මතක මන්දිර – 4

0
5299

“ඉවෙන්ට් එකේ ඔක්කොම රෙඩි නේද?” යැයි කාර්‍යාලයෙන් එළියට බසින අතරවාරයේම කනිෂ්ට නිර්මාණ අද්‍යක්ශවරයාගෙන් සහ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ගෙන් අසන්නට කාලින්දී අමතක නොකලාය.

කාන්තා දිනයට සති තුනකට පමණ පෙර එනම් හෙට දින සිදු කරන්නට නියමිත එස්.කේ ආයතනයේ කාන්තා දින වැඩසටහනට ක්‍රියේටිව් ස්පාක්‍ස් හි අදාල කණ්ඩායම් සාමාජිකයන් යුහුසුළුව වැඩ කරයි.

මාස ගණනාවක් තිස්සේ කළ ඉදිරිපත් කිරීම්, වෙනස්කම් සියල්ල අවසානයේ හෙට දින එළඹෙන්නේ භාරදූරම කර්තව්‍යය වන වැඩසටහන ඉදිරිපත් කිරීමයි.

එපරිදිම වෙහෙසක් ගතකොට කෙටි කාල සීමාවක් තුළ වීඩියෝ පට එඩිට් කර, පෙර කතා කරගත් පරිදි කාන්තා දිනයේදී සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් කිරීම අනෙක් භාරදූරම කාර්‍යයයි.

හෙට දිනය ප්‍රඩක්ෂන් ටීම් එකට ඉතාම වෙහෙසකර දිනයක් වන අතර ඉන්පසුව එළඹෙන්නෙ ඩිසයින් ටීම් එකට දිවා රෑ නොබල වැඩ කරන්නට සිදුවන කාලයක් බව කාලින්දී අත්දැකීමෙන් දකී.

කණිෂ්ට සේවකයන් රෑ වනතුරු තම කාර්‍යයන් වල නිරත වෙද්දී, ජ්‍යෙෂ්ට තනතුරු හොබවන බොහෝ අය හවස පහමාර හය වෙද්දී කාර්‍යාලයෙන් නික්ම යාම මුලදී කාලින්දීට මදක් චකිතයක් ඇති කරන්නට විය.

“එහෙම යන එක හොඳ ද?” යැයි තමා සමගම මෙන්ම ආයතනයට එක්වූ කේසරගෙන්, කනිෂ්ට නිර්මාණ අධ්‍යක්ෂක තනතුරකට පත් වූ දින තමං ඇසූ බව කාලින්දීට මතකය.

එවකටත් ඩිජිටල් අංශයේ ඉහළ තනතුරක් හොබවන ලද, කාර්‍යාලයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේත් කාලින්දීට ඉතා සමීප මිතුරා වූ කේසර පද්මතිලක සිනා මුසු මුහුණින් “ඒවා මේ රස්සාව එක්ක ලැබිච්ච ප්‍රිවිලේජස් කාලි”‍යැයි පැවසුව හැටිත් ඇයට මතකය.

මානසික වශයෙන් දිය හැකි උපරිම සහයෝගය ලබා දෙමින්, කනිශ්ට සේවකයන්ව ඉහළට යැවීම “සුපිරි බොස්” කෙනෙක්ගේ රාජකාරියේ පළවෙනිම අංගය විය යුතු බවත් කාලින්දී උගත්තේ කේසර ගෙනි.

කාන්තාවක් හිතින් මෙන්ම මනසින් බිඳ වැටුණු බොහෝ අවස්තාවල ලාබ ප්‍රයෝජන ගන්නට බලා හිඳින පිරිමින් සිටින සමාජයක, පිරිමියෙකුම තම හොඳම මිතුරා ධූරයේ තබා ගන්නටත්, සියල්ලම නොමැති වුවත් අතීතයේ වූ බොහෝ කටුක අත්දැකීම බෙදා හදා ගන්නටත් කාලින්දී කේසරට ලං වුනේ ඔහු වචනයේ පරිසමාප්ත අරුතෙන්ම මහත්මයෙකු වූ බැවිනි.

ඉඩකාර්‍යාලීය උත්සව අවස්තාවන්හිදී සිත් රිදීම් වසා ගන්නට, අන්තයක් නොදැනම මත් දිය වීදුරු කන්දක ගිලුණු කෙල්ලක, ඔසවා වාහනයේ තබා ගෙන ගොස්, තම නවාතැනේ සුවසේත්, සැපසේත් නිදන්නට ඉඩ හැරි මහත්මයා, සිතේ අනෙක දුක් කරදර තිබුනත් පමණට මත් වන අයුරුත්, සමාජය ඉදිරියේ හැසිරෙන අයුරුත් කාලින්දීට ඉගැන් වූ පුද්ගලයාය.

සමුද්‍ර අබේසූරිය යනු මොහුයැයි කේසර නොදන්නා නමුත්, අතීතයේ දිනයක බිදවැටුණු දරුණු ප්‍රේමණීය කඩාවැටීමක ගිනි දැල් නිවන්නට නොහැකි වුවත්, යම් තාක් දුරකට හෝ මැඩලාගෙන වෘත්තිමය දිවියේ ඉහළට එන්නට කාලින්දීට උදව් කල පුද්ගලයාය.

මග වරද්දාගත් සමණලියක සේ හමුවන, හමුවන ඇතැම් පිරිමින් සමග ආලිංගන පාන්නට ගිය කෙල්ලක එයින් මුදවාලන්නට තැත් කරන පුද්ගලයාය.

එයටත් වඩා වයස තිස් ගණන් මුල් භාගයේදීත් විසිපස් වියැති පෙනුමක් හිමි කරගත්තා වූ, සුන්දර, නාරි රූ ලතා සපිරි, “අවුට්ගොයින් කැරැක්ට” එකක් වගේයැයි බෝහෝ සිත් නිහඬවම මුමුණන කාලින්දීව විවේචනයට ලක් නොකළ පුද්ගලයාය.

දුකේදිත් සැපේදිත් මිතුදමේ හස්තයම දිගු කළ පුද්ගලයාය.

හෙට දින සන්ද්‍යාභාගයේ පැවැත්වෙන එස් කේ ආයතනයේ කාන්තා දින වැඩසටහනට, අදාල සන්නාමයට ගැළපෙන වර්ණයන්ගෙන් සුදුසු ඇඳුම් පැළඳුම් සහ ආභරණ තේරීම නිවසට ගිය විගසම සිදු කළ කාලින්දී සුපුරුදු පරිදි ඇඟ පත දොවාගෙන ඒම මදක් පමා වන්නට හේතු වුණේ මිහින්තලේ සිටින මවගෙන් පැමිණි දුරකතන ඇමතුමයි.

“පුතේ, ගෙදර ඇවිල්ලද ඉන්නෙ?”

ඇයට සැමදාම මෙන්ම අදත් පළමුවෙන්ම විමසන්නට ඇති ගැටළුව නම් එය ය.

“පුතාට මතකද බුලන්කුලමෙ මාමලයි ගෙවල් ළඟ තිබුණ මහ කඩේ?”

“ලොකුවට මතකයක් නෑ අම්මෙ. කියන්නකො”

“එහෙ ලොකු පුතා අරාබියෙ මොකද්ද ලොකු රස්සාවක්ලු කරන්නෙ, ලස්ස පහක විතර පඩියකුත් ගන්නවලු”

“අහ් ඉතින්?”

“ඒ ළමයට බන්දල දෙන්න දැරිවියක් හොයනවලු, නැන්ද පුතා ගැන විස්තරයක් කියල.පින්තූරයක් ඉල්ල…”

“අනේ අම්ම ඔය කසාද ගැන මා එක්කල කතා කරන්න එපා කියල මම කියල තියෙනව. මට තාම කසාදයක් කරගන්න උවමනාවක්වත් හේතුවක්වත් නෑ”

“කොහොමද ළමයො උවමනාවක් හේතුවක් නැතිවෙන්නෙ? තිහක් කියන්නෙම දැන් උඹ නාකි ගෑණියෙක්. කොල්ලෙක් එක්කල යාලුවෙලා කසාද බඳින්න දැන් ආය උඹට කාලයක් ඇත්තෙ නෑ. එහෙව් එකේ අපි හොයල දෙන කටයුත්තකට හරි කැමති වෙයන්.මේ මහ මිනිහයි මමයි මැරිච්ච දවසක උඹට කාත් කවුරුවත් නෑ නේද? ලෙඩක් දුකක් හැදුණක කටට වතුර ටිකක් හරි දාන්න මිනිහෙක්, දරුවෙක් මල්ලෙක් ඉන්නෝන”

“ඔය ගම්වලට අවුරුදු තිස් ගාණක් කියන්නෙ මහ වයසක් උනාට මේ කොළඹට එහෙම නෑ අම්මෙ. අනික්කෙක ලෙඩක් දුකක් උනාම බලාගනී කියල හිතල නොදන්න මිනිහෙක් කසාද බඳින්න මට බෑ”

“නොදන්න මිනිහෙක්ව බඳින්න වෙන්නෙ නෑ නෙව උඹ ඒ ළමය එක්කල කතා බස් කොරල බැලුවනං”

“අනේ මට බෑ අම්මෙ, අනික මට එහෙම උනොත් මේ රස්සාව අතෑරල දාලා එන්න වෙනව. ඒකනං කරන්න බෑ”

“එහෙනං උඹ කොළඹින් හරි ගැළපෙන කටයුත්තක් සූදානං කරගනිං” යැයි එදිනට කතාව නතර කර අම්මා මෙපමණ වෙලා ෂේප් එකේ තිබූ “මූඩ් එක” විනාස වන මට්ටමේ සංවාදයක් ඇරඹුවෙන් වෙනදාට මෙන් නිදහසේ ශවරය යට සැනසෙන්නට කාලින්දීට හැකිවුණේ නැත.

“ඇයි ඔයා මාව අතාරින්නෙ?” යැයි නිරුවතින්, අවුල් වූ සුදු පැහැ ඇඳ ඇතිරිලි මත හිඳගෙන, කෙස් කැරලි ඇඟ පුරා විහදවාගෙන, හැඬීමෙන් රතු වූ දෙනෙත් අයා, ඇඬුම්බර කටහඬකින් සමුද්‍රගෙන් ඇසූ දුඹුරු පැහැ කුඩා කෙල්ලක හෙමින් හෙමින් හිත යටින් අවදිවන්නට විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here