පනස් නව වැනි නෙත් සැරිය
චත්‍ර වහා ඇයගේ අතින් අල්ලා නවතා ගත්තේය. එහෙත් අයත්මා වසර ගනනකට ඈත අතීතයට ක්ශණිකව ඇදී ගියාය. ඒ අතීතය තුල වහ වහා කරක් ගැහුවාය. දෙදෙනාට දෙදෙනා කෙතරම් රිදවන හේතු තමා විසින් හදනවාදැයි සිතුවාය. කල්පනා ඈඳා ගනිමින් චත්‍රගේ සිතට තම විසින් දෙන පීඩනය ඔහු කෙලෙසින් කලමණාකරනය කරගනන්වා විය යුතුදැයි සිතුවාය.
” මොකද?….”
චත්‍ර ඇය වෙත එබී විමසුවේය. ඔහුට ඇය දිලිසෙන්නේ ඉස්සර වගේමය. අඩුවක් නැතිවය. ඒ ඇස් ඉදිරියේ ලෝකයක්ම වුව අත් හැර දැමිය හැකි තරමේ බැඳීමකින් ඇලෙන බව දැනෙන්නේය. එලෙසින්ම ඇය වෙනුවෙන් ලෝකයම අල්ලා සිටීමේ හැකියාවද, සවියද ඔහුට දැනෙන්නේය.
” යමුකෝ.. ඔයාගේ පාර්ටිය මේ..අර යාලුවෝ හොයාවි .. හරි නෑනේ චත්‍ර… යමුකෝ මහත්තයෝ .. එන්නකො ..යමුකෝ …”
අයත්මා වහා අවස්තාව වෙනස් කිරීමට උත්සාහ කලාය. එහෙත් චත්‍ර උන්නේ අයත්මගේ අංශුමාත්‍රික හැසිරිම් අග පවා, ඒවා විශ්ලේෂණය කර කියවාගන්නට හැකි තත්වයකය. ඔහු වහා ඕ අල්ලා ගත්තාය. සෙලවෙන්නටවත් නොහැකි තරමින් තද කර අල්ලා ගත්තාය.
” මගේ නෙවෙයි .. අපේ පාර්ටිය … ඒකෙන් කමක් නෑ . ඉස්සෙල්ලාම කියන්න මොකද වුනේ ?…”
” මුකුත් නෑ ..?…”
” අනේ මේ.. කියන්නේ නැත්නම් හොඳ වැඩක් කරනවා නෝනා ඈ.. දන්නවානේ මගේ හැටි..”
“එහෙම මුකුත් නෑ අනේ… යමුකෝ..”
” අරූ කියව කියවා ඉද්දී කඩාගෙන බිඳගෙන ආවේ ඇයි එහෙනම් ?….”
චත්‍ර නොවැටහෙන්නාක් මෙන් විමසුවේය. එහෙත් අයත්මාගේ කලබලය ඔහුට වැටහෙන්නේය. අවැසි ඇය මෙය වටහා ගැනීමය.
” එහෙම එකක් නෑ මහත්තයෝ .. නිකන්…”
අයත්මා චත්‍රට සාදය පැවැත්වෙමින් තිබූ පෙදෙසට යන්නට බල කරමින් කීවාය්. එහෙත් චත්‍ර අයත්මා පසෙකට කර එතැන වූ අසුනකට බර වුවේය. ගනනකට වත් නොගන්නා බැල්මකින් ඉවත බලා ගෙනම උන්නේය.
” චත්‍ර ….”
” කියන්න … ඊට පස්සේ යමු …”
අයත්මා තම හිතුවක්කාර ප්‍රේමවන්තයා දෙස බලා උන්නේ නෝක්කාඩු බැල්මකිනි. හිතෙහි වූ අඳුර යම් තරමකින් පහව යන වග ඇයට දැනුණි. ඔහු තමාගේ දුර්වලම තත්පර සොයාගෙන, ඒවා තමා ලවාම කියවාගෙන, ඒවාගෙන් තමා ශක්තිමත් වන්නේ කෙලෙසින්දැයිද කියන්නේය.
” ඔයාගේ යාලුවා කීව කතා එක්ක … මට මං ගැන ලැජ්ජයි වගේ හිතෙනවා චත්‍ර .. ඔයා කල්පනා එක්ක තිබුන ජීවිතේ ගැන සහසුද්දෙන්ම දැනගෙන ඉඳලාත් මම ඔයා එක්ක පැටලෙන්න ඒක හේතුවක් කරගන්නවා … අර යාලුවා කියන විදියට …. ඔයා .. ඒ දවස් වල ඉඳන්ම …. ..මට නේ ආදරේ කරලා තියෙන්නේ.. අනේ මන්දා… සමහර වෙලාවට මට මාව කන්ට්‍රෝල් නෑනේ ඒත්..නේජාත් ඇහුවා දවසක්, නැන්දා මොකද මාමාට එහෙම කෑ ගැහුවේ ආන්ටි කෙනෙක් ගැන කියලා කියලා.. මට හරියට ලැජ්ජ හිතුණා. ….”
අගමැතිවරයා මනමාල සිනහවකට බැස්සේය. තම ආර්‍යාව ඇද උකුලෙහි හිඳුවා ගත්තේය. ඇගේ ගෙල පාහුල ඉඹින්නට මදක් ඉස්සුණේය. ඉනික්බිති සුදු පැහැ්යට හුරු නිල් පැහැ සාරි හැට්ටය අස්සෙන් පාදගත් ගෙලද , උරිස්සේ කොනක්ද ඉම්බේය.
” මට ඒ පැටලිලි ප්‍රශ්නයක් නෑ අයූ … මොකද මම දන්නවා, ඒ පැටලිලි වල තියෙන්නේ සැකේ නෙවෙයි ඉරිසියාව කියලා .. සහ මම විශ්වාස කරනවා ඉරිසියාව එක එක සාණ්ද්‍රන වලින් ඇති වෙලා එලියට පනිනවා කියන්නේ ආදරේ සාන්ද්‍රණය අනිවාර්‍යෙන්ම වැඩි වෙනවා කියලා..
ඒ නිසා සැරෙන් සැරේ වෙන පැටලීම් මම හරි ආදරෙන් දරාගන්නවා… සහ, එහෙම පැටලිලා ඔයා ඔයාවම පටලෝගෙන ලිහාගන්න ආයේ මගේ ළඟටම එනකල් මම සෑහෙන්නම ආසාවෙන් බලන් ඉන්නවා.අනෙක් අතට මං හරි ආසයි ඔයාව පටලවන්න ..
එතකොට අයූ තමුසේ මට අර ඉස්කෝලේ උන්න පොඩි කෙල්ල වගේම දැනෙනවා.. මාත් එක්ක පැටලිලා, පුතාලට කවලා, ඒ දෙන්නව නිදි කරවලා, මට රිදේවි කියලා හිතලා ඔයා බඩගින්නේ නිදාගන්න එනකොට මම ඔයාට පේන්නම කන්නේ මොකද දන්නවද ඉස්සර ? ඔයාව එහෙම ටිකක් පටලවලා අවුස්සන්න.. මම බත් කටක් දෙකක් කාලා ඔයාට පිඟානම ගිල්ලවලා ඉවර වෙන වෙලාව තමා මගේ නිවන.. ඒ වෙලාවට ඔයාගේ මූනට එනවා නේද හිනාවක්, ඒ හිනාවෙන් මට ඇත්තටම නිවන් යන්න කමටහන් හොයාගන්න පුලුවන් ඕයි.. බැඳීමක තද ගතියයි, අත් හැරීමේ සැනසීමයි දෙකම මට තමුසෙගේ හිනාවේ පේනවා අයූ.. සත්තයි… ..”
අයත්මා චත්‍රගේ හිසකේ සැකසුවාය. මදක් ඇලයට හැරී කොපුලක් ඉම්බාය.ඔහුගේ සුවඳ කිසිදා වෙනස් නොවන බව වින්දාය. ඔහුගේ මනමාලකම් වලට තමා හසු නොවන වගද, තමා ව්‍යාජ අමනාපකම් පෙන්වන්නේ ඔහු ලවා අවශ්‍ය දේවල් කර ගැනීමට බවද කියමින් තවත් සරදමටම ලක් වූවාය.
” මේකට හා කිව්වා වගේ නෙවෙයි අයූ .. කොල්ලෝ දෙන්නා මඟ ඇරේවි කියලා හරි බයයි ….”
චත්‍ර එවර එක්වරම මුහුණ වෙනස් කරගත්තේය. අයත්මා වහා ඔහුගේ දෑසට එබුනාය.ඔහුගේ දෑස් වල ඇයට කියවාගන්නට නොහැකි වූ යම් අනාරක්ෂිත බවක් විය.
” එයාලා දැන් ලොකුයි චත්‍ර … එයාලට දේවල් තේරෙනවා දැන් …”
චත්‍ර සුසුමක් හෙලුවේය.
” කොළඹ එන්න වෙන එක ගැන ලොකූ එච්චර සතුටු නෑ .. එයා කියන්නේ එයාට ඒ ඉස්කෝලේ, ඒ යාලුවෝ එක්ක ඇචීව් කරගන්න ගෝල් තියෙනවලු … පොඩ්ඩා කියන්නේත් එයාගේ ටාර්ගට් තියෙන්නෙ මෙහෙ සෙට් එක එක්ක කියලා.. එහෙම කියද්දී .බලෙන් ඒ දෙන්නව ගේන්නත් බෑ … . මට ඔයයි පුතාලයි නැතුව තනියෙන් කොළඹ ඉන්න හිත හදාගන්නත් බෑ .. තිස්ස ඉඳන් මට මේ වැඩ සැලසුම් කරගන්නත් අමාරු වෙයි …”
” අපි බලමුකෝ ..කපිල අයියාත් ඉන්නවනේ… මහත්තයෝ..”
” ඌ හිටියට මොක කරන්නද බොල …ඈ.. “
චත්‍ර එවර සැහැල්ලුවකට මාරු වූයේය. අයත්මාද කෝල හුරුතලයක් පෙන්වූවාය. දෙදෙනාට දෙදෙනා එකිනෙකා පරදන බස් කියවා ගත්තෝය. ජීවිතයේ පස් වැනි දශකයටද ආසන්න වෙමින් ඉන්නා වගක් වූයේ නැත.
” ලොකූ කියන්නේ මං වෙනුවෙන් එයාලාගේ ප්ලෑන් වෙනස් කරන්න කියන්නෙපා කියලා..කොල්ලා ඉතින් එහෙ ළමයි එක්කයි, ගුරුවරු එක්කයි මාර දේවල් ටිකක් කරනවනේ අයූ … අපි ඒවට බාධා කරන්න හොඳ නෑ …”
” කමක් නෑ චත්‍ර … එහෙන් හයි වේ දැම්මම පැය දෙක තුනනේ… කපිල අයියා ඇත්තටම කිව්වා එයාට ඩේලි වුනත් ඔයාව ගේන්න ගෙනියන්න පුලුවන් කියලා….”
” ආහ් ඒක යස කතාව… එතකොට අර උගේ ගෑණියි ලමයයි ..?”
” ඉතින් එයාලටත් අපේ කිට්ටුවට එන්න කිව්වම හරිනේ.. එතකොට ඔයාව ගෙදර දාලා කපිල අයියා ආයේ එහෙ මෙහෙ යන්න ඕනි නෑනේ අනේ…. දෝණිටත් ලේසියි ඉස්කෝලේ එන්න … .”
” බලමුකෝ … මේක මහ බරක් වගේ දැනෙනවා අයු. …ඒත් ඔයත් ඉන්න නිසා බර අඩු වෙයි හිතෙනවා…”
අයත්මා චත්‍රගෙන් ඉවතට වී සිටගත්තාය.
” චත්‍ර .. මගේ මහත්තයෝ … මං හැමදාම ඔයාගෙන් දැක්කේ මෙන්න මේ පිරිසිදු දේශපාලන පෞර්ශය … … මේ හයිය, මේ ෆ්ලෙක්සිබල් වීම, මේ සැලසුම්, මේ ලීඩර්ශිප් එක .. මේ ඔක්කොම … මං ඉස්සර ඉස්කොලේ යන කාලේ ඔයාට ඒවා කිව්වේ ඔයාට ඒ දේවල් කරන්න පුලුවන් වේවි කියලා හීනෙකින්වත් හිතලා නෙවෙයි චත්‍ර .. නිකමටම නෙවෙයි වුනත්, මෙ ලංකාවේ ඒ දේවල් කරන්න පුලුවන් වේවි කියලා මම හීනෙකින්වත් හිතුවේ නෑ.. සත්තයි… .. ඒත් ඔය ඒක කලා… ටික ටික ඔයා එක්ක ජීවත් වෙද්දී මං ආසම කල දේ ඔයා කරලා… මේ ගමන ඔයා මෙතනින් නැවැත්තුවා වුනත්, මට ඔයා මේ රට වෙනුවෙන්, මේ මිනිස්සු වෙනුවෙන් කල දේවල් ඕනෑවටත් වඩා චත්‍ර …”
චත්‍ර සිනාසෙමින් ඇගේ දෑතම සිප ගත්තේයෙ.
” අයියෝ අප්පච්චී .. ඔයා මෙතන අම්මාව කිස් කර කර මොනවාද කරන්නේ?.. එන්නකෝ බෑන්ඩ් එක එක්ක සින්ග් කරන්න ආවේ කවුද බලන්න … එන්නකෝ ..”
එක්වරම පැමිණි දරුවන්ගේ හඬින් චත්‍ර සහ අයත්මා සිනාසෙමින් එකිනෙකා හා නැගිට ගත් හ. දරුවන් සමඟ සාදය තුළට ඇතුලු වූහ.
අයවැය සම්මත කර ගැනීමේ අවසන් විවාදයට පසු
චත්‍ර නිවෙසට එද්දී රාතී එක පසු වී තිබුණි. කපිල ඔහු නිවසින් බස්සවා යාබදව වූ නිවෙසට ගියේය. අයත්මා උන්නේ චත්‍ර පැමිණෙන තුරු අවදියෙන් ය. ඇය උන්නේ ඇගේ වෘ ත්තීය ජීවිතයේ අවසාන දිනය ගෙවා අවසන් කරය. ඒ නිසාම ඇය උන්නේ යම් නොසන්සුන්කමක් එක්කය.
අවුරුදු විසි දෙකක් ගුරු ජීවිතයට වේලපහම සමුදෙන්නට ඕ තීරණැය කලේ චත්‍ර සහ දරුවන් වෙනුවෙනුත්, ඔවුන්ගේ අනාගත සැලසුම් වෙනුවෙනුත් වැඩි කාලයක් සොයාගන්නට අවැසි වු නිසාය. චත්‍ර ගත දොවාගෙන විත් ආහාර ගෙන පැමිනෙන විට අයත්මාද කාමරයට පැමීනියේ නාන කාමරයේ සිටය. සුපුරුදු හිතුවක්කාරකමින් ඕ රැය මැදියම කියා නොසිතාම ස්නානය කර උන්නාය.
” කොල්ලෝ දෙන්නයි, රටේම ඉන්න සේරම ගෑණුයි, මුලු රටමයි කන්ට්‍රෝල් කරගන්න පුලුවන්.. මේ ගෑණි රෑට නාන එක නවත්තගන්න බෑනේ…”
” අද විතරයි මහත්තයෝ..”
අයත්මා තෙත හිසකේ උරිස්සෙන් ඉදිරියට ගෙන චත්‍ර අසලින් හිඳගත්තාය. චත්‍ර ඇය වෙත හෙලුවේ වටහා ගන්නට නොහැකි බැල්මකි.
” මම රිසයින් වුනා….”
” මොකක් ?…”
චත්‍රගේ උස් හඬින් අයත්මා තිගැස්සී ගියාය. එහෙත් ඕ ඔහුව වසන්සුන් කරවන බැල්මකින් එක දිගටම බලා උන්නාය.
” මොකද්ද නෝනා කියන්නේ?…”
චත්‍ර උන්නේ සැබැවින්ම කම්පනයට සහ සංවේදීත්වය දරාගන්නට නොහැකි තත්වයකට පත් වෙමිනි, ගුරු භූමිකාව තුල අයත්මා විඳි සැනසීම කෙතරම්දැයි ඔහු දනී. ඇය එය මේලෙසින් අවසන් කල නොයුතුව තිබුණි.
” අහන්නකෝ මහත්තයෝ .. පුතාලා ලොකු වෙනවා.. අපි දෙන්නාටම එයාලව මිස් වේවි කියලා මට බයයි .. අනෙක, මට දැන් ඕනි වෙනස් විදියේ ජීවිතයක් හොයාගන්න .. අර අපි ප්ලෑන්කරපු ලස්සන ගොවිපොල හදාන්න පටන් ගන්න … ඔයාව තව ටිකක් වැඩිපුර බලාගන්න ….”
අයත්මා චත්‍ර ගේ හදවතට එබෙන්නට උත්සාහ කරමින් කීවාය. ඇයට අවැසි වූයේ එහි යම් රිදුමක් වේනම් එය පිරිමදින්නටය. එහෙත් චත්‍ර නොසැලී උන්නා මිසෙක ඇයට ඇතුල් වන්නට ඉඩ දුන්නේ නැත.
” ඔය ඉතින් … අද මේ හොඳ දවසක්නේ… ඔයාලා අයවැය දින්නා …”
” අනේ මඟුල … “
චත්‍ර යහනේ වැතිරුනේය. ඔහුගේ හදවත තුල ඇවිලෙන ගින්නේ රස්නය වැඩි වෙමින් තිබුණි. අයත්මා මෙතරමින් තමා වෙනුවෙන්, තම දරුවන් වෙනුවෙන් ඇගේ ජීවිතය කැප කල යුතුද? ඒ කැප කිරීම් තමාට කල හැකිද?
” මං දන්නවා ඔය කල්පනා කරන්නේ මං ඔයා වෙනුවෙන් ජොබ් එක අතෑරියට ඔයාට මං වෙනුවෙන් පොලිටික්ස් අතාරින්න පුලුවන්ද කියලා බව.. හීනෙකින්වත් එහෙම කරන්න ඕනි නෑ.. මං මේ කලේ මට ආස දේ.. මට කරන්න ඕනි කියල හිතුන දේ .”
” ඇයි මට නොකීවේ ?…”
” කිව්වානම් කරන්න නොදෙන නිසා…”
අයත්මා චත්‍ර අසලින් වැතිරුණාය. ඉන් පසුව ඔහුගේ ලය මැදට වන සේ හිස තියාගත්තාය. ඉන් චත්‍රගේ අමනාපය නිවුණි. අමනාපය නැති වුනා නොවේ නිවුණි. තවමත් කිසිවක් නොවෙනස් බව දෙදෙනාටම දැනේ. දශක දෙකකට ආසන්නව එක්ව ගෙවූ කාලය තුල එකිනෙකා කෙරෙහි මෙහෙම ඇවිලි ඇවිලී නිවුන හැම දවසක්ම අයත්මාට මතකයකි.
” මං දන්නේ නෑ සංසාරේ තව කී කොයි කාලයක් මට මිනිස් ආත්මයක් ලැබේවිද කියලා අයූ .. ඒත්, මං දන්නවා මට ලැබෙන හැම ආත්මයකම ඔයා මෙහෙමම මං ළඟ ඉන්නවා… මට දැනෙනවා… මං දැන් නාකි වෙන මිනිහෙක් අයූ .. හතලිස් පහක් … තව පහකින් හාල්ෆ් සෙන්චරි .. ඒත් තවමත් මට තමුසේ ගැන තියෙන්නේ මහ පුදුමාකාර ආදරයක් .. ඇත්තමයි නෝනා… පිස්සුවක් ….”
අයත්මා චත්‍රගේ ලය සිපගත්තාය.
” නෝර්ටි ෆෝර්ටි කියනවනේ අගමැතිතුමා …”
ඕ ඉන් පසුව ඔහු වෙත අඩවන් බැල්මක් පෑවාය. චත්‍ර ඔහුගේ පාලනය අත් හැරියේය. දෙදෙනා වෙනස්වූ රිද්මයන්ගෙන් ඇරඹී එකම රිද්මයක සුසර වූහ. එකිනෙකා කෙරෙහි බැඳෙන සිතුවිලි වලින් ආඩ්‍ය වූහ. අවසානයේ චත්‍ර අයත්මාගේ ලැම මත සිහින් සුසුම් සමඟින් සිපුම් තවරමින් උන්නේය.
” දන්නවාද අයූ .. ඉරිසියාකාර, හිතුවක්කාර ගෑණියෙක්ට හිත දුන්නෝත් දුන්නාම තමයි .. ආයේ ගන්නවා බොරු.. පෙඟිලා පෙඟිලා කොච්චර දිය වෙලා යන්න හැදුවත්, තමන් ආදරේ පිරිමියාව රැකගන්න සාත්තරේ ඒ ගෑණු දන්නවා…”
චත්‍ර නම් මැදිවියේ පිරිමියා , ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අගමැතිතුමා ඔහුගේ ජීවිතය දිය කර වැටෙන පපුව මත සුව නින්දක උන්නේය.
ජීවිතය උදුරාගන්නා තත්පරයක් පාසාම ඒ වෙනුවෙන් වග වෙන තව්ටහ් තත්පරයක් අප විසින් උපදවා ගත යුත්තේය. අයත්මා සහ චත්‍ර අතරේ එකිනෙකා කෙරෙහි කියා ගන්නට නොහැකි වූ ප්‍රේමයත්, කියවාගන්නට නොහැකි වූ ප්‍රේමයත් නිසා අහිම්වී ගිය තත්පර අනන්තව විය. එහෙත් ඒ වෙනුවෙන් වන සියලු තත්පර දැන් ඔවුන් සාදා ගමිනින් සිටින්නෝය.. ඇතැම්විය ඔවුන්ගේ විනාඩියකට තත්පර හැටක් නොව තුන්දාස් හයසීයක්ම වෙයි. ඔවුන්ගේ පැයකට විනාඩි හැටක් නොව තුන්දහස් හයසීයක්ම වෙයි. දවසට පැය විසි හතර ඉක්මවයි. සතියේ දවස් හත ඉක්මවයි. ජීවිතය අපෙන් හොරා ගත් තත්පර අප කෙලෙසකින් හෝ උපදවා ගත යුතුම බව චත්‍ර මංජිත අතුකෝරල නම් මැදිවියේ පිරිමියා ගේ පෙම්බරිය වන අයත්මා නම් වන මේ ගැහැණිය අපට කීවා නොවේද ?
එහෙම නම්, මේ අගමැතිතුමාට ජය පතමු … අපි මෙතනින් සමු ගනිමු…