දිනාරා සන්ධීපනී ජයසුන්දර පිළිවෙලකට ඇසිරූ තරමක් විසල් වූ ගමන් බෑගය යුගල යහනාව මතින් තැබුවේ වෙහෙසකර අයුරකින්ය. තමාට අවශ්‍යයැයි සිතූ පොත්පත් සහ ඇඳුම් පැළඳුම් සියල්ල ඕ වෙන වෙනමම ගමන් බෑග් වල අසුරා තැබුවේ පෙරදා රාත්‍රියේය. කාමරයේ එක් පසෙක තබා තිබූ ඒ බෑග් තුනම දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවයෙන් කොළඹට යැවීම සඳහා බාර දී තිබුණේ අත්තම්මාගේ වැඩවලට නිතර නිවසට ආ ගිය ත්‍රී වීලර් රියදුරෙකු වූ සංජීවටය. ඔහු අත්තම්මාට සේම දිනාරාටත් විශ්වාසවන්තයෙකි. තවත් අඩ හෝරාවකින් ඔහු පැමිණෙනවායැයි පවසා දුරකථන ඇමතුමක් ලබා දුන්නේ මින් විනාඩි කිහිපයකට පෙරය..දිනාරා තමාට අමතකව ගිය යමක් වේදැයි යළි යළිත් පරීක්ෂා කලේ එනිසාය.
අතේ ගෙනයා හැකි ගමන් බෑගය තුළට ඈ අසුරා ගත්තේ සය මසක් වයසැති කුඩා සොයුරාගේ ඇඳුම් කිහිපයකුත් අත්‍යාවශ්‍ය බඩුබාහිරාදිය කිහිපයකුත් පමණි.
” ආයෙත් සැරයක් හිතල බැලුවනං මොකද සුදු මැණිකේ.මමනං මේ යන ගමනට ඩිංගිත්තක්වත් මනාප නෑ….”
හැත්තෑ අට හැවිරිදි වියෙහි වූ අත්තම්මා සෙමින් අඩි තබමින් කාමරයට පැමිණියේ දිනාරා සොහොයුරාගේ කිරි බෝතලය සාදන්නට සිතා මදක් නිවී ගිය උණු වතුර බඳුන අතට ගනිද්දීය.ඕ ඈ දෙස බැලුවේ සිනහමුසුවය.ඒ සිනහව හදවත රිදවා නැගී එන්නාවූ වේදනාව සඟවා තබන්නට කෙතරම් සමත් වූවේදැයි ඕ සිතුවේත් ඒ හදිසියේමය.
” මමත් කොතැනකින් හරි ජීවිතේ පටන් ගන්න ඕනනේ අත්තම්මේ…”
” අනේ මං දන්නෙ නෑ. මේ ගෙදර ඔය ළමයට ඉන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවද කියලා ඇහුවට උත්තරයක් දෙන්නෙත් නෑ.මං කොහොමද ගෑනු දරුවෙක් මේ කිරි සප්පයෙක් එක්ක මේ විදිහට ගෙදරින් පිට කරන්නේ..කිව්වට අහන් නෑනේ මේ දරුවා දාල යන්න කියලා.මං පුළුවන් විදිහකට මේ දරුවව හදන්නම්..සුදු මැණිකේ සුදු මැණිකෙගේ අනාගතය ගැන බලා ගන්න..”
” අනේ අත්තම්මේ අත්තම්මා දැන් වයසයි.වෙහෙසයි.. මට දුක මේ මං අත්තම්මා බලාගන්න ඕන කාලේ. අත්තම්මට මාව බලාගන්න වෙද්ද එක ගැන.අනික දුක් වෙන්න එපා අත්තම්මා මට කොයි වෙලාවකවත් යන්න කියලා කිව්වෙ නැහැනේ..මං මේ ගමන යන්නේ මගේ කැමැත්තෙන්..මටයි ඕන අත්තම්මා තනියම ජීවත් වෙන්න.හිත රිදිලා පිටවෙලා යනවට වඩා හොඳයි හිනා වෙලා සමුගන්න එක..”
” ඒ උනාට සුදු මැණිකෙට තිබුණා මේ නුවර මට පේන මානෙක ඉන්නවත්.උදේ හවස ත්‍රී වීලර් එකක නැගලා ඇවිත් හරි මට බලලා යන්න පුළුවන් තැනක ඉන්න…”
” මට එතකොට දුකයි අත්තම්මා..මට මතක් වෙනවා අම්මගේ අතේ එල්ලිලා වැව රවුමේ ඇවිදන් ගිය හැටි..මානෙල් මල් අරගෙන මාළිඟාවට ගිය හැටි…සමන්පිච්ච මල් වැල් ගොතලා වැල් බෝධියට පූජා කලහැටි.ඒ තනිකම අපි දෙන්නා ඕනවටත් වඩා ලං කලා ආත්තම්මා..පොද වැස්සේ තෙමි තෙමී අයිස්ක්‍රීම් කකා අපි ඔහේ මේ පාරවල් ගානේ ඇවිදන් ගියා..අපි දෙන්නා අතරේ ලොකු වයස් පරතරයක් නොතිබුණ නිසාද මන්දා සමහර වෙලාවට මටත් වඩා පිස්සු වැඩ කලේ අම්මා…අත්තම්මා…හයි ස්කූල් එකේ කවුරුත් විශ්වාස කලේ නෑ ඒ මගේ අම්මා කියලා..අක්කා කියලමයි කිව්වේ.අපි දෙන්නට කියලා වෙනම අඳුම් තිබුණේ නෑ..මට ඒ හැම මතකයකින්ම ඈත් වෙන්න ඕනේ අත්තම්මා…..”
එවර දිනාරා සුරුස් ගා උඩට ඇද්දේ මුව සිරවන්නට ආ ඉකියකි.අත්තම්මා ඉදිරිපිට ඒ අතීතය සිහි නොකරනවායැයි සිතුනත් දිනාරාට ඒ අතීත මතක වලින් මිදී කතා කරන්නට හැකි කමක් වූයේ නැත..තමාගේ වදනක් වදනක් ගණනේ අත්තම්මා සිත රිදවා ගන්නා බව විශ්වාසය. එනිසාම දිනාරා සඟවාගත් දේ බොහෝය..ජයසුන්දර වලව්ව තුල තමාට වන කෙනෙහිළිකම් , සිත් රිදීම් , කොනිති ගැසීම් ගැන දිනාරා අත්තම්මාට පැවසුවේනම් ඒ හරි අඩකටත් වඩා අඩු කොටසකි. නැන්දාත් , පුංචි අම්මාත් ගැන අම්මා දිනාරා හා බොහෝ දේ පවසා තිබිණ.එනිසාම ඈ කිසි විටෙකත් ඔවුනගෙන් සෙනෙහසක් , මිතුරුකමක් අපේක්ෂා නොකළාය..අල්පෙනෙති තුඩක් තරමේ අනුකම්පාවක් තමා වෙතවත් සොයුරා වෙතවත් නොදක්වන ඔවුන් කෙරෙහි අද දිනාරාගේ සිතෙහි වන්නේ කළකිරීමකි..තවමත් ජයසුන්දර වලව්ව ඇත්තේ අත්තම්මාගේ අණසක යටතේය..වලව්වේ එක් කොටසක් නැන්දාගේ පරිහරණය සඳහාත් අනෙක් කොටස බාප්පාගේ, පුංචි අම්මාගේ හා ඔවුන්ගේ දරුවන්ගේ පරිහරණය සඳහාත් වෙන්ව තිබිණ.නැන්දා විවාහ වී සිටියේ නැත.දිනාරාට වෙනස්කම් කලද ඇයට තම බාල සොයුරාගේ දරුවන් තම දරුවන් සේය.
දිගු කලක් තිස්සේ නිදි වරමින් තැවෙමින් සිතමින් අවසන ඈ මේ තීරණය ගත්තේත් තම සොයුරා නිසාය.ඔහු මේ නිවසතුල අසරණ වනවාට දිනාරා කොහොමටවත් කැමති වූයේ නැත..මේ වලව්වට කිසිදු නෑ කමක් නොවන කොල්ලා නැන්දාට අනුව හිඟන්නෙකි..
දිගු සසුමක් දිනාරා ජනේලය අසලට ලංවූයේ අවශ්‍යතාවයක් නිසාම නොවේ.කදුළුවලින් පිරී තිබූ දෑස් නිදහස් කර ගැනීමට ඇයට අවැසි විය.නැතිනම් ඒවා රිදුමක් දැවිල්ලක් වී වද දෙන්නට පටන් ගනී.
” ප්‍රියංකා ආන්ටි අපිව බලා ගන්නවා කියලා පොරොන්දු උනානේ අත්තම්මේ…මට පුළුවන් ව්දිහට ප්‍රියංකා ආන්ටිවත් බලා ගන්නවා..”
එවර දිනාරා පැවසුවේ සැහැල්ලුවෙන් ය.අත්තම්මා ඉදිරිපස සිනහවීම , සැහැල්ලුවීම රංගනයක් බව ඇයටත් අමතක වන තරමටම ඈ ඊට ඇබ්බැහි වී සිටියාය.තමා නිසා නිවස තුල ගැටුම් ඇතිවනවාට දිනාරා කැමති වූයේ නැත.ඒ ගැටුම් වලින් අත්තම්මා විඳවනු පසුතැවෙනු දැකීමට කොහොමටවත්ම ඈ කැමති වූයේ නැත.
” ප්‍රියංකා කියන්නේ අපි නාඳුනන දරුවෙක් නෙමෙයි.ඒ උනාට සුදු මැණිකේ…”
” බලමු එන විදිහකට මුහුණ දෙමු.එහෙම නැති වුනොත් ආයෙ මට අත්තම්ම ලඟට ඇවිල්ලා මේ විදිහට වැටිලා ඉන්න පුළුවන්නේ..”
” වැටිලා ඉන්න කතා මොකටද සුදු මැණිකේ.මේවා ඔයාටත් අයිති දේවල්…මේ යන විදිහටම ආයේ ඇවිත් මට පේන මානෙක ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..මගේ ඇස් හෙට අනිද්දා පියවෙලා යයි සුදු මැණිකේ…ඒ උනාට මගේ ආත්මෙටවත් සැනසීමක් නැති වෙයි.මට සමාවෙන්න දරුවෝ..”
මිලීනා ජයසුන්දර එසේ පැවසූයේ මදක් පහත්ව සිය දිගු ගවුමෙන් නැහැයත් දෑසුත් පිසදා ගන්නා ගමන්ය.වලව්වේ සිටයදීත් ඉන් පිටතට ගිය විටත් ඔසරිය අදින්නට පුරුදු වී සිටි ඈ දිගු ගවුමට මාරු වූයේ මෑතකදීය.මේ දිගු ගවුම ඇගේ වයසට වඩා සුවපහසු එකක් විය.දිනාරා වඩා කැමති වූයේ ඇගෙන් දිස් වූ තේජස් පෙනුමටය.ඇය අංග සම්පූර්ණ කාන්තා ලක්ෂණ වලින් යුතු වූවාය.ඒ වතෙහි ඇත්තේ බලා සිටින්නට ආසා හිතෙන තරම් පින්වන්ත පෙනුමකි.
” ඔයා ඔයාගේ අත්තම්මාමයි….”
අම්මා නිරතුරුවම එසේ පැවසූ බව දිනරාට සිහි වූයේ එවේලෙහිය.
” ඒක තමයි පුංචි අම්මයි නැන්දයි ඔයා එක්ක තරහ…”
තමා අත්තම්මා වගේයැයි පවසනවාට දිනාරා කැමතිය.අම්මාට වූයේ වෙනස්ම ලස්සනකි.ඕ සිරුරෙන් උස් මහත් නොවූවාය
එනිසාම ඇයට වූයේ ලා බාල පෙනුමකි.එහෙත් අත්තම්මා ඕනෑ තැනක කැපී පෙනෙන උසට සරිලන මහත සිරුරකට හිමිකම් කීවාය.
මිලීනා ජයසුන්දර කාමරය කෙලවරක වූ ගමන්මළු දෙස බැලුවේ දෑස් විසල් කරගෙනය.ඒවායේ වැඩිපුරම ඇත්තේ යුවතියකි පොත්පත් බව ඈ දනී…දිනාරාට දෛවය මේ සා නපුරු සරදමක් කලේ ඈ උසස් අධ්‍යාපන කටයුතු සඳහා සූදානම්ව සිටියදීය.
දිනාරා තම අත්තම්මාගේ ඇඳ පාමුලම බිම වාඩි වූයේ ඒ දෙකකුල් මත සිය හිස තබාගෙනය.අත්තම්මාගේ ඇඟිලි තුඩු සිය හිසකේ අතර සෙමින් ඇවිද යද්දී යුවතියට දැනුනේ මේ විසල් වලව්ව දමා යාමේ මහා ලොබකි.ඈ සිතේ මේ එකඳු වැලි කැටයකටවත් තණ්හාවක් වූයේ නැත.දේපළ පිළිබඳව යමක් කතා කරන තැනක හතර මායිමකවත් ඕ නොසිටින්නේ එනිසාය.
” කපටි අම්මණ්ඩි හිමිජ්ජි වගේ ලිස්සලා ගියාට අම්මව කුලප්පු කරගෙන හැමදේමටම ඔළුව ඔබා ගන්නවා….”
නැන්දාත් පුංචි අම්මාත් බොහෝ වර එසේ පැවසූයේ ඇයට ඇසෙන්නටමය.
තමාට ඇත්තේ ඒ දේපළ නිසා උපන් ලෝබකමක් නොවන බව හොඳටම විශ්වාසය.සිත හැදෙන සිත නිවෙන තැනක් මෙලොව වූවානම් ඒ අත්තම්මාගේ තුරුලය..ඈ ලොබ බැන්දේ ඒ සුවඳටය.ස්පර්ශයටය…
තමාත් සොයුරාත් තවදුරටත් මේ නිවසේ රැඳී සිටියහොත් දුක් විඳින්නට සිදු වන්නේ අත්තම්මාටය.මිණිබිරියත් , දරුවනුත් අතර ඇය අසරණ වියයුතු නොවේ.
ආදරය කල තරමටම සිත රිදුණු තැනක් වූවානම් ඒ මේ ජය සුන්දර වලව්ව වගත් විශ්වාසය.
” එදා අම්මට ඒ තීරණය ගන්න මමත් බල කළා.මගේ හිතේ හැමදාමත් තිබුනේ දුකක්. මගේ සුදු මැණිකෙයි අම්මයි තනි වෙයි කියන බය මට මහා පුදුමාකාර විදිහට වද දුන්නා…මේ හැම දෙයක්ම සිද්ධ උනේ මගේ වරදින් කියන හැඟීම මට දැණුනේ.තමන්ගේ කුසෙන් මේ ලෝකෙට බිහි කරලා ලේ කිරි කරලා පොවලා උස් මහත් කරලා හදපු දරුවෝ වැරදි කරද්දී , පව් කරද්දී අම්මලා මැරිලා යන්නේ විඳවලා…”
” ඒක අපි හැමෝගෙම ලැබීම අත්තම්මේ…ඒ ගැන හිතන්න එපා..අත්තම්මා අසනීප වුණොත් මට කවුරුත්ම නැතුව යනවා.මට ඉන්නේ අත්තම්මා විතරයිනේ.
ජීවිතේ හැටි මෙහෙම තමයි කියලා හිතන්න මට දැන් පුළුවන්
අත්තම්මේ…ඒ අම්මා ගෙනාපු ආයුෂ , තාත්තා උරුම කරගෙන ආපු ඉරණම…”
” අන්තිමට මේ කිරි සප්පයටත් තනි වෙන්න සිද්ධ උනා..”
ඈ පැවසුවේ සුවපහසුවන සේ නිදා උන් කුඩා පුතණුවන් දෙස බලා ගෙනය.
” අත්තම්මා ඉස්සර අම්මා කියනවා අම්මා තනි තීරණයක් අරන් ජයසුන්දර වලව්වෙන් එළියට බහිද්දී අත්තම්මා එයාට පුදුමාකාර ශක්තියක් උනා කියලා..ඒ හයිය…ඒ ශක්තිය මටත් දෙන්න අත්තම්මේ.ඔයා මේ විදිහට ඉදිද්දී මගේ හිතත් කඩන් වැටෙනවා…”
මිලීනා නැගිට කාමරයෙන් පිටව ගියේ යුවතිය සිමෙන්ති පොළවේ ඒ අයුරින්ම වාඩිවී සිටියදීය.
අත්තම්මාගේ ඒ නික්ම යෑම කඳුළු සඟවා ගැනීමට කල උත්සාහයකි.
ජයසුන්දර වලව්වේ තේජස වූ මිලිනා ජයසුන්දර තවමත් කඳුළු හංගාගෙන සිනහසෙන ගැහැණියක බව දිනාරා දනී.
ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.දිනාරාගේ පියා වන කසුන් ජයසුන්දර මිලිනා ජයසුන්දරගේ වැඩිමහල් පුත්‍රයාව.දිනාරාගේ මව වන කේතකී හා ඔහු විවාහ වන්නේ වයස අවුරුදු දහ අටේදීය.කේතකී යනු ජයසුන්දර වලව්ව ආසන්නයේම වූ කන්‍යාරාමයක විසූ යුවතියකි.දන්නා තරමින් ඈ අනාථ යුවතියකි. එය හදිසියේ සේම ජයසුන්දර පවුලට හොර රහසේ සිදු කළ විවාහයකි. මිලීනා ජයසුන්දර තම පුත්‍රයාගේ හපන්කම් පිළිබඳව දැනගන්නේ කේතකී ගැබිණියකව සිව් මසක් ගත වූවාට පසුවය..ඇය කේතකීව තම නිවසට කැඳවාගෙන පැමිණෙන්නේ ජයසුන්දර වලව්වට සිදුවන්නට තිබූ අවනම්බුවෙන් බේරෙන්නටය..මුලදී ඈ කේතකීගේ මුහුණවත් බලන්නට අකමැති වූවාය.
මිලීනාගේ සැමියා වූ මහසෙන් ජයසුන්දර මියගිය පසුව සිය දේපළවල පාලනයත් වලව්වේ පාලනයත් තමා යටතට ගත් මිලීනා ජයසුන්දර රළු ගැහැණියක වූවායයි මතයක් මිනිසුන් අතර විය.එනිසාම කේතකී වලව්වේ පදිංචියට පැමිණියේ බියෙන් සැකයෙන් යුතුවය.අපේක්ෂා කල පරිදිම ඇයට සිදු වූයේ ජයසුන්දර පවුලේ අයවලුන්ගේ නොපහත්කම් දරා ගන්නටය.කේතකී යනු කිසිම අයුරකින් ජයසුන්දර වලව්වට ගැළපුණු ගැහැණියක නොවේ.ඒ පිළිබඳව ඇයට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන් වූ නෑනන්ඩියත්, මස්සිනාත් කල් යත්ම හදිසියකටවත් කේතකීගේ මුහුණ නොබලන්නට තරම් ප්‍රවේශම් විය.
එහෙත් ඇය පසු කලක තම නැන්දනියට ගැලපෙනම ලේලිය ලෙස ඇගේ සිත දිනා ගැනීමට සමත් වූවාය. මිලිනාට කේතකී නැතිවම බැරි වූයේ ඒ සමයේදීය..
දිනාරාගේ උපතින් සිව් මසකට පසුව ඇගේ පියා වූ කසුන් පිටරටකට යන්නේ ව්‍යාපාර කටයුත්තක් උදෙසාය. එහෙත් ඔහු නැවත නොපැමිණ එහි පදිංචි වන්නට තීරණය කර තිබුණේ විදේශීය කාන්තාවක් හා විවාහ වූවාට පසුවය.
( යළිත් හමු වෙමු…)