රස්නෙට හරියටම ගැළපෙන සව් කොමඩු බීමක් හදමු 

ඉඳල හිටල වැහි පොද වැටුනට මේ දවස්වල තියෙන අව්වත් එක්ක ඇඟට තියන්නේ පුදුම වෙහෙසක් වගේම තෙහෙට්ටු ගතියක් නේද? 

නිතරම වතුර බොන්න අමතක කරන්නම හොඳ නැති වුනත් එක දිගටම වතුර බොන එකත් එච්චර කැමති හිතෙන දෙයක් නෙමෙයිනෙ.

වෙළඳපොලේ මිලදී ගන්න තියෙන පැණි බීම වර්ග පානය කරන එකේ ඇති සෞඛ්‍ය අවධානම ගැනත් අපි හොඳටම දන්න නිසා හැමදාම බොන බීම වර්ග වලට වඩා ටිකක් වෙනස් රසක සෞඛ්‍යාරක්ෂිත බීමක් පානය කරන්න පුළුවන් නම් අපි කවුරුත් කැමතියි.

මේ කාලෙ හරිම රස කොමඩුත් තියෙන නිසා අපි අද කොමඩු එක්ක සව් එකතු කරල ඉක්මණින් හදාගන්න පුළුවන් රසම රස බීම එකක් හදාගන්නෙ කොහොමද බලමු.

මුලින්ම ඕන කරන දේවල් සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර ලීටර් 02 ක් 

සව් කෝප්ප ¼ ක් 

ශීතකළ වතුර ලීටර් 01 ක්

කොටු කපාගත් කොමඩු මද කෝප්ප 04 ක්

ශීතකළ පොල් කිරි කෝප්ප ½ ක් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ලිපතබා එයට වතුර ලීටර් 02 එකතු කරගෙන වතුර නටන තුරු තබා ගන්න.

නටන වතුරට සව් එකතු කර නැවත වතුර නටන තුරු තබන්න.

මධ්‍යම ප්‍රමාණයට ගින්දර අඩුකර සාමාන්‍ය උෂ්ණත්වයේ විනාඩි 20 ක් පමණ තබන්න. එවිට සව් විනිවිද පෙනෙන ස්වභාවයට පත්වෙනවා දැකගන්න පුළුවන්.

එවිට සව් ටික ලිපෙන් ඉවත් කරගෙන වතුර පෙරා සව් ටික අයිස් වතුරට දමා ගන්න.

ඊළඟට, බ්ලෙන්ඩර් කෝප්පයට කොමඩු මද කෝප්ප 03 ක් සහ පොල් කිරි එකතු කර හොඳින් අඹරාගන්න.

දැන්, වීදුරු වලට හෝ විශාල ජෝගුවක අඩියට කොමඩු කැබලි දමා එක් වීදුරුවකට සව් තේ හැඳි 02 ක් 03 ක් දමා බ්ලෙන්ඩර් කරගත් කොමඩු මිශ්‍රණය එකතු කර කොමඩු කැබලි පොඩි නොවෙන සේ නැවත හොඳින් කලවම් කර රසවිඳින්න ඔන්න ඔබට පුළුවන්.

මේ විදිහට සව් කොම්ඩු බීමක් හදල බලමු නේද එහෙනම් ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles