතිලා බෙහෙත් ගන්න තත්වයේ..
මගේ වම් අත කැඩිලා කියලා මට තේරුණා.ඒකේ දැනිච්ච වේදනාව මෙච්චරයි කියලා මට කියන්න තේරෙන්නේ නැහැ..අර කාලකන්නි සර්පයාගේ සෙවල මගේ ඇඟ පුරාම තිබුණා.. කෑලි කපන තරම් සීතල තිබුණත් ඒ සරප බිත්තරවල පිලිහිඩි ගන්දස්සාරය ඉවසන්න බැරි හින්දා මම ෂර්ට් එක ගලවලා වීසි කලා.
පටිය කැඩුණු මගේ බෑග් එක මගේ බඩ යටට යට වෙලා තිබුණා.දූවිලි කාගෙන පස් කාගෙන බිම වැටිලා හිටිය මම බොහොම අමාරුවෙන් තේ ගස් වල මුල් අල්ලගෙන  ආපහු උඩට බඩ ගාන්න පටන් ගත්තා..

මම පිස්සෙක් වගේ තේ වත්ත මැද පාර දිගේ දුවන්න පටන් ගත්තා..
පහල ලැයිම් වල මිනිස්සු  කෑ කෝ ගහන සද්දය ඒ වෙනකොට මට ඇහෙන්න පටන් අරන්  තිබුණේ මහා විශාල ශබ්දයක් පිටකරගෙන පුපුරපු කාර් එකේ ශබ්දයෙන් පළාතම දෙදරුම් කන්න පටන් ගත්තහම වෙන්න ඇති.

නග්‍රැක් වල අනිවාර්යයෙන් අප්පු මැරුනා .. කරන්න දෙයක් නෑ මගේ අතින් මැරුණා.
මේ වෙලාවේ කරන්න ඕනේ මොකක්ද කියලා මට හරියටම හිතාගන්න බැරුව ගියා.මම පොලිසියට ගියොත් අවුරුදු දෙකකටවත් මට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න හම්බවෙන්නේ නැහැයි කියලා මට තේරුණා. හොඳම දේ මේ සම්බන්ධව පිළිගත්තත් නැතත් ලියුමක් හරි ලියලා පොලිසියව ඒ ගැන දැනුවත් කරන එක කියලා මට හිතුණා.මම ටවුමට දුවගෙන එනකොට කඩ සාප්පු සේරම වහලා දාලා තිබුණා.ඒ වෙනකොට මාව සීතලේ ගැහි ගැහී තිබුණේ..ඇඟ හැම තැනම කූඩැල්ලො එල්ලිලා හිටියා.. පුංචි එළවළු ලෑල්ලක හිටපු මනුස්සයෙක් මාව දැකලා බය වුණා.ඒ මනුස්සයා මට පිහිට වුණා.ඒ වෙනකොට වෙලාව රෑ දොළහත් පහුවෙලා තිබුණා.එළවළු ලෑල්ලෙ හිටපු මනුස්සයා  ඒ වෙලාවේ ඇහැරගෙන මොනවා කරනවද කියලා මම ඇහුවේ ඒ මනුස්සයා මගේ කූඩැල්ලො ගලවලා ඇඳගන්න ඇඳුමකුත් දුන්නට පස්සේ..

තව ටිකකින් අපේ එලවලු පටවගන්න ලොරි  එනවා. ඒවට අපි මේවා කටවල් බැඳලා ලෑස්ති කරගන්න ඕනේ..මං ඒකයි ඇහැරිලා උන්නේ..

ඒ මනුස්සයා මට උණුවෙන් කහට කෝප්පයක් හදලා දුන්නා..ඒක මට අමෘත පානයක් වගේ දැනුන..

මහත්තයා ඉස්පිරිතාලයකට යන එක තමයි හොඳ..මගේ අම්මේ තුවාල ගොඩ..මේ අත කැඩිලා එල්ලෙනවා නේද…

මං ඒ මනුස්සයාට කිව්වේ මගේ වාහනේ පෙරලුණා කියලා විතරයි..මම ඒ මනුස්සයගෙන් ඉල්ලගත්තු කොලේකුයි පෑනකුයි   අරගෙන මට පුළුවන් විදිහට විස්තර සේරම ඒ කොලේ ලියල ඒ මනුස්සයාගෙන්ම ඉල්ලගත්තු බ්‍රවුන් පේපර් කවරයක් ඇතුලට දාලා රෙදි පටියකින් කවරය බැන්දා..ඒ ලිව්මේ හැම විස්තරයක්ම තිබුණා .. පොලීසිය ට ලිපිනය ලියලා ඊට ටිකක් එහායින්  තිබිච්ච තැපැල් පෙට්ටියට මම ඒක දැම්මා.. මුද්දරයක් නැති නිසා තැපෑල වැඩ කළේ නැති උනාට ලිපිනය දැක්කහම ඒක ගෙනිහිල්ල දෙයි කියලා මට හිතුනා.

මේලිපිය මුලින්ම හමුවන්නේ කාටදැයි  කියන්න මම දන්නේ නැහැ. නමුත් මෙය කාටවත් නොකියා මගේ ගමන යන්න ගියොත් සමහරවිට මේ සිද්ධිය මහා අභිරහසක්ව සදාකාලික අතීතයේ වැළලිලා යන දෙයක් වෙන්න පුළුවන්. මේ ලිපිය කියවන කාගෙන් වුණත් මම ඉල්ලා සිටින්නේ මේ සිද්ධිය බොරුයි කියල හිතන්න උත්සාහ කරන්න එපා.එහෙම හිතන වෙලාවේ ඉඳන් ඔබට එය පෙනෙයි. නග්‍රැක් බංගලාවට යන්න එපා… දෙයියන්ගේ නාමයට යන්න එපා…

ප්‍රදේශය භාර පොලිස් ස්තානයට ලිපිනය ලියලා ඉක්මනින්ම මම ලියුම් පෙට්ටියට ලියුම දැම්මා..
ඈතින් ඇහෙන්නේ කොළඹ බලා යන අධිවේගී දුම්රියේ නලා හඬයි…..

……………………………………………………

ඒ වෙනකොට මම රුසියාවේ රෝහලේ නැවතිලා සති දෙකකට වැඩිය ගත වෙලා තිබුණා..
පෝලා මට සුව වෙනකම්ම මගේ ළඟ ඉඳගෙන සාත්තු සප්පායම් කරන්න ඉදිරිපත් වුණා.මට සිද්ධ වෙච්ච හැම දෙයක්ම අකුරක් නෑර මම පෝලාට විස්තර කළා.පෝලා ඒ හැම දෙයක්ම අහගෙන හිටියට කොයිතරම් දුරට ඒ දේවල් විශ්වාස කළාද කියන්න මම දන්නේ නැහැ.මම ගැලවිලා ආවේ මකර කටකින් කියලා  ඒ වෙනකොට මට හිතිලා තිබුණා.
මම රෝහලෙන් ගෙදර යන දවසේ පෝලා මට ලියුමක් ගෙනත් දුන්නා.මගේ විද්‍යාඥයා ආයතනය නමින් ආපු ඒ ලියුම ලියල තිබුණේ වසන්තිගේ පුතා.

දයාබර ලංකා මාමේ..
අපි ලංකාවට ගිය විසි අටවෙනිදා ආවා..එන්න බෑ කිය කිය ආවත් නග්‍රැක් වල සුන්දරත්වයට මම වශී වෙලා ඉන්නේ..අපි එනකං මේ හැම දෙයක්ම හරියට බලා කියාගත්තට මාමට බොහොම ස්තූතියි…අම්මත් මාමට ස්තුති කළා කියලා කියන්න කිව්වා..
අපි ආපහු මෙහෙන් යන්නේ නැහැ.අම්මා කිව්වා තාත්තාගේ තේවත්ත දියුණු කරගෙන අපි ඉමු කියලා. මාමා තේ වත්තේ මැනේජර් හැටියට පත් කරලා ගිහින් ඉන්න සමන් මාමා මාර හොදයි ..මට වත්තේ වැඩ ඔක්කොම කියලා දෙනවා.. එයාගේ නෝනා හැමදාම වගේ අපිට බොහොම රස කෑම හදාගෙන එනවා. අප්පු ත් හරි හරියට අපිට උදව් කරනවා.තාත්තට වඩා මේ හැම  දෙයක්ම මටයි අම්මටයි හොඳින් බලාගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.
මේ ළඟදි දවසක් වත්තට පොලිසියෙන් ආවා..නන්නාඳුනන කෙනෙක් පොලිසියට මොනවද බහුභූත වගයක් ලියලා එවලා තියෙනවා කියලා ඒ ගැන බලන්න තමයි ඇවිල්ලා තියෙන්නේ.. මම අම්මා  අප්පු සමන් මාමා එයාගේ නෝනා …අපි හැමෝ ගැනම මොනවද මං දන්නෑ බහුබූත ඒ ලියුමේ ලියලා තිබිලා.
අපි හැමෝම පොලිසියට කට උත්තර දුන්නා.ඒ ගැන මාමා එච්චර හිතන්න එපා..අන්තිමේදී පොලිසියත්  තීරණය කළා කවුරු හරි පිස්සෙක්ගෙ වැඩක් කියලා. අපේ තාත්තව වළලපු තැන අප්පු මාමා මට පෙන්නුවා.සීයව වළලලා තියෙන්නෙත් එතනමයි කියලා කිව්වා.මේ හින්දා අපි එතන ලිලී මල් පඳුරු හිටෙව්වා. මාමා ආපහු අපිව බලන්න එන්න ..
මීට ආදර පුතා බ්‍රයන්…

ප.ලි..

මාමාගේ ආයතනයට අපි අමතන්න උත්සාහ කළත් මේ දවස්වල මාමා රෝහලේ ප්‍රතිකාර ලබන බව කිව්වා .ලිපියක් මාර්ගයෙන් හරි මේ විස්තර දන්වන්න හිතුණේ ඒකයි…

……………………………………………………

චක්‍රය අවසාන නැත..එය තවදුරටත් පැහැදිලි කිරීමට මට ඇති හැකියාවක් ද නැත.මේ විශ්වයේ තේරුම් ගත නොහැකි බොහෝ දේ ඇත.ඒවා සොයා යන ඔබත් මමත් පුංචි කළු කූඹියෙකු පමණයි…. 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here