ආතුරයන් මැද ආදරෙන් 20

“ජාදු .. කතාව කියන්නකෝ..මගේ බත් එක ඉවර වෙන්නත් ලගයි..”

වර්ණාසි කිව්වා .

ම්ම්.. හරි   ..ඔය අතරේ ඔය වාට්ටුවල ඉන්න ලොකු ලොකු කට්ටියගේ උපන්දින පාටි එහෙම ජයට සමරනවානේ.. ඉතිං ඔය  ජග්මන් කාරයාට හැමෝම කතා කළේ බොස් කියලා . ඌ ඒ තරං සීනියර්..දවසක් එහෙම  බර්තේ ඩේ පාටියක් වෙලාවක කපපු කේක් කෑල්ලකුත් ඌ නොකා තියාගෙන උන්නා අර කෙල්ලට දෙන්න. ඌ ඒ තරං සීන් එකේ උන්නේ…කොහොම හරි කෙල්ල මාස දෙකක් විතර එක දිගටම ආවා ආවා ආවා.
පස්සේ ආරංචි වුණා මොකක්ද මානව හිමිකම් සංවිධානයකින් මේ කෙල්ලගේ රිපෝර්ට් එක දිනුවයි කියලත් .
අන්තිම දවසේ ඒකි ඇවිල්ලා ජග්මන්ට සෙන්ට් එකකුත් දීලා අතින් අල්ලගෙන කියෝ කියෝ ඉඳලා ගියා ..
හැබැයි හරි ලස්සන කෙලි පොඩ්ඩ.. පොඩ්ඩක් බුරිය එහෙම පේන්න තමා අඳින්නේ…
මට මතකයි දවසක් ඔය ජග්මන් කෙල්ලට කියල තිබුණා ඇඟ වැහෙන්න ලස්සනට අදින්න කියලා ..හැබැයි එදා ඉඳලා කෙල්ල ලස්සනට දිග ටී ෂර්ට් එකක් ඇඳලා තමයි ආවේ.කොහොම හරි කෙල්ල ඇවිල්ලා ස්තූති කරලා ආපහු එන්නේ නෑ කියලා ගියා.එදා හවස ඌ මාර අප්සෙට් එකේ උන්නේ. අපි කිසිම කෙනෙක් එක්ක කතා කළේ නෑ. තනියම වාට්ටුව කෙළවරට වෙලා ඉර බහින හැටි බලාගෙන උනා. ඌ මාර විඳවිල්ලක් විදෙව්වෙ..
අම්ම්බෝ බේබි….කිසිම කෙල්ලෙක්ට මගේ පපුවට රිංගන්න මම ඉඩ දෙන්නේ නැත්තේ ඒකනේ…. “

ජාදු  වර්ණාසි  දිහා බලලා හිනා වෙලා කිව්වා. ජාදු අන්තිමට කියපු වගන්තිය වර්ණාසි උවමනාවෙන්ම  තමන්ගේ කනින් ඇදලා එළියට අරගෙන වීසි කරලා දැම්මා.

“පණ්ඩිතකම් කියෝ කියෝ ඉන්නේ ඔයා කන්නේ නැද්ද..”

“ඔන්න බලන්නකෝ ඉතින්.. මෙච්චර වෙලාවක් ගියානේ බේබිට මම කන්නේ නැද්ද කියලා අහන්න..මෙච්චර වෙලාවක් මම බලන් හිටියා ඒක අහයි කියලා..”

ජාදු එහෙම කියනකොට වර්ණාසිට ඇත්තටම දුක හිතුනා.තව දවසකින් දෙකකින් ආපහු සැරයක්  තමන් නවසීලන්තයට ගියාම ආයෙත් කවදාවත් ලංකාවට එන එකක් නෑ කියලා හිතුනා. එතකොට ජාදු ට  මොකද වෙන්නේ?..එහෙම
එකපාරටම ජාදු  කියන චරිතය අමතක කරලා දාන්න පුලුවන්ද..එතකොට මේ තියෙන සම්බන්ධයට කිසිම නමක් කියන්නත් බැරිද..මෙතන තියෙන්නේ යාළුකමක්ද.එහෙම නැත්නම් ඇත්තටම ආරක්ෂකයෙකුගේයි ඇමැති දියණියකගේ අතර තියෙන සම්බන්ධයක් ද..

“ජාදු ..මං ඔයාට කවන්නද…”

ගහෙන් ගෙඩි එන්නා වගේ වර්ණාසි  එකපාරටම එහෙම අහනකොට.. ජාදු ගෙ හුස්ම හිර වුණා වගේ වුණා.. කන් දෙක විශ්වාස කරන්න බෑ වගේ උනා.

“බේබි .. මොනවද මේ අහන්නේ?..”

ජාදු එහෙම අහනකොට වර්ණාසි ජාදු  ලඟට ආවා.ජාදු ගේ කළුමුතු දිලිසෙන ඇස් දිහා වර්ණසි  බලාගෙන හිටියා.ජාදු ගේ කිසිම අවසරයක් නැතුව වර්ණාසි ජාදු ට  තුරුල් වුණා.තමන්ටත් නොදැනීම තමන් පන  වගේ ආදරේ කරන්න පටන් අරන් තිබුණු ගෑණු ළමයා කිසිම විරුද්ධත්වයක් නැතුව තමන්ට තුරුල් වෙනකොට..ඒ ගේ ඇතුළු වෙන කවුරුවත්ම නැති වෙනකොට..හැඩි දැඩි නිරෝගී පිරිමි හිතකට මොනවද නොහිතෙන්නේ?..අවුරුදු ගානක් කේසර සර්ගේ විශ්වාසය රැකපු ජාදු  අනික් මිනිස්සුන්ගෙන් වෙනස් උනේ ඒකයි…
කේසර සර්ගේ විශ්වාසය බිංදුවක්වත් කඩ කරන්න ජාදු ට ඕන වුණේ නෑ..තනිවෙලා තිබිච්ච හිත් දෙකක් උනාට මෙතනින් ඉස්සරහට තව අඩියක්වත් වැඩිපුර තියන්න ජාදු කැමති වුණේ නෑ…
වර්ණාසි  අඬනවා කියලා ජාදු ට තේරුණා.  ජාදු ගේ අත් දෙක වර්ණාසීව තුරුල් කරගන්න පොර කෑවත් ජාදුගේ තොල් පෙති වර්ණාසිගේ හිස සිඹ ගන්න පොර කෑවත් ඒ හැම හැඟීමක්ම යටපත් කරගන්න තරම් දැඩි හිතක් ජාදු  ළඟ තිබුණා.වර්ණාසිට ඇති තරම් තමන්ට තුරු වෙලා අඬන්න ඉඩ දීලා  ජාදු පුදුම හික්මීමකින් බලන් උන්නා .බොහොම හෙමින් වර්ණාසිගේ මූණ අත් දෙකෙන් අල්ල ගත්ත.

රත්තරං බේබි … බේබි ගත කරන ජීවිතයත් එක්ක මේ වෙන දේවල් බේබිට දරාගන්න අමාරු බව මම දන්නවා. හැඟීම් දැනීම් තියෙන ගෑණු මිනිස්සු විදිහට අපි අපේ හිත් රවට්ටගෙන ජීවත් වෙන්නේ..ඒත් මට සමාවෙන්න බේබි .. මට ලොකු සර්ගෙ වචනෙට පිටින් යන්න බෑ… මං ඒ විශ්වාසය අකුරටම රකින්න ඕනේ..මේක දරාගන්න බැරි වේදනාවක් කියලා මම දන්නවා.හෙට බේබි ගෙදර ගියාම ඉක්මනින්ම ආපහු රටෙනුත්  යයි.ආපහු එහේදී ජෙරම් මහත්තයා හම්බවෙයි. එතකොට මේ ජාදු  කුණු ඇලේ පාවෙලා යන පොල් ලෙල්ලක් වගේ බේබි ට අමතකම වෙලා යයි. බේබිගේ සුවඳ පිරිච්ච ගෙදර මං ඔහේ ජීවත්වෙයි..”..

කිසි කෙනෙකුට හොල්ලන්න බැරි වෙලා තිබිච්ච ජාදු ගේ  කඳුළු..
ගෑනු ගනනාවක් ආශ්‍රය කරලා තිබුණත් හදවතට දැනෙන ඇත්තම ආදරය ළඟදි  හෙල්ලිලා විසිරිලා ගියා.

වචනයක්වත් කතා නොකරපු වර්ණාසි  කුස්සියට ගිහිල්ලා ජාදුට බත් එකක් බෙදාගෙන ආවා.
වර්ණාසි ට විරුද්ධ වෙන්න ජාදුට හිතුනෙ නැහැ. කවදාවත් ආදරය ප්‍රේමය කියන දේ අත් විඳලා තිබුනෙ නැති හදවතකට වර්ණාසි ගේ සෙනෙහස දරාගන්න බැරුව ගියා. ඒ කවන හැම බත් කටකදීම ජාදු ගේ උගුර හිර වුණා. තමන්ට අයිති නැති තමන්ට හිමි නැති කවදාවත් තමන්ට ලබා ගන්න බැරි කෙල්ලෙක් වෙනුවෙන්  මේ විදියට හිතේ පැලවෙන ආදරය මහ වදයක් පාපයක් කියලා ජාදු ට හිතුනා.

“බේබි .. අනේ ඔය ඇති … ඔය චූටි අත රිදෙන බව මම දන්නවා..දැන් ගොඩක් රෑ වෙලා බේබි නිදාගන්න.. සමහර විට හෙට හවස් වෙනකොට ලොකු සර් එයි.
අපි දෙන්නටම අමතක උනානේ අද ඡන්දෙ කියලා..ලොකු සර් දිනලා ඇති..දැන් හෝ ගාලා මනාප ගණන් කරනවා ඇති.. “

එදා රෑ දෙන්නට දෙන්නා කොහොම නිදා ගත්තද කියලා කවුරුවත් දන්නේ නෑ.මහා පාන්දරත් වර්ණාසි  හෙමින් අඩනවා කියලා ජාදු ට ඇහුනා. ගෑණු ළමයෙකුට මේ තරං පිරිමි හිතක් සසලවන්නට පුළුවන් ද කියලා ජාදු ට හිතුනා .

නුඹ ව හමුවුන මතක ඉස්සර
දවස් නොව ඒ බෙහෙත්‍ ය…
රෑට පායන සද මතක් කර
කවි ලියන හිත දුකක්‍ ය…

අහම්බෙන් දැන් දැන් එතැයි මට
හිතෙන හිත දැන් දුකක්‍ ය…
දෑත මැද්දට ගලවලා දෙමි
පනගැහෙන හිත නොරිද්ද…

ජාදු ගේ හිතේ ලියවිලා තිබුණා.

උදේ නැගිටිනකොටත් ජාදු ගෙ ඔලුව බරයි වගේ තේරුනා. හදවත අස්සට කෙල්ලන්ට රිංගන්න දෙන්න හොඳ නෑ කියලා කියන්නේ ඔන්න ඕකට තමයි කියලා ජාදු තමන්ටම කියාගත්තා.
ඊයේ චන්දෙට මොනවා උනාද දන්නෙ නෑ.දෙයියන්ගේ පිහිටෙන් ලොකු සර් දිනලා තිබුනොත් ලොකු දෙයක්..

වර්ණාසි ජාදු  හොයාගෙන කුස්සියට ආවා.

“ජාදු  මට උදව්වක් කරන්න”..

“බේබිට නොකරන උදව් මං ගාව මොනවද තියෙන්නේ? ඒක නෙමෙයි බේබි ඈතින් රතිඤ්ඤා පත්තු වෙනවා ඇහෙනවා නේද කවුරු දිනලද දන්නේ නෑ….”

ජාදු හිනාවෙලා එහෙම අහන ගමන් හදල තිබිච්ච කිරි කෝපි එක වර්ණාසිගේ අතින් තිබ්බා.

“අපිට තව එක දවසයි ඉතුරු වෙලා තියෙන්නේ… මට ජාදු ට කියලා පොඩි වැඩක් තියෙනවා කරවගන්න.. මෙන්න මේ පොත මොකද්ද කියලා මට කියන්න.ජාදු  දන්නවානේ මට සිංහල කියවන්න බෑ  කියල..”

“මේ මොකක්ද ..
දෙයියනේ … මේ නාලිකා මැඩම් ලියපු දිනපොතක් නේද.. බේබි ට කොහෙන්ද මේක “

” ඕකේ පිට කවරෙ ඉන්න හා පැටියට මං එදා ඉදලා හරියට ආස උනා. එදා ඉදලම අම්මි ඕක මට තියාගන්න දීලා තිබුනේ. තාත්ති  දන්නෙත් නැහැ ඕක මගේ ගාව කියලා. මං ඕක පෙන්නුවේ ඔයාට විතරයි.”..

” ඉතින් ඇයි බේබිට මේ හදිසියේ හිතුණේ ඕක කියවන්න ඕනේ කියලා..”..

“ජාදු… මට හිතෙනවා මේකෙ මොනවා හරි ඇති කියලා..මගේ හිතට දැනෙන එකම විශ්වාසවන්ත කෙනා ඔයා විතරයි..ඒකයි මේක කියවමු කියලා කිව්වේ..මේකෙ මොන දේ තිබුනත් ඔයාගෙන් පිට මේක එළියට යන්නේ නැති බව මම දන්නවා..”..

“දැන් බේබි ඇඳුම් අරවා මේවා ඔක්කොම ලෑස්ති කරගත්තද..ගොඩක් වෙලාවට අද හවස ලොකු සර් එයි”

“ඔව්… ඊට කලින් අපි මේක කියවමු..”

” හරි .. එන්නකෝ එහෙනම් අපි මෙතනින් ඉඳගමු…”…..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles