මුතු බෙලි හදවත – 14 වන කොටස

විවාහක ගැහැනියක ගේ වඩාත් ම හද බිඳවන ඛේදවාචකයක් වනුයේ සිය සැමියාට තවත් පෙම්වතියක, අනියම් බිරිඳක සිටිනවා ය යන්න දැන ගැනීමයි. එය ඈ තුළ දනවන්නේ සිය අභිමානය බිඳ වැටීම පිළිබඳ හැඟීමකි. ප්‍රතික්ෂේප වීම පිළිබඳ හැඟීමකි. හීනමානය පිළිබඳ හැඟීමකි. ආදිත්‍යා ගේ සිත ද මේ සියල් සිතිවිලි වලින් කීතු කීතුවට ඉරී ගොස් තිබේ. ඇය ට දුක ය. දිවි නසා ගන්නට තරම් දුක ය. ඒ අකාලයේ නැති නහස්ති වී ගිය සිය තුරුණු විය ගැන ය. නමුත් දැන් ඈ නිසා ජීවිතය හැර යන්නට වුව ආදිත්‍යා ට හැකියාවක් හෝ අයිතියක් නැත්තේ ය. ඒ, ඈ සිය කුසයේ හොවා ගෙන හිඳ ලෝකයට බිහි කළ දරුවෙකු ඇගේ ආරක්ෂාව හා ආදරය පතා හිඳිනා නිසාවෙනි.

“අනේ මන් දන්නෑ අම්මෙ ඕව”

ආදිත්‍යා එසේ කියා ගත්තේ, විනාඩි ගණනාවක් යන තුරු ම ඇගේ හද තුළ ලලිතා ගේ ප්‍රශ්නය, ‘විකුම් ට ගෑනු හුටපටයක් තියනවා කියන කතාව ඇත්තද’ යන ප්‍රශ්නය හොල්මන් කරමින් තිබි නිසා ය.

“දන්නෑ කියල කොහොමද…තමුන්ගෙ මිනිහ ගැන ගෑනි මිසක වෙන කවුද දන්නෙ..”

“ඔය රටේ මිනිස්සු දන්නෙ ඉතිං”

ආදිත්‍යා කීවේ සිනහවකිනි.

“ලොකූ…මේක විහිළුවක් නෙවෙයි. තමුංගෙ මනුස්සය වැරදි පාරක යනවනං හරි අපි දැන ගන්න ඕනෙ කතා කරල හදා ගන්න”

“අනේ අම්මෙ. හදාගන්න කියලනෙ විකුම් ගෙ අම්මත් මේ පැත්තක හිටපු මාව ඕකට පටලෝ ගත්තෙ. අම්මලට හදන්න බැරි වුණ පුතාලව කොහොමද අම්මෙ මේ පැත්තක ඉන්න ගෑනු හදන්නෙ..”

හිනාවක් මුවෙහි වූවා ට ඇගේ පපුවේ වූයේ ගිනි මැලයකි. ඉකි බිඳ නොව කෑ ගසා හඬන්නට පුළුවන් දුකක් සන්තානයේ තෙරපී තියේ. එය කවදාවත් කවුරුන් ඉදිරියේ වත් කියා හිත නිදහස් කර ගත හැකි දුකක් නොවේ. කෙසේ වෙතත් අම්මා තාත්තා ඉදිරියේ ඒ දුක පෙන්වන්නා ඔවුන් ගේ හදවත් ද ඒ ගින්නෙන් අවුළුවන්නට ආදිත්‍යා ට හිත හදා ගත හැකි වූයේ නැත.

“එයාට ඕන ජීවිතේ එයා ගෙවපුදෙං අම්මෙ. මට දැං ඕනෙ මේ දරුව සනීප කර ගන්න විතරයි”

ඈ ඒ කතාව කීවේ හදවතින් ම දැයි ඇය ම විමසා බැලිය යුතු ය. බොහෝ විට ඒ වෙන කියන්නට කිසිත් නැති කමට ගැහැනියක කියනා කතාවකි. සිය පුරුෂයා වෙනත් ගැහැනියක වෙත යන බව දැන ගැනීමෙන් පසු, ඇය ට තමන් ගැන දැනෙනා ඉතා දරුණු වූ හීන මානයෙන් ගොඩ එනු පිණිස ඈ මගක් සොයා ගත යුතු වෙයි. දරුවන් වූ කලී ඒ සඳහා වන හොඳ ම මාර්ගයයි. සැමියෙකු ගේ සෙනෙහස අහිමි ව සිය ලෝකය කඩා බිඳ වැටෙත්දී මුලින් ම ගැහැනිය කරන්නේ හඬා දොඩා දුක විඳ ගන්නා එක ය. කෙසේ හෝ දරුවන් තනා ගත යුතු ය යන ශක්තිමත් සිතිවිල්ලෙන් යුතු ගැහැනිය උපදින්නේ ඉනික්බිති ය.

මින්දුල ද ගෙන මහ ගෙදරින් නික්මුණ ආදිත්‍යා සංකා හැඟීමෙන් යුතු ව පුරුදු උද්‍යානය වෙත ගියා ය. මහ ගෙදර සහ අම්මා තාත්තා, හිරු මඬලක් සේ ඇගේ සීතල ආත්මය දිය කරවන්නට සමත් වී තිබිණි. මහ ගෙදරින් නික්මෙන තෙක් ආයාසයෙන් හැඬුම පාලනය කර ගෙන උන් ඕ, උද්‍යාන බංකුවක් මත ට වී ඉකි බිඳිමින් හඬන්නට පටන් ගත්තා ය. ඒ කඳුළු පාලනය කර ගන්නා හැටියක් ඈ දැන සිටියේ නැත. ඒ කඳුළු පාලනය කරන්නට ඕ උත්සාහ කළේ ද නැත. අත් බෑගය තුළ වූ ජංගම දුරකතනය හැඬවෙන්නට ගත්තේ ය. ආදිත්‍යා හඬමින් ම එය අතට ගෙන බැලුවා ය. දුමාල් ගේ නම එහි සනිටුහන් වී තිබිණි.

ආදිත්‍යා දුරකතනය අත් බෑගයට දමා වැසුවා ය. දුරකතනය යළිත් හැඬවිණි. මේ කඳුළු ජීවිතයට වෙන කාගේවත් හෙවනැල්ලක් වැටෙන්නට ඇය ට උවමනා නැත. මේ කඳුළු පිටස්තරයෙකුට පෙන්වන්නට ඇය ට උවමනා නැත. ඔහු මින්දුල ගැන කාරුණික ය. ආදිත්‍යා ට ඒ ඇති ය.

දුමාල් බැංකුවෙන් පිට වෙන්නට පෙර කතා කළේ ආදිත්‍යා මින්දුල කැටිව උද්‍යානයට පැමිණෙනවා ද කියා විමසන්නට ය. ආදිත්‍යා පිළිතුරු නොදී සිටින්නේ යම් කිසිවක් සිදු වෙමින් පවතින නිසා ද යන සැකය දුමාල් තුළ ඇති විය. ඔහු ගේ හිතෙහි එතෙක් වූ උද්‍යෝගය තුනී ව යමින් සියුම් පාළුවක් දැනෙන්නට පටන් ගනිමින් තිබිණ. එය වූ කලී ඇට මස් ලේ විනිවිද ආත්මයේ පත්ලට ම දැනුණා වූ වේදනාත්මක පාළුවකි. මින්දුල සේ ම ආදිත්‍යා ගේ කොළ පාට ඇස් දෙකත් සිය ජීවිතයෙහි කොටසක් වී ඇති සැටියක් ඔහු ට දැනෙමින් තිබිණි.

ඒ පාළු සන්තාපයෙන් අත්මිදෙනු පිණිස දුමාල් උද්‍යානය වෙත රිය පදවා ගෙන ගියේ ය. හෙමි හෙමිහිට එහි පදික මං තීරුව දිග ඇවිද යමින් සිටි හෙතෙම නැවත වරක් ආදිත්‍යා ගේ දුරකතනය හැඬවූයේ ය. නැවත වරක් බෑගය හැර බැලූ ඕ දුමාල් ගේ නම දැක කෑ ගසා හඬමින් අත් දෙකෙහි මුහුණ ඔබා ගත්තා ය.

ඇගේ ඉකි හඬ දුමාල් ට ඇසිණ. ඒ දුරකතනය ඔස්සේ නොවේ. ළඟ පාතකිනි.

දුමාල් ඒ ඇස් දෙක දුටුවේ ය. මින්දුල ට දැන් ඇති, අතීතයේ ඔහු ට තිබුණ බියගුළු ඇස් යුග දුටුවේ ය.

“පුතේ”

දුමාල් එසේ කීවාට ඒ හඬ පිට වූයේ නැති තරමි. ඔහු ඒ බංකුව වෙත දිව ගොස් බිම දණ ගසා මින්දුල ගේ අත් දෙක අල්ලා ගත්තේ ය. ආදිත්‍යා තැති ගෙන දෑත් මෑත් කොට බැලූයේ මින්දුල ගේ වෙනසක් ඇය ට දැනුණ නිසා ය. ඒ කඳුළු ඇස් දෙකත් දුමාල් ගේ දෑසත් එකට ගැටිණ. ඒ ගැටීම තත්පර ගණනාවක් ගෙවෙන තෙක් එසේ ම පැවතිණ.

“ආදිත්‍යා…ඇයි මේ…”

දුමාල් ගේ ස්වරයෙහි වෙව්ලීමක් විය. ඔහු හිටියේ වර්තමානයේ ද නැත්නම් අතීතයේ ද කියා ඔහු ට ම වෙන් කොට හැඳින ගත නො හැකි වූ තරම ය. මේ කඳුළු ඔහු ට නුපුරුදු ඒවා නොවේ. මේ කඳුළු වල සීතලත් උණුහුමත් දෙක ම ඔහු විඳ තිබෙන්නේ ය. මේ කඳුළු වල ලවණ රසය ඔහු ගේ මුවට දැනී තිබෙන්නේ ය. ආදිත්‍යා හඬා ගෙන ම මින්දුල තුරුලු කර ගත්තා ය. ඒ දර්ශනය තුළ දුමාල් ට මැවී පෙනුණේ දුක්බර කොලු ගැටයෙකු තුරුලු කර ගෙන හඬනා සිය මව ගේ රුවයි. මෙතැන සිටින්නේ දුමාල් ද එතැන සිටියේ මින්දුල ද යන්න ද ඔහු ට පටලැවී තිබුණ සේ ය. ඒ තරමට ම අතීතය වර්තමානය  මත සමපාත ව තිබුණේ ය.

දුමාල් හෙමිහිට මින්දුල සමීපයෙන් බංකුවේ හිඳ ගත්තේ ය. දෙකලවා මත දෑත් බර කර ගෙන මඳක් ඉදිරියට නැඹුරු වී හිස බිමට හරවා ගෙන නිහඬ වූයේ ය. ඇසෙන්නේ ඇගේ ඉකි බිඳුම් හඬ පමණකි.

“මොකද වුණේ…”

ටික වෙලාවකට පස්සේ කතා කළේ අර අතීතයේ උන් බියගුළු කොලු ගැටයා නොවේ. ඉතා පරිනත පිරිමි පෞරුෂයක් ඇති දුමාල් කෙනෙකි. දුමාල් නානායක්කාර! ගීතා නානායක්කාරගෙන් මව් පස වාසගම ලත් දුමාල්!

ඒ හඬේ වූයේ හිත පිරිමදිනා දයාර්ද්‍ර බවක් ය කියා ආදිත්‍යා ට සිතිණි. ඒ සිතිවිල්ල ඇගේ හැඬුම තවත් වැඩි කළේ ය.

“කියන්නකො ඉතිං…මොකද වුණේ…ම්…”

“අනේ මට මේව ඉවසගෙන ජීවත් වෙන්න බෑ දුමාල්. ඒත් මේ අසරණය නිසා මට මං ගැන තීරණයක් ගන්නත් බෑ”

“ෂ්…”

දුමාල් ආදිත්‍යා ගේ හිස් මුදුනේ අත තබමින්, මින්දුල ට ඉදිරියෙන් ඇගේ මූණට එබුණේ ය.

“මේ පොඩි එකා ළඟ තියා ගෙන මොනාද කතා කරන්නෙ කියන එක ගැන පරිස්සං වෙන්න ආදිත්‍යා”

“අනේ දුමාල්…”

ඇය ට ඒ වදන් දරා ගත නො හැකි වූයේ ය. සිය රෝගී දරුවා ට එහෙම වටිනාකමක් දී කතා කළ වෙනත් කිසිවෙකු, ඔහු ඔටිසම් රෝගියෙකු බව දැන ගත්තා ට පස්සේ ආදිත්‍යා ට හමු වී නැත්තේ ය.

ඇය නැවතත් දෝතෙහි මුහුණ ඔබා ගත්තා ය.

“මං කිව්වනෙ පුතා ව සනීප කර ගන්න කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරනව කියල”

“එපා”

ඉකිබිඳුම අතරින් ම ඇය කියා ගත්තා ය.

“මගෙ දරුවට රටේ ලෝකෙ මිනිස්සු අනුකම්පා කරන්න ඕනද දුමාල්…අපි ඒ තරං අසරණයොද…”

“අනුකම්පා කරනවනං නෙ අසරණයො වෙන්නෙ. ඒත් ආදරේ කරන්නෙ අසරණ කමට නෙවෙයිනෙ …නේද…”

ආදිත්‍යා වහා හිස හරවා බැලුවා ය. ඒ බැල්මට දුමාල් ට හිනා ගියේ ය. තව තත්පරයක් පමා වුව හොත් ඇය ඔහු ට පහර දෙනු ඇත වාගේ බැල්මකි දුමාල් ට ආදිත්‍යා වෙතින් දැකිය හැකි වූයේ .

“ආදරේ කරනව කියල මං කිව්වෙ…මින්දුල ට…”

ඔහු ගේ සිනහව ක්ෂය වී යන තෙක් ඇය එක එල්ලේ බලා සිටියා ය.

“හරි. දැං මොකද්ද සිද්ද වුණේ කියල මට කියන්න. පුතා නිසාවත් විකුම් පුතාව ඕෆනේජ් එකකට දාන්න කිව්ව නිසාවත් අලුතෙන් අඬන්න ඕන නෑනෙ”

“අනේ ඇයි දුමාල් එහෙම කියන්නෙ…එක අතකට ඔයාට මේව කියල වැඩක් නෑ. ඔයා මොනාද දන්නෙ මැරේජ් ලයිෆ් එකක් ගැන…ඔයා තාම පොඩි කොල්ලෙක්..”

එවර ඔහු හඬ නගා සිනාසුණේ ය.

“අපේ අම්ම වගේ කතා කරන්න එපා”

“විකුම් ගැන ආයෙමත් ගොසිප් සයිට් වල එක එක කතා යන්න පටං අරං”

දුමාල් ගේ කට කොනකට සිනහවක් ආවේ ය. ඒ සිනහවේ අරුත් පසිඳ ගන්නට සෙයින් ආදිත්‍යා බලා සිටියා ය.

“විකුම් වගේ අය නැත්තං කොහොමද ආදිත්‍යා ඔය ගොසිප් සයිට් වගේ දේවල් කර ගෙන යන්නෙ…”

ඇගේ ඇස් බිමට හැරවිණ. ඒ කතාව ඇගේ හිතට එල්ල කළ පහර දැඩි වැඩි යයි දුමාල් ට සිතිණ.

“මට පුදුම එකම එක දෙයක් ගැන විතරයි”

ඒ කුමක් දැයි අසනා ඇස් වලින් ආදි යළිත් තරුණයා දෙස බැලුවේ ය.

“එ් ඔයා ඇයි විකුම් වගේ කෙනෙක්ට ආදරේ කළේ කියන එක”

“ආදරේ…”

ආදිත්‍යා තදින් ප්‍රශ්න කළා ය.

“ආදරයක් නැතුවත් ගෑනු මිනිස්සු කසාද බඳිනව දුමාල්. කසාද බඳින්න සිද්ද වෙන අවස්තා ජීවිත වලට උදා වෙනව. ඒක මහ මෝඩ තීරණයක් කියල ඔයා මට අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ වගේ මෝඩ තීරණ ගන්න සිද්ද වෙන්න කාරණාත් සමහර වෙලාවට ජීවිත වලට එනව..ඒ දේවල් ගැන මට කිසි ප්‍රශ්නයක් නෑ. මං මාව අමතක කරලයි ඒකට එකඟ වුණේ. ඒත් මගෙ ළමයට මෙහෙම කරන්න එයාට පුළුවන් වෙයි කියල මං හිතුවෙ නෑ. ගොසිප් සයිට් වල යන කතා ගැන මං මොනාද කියන්න ඕන දුමාල්. මං කැමති නෑ ඒවට අනියම් සම්බන්දකං කියල කියන්න. දැං බලා ගෙන යනකොට අනියම් මමනෙ දෙයියනේ. මං එයාට නියම නැති නිසානෙ වෙන අය ඕන වෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ මගෙ නෙ වැරැද්ද. මට මේව දරා ගන්න පුළුවන් දුමාල්. මට උත්තර දෙන්න බැරි මිනිස්සු අහන ප්‍රශ්න වලට. ගෙදර ගියාම අම්ම තාත්තා අහන දේවලට. කොහොමද කියන්නෙ ඒ මිනිස්සුංගෙ මූණු බලාගෙන…විනුම් ගෙ ලීගල් වයිෆ් විතරයි මං කියල..අම්ම අහනකොට විකුම් මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියල…මට මොකද්ද දෙන්න තියෙන උත්තරේ..මං ගොළුවා වගේ බලං හිටියා. බලං හිටියා නෙවෙයි ඇත්තටම අහක බලං හිටියා. මට මාව අමතක කරල දාන්න පුළුවන් දුමාල්. කොහොමත් මං එහෙම කරලනෙ ඇමති පුතෙක් ව බැන්දෙ. ඒත් මේ දරුවට දවසක මං මොනාද කියන්නෙ කියල මට හිතා ගන්න බෑ. ඇත්තටම මට තේරෙන්නෑ දුමාල්”

 මේ වෙත්දී ආදිත්‍යා ගේ ඉකි බිඳුම සන්සුන් වී තිබිණි. නමුත් නො නවත්වා ම ඒ ඇස් වලින් කඳුළු ගලා යමින් තිබිණ.

“දරුවට මොනවත්ම කියන්න ඕන නෑ ආදිත්‍යා. ඒත් එයාට එක ම එක දෙයක් දැනෙන්න ඕනෙ. ඒ එයාගෙ අම්ම මොන තරං ශක්තිමත් අම්ම කෙනෙක්ද කියල. එයා අනාගතේදි ඉන්න තැනට අරං යන්න ඔයා මොන තරං වෙහෙස වුණාද කියල මින්දුල ට දැනෙන්න ඕනෙ. ඔයා එහෙම කරන්න පුළුවන් අම්ම කෙනෙක්. ඔයා දවසක අනිවාර්යයෙන් ම එහෙම කරන අම්ම කෙනෙක්”

ඇස් පිය නො සලා ඇය දුමාල් දෙස බලා ගෙන සිටින්නට වූවා ය. ඇය ට සිතුණේ එක ම එක දෙයකි. ඇය ලෝබ නැතිව ඒ දේ ඔහු ගේ මූණ බලා ගෙන කියා දැම්මා ය.

“මින්දුල ඔයා වගේ වුණොත් මට ඇති”

දුමාල් ගේ ඇස් හිරු මඬලක් සේ ඈ මත පායා ආවේ ය. ඒ බැල්ම දරා ගන්නට බැරි කමින් ආදිත්‍යා බිම බලා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles