බාප්පාගේ වැඩිමල් දියණිය විවාහ වීමට අපේක්ෂාවෙන් උන් තරුණයාගේ පවුලේ අය චාරිත්‍රානුකූලව මනාලිය බලන්නට පැමිණ ගිය බව පැවසූයේ අත්තම්මාය.තමාගේ විස්තර සියල්ල පැවසූවත් දිනාරා කිසිවිටකත් වලව්වේ විස්තර අසන්නට උත්සාහ දරන්නේ නැත.එහෙත් අත්තම්මා සිත රිදෙන කාරණා මඟ හැර වලව්වේ වන අන් සියල්ලම දිනාරා හා පවසන්නීය.දැන් මිලීනාට විශ්වාසයෙන් යමක් කතාකල හැක්කේ දිනාරා හා පමණි.යුවතිය කුඩා දරුවෙකුත් නර පින්නාගෙන කොළඹ යාමට ගත් තීරණයක්, සිත රිදවන සියල්ලෙන් ඈත් වන්නට ගත් තීරණයත් නිසා මිලීනාගේ සිතෙහි ඇතිව තිබූ නොරිස්සුමවත් කෝපයවත් දැන් නොවේ.තමාගේතැන සිට බලද්දී දැන් දිනාරා එක්තරා ආකාරයක වීරවරියකයැයි මිලීනාට සිතේ. යුවතිය සිටින්නේ ලබා උපන් දෛවයට අභියෝග කරමින්ය.ඇය දැන් දැනමුත්තියකයැයි සිතුණු සිතුවිල්ලම මිලීනාට විවෘතව ඈ හා යමක් කතා කරන්නට ඉඩ හසර සලසා තිබිණ.
” මහා කපටි මිනිස්සු කියලමයි මට හිතෙන්නේ.මට මිනිස්සුන්ව පෙනුමෙන්ම අඳුනගන්න පුළුවන්..මේවයේ ඉන්න මිනිස්සු ගැන ඇස් වහගෙන කියන්න හොඳ පළපුරුද්දක් තියෙනවා මට…”
” ඒත් අත්තම්මා ඔය දේවල් වලට මුකුත්ම නොකියා ඉන්න.බාප්පයි පුංචි අම්මයි ඉන්නවනේ.බාප්පා ඒ අය ගැන හොඳට හොයලා බලන්න ඇති..හොඳම තීරණය තමයි ගන්න ඇත්තේ “
“හොයලා බැලිල්ල කෙසේ වෙතත් බෑනගේ කාර් සේල් සල්ලි ළඟ මේ මිනිස්සු දෙකට නැමිලා ඉන්නේ.. දරුව නේද මේ දීග දෙන්නේ කියලවත්වත් ඒ මිනිස්සුන්ට වගක් නෑ..ඒ අම්මණ්ඩි කතා කරන්නේ වලව්වත් දෙකයි පණහට දාලා.මට ඉවසන්නම බැරි තැන එතන. “
දිනාරා කිසිත් නොකීවාය.ඇයටත් වඩා වසර දෙකකින් බාල වූ බාප්පාගේ දියණිය තවමත් සිටින්නේ කසාඳ බදින වයසකයැයි දිනාරාට නොසිතේ.ඇයට ජීවිතය ගැන අත්දැකීම් ඇතැයි සිතන්නට බැරිය .මිනිසුන් පරිණත විය යුත්තේ වයසින් නොව අත්දැකීම් වලින් යැයි දිනාරා විශ්වාස කළාය. තීරණ ගන්නට වගකීම් දරන්නට පුරුදු වන්නේ ඒ අත්දැකීම් තුලින්ය.
නැගණිය පාසල් ගියේ නගරයේ වූ පුද්ගලික පාසලකටය.උදෑසන බාප්පා විසින් පාසල අසලට ඇරලවා යන ඈ යළි පැමිණෙන්නේ පුංචි අම්මා හෝ නැන්දා සමගය.පුංචි අම්මාට දියණියගේ පාසල අසලට යාමට නොහැකි දිනකදී නැන්දා සිය කැමැත්තෙන්ම ඒ වගකීම බාර ගන්නා බව අත්තම්මා එදවසඅම්මා සමග පවසණු දිනාරා අසා තිබේ. උසස් බාලිකාවේ සිට ආපසු පැමිණෙන පාරේ වන පුද්ගලික පාසල අසල වලව්වේ කාරය නවතා තිබෙන අයුරු දිනරා ඕනෑ තරම් දැක තිබේ.වලව්වට යා යුත්තේ ඇයත් මවත් සිටින කුඩා නිවස පසුකරගෙනය.ගිනි ගහන මද්දහනේ ඇවිද ගියත් එක් දිනකවත් නැන්දා තමාව වාහනයට නංවා නොගත් බව යුවතියට සිහි වූයේ ඒ හදිසියේය.
එදවසත් ඇයට ඒ පිලිබඳව දුකක් හේ ඊරෂ්‍යාවක් දැණුනේ නැත.
නැගණියගේ පෙම්වතා ඇයට හමුවී තිබුණේ පරිගණක අධ්‍යාපනය හදාරමින් උන් පුද්ගලික අධ්‍යාපන ආයතනයේදීය.
කොහොමටත් නැගෙණියගේ පෙම්වතා ගැන පැහැදීමක් දිනාරාගේ සිතෙහි වූයේ නැත.ඈ ඔහුව හරි හැටි දුටුවේ අම්මාගේ මළගම සිදු වූ දිනවලය.ඉන්පසු වලව්වේ දී කිහිප වතාවක්ම ඔහුව දුටුවත් ඒ සෑම වරකම ඈ මගහැර ගියාය. ඔහුට වූයේ දිනාරා අප්‍රිය කරනා ආකාරයේ පිරිමි රුවකි. ගෙලටත් මදක් පහලට වන්නට කොණ්ඩය වවාගෙන උන් තරුණයා නිරතුරුවම ඇදුම් ඇන්දේ ඔහුගේ අත් බාහුවේ වූ මකර රුවක හැඩය ගත් පච්චය පෙනෙනා ආකාරයටය.පිටුපා සිටියදී දිනාරා ඔහුගෙන් දුටුවේම ගැහැණු රුවකට සමාන පෙනුමකි.
ඔහුගේ දෑස් වල වූ ඒ බැල්මටත් දිනාරා බියය.
” මට දැන් කොහොමටත් ඉස්සර වගේ ඕවට මැදිහත් වෙන්න බැහැ.මටත් හරි වෙහෙසයි..තීන්දු තීරණ අරන් මං අවුරුදු තිස් පහකට වඩා තනියම මේවා රැක්කා..”
මිලීනා පැවසූයේ තත්පර කිහිපයක් නිහඬව ගතව ගියාට පසුවය. ඒ හඩින් යුවතිය තැති ගත්තාය.
” ඇයි අත්තම් ඔයා අසනීපෙන්ද…වෙලාවට බෙහෙත් බොනවා නේද..හැම දේම හිතට බරක් කරගන්න එපා.”
“ඇඟේ අසනීපයි හිතේ අසනීපයි කියන්නේ දෙකක් දරුවෝ.බෙහෙත් බීලා හිතේ අසනීප සුවපත් කරන්න බැහැ. ඔය ළමයා කොළඹට වෙලා ජීවත් වෙන එකත් මගේ හිතට මහා බරක්.අර කිරි සපයත් එක්ක ඔය ළමයා අනාථ වුණා වගේ හැඟීමක් මගේ හිතේ තියෙන්නේ..ඒකට මමය වරදකාරයා කියන සිතුවිල්ලෙන් මිදෙන්න මට හරි අමාරුයි..”
“එහෙම හිතන්න එපා අත්තම්මේ..අත්තම්මා වගේම ප්‍රියංකා ආන්ටි අපිව ආරක්ෂා කරනවා. අම්ම කෙනෙක් වගේ මල්ලිව බලාගන්නවා.ආත්තම්මා මට ජීවත් වෙන්න කියලා දුන්නා.මං ඒ උපදෙස් අදත් පිළිපදිනවා…”
“‘කොහොම වුණත් ඒ පිට මනුස්සයෙක්නේ. ඒ මනුස්සයට සුදු මැණිකේ බරක් උනේ අපේ වරදින්…”
අත්තම්මාගේ සිතෙහි ප්‍රියංකා ආන්ටි ගැන එදා සේම අදත් විශ්වාසයක් නොමැති බව දිනාරා දැන උන්නාය.ඇය අත්තම්මා සමඟ කතා කරද්දී දිගින් දිගටම ප්‍රියංකාගේ හොඳ නොපවසන්නට තරම් ප්‍රවේසම් වූවාය.අත්තම්මාගේ සිතෙහි ඇය කෙරෙහි වන්නේ ඉරිසියාවක්ද එසේත් නොමැතිනම් ලෝකයේ සියල්ලන්ම දෙස සැකයෙන් බලන්නට ඇය හුරුවී සිටිනවාද යන්න දිනාරාට තවමත් නොතේරේ.ඇය බොහෝවර පවසන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව මිනිසුන් එකිනෙකාට උදව් කර නොගන්නා බවයි.
” ඔයත් ඉතින් කාත් කවුරුත් නැතුව නිවාසෙක හැදුණු ගෑණියෙක්නේ….”
ඈ බොහෝ වර පවසන්ටන් වදන් කිහිපයක අරුත් එකට කැටි කරමින් බව දිනාරා දනී.
” අත්තම්මා මේ දේවල් ගැන හිතලා අසනීප වෙන්න එපා. මං හරි පරිස්සමට ජීවත් වෙන්නේ. හිතුණු වෙලාවක හැරිලා දුවන් එන්න අත්තම්මා ඉන්න ඕනනේ මට..”
” ගෑණු කොච්චර පරිස්සම් වුනත් වරදින්න යන්නේ තත්පරයයි.ගෑනු හිත් හරියට පදම් නොවුණු දොදොළක් ගානයි.එහෙට වැනෙනවා මෙහෙට වැනෙනවා.උඹලයි අම්මා කොන්වන්ට් එකේ අර උස තාප්පේ අස්සේ තියා ගෙනත් පරිස්සම් කරගන්න සිස්ටර්ස්ලට බැරුව ගියා..”
” අත්තම්මා මට පරිස්සම් වෙන හැටි කියලා දුන්නා.ඒ පාඩම් මට හොඳට මතකයි අත්තම්මේ..අම්මට සිද්ධ උන මේ හැම දේම මං පාඩමක් කර ගත්තා..”
සැමදා සිදු කෙරෙන මේ දුරකථන සංවාදයේදී මිලීනා දිනාරාට අවවාද රැසක් ලබා දෙන්නේ මහත් ඕනෑකමකින්ය. තමා ඈ අසලක නොමැති අඩුව ඒ ඔවදන් තුලින් මැකිය හැකියයැයි ඈ විශ්වාස කළාය.දැන් දැන් ඒ වදන් යුවතියට කටපාඩම්ය.එහෙත් දිනාරා අත්තම්මාට කිසිත් නොකියා අසා සිටී.මේ ඇගේ සිතෙහි වන බියය.තමාට යුතුකම් ඉටු කරන්නට බැරි
වූවායැයි සිතෙන දුකය. සැමදාමත් දිනාරාට ඕනෑ වූයේ අත්තම්මාව සුවෙන් තබන්නටය.
********======*******======*****===
නර්මදා උන්නේ දියණියගේ රෙදි නවමින්ය.අකලංකත් කුඩා දියණියත් ඇඳ මතට වී සෙල්ලම් කරමින් සිටින්නේ අඩ හෝරාවක පමණ සිටය.කාමරයට වී ව්‍යාපාරික ලියකියවිල්ලක් සකස් කරමින් උන් සැමියා සිය ලැප්ටොප් පරිඝණකයත් රැගෙනම කාමරයෙන් පිටව ගියේ
‘ මූ එක්ක වැඩක් කරගන්න බෑ …’යනුවෙන් පවසමින්ය. ඒ කෝපයෙන් නොවේ.
‘ මගේ පොඩි එකාවත් මට මෙච්චර වද දෙන්නේ නෑ…’ යනුවෙන් විටෙක ඔහු සිය සොයුරාට පවසයි.
‘ ගෙදර ඉන්න දවසෙවත් මගේ ගෑනිත් එක්ක මට නිදහසේ ඉන්න නෑනේ..’
තවත් වරෙක ඔහු පවසන්නේ සොඳුරු නෝක්කාඩුවක සරින්ය. ඔහු වැඩිපුර සිටින්නේ නිවසේ තමාත් සැමියාත් වෙනුවෙන් වෙන්ව ඇති දෙවන මාලයේය.
” මේ හලෝ…..”
ඇඳ මත වූ කුඩා රෙදි බෝනික්කා නෑනන්ඩිය දෙසට විසිකල අකලංක සම්පූර්ණයෙන්ම ඈ දෙසට හැරුණේ සිනහමුසුවය. යළිත් ඔහුට දමා ගසන්නට බෝනික්කාව සිය දකුණතට ගත් නර්මදා එය ආපසු කණ්නාඩි මේසය මතින් තැබුවේය.
” ඇයි මොකද… ඔය හිනාව නං මට අල්ලන්නෙ නෑ.මොකක්හරි නසරාණි වැඩකට තමයි ලෑස්ති වෙන්නේ..මටනං කියන්න එපා අයියගෙන් අරක මේක ඉල්ලලා දෙන්න කියලා..”
“”නෑ… නෑ හලෝ…මට මේ රිසර්ච් එකකට කරුණු වගයක් ඕන කරලා තියෙනවා. වචන විතරයි වියදං කරන්න තියෙන්නේ.වචන විතරයි…”
” රිසර්ච් එකකට..මං හිතුවේ කැම්පස් ගිහින් ඉවරයි කියලනේ..”
” ඔව්… ඔව්… අනේ…මේක අපේ සොසයිටි එකේ පොඩි වැඩක්.අනම් මනං අහන්නේ නැතුව මං අහන ඒවට උත්තර දුන්නොත් මං ගානේ හවසට චොක්ලට් එකක් ගෙනත් දෙනවා..”
” පගාව දීලනම් මාව නම්මා ගන්න බෑ රජෝ.රිසර්ච් එකකට ඕන කරන තොරතුරක් නම් දෙන්නම්. මගේ මනුස්සයා මට ඕන තරම් චොක්ලට් ගෙනත් දෙනවා හරිද.ඔයාගේ චොක්ලට් මට ඕන නෑ…”
” මේ නෑනා…..සිරාවට අහන්නේ..ඇත්තටම අපේ අයියා දැකපු මුල්ම දවසේ මොනවද හිතුනේ..”
” මුල්ම දවසේනම් එහෙම ඉතින් විශේෂ හැඟීමක් ඇතිවුණේ නෑ.දැන් මොකක්ද ඔය රිසර්ච් එක..”
” නෑ… නෑ.. මං මේ අහන්නේ නිකං සාමාන්‍ය දේවල් ටිකක්.මගෙන් ප්‍රශ්න අහන්න එපා හලෝ..ඒකින් අහිංසක කොල්ලෝ කෙල්ලෝ ජීවිතේ හදා ගනියි කියලා හිතනවකෝ…”
“ඇයි ඒ පාර ඕගොල්ලෝ ඔය ඈත ගම්වල ඉන්න කට්ටිය කසාද බන්දන්නත් ලෑස්ති වෙනවද..? ගුටි නොකා බේරුනොත් ඇති.”
” එහෙම එකක් නෙමෙයි අනේ…හරි මේ..කියන්නකො. ඔයාට අපේ අයියා ගැන විශේෂ හැඟීමක් දැනුනේ කවදා වගේද..ඒකට සෑහෙන්න කල් ගියාද…”
“දෙවෙනි තුන්වෙනි වතාවට වගේ එයාව හම්බ වෙද්දි..”
” සාමාන්‍යයෙන් මොන වගේ හැඟීමක්ද දැනුනේ..”
“අයියෝ මෝඩයෝ….ඒක ඕනෙම කෙල්ලෙකුට ඇතිවෙන්න පුළුවන් සාමාන්‍ය හැඟීමක්.ඔයාගේ අයියා ලස්සනයි.ස්මාර්ට්..ඕනම කෙල්ලෙක්ගේ හිතේ කොල්ලෙක් ගැන හීනයක් තියෙනවා.හැම කෙල්ලෙක්ම කැමතියි හොඳ පෞරුෂයක් තියෙන පිරිමියෙකුට.මුලින්ම මම විශ්වව දැක්කේ මගේ හිතේ උන්නු ඒ පිරිමියා විදිහට.”
” අම්මෝ මතක් කරද්දිත් මූණේ තියෙන පෙම් පාට..පැණි බේරෙනවා..හීනෙන් අපේ අයියවම දැක දැක ඉන්න ඇති නේ…”
” යන්න අනේ…ආයේනං මුකුත් අහන්න එපා…”
එවර ඈ ඉවතට හැරුනේ නෝක්කාඩුවෙන්ය.යෙහෙළියකගේ නිවසේ පැවැති උපන්දින සාදයක් සඳහා ඇගේ සොහොයුරාගේ මිතුරෙකු ලෙස පැමිණ සිටි තරුණයන් කිහිපදෙනා අතරින් විශ්ව තමාගේ සිතෙහි නොමැකෙන මතකයක් සටහන් කළ බව නර්මදාට මතකය. එකදු වදනක්වත් තමා හා කතා නොකළාට යාන්තමින් තමා දෙසට පා කළ ආඩම්බර සිනහව, ඒ දෑස් බැල්ම නමක් නොදන්නා සොඳුරු ලොවකට තමා කැදවාගෙන ගොස් නතර කළ බව නර්මදා දනී..එතෙක් නොවූ හිස්කමකින් පාළුවකින් සිත පිරෙන්නට පටන් ගත්තේ එදා පටන්ය.යෙහෙළිය සොයුරාගේ මිතුරන් ගැන කතා කරද්දි තමා උවමනාවෙන් ඔහු ගැන ඇසූ බව ඇයට මතකය.යෙහෙළියගේ සොයුරාගේ මුහුණු පොත පීරමින් ඔහුව සෙව්වා මතකය.සිතට ආගන්කුක වූ ඒ හැඟීම පුදුමාකාර නොසන්සුන් බවක් තමා තුල ඇතිකලා මතකය.
” නෑනා.. කියනවකෝ අපේ අයියා මුලින්ම කොහොමද ඔයා දිහා බැලුවේ කියලා….මං කියන්නේ එයාව දැකපු පලවෙනි දවසෙම ඔයාට හිතුනද ඔයා ගැන විශේෂ හැඟීමක් එයාගේ හිතේ තියෙනවා කියලා.එයා ඇහැක් ගැහුවද..හිනා උනාද..කකුල පෑගුවද..අතින් ඇල්ලුවද..ෆෝන් නම්බර් එක දුන්නද…”
” ඊයා…මොනවද අනේ ඒ ප්‍රාථමික වැඩ…ඔයා එහෙමද කෙල්ලෙක්ව යාළුකරගන්න හිතන් ඉන්නේ..විශ්වට තිබුනෙ හරි ආඩම්බර හිනාවක්.කෙල්ලෝ කැමතිම විදිහේ.එයා මගේ දිහා බලපු පළවෙනි පාරම මට ඒ බැල්ම විශේෂ උනා..කොල්ලෙකුට තියෙන්න ඕන අන්න එහෙම බැල්මක්.කෙල්ලෙක්ගේ හිතක් හිරිවට්ටන්න පුළුවන් .ඒ හිනාව මටත් අමතක කරගන්න බැරුව ගියා. එයාට තිබුණා හරි වැදගත්කමක්. ආපහු දෙපාරක් හැරිලා බලන්න හිතෙන…”
” ඒ කියන්නේ කෙල්ලෝ කැමති ස්මාර්ට් වැදගත් පෙනුම තියෙන ආඩම්බර හිනාවක් තියෙන කොල්ලන්ට..”
” ඔව් ගොඩක් අය..පෙනුමෙන් විතරක් නෙමෙයි හැසිරීමෙනුත් .ඊට පස්සෙත් මට අහම්බෙන් විශ්වව දවසක් දෙකක් දකින්න ලැබුණා.ඒ හැම වතාවකම මම දැක්කා එයාගේ පිළිවෙල.ඇඳුම පැළඳුමේ පවා.මට අහම්බයක් උනාට එයා හිතා මතාම තමයි මාව බලන්න ඇවිත් තිබුණේ..ඇත්තමයි මං කැමති උනේ එයාගේ පිළිවෙලට…”
“ඔව් …ඔව් මිනිහා පොඩි කාලේ ඉඳලා කොහොමත් ඉතින් පිළිවෙලයි. ඔය යකාට ඉස්සර ඇඳුම් අයන් කරන්න ගියහම අම්මත් එක්ක වලි.. ඊට පස්සේ…”
” ටික දවසක් අපිට යාළුවො විදිහට ආශ්‍රය කරන්න චාන්ස් එකක් ලැබුණා.මං හිතන්නේ ඒ කාලෙදි මම විශ්ව දිහා බලන් හිටියා වගේම එයත් මම දිහා බලන් ඉඳලා තිබුණා.අපි අපිව හොඳටම අවබෝධ කර ගත්තා.”
” ඉතින්……”
” ඉතිං ඊට පස්සේ ඔයාගේ ඒ මෝඩ අයියා මට කැමතියි කියලා කිව්වා..”
” ඔයා ගණන් ඉස්සුවා..සමහර කෙල්ලන්ගේ ඔය මහා පුස් පාර්ට් තියෙන්නේ..”
“එහෙම කරන්න මට වුවමනාවක් තිබුණේ නෑ.මේ ලෝකෙ ඉන්න ලස්සනම, වැදගත්ම, හොඳම, පිළිවෙලම පිරිමියා මට හම්බවෙලා ඉඳිද්දී මං මොකටද ගණන් උස්සන්නේ?”
” හපොයි… තමුසේ පැනලා හා කිව්වද..”
” පැනලා හා කිව්වේ නෑ…ඒ වුනාට මට මගේ කැමැත්ත හංගන්න ඕන වුනෙත් නෑ.තමන්ට ආදරේ කරන පිරිමියත් තමන් ආදරය කරන පිරිමියත් එක්කෙනෙක් වෙද්දි ගෑනු හිත් පුපුරලා යන්න වෙන හේතු ඕනේ නෑ.ඒ හැඟීම හරි ලස්සනයි.ඒ වෙද්දී ඔයාගේ අයියා මගේ ජීවිතේ මට නැතුවම බැරි කෙනෙක් වෙලා ඉවරයි…”
” මම මේ නිකමට අහන්නේ එදා වගේම ඔය දෙන්න ආදරෙන් ඉන්නවද.අපේ බ්‍රෝ ගැන ඔයා හිතාගෙන ඉඳපු විදිහ පුංචිම වෙනසක්වත් නැද්ද..”
” එදාටත් වැඩි ආදරෙන් ඉන්නවා.ඔයාගේ අයියා අනිත් හැමදේකින්ම එක්ස්ෆර්ට් වගේම ආදරේදිත් එයාව පරද්දන්න මට බෑ..”
එසේ පවසද්දී නර්මදාගේ දෑස් වල වූයේ කඳුළුය. ඒ කඳුළු ඔහුගෙන් වසංගන්නට ඇයට ඕනෑ වූයේ නැත. අකලංක සිය නෑනන්ඩිය දෙස බලා සිටියේ මහත් වූ ආදරයක් ගෞරවයක් සිත්හි දරාගෙනය.යුවතියකට ආදරය කිරීමත් ඇගේ සිතෙහි අංක එක වීමත් දෙකක් බව අකලංක මුල් වරට හැදින්නේය.
” ෂා…මගේ බ්‍රදර් ඒ තරමටම සුපිරි පොරක්ද..
මාරයි ආ…”
” ඇත්තමයි එයා වගේම එයාගේ ආදරෙත් මාරයි තමයි..”
” කෙල්ලෙක්ගේ හිතේ මාර පොරක් වෙන එක ලේසි නෑනේ…”
” හැමෝටම බෑ…ඉවරද දැන් ඔයාගේ ප්‍රශ්න පත්තරේ..”
එවර නර්මදා ඇසුවේ සිනහ සෙමින්ය.
“ඉවරයි කිව්වට ඉවරම නෑ සහෝදරී..ඉස්සරහටත් පුංචිම පුංචි දේවල් වලට මට සහෝදරීගේ උදව් ඕන වෙයි…”
දියණිය ඇඳෙහි පෙරලා රිදෙන්නට ඇයව සිපගත් තරුණයා නැගී සිටියේ තවත් රෙදි බෝනික්කුගෙන් සිය නෑනන්ඩියට දමා ගසමින්ය.
” මේ… මේ න් ඔහොම ඉන්න….ඔය හිනාව නම් මට අල්ලන්නේ නෑ.මොකක් මොකක් හරි වෙලා තියෙනවා..සුබ ආරංචියක්ද.”
” නෑ අප්පා…..මං ඔයාට කිව්වේ…රිසර්ච් එකකට ඕන කරන විස්තර ටිකක් තමයි මම ගත්තේ.රිසර්ච් එක ඉවර කරලා රිසාල්ට් එක කියන්නම්.”
” හැබැයි කොල්ලෝ ඔය රිසර්ච් එක ඒ තරම් ලේසි එකක් වෙන්න බෑ. ඒ වගේම මගෙත් රික්වෙස්ට් එකක් තියෙනවා.”
” ඒ මොකක්ද…චොක්ලට් එකනේ. ගෙනත් දෙන්නම්.මං පොරොන්දු කඩ කරන මිනිහෙක් නෙමෙයි සහෝදරී..”
” නෑ අනේ ඔය රිසර්ච් එක අපිට හරි යන අපිට ගැලපෙන මං කියන්නේ දේපල වත්කම් වලින් නෙමෙයි මනුස්සකම්වලින් අපිත් එක්ක පෑහෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන හරිද..අපිත් එක්ක මේ පවුලේ සමගිය, සතුට බෙදාගන්න පුළුවන් කෙනෙක්. මේ ගෙදරට, අපිට, ඔයාට ආදරේ කරන කෙනෙක්..මේ වගේ නිදහසේ මට කයියක් ගහන් ඉන්න පුළුවන් නෑනා රිසර්ච් එකක්…සමහර රිසර්ච් දෙපාරක් තුන් පාරක් කරන්න බෑ මල්ලි…තේරුනානේ…”
නර්මදා පැවසුවේ සිය දෙතොල්පට හපාගෙන අවඥාවෙන් හිනැහෙනා අතරේය.
තරුණයා කාමරයෙන් පිටව ගියේ සිය නෑනන්ඩියට ඇදකරමින්ය..තම සිත නුහුරු නුපුරුදු ඉසව්වක් සොයා පියාසර කරන අයුරක් ඔහුට දැනේ.දැන් ඔහුට ඕනෑ ඒ සැහැල්ලුව විදින්නටය.
( යළිත් හමුවෙමු දයාබරව )