නුඹ තරම් ප්‍රේමයක් – 57

පනස් හත් වැනි නෙත් සැරිය

සිහිනි තීරණයක් ගත්තා වුව අවිශ්ක උන්නේ දෙගිඩියාවෙනි. එහෙත් අඩියක් ඉදිරියට තැබීමේ නොනිත් ආශාවක් ඔහු තුල නොවූවා නොවේ.

චත්‍ර අයත්මා දැකීමට නිවෙසටම පැමිණියේ මාස ගණනාවකට පසුවය. ඇය හැරලවන්නට ඉඳ හිට ආ දිනෙක වුවත් ඔහු ගේට්ටුව අසලින්ම හැරුනේය. බොහෝ දිනවල අයත්මා කැටුව යන්නට සහ හැරලවන්නට පැමිණියේ කපිලය. අවිශ්ක උන්නේ නේජා සහ නිමලා අම්මා සමඟ නිවසින් බැහැරව ගොසිනි. අයත්මා උන්නේ යහනේ දිග ඇදී පොතක් කියවමිනි.   ඕ  උන්නේ අඩ නින්දකටද මාන බලමිනි.

 එක්වරම ගේට්ටුව අසල  වාහනයක් නැවතෙනුත්, ඉනික්බිති එය මිදුලය ඇතුලු කරනුත් අසා උන් අයත්මා නින්ද අහසටම විසි කර නැගිට්ටාය. චත්‍ර කැබ් රියෙන් බැස නිවෙස දෙස බලන විටම දුටුවේ මල් වත්තක් මුහුණේ දරාගෙන මිදුලට පිවිසි අයත්මාවය. ඔහු ඇය මඟ හරිමින් නිවෙසට ඇතුලු වූවේය. අයත්මාද ඔහු පසුපසින් නිවෙසට ඇතුලු වූවාය. චත්‍ර අසුනකට වැටුනේ ජංගම දුරකතනය සහ අතෙහි වූ කුඩා බෑගය මේසය මතින් තබමින් ය. අයත්මා උන් ඉරියව්වේම උන්නාය. ඕ උන්නේ අප්‍රමාණ සැනසීමක් හදවතට පුරවා ගනිමිනි.

” ඔයාට බොන්න මුකුත් හදන්නම් ?…”

” එපා … දැන් එපා…”

” දවල්ට කාලද?…”

” දවල්ට කියලාම නැ.. ඒත් කෑවද කොහෙද ?… මතකත් නෑ…”

අයත්මා එවර චත්‍ර වෙත ඇවිද විත් ඔහු අසලින් හිඳගත්තේය. ගැඹුරු හුස්මක් නොගැඹුරු ලෙසින් හෙලුවාය.

” ඔයා මහන්සි වෙනවා වැඩියි චත්‍ර … අනෙක අයියා කියනවා ඔයා අර බාර් එකේ සිද්දියට අත දාලා වැඩියි කියලා …. ටිකක් දවස් මේවාගෙන් ඈත් වෙලා ඉමුද ?…”

දින කිහිපයක්ම කෙටි පණිවිඩ යැවුවත් , නොලැබුන පිලිතුරු වෙනුවෙන් අයත්මා යලි උත්සාහ කලාය. චත්‍ර එය ගණනකට නොගන්නා වග පෙන්වූයේය. මුවින් එවන් හඬක් නැඟුවේය.

” බාර් එකේ අයිතිකාරයා කිව්වලු, අතුකෝරල පොඩි එකා මෙවෙලේ මගෙන් තමා ඉගෙනගන්නේ කියලා.. ඒ මිනිස්සු එක්ක අපිට හැප්පෙන්න බෑ චත්‍ර … අනෙක, ඒක පොලිසියට අයිති දෙයක්නේ.. ඔයා මීටින් වල ඒ මනුස්සයා කරන දේවල් ගැන ප්‍රසිද්දියේ  කියනෙකෙන් ඔයාගේ ජීවිතේටමයි අනතුර.. ඒ මිනිහා එහෙම අණක් ගුනක් තියෙන කෙනෙක් නෙවෙයිලූ..”

” මං කලේ පොලිසියට දන්න දේවල් ටික කියපු එක.. ආයේ ඒ අස්සේ රිංගන උන්ට දේවල් කියන එක….. ඌ  බාර් ලයිසන් එක තියාගෙන කරන්නේ වෙන මඟුල් කියලා දැන දැනම මට ඇස් කන් පියන් ඉන්නද කියන්නේ?..”

චත්‍ර අයත්මාට කඩා පැන්නාය.  වඩාත් සමාජ හිතකාමී දේශපාලනයක නියැලෙන එක මෙහෙම දෙයක් බව දන්නවා නම් තමා කිසිදිනෙක ඔහුව මෙවැන්නකට යොමු නොකරන බව සිය දහස් වෙනි වතාවටද හිතුවාය.

“දැන් මං යන්නද  එහෙනම්.. මඟුලක් කියවන්න ගත්තා ආවා ගමන් ?…”

චත්‍ර එක්වරම අසද්දී අයත්මා පියවි සිහියට පිවිසියාය. වහා ඔහුගේ බාහුවේ එල්ලුණාය. හිස දෙපසටම සැලුවාය. චත්‍රට තවදුරටත් ඒ ඇස් වලින් ගැලවී සිටින්නට හැකි වූයේ නැත. ඉවසීම කෙතරම් දරාගෙන උන්නා වුවද, දැන් එය අපහසු බව චත්‍රට දැනෙන්නේය. අයත්මා දුක් විඳින බවද පෙනෙන්නේය.

චත්‍ර ඇය වටා සුරත යවා ඕ තමා වෙතට වන සේ හිඳුවා ගත්තේය. අයත්මා උන්නේ අප්‍රමාණ සැනසීමක මුල් පඩියේය. මේ ස්පර්ෂයම ජීවිතය පුරවාලන්නේය.

” කොහොමද ඔයාට අයූ ? …..”

චත්‍ර බිඳුණු හඬින් විමසුවේය.

වසරකටත් ආසන්න කාලයක් ගෙවී ගියාට පසු අයත්මා ප්‍රාර්ථනා කල චත්‍ර ඉපැදෙමින් උන්නේය. දෙදෙනා විසින් ම දෙදෙනා වෙනුවෙන් කල කැපකිරීම් වල අග පල විඳිමින් උන්නේය. අයූ වෙනුවට අයත්මා  කියා ඇමතූ හැමවරකම තමා මියැදුන වග අයත්මාට ස්තිරය. 

” මැරිලා උන්නේ.. දැන් පණ ගැහෙනවාද කොහෙද මාව  ?..”

අයත්මා හඬමින්ම කීවාය. චත්‍ර ඇගේ හිස් මුදුන ඉම්බේය. ඉනික්බිති හිස් මුදුනට වන සේ නිකට තබා ගත්තේය. අයත්මා හඬන බව දැනෙද්දී ඇයට හඬන්නට දී බලා උන්නේය. ඒ කඳුළු බර වුවද  , දැන් දරා ගන්නට තමාද සිටුන නිසා කමක් නැතැයි සිතුවේය.

” අයූ ….”

” ම්ම්ම්ම් …”

” ආදරේ කරනවා කියනෙක මෙහෙම වේදනාවක් නම්, මට ඔයාට මෙහෙම වේදනා විඳින්න දෙන්න ඕනි නැ අයූ … සත්තයි …..”

අයත්මා කිසිත් නොපවසාම උන්නාය. ඇය සියල් දරාගැනීම් කලේ විකල්ප නැතිවාට නොවේය. ඇයට චත්‍රගෙන් එපිට අන් කිසි විකල්පයක් අවැසි නොවූ නිසාය.  ජීවිතයේ එකම තෝරාගැනීම චත්‍ර වූ නිසාය. ජීවිතය තුළ පැවතිය යුතුම යමක් වේනම් එය චත්‍ර අභියස දැනෙන නිසාය. කිසිඳු අඩුවක් නැතිව සියල් සැපිරෙන දිනයක පවා චත්‍ර නොමැති කම නිසා වන හිස්කම නොපිරී පැවතීම ප්‍රේමය වග අයත්මා කියවාගෙන උන්නාය. 

අයත්මා චත්‍රගේ ගෙල පාමුලින්ම  දෙතොල් තබා ඉම්බාය. චත්‍ර ගේ දෙතොල්හී වූයේ මනමාල මන්දහාසයකි. සැබැවින්ම, ඇයට ඉඹීම පිළිබඳව මොකක්ම හෝ උපාධියක් ඇතිවා විය යුතුය. ඇය ගේ හාදු දිනපතා ගෙන එන්නේ නැවුම් හැඟීමකි. මේ කලකට පසු භෞතිකව ලැබුන හාදුවක් වීම ඒ නැවුම් බව වැඩිපුර චත්‍රට දනවමින් තිබුණි.

” මට වේදනාවක් නෑ..”

පසුව අයත්මා එහෙමම හිඳ කීවාය. චත්‍ර  ඇගේ හිස් මුදුන යලි ඉම්බේය. 

”  අපේ නංගී , අවිශ්කව බඳින්න ඕනි කියන්නේ ?…”

ඉන් පසුව චත්‍ර ඉක්මනින් කියා දැම්මේය. අයත්මා ඉන් තිගැස්සී යනු දැණුනද ඒ වගක් නොදැණුනා මෙන් ඇයව තමා වෙත නතු කරගෙන්ම උන්නේය. ඕ පසෙකටව තමා දෙස බලා එය යලි විමසන්නට සූදානම් වග දැනෙද්දී එවැන්නකට ඉඩ නොදීම සිහිනි විසින් පැවසූ සියල්ල කීවේය. වසරක් තිස්සේම ඔවුන් දෙදෙනා එකිනෙකාවද, තමන් දෙදෙනාවද දරා ගෙන ඇති වග කීවේය.  එහෙත් නේජාගේ කතාව සැඟවූයේය.

” නේජාගේ කතාව අවිශ්ක අයියාට ඕනි හිතෙන දවසක අයත්මාට කියාවි අයියේ .. එතකල් ඔයා ඉස්සර  වෙන්නෙපා..ප්ලීස් ….”

සිහිනි කිහිප වතාවක්ම එලෙස පැවසූ වග සිහිපත් කලාය.  අයත්මා උන්නේ දැනෙන හැඟීමේ ස්වභාවය කුමක්දැයි හරි හැටි වෙන් කරගන්නට නොහැකිවය.  එසේ නම්  කලකට පෙර සිදුවන්නට නියමිතව තිබී ක්ශය වී ගියායැයි සිතූ  යමක් යලි දලු ලමින් වැඩී තිබී ඇත. අයියාගේ ඇස් සිහිනි පසුපස දුවන තාලය වෙනස් බව වැටහීත් තමා ඒ වෙනුවෙන් කිසිත් නොකෙරු ආත්මාර්තකාමී බව ගැන අයත්මා චත්‍රට පාපොච්චාරනය කලාය.

” මගේ නංගී ජීවිතේ ආදරේ ගැන හිතන්නේ මහ ගෑණියෙක් වගේ අයත්මා.. ඒ හින්දාම සමහර තැන්  වල අවාසිය ඒකිට … කොටින්ම ඔයාට ආදරේ කියලා ඔයාට කියලා,  ලැබෙන ඕනිම දෙයක් බාරගන්න කියලා මගේ හිත හැදුවේ ඒකි ……… සිහීනි නොඑන්න මම මේක දරාගන්න බැරුව පිස්සු වැටිලා…..”

අයත්මා එයට එකඟ වූවාය.  සිහිනි සැබැවින්ම වයසට එහා දරාගැනීමක් හා තීරන ගැනීමක් දරන්නියකි.  චත්‍ර බොහෝ දේ කීවේය. ජීවිතය පිළිබඳව දැනෙන යම් හිස් හැඟිමක් වූ වගද කීවේය. 

” ඔයා අවුරුදු ගානක් බලන් උන්නා චත්‍ර .. මට තව බලන් ඉන්න පුළුවන් .ඔයාගේ හිතේ කලබලෙන්, ඔයාට සූදානම් ණෑ කියලා තියෙන හැඟීම එක්කල, මට මුකුත් කරන්න ඕනි නෑ … මාව පොඩිවත් කරදරයක් අක්‍රගන්න එපා.. මම හොඳින්…..” 

” මන්දා අයූ …”

” එහෙම කියන්නෙපා චත්‍ර … ඔයාට තව ඕනි තරම් කල් ගන්න .. අපි මෙහෙම ඈතින් හරි ඉමූ … පේන්න ඉමූ … යන්තම් හිනා වෙලා හරි පහු වෙමු .. ඒත් යන්නම යන්න ඕනි නෑ .. මට බෑ..ඔයත් යන්න එපා … කවදාක හරි ඔයාට මාව ඕනි නෑ හිතුනොත් විතරක්, එදාට කියලා යන්න … එදාට ම්ං ජීවත් වෙන්නේ කොහොමද කියලා, අද ඉඳන් හිතන්න පටන් ගන්නම්ම් ..”

චත්‍ර සිනාසුනේය. ඒ සිනහව අයත්මා දුටුවේ නැත. එහෙත් යමක් දැනුනි. ඕ ඒ හැඟීම සුසුමකට මුසු කලාය. චත්‍ර මෙතරමින් හෝ දොඬමලු වීම සහනයකි.  ඔහුට මෙහෙම කතා බහ කරන්නට සිතක් පහල වීමම අයත්මා සැනසීමක් සේ වින්දාය.

” ඒක් නෙවෙයි …. අප්පච්චී කිව්වා අද ඔයාව ගෙදර එක්කන් එන්න කියලා… එක්ක නාවොත් එයා හෙට අම්මා එක්ක මෙහෙ එනවා කිව්වා….”

අයත්මා එවර නම් වහා මිදී චත්‍රගේ මුහූන දෙස  බැලුවාය. ඔහු උන්නේ අඳුරු වලාකුළු අතරින් රිංගා එබෙන්නට තනන සඳක සෙයියාවෙනි. ඕ වහා ඒ සඳ රැස් හී තෙමුණාය. ගිලුනාය. සැනසුනාය. වටහා ගන්නට නොහැකි බව පෙන්වන මුහුනක් පෑවාය.

” ඇයි ඒ ?…..”

” මං මෙච්චර කල් කිය කියා උන්නේ   ඔයාට දැන්ම බඳින්න ඕන් නෑ කියනවා කියලානේ….අප්පච්චීට ඒ ඇයිද අහන්න ඕනිලූ.. අම්මා කියන්නේ ඔයාවයි අයියාවයි බාබවයි අපේ ළඟට ගමු කියලා… නිමලා අම්මත් එක්කම… නේජාට දැන් ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි ඕනි කියලා…”

” ඒ කියන්නේ ?…”

” සිහිනි ඊයේ අම්මලා එක්කත් කතා කලා අයූ … අම්මලා අවිශ්කගෙයි සිහිනිගෙයි අතරේ වෙන්න නියමිත බව පේන දේට අකමැති නෑ.. අම්මලට ඒක ලේසි නැතුව ඇති .. ඒත් ඒ දෙන්නා ඒක තේරුම් අරන් වෙන්නෝනි ….”

අයත්මා ට මුවද, උගුරද වියලී ගිය බව ඉතාම තදින් දැණුනි. සියල්ල මෙලෙස විසඳේවියැයි කෙලෙස නම් සිතන්නද? 

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles