අධික සැකය හේතුවෙන් සැමියාව Track කරපු භානුකී

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“මොකද්ද භානු මේකෙ තේරුම?”

“මොකේ තේරුමද අහන්නෙ?” භානුකී කිසි ගාණක් නෑ වගේ තමයි මලිත් දිහාව බැලුවෙ. මලිත්ගෙ ඇස්වලයි මුණෙයි ඇඳිල තිබිච්ච තරහව ගැන කිසි ගාණක් නෑ වගේ තමා භානුකී හිටියේ.

“මගේ ෆෝන් එක ඩයිවර්ට් කරලා තියෙන්නෙ ඇයි? ඔයාගෙ වැඩේම මම පොඩ්ඩක් බාතෘම් එකට යනකම් ඉඳලා එක්කො මගේ මැසේජස් බලනවා, එක්කො ෆෝන් කෝල්ස් ඩයිවර්ට් කරනව. මොන පිස්සුවක්ද මේ? මොකද්ද මේ මාව මෙච්චර සැක කරන්න ඔයාට මං කරපු වරද?”

“ඔයා මට වරදක් කරේ නැත්තම් මං ඔයාගෙ ෆෝන් එක කොච්චර ඩයිවර්ට් කරත් ඔයාට බයවෙන්න හේතුවක් නෑ නේද? මොකක් හරි හොරයක් තියෙන හන්දනෙ ඔච්චර කලබල වෙන්නෙ”

“අනේ මේ මං මගේ ජීවිතේ කරගත්ත ලොකුම ගොං කම තමුසෙ වගේ හැමතිස්සෙම මිනිහගෙ ඔලුව කන්න හදන ගෑණියෙක්ව කසාද බැඳගත්ත එක. එහෙම ගොං කමක් කරගත්ත මට තව වෙන ගෑණු එක්ක නටල ඒ වගෙම ගොං කමක් ආයෙ කරගන්න උවමනාවක් නෑ”

“ආහ් ඇත්තද? තමුසෙට දැන් මාව ගොං කමක් වගෙ පේන්නෙ මොකියක් හරි සෙට් වෙලා ඇති හන්දා නේද? ඔෆිස් එකේ මීටින් කියලා ඒකි එක්ක එහෙ මෙහෙ නඩලං ගහලා ගෙට ඇවිත් මං අරක කරේ මොකද මේක කරේ මොකද කියලා අහන ලැජ්ජ නැති මිනිහා

පිරිමි ඔක්කොම එකයි ඕයි. කොච්චර කරත් තමුසෙලා නම් මහ වනචර එවුන්, දකින දකින ගෑණි පස්සෙ යන්නෙ, උන්ට මැසේජ් කරන්නෙ, ලැජ්ජ නැද්ද මිනිහෝ, තමුන් කසාද බැන්ද මිනිහෙක් නේද?” කියලා භානුකී කෑගහන්න පටන් ගත්තෙ මලිත්ගෙ පපුවට ගහගෙන ගහගෙන යන ගමන්.

මලිත්ට තරහ ගන්න සාධාරණ හේතු තිබ්බා. මේ මලිත්ගෙ පලවෙනි කසාදෙ උනාට භානුකීගෙ දෙවනි කසාදෙ. භානුකී පලවෙනි කසාදෙන් වෙන් වුනේ එයාගෙ කලින් හස්බන්ඩ් එයාව රවට්ටපු හන්දා. හරිනම් භානුකි මෙහෙම සැක කරන්න, කෑගහන්න උවමනා ඒ මනුස්සයට උනත් අතීතෙන් ඇවිත් වර්තමානයෙත් භානුකීගෙ ජීවිතේ ඇතුලෙ හොල්මන් කරන ඒ රැවටීමේ Trauma එක පොඩ්ඩ පොඩ්ඩ රිද්දුවෙ, විනාස කරන්න කටයුතු කලේ මලිත්ගෙ ජීවිතේ.

“මං ඊයෙ උඹට කෝල් එකක් ගත්තම ආන්ස්වර් කරේ භානුකී” කියලා යාලුවො මේ කෝල් ඩයිවර්ට් වෙන සීන් එක කීප සැරයක්ම කියෙද්දි මලිත්ට හයියෙන් කෑගහල අඬන්න හිතිච්ච වාර අනන්තයි. පිරිමියෙක්ට උනත් මේ වගේ දෙයක් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනවා. අනෙක තමන්ගෙ අතේ කිසිම වරදක් නැතුව තමන්ගෙ බිරිඳ තමන්ව සැක කරන එක, තමන් යන එක තැන්, තමන් කරන කියන ඒව Track කරන එක මනුස්සයෙක්ට දරාගන්න කොච්චර අමාරුද?

ඒ නිසාමයි මලිත් Counselling වලට එන්න හිතුවෙ.

“මම කවදාවත් භානුකීට චීට් කරන්න හිතලවත් නෑ. මම එහෙම කරලා තිබුණා නම් ඇත්තටම මට එයා කරන දේවල් මොකක් හරි විදියකින් දරාගන්න තිබුනා. ඒත් කිසිම වරදක් කරලා නැති කොට මම කොහොමද මේක දරාගන්නෙ.

මට ඇත්තටම දැන් මේ මැරේජ් එක එපා වෙලා තියෙන්නෙ. මට නිකන් මම හිරගෙදරක ඉන්නවා වගේ දැනෙන්නෙ. මනුස්සයෙක් කසාද බඳින්නෙ එහෙම හිර වෙන්නද?” කියලා මලිත්මනෝ උපදේශිකාවගෙන් ඇහුවෙ ඇත්තටම ඒ වෙද්දි මලිත්ට විවාහ ජීවිතය විතරක් නෙවෙයි ජිවීතෙත් එක්ක එපා වෙලා තිබිච්ච හන්දා.

ඒ විදියට තමයි මේ උපදේශන වාර සඳහා භානුකීවත් සම්බන්ධ කරගන්න තීරණය කෙරුණේ. ඒ විදියට කවුන්සලින් වලට ආව භානුකීට කියන්න කතාවක් තිබුනා.

“මම සමන්තව කසාද බැන්දෙ අවුරුදු දෙක තුනක් යාලුවෙලා ඉඳලා. එහෙම වෙලත් මැරේජ් එක ඇතුලෙ එයා මගෙ යාලුවෙක් එක්කම මාව රවටද්දි අපි මැරිකරලා සෑහෙන කල්. පස්සෙ තමයි මම දැනගත්තෙ එයාලා අතරෙ ඒ අෆෙයාර් එක ගොඩක් කල් තිබිලා කියන එක.

මලිත් මාව මැරිකරන්න කැමති කියද්දිත් මම ඇත්තටම පුදුම උනා. මලිත් ගොඩක් එඩියුකේටඩ්, හරිම හැන්ඩ්සම්, අන්මැරීඩ්. එහෙම එකේ මම වගේ ඩිවෝස් වෙච්ච කෙනෙක් මැරි කරන්නෙ නැතුව එයාට වෙන ගර්ල් කෙනෙක්ව බඳින්න තිබුනා. මම දන්නවා හේතුවක් නෑ කියල මට මලිත්ව සැක කරන්න. ඒ උනාට මට බයයි, මට ආයෙ වතාවක් රැවටෙන්න වෙයි කියලා. ආයෙ එහෙම දෙයක් උනොත් මට ඒක ඇත්තටම දරාගන්න අමාරුයි”

සමහර වෙලාවට අතීතයේ වෙන දේවල් අපිට අතීතයෙම තියලා එන්න අමාරුයි. අපි කොච්චර උත්සහ කරත් ඒ අතීතයෙන් කොටසක් මොන විදියකින් හරි අපිව හොයාගෙන වර්තමානයට එනවා. ඒ අතීතයේ කොටස් වලට හයියට මුහුන දෙන්න අපිට අමාරු උනොත් ඒ නිසාම අපේ වර්තමාන ජීවිතේ හොඳින් ගෙවන්න අපිට අමාරුයි.

එහෙම කියලා පරණ Traumas වර්තමානයට ගෙනවිත් ජීවිතේ විනාස කරගන්න හදන එකෙන් කිසිම තේරුමක් නෑ. පරණ Traumas එක්ක තමන් අලුත් සබඳතාවයකට යද්දි, ඒ සබඳතාවය පවා පරණ දේවල් නිසා විනාස වෙනවා කියල හිතෙනවනම් එහෙම යන්න කලින් අපිට පුලුවන් වෙන්න ඕන සම්පූර්නයෙන්ම Heal වෙන්න.

මොකද සමහරවෙලාවට අපේ පරණ Trauma නිසා අපි නොහිතන, ඇත්තටම අපිට ආදරේ කරන කෙනෙක් දුක් විඳින්න, ජීවිතේ විනාස කරගන්න පුලුවන්.

අතීතය කියන්නෙ වර්තමානයට සහ අනාගතයට දොර හරින යතුරක් බව ඇත්ත. හැබැයි ඒ යතුර හරියට පාවිච්චි කරන්න අපිට පුලුවන් වෙන්න ඕන. අතීතයේ ප්‍රශ්න නිසා වර්තමානයේ ලැබිච්ච හොඳ දේවල් නැතිකරගන්න එපා. ඔයාගෙ වැරදි නිසා කෙනෙක් ඔයාව එයාගෙ හිතෙන් අතෑරියොත්, එයාව අතින් අල්ලල නවත්තගන්න එක තේරුමක් නැති බව මතක තියාගන්න.

මනුස්සයෙක් තව කෙනෙක් ලඟ රැඳෙන්න ඕන හොඳ තේරුමක් එක්ක.

ඔයාව පෙලන, ඔයාට රිදවන ඔයාගෙ පරණ තුවාල වලට ඉඩ දෙන්න එපා තව කෙනෙක්ගෙ ජීවිතේට පිළිලයක් වෙන්න. ඒක අලුත් සබඳතාවයකට යන ඔයාගෙ වගකීමක් බව අමතක කරන්න එපා!

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles