දෛවය

ප්‍රියා කාර්යාලයට ඇතුළු වෙනකොට ,ඒ වෙනකොටත් කාර්‍යාලයට ඇවිල්ල හිටපු පූජා ඇය දිහා බැලුවේ අමුතුවට

” ඔයා එන්න එන්නම මහත් වෙනවා ප්‍රියා.නරකද එක්සයිස් ටිකක්වත් කළොත් ? “

කාර්යාලයට පය තියනකොටම මිතුරිය අහපු දෙයින් ප්‍රියාගේ හිත රිදුනත් ඇගේ පිළිතුර වුණේ මද හිනාවක් විතරයි

” ප්‍රියාට හෝමෝන් ප්‍රශ්නයක් තියෙනවා.ඒකයි ඔය හැටි මහත් වෙන්නෙ.ඒ නිසා ඒ ගැන එයාගෙන් අහන එක පවු නේද පූජා? “

සිද්ද වෙච්ච දේ බලාගෙන හිටපු සුභානි කිව්වේ ප්‍රියා උදේ කෑමට ගිය වෙලාවේ

” මොන පිස්සුද අනේ ? ඒවා ඒ එයා හදාගත්ත කතා වෙන්න ඇති “

” එයා පහුගිය කාලයේ ඒකට බෙහෙත් කළා . ඒ නිසා ඒ ගැන එයාගෙන් අහන්න නැතුව ඉන්නවා නම් හොඳයි “

” ලෙඩ නං ඉතිං හැදෙනව මිනිස්සුන්ට.ඒ උනාට අනේ බැරල් එකක් වගේ ඉන්නකොට කොච්චර කැතද ? “

පූජා එහෙම කිව්වේ සමච්චල් සහගත හිනාවක් මූණට නගා ගන්න ගමන්.

” බලන්න පූජා ඔයාගේ බත් පාර්සලේ ලොකු.ඔහොම කෑවම ඉතින් කොහොමත් මහත් වෙනවා තමයි අනේ .හොඳ ඩයට් ප්ලෑන් එකක් වත් ෆලෝ කරන්නකෝ “

පූජා ආයෙමත් ඇගේ හඬ අවදි කළේ ප්‍රියා දවල් කෑමට යන්න සූදානම් වෙනකොට

” මේ මම කන තරම තමයි පූජා.අනික මම මහත් වුණා කියලා මගේ හස්බන් ගෙන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ.ඒ නිසා ඔයා ඒ ගැන දුක් වෙන්න එපා “

බොහොම සන්සුන් හඬින් එහෙම කියපු ක්‍රියා කාර්යාල කාමරයෙන් එළියට ගියා.පූජා හිමින් සීරුවෙ බිම බලාගත්තේ ඇතිවුණ ලැජ්ජාව නිසාමයි

ආයතනයට අලුතෙන්ම සේවිකාවන් බඳවා ගත්තේ තවත් සති දෙක තුනකට පස්සෙ.ඒ ආව සේවිකාවන් අතරත් කැපී පෙනෙන්න උත්සාහ කරන්න පූජා පසුබට වුණේ නැහැ

” ඇයි ලෝචනා ඔයා ඔච්චර කෙට්ටු ? “

තරමක් කෙට්ටු ශරීරයක් හිමි ලෝචනා ගෙන් පූජා එහෙම ඇහුවා

” අපේ අම්මත් ගොඩක් මහත නැහැ.මම ඉස්කෝලේ යන ඉස්කෝලෙ යන කාලෙ ඉඳලම කෙට්ටුයි අක්කේ “

තරුණිය කතා කළේ පැරණි සේවිකාවක් උන පූජාට තරමක් බයෙන් වගේ

” එහෙම එකක් නැහැ අනේ.ඔයාගේ ඇඟේ මොකක් හරි විටමින් අවුලක් ඇති.ඔයා ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න “

” ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යන්න තරම් අසනීපයක් මට නැහැ අක්කේ “

” නැත්තෙ මොකද අනේ ? බලන්නකෝ ඔයාගේ ඇඟේ කටු ටික විතරයිනේ.මට නං හිතෙන්නෙම මොකක් හරි අවුලක් තියෙනවා “

පූජා ගේ හැසිරීම දිහා සුභානි බලාගෙන හිටිය පිළිකුලෙන් වගේ. කාර්යාලයේ බොහෝ දෙනාගේ දේවල් විවේචනය කරන පූජා තමන් එක්ක කතා කරනවාටත් සමහර අය කැමති උනේ නැහැ

” අනිත් මිනිසුන්ගේ බාහිර පෙනුම විවේචනය කරනවා කියන්නෙම මහා නරක දෙයක් “

පූජා කාර්යාලයට එන්න ප්‍රමාද උන වෙලාවක සුභානි ප්‍රියාට එහෙම කිව්වේ නොරිස්සුමෙන්

” ඒකෙන් පේන්නේ එයාලගේ හැදියාව සුභානි. ඕවට මොකුත් කියන්න නරකයි “

” අපිට වුණත් ඕනම වෙලාවක ඕනම දෙයක් වෙන්න පුළුවන් ප්‍රියා.පූජා කියන්නේ තාම කසාද බැඳලා වත් නැති තරුණ ළමයෙක්.කසාද බැඳලා ළමයෙක් දෙන්නෙක් හම්බුන දාකත් ඔය ඉන්න විදිහටම ඉන්න පුළුවන් කියලයි එයා හිතාගෙන ඇත්තේ “

අන් අයට වඩා කැපී පෙනෙන රූපයක් සහ සිරුරක් හිමි පූජා ඒ ගැන ඕනාවටත් වඩා ආඩම්බරයෙනුයි හිටියේ.ඒ නිසා ඇය වටා ඉන්න හැමෝගෙම මොකක් හරි අඩුපාඩුවක් ඇයට නිතරම පෙනුනා.

” ඔය nails වලට nailpolish ටිකක් ගා ගන්නකෝ සුභානි.එතකොට ලස්සනයි නේ. අත් වල තියන කැත පේන්නෙ නැතුව යනවා nailpolish ටිකක් ගෑවහම “

” ඒව ගාලා ඊට පස්සේ ඒවා පරිස්සං කර කර ඉන්නද කියන්නේ ? ඔයාට උයන්න පිහන්න ගෙවල් වල වැඩ නැති වුණාට අපිට එහෙම නැහැ පූජා.අපිට ගෙදර ගියාම කරන්න දහසක් වැඩ තියෙනවා “

සුභානි කිව්වේ තරමක් සැරෙන්.ඒ වුණත් පූජා කතාව නතර කරන පාටක් පෙනුනේ නැහැ

” ඔයාගේ හස්බන්ඩ් මොනවා හිතනවා ඇතිද අනේ ඔයාගේ අත් දෙක ඔහොම තියෙනකොට ? “

” මගේ හස්බන්ඩ් හිතෙන දෙයින් ඔයාට වැඩක් නැහැනෙ පූජා . එයා මට කිව්වොත් මගේ අත්දෙක කැතයි කියලා ඒක එදාට මං බලා ගන්නම් “

සුභානි එහෙම කිව්වට පස්සේ පූජා නිහඬ වුණා.

සාමාන්‍ය විදිහට වැඩ කර ඉගෙන ගිය කාර්යාල දවස් කිහිපයකට පස්සේ හදිසියේම දින කිහිපයක්ම පූජා නිවාඩු දැම්මා. ඇගේ නොපැමිණීම ගැන මුල් දින දෙකේදී එතරම් කථා බහ නොකෙරුණත් තුන්වැනි දිනයේ දී පූසා ගැන අහන්න ලැබුණේ එතරම් හොඳ ආරංචියක් නෙමෙයි

” සැලෝන් එකකින් කරපු මොකක්ද treatment එකකින් පස්සේ පූජාගෙ මූණ ඩැමේජ් වෙලා ලු “

කාර්‍යාලයේ ගොඩක් දෙනාව විවේචනය කලා උනත් පූජාට සිද්ද වෙලා තියෙන දේ ඇහුනම බොහෝ දෙනා හදවතින්ම කම්පා වුණා

” මූණ පිච්චිලා වගේ ලු තියෙන්නේ .ඒකයි මං හිතන්නෙ එයා ඔෆිස් එන්නේ නැත්තේ “

කාර්යාලයේ අය එහෙම කතා වුණා.සති දෙකකට විතර පස්සෙ පූජා කාර්‍යාලයට ආවා.කලින් තිබුන දීප්තිමත් පෙනුම වෙනුවට ඇගේ මුහුණේ එක් ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම කළු වෙලා ගිහින් තිබුනා.ලිහා දැමූ කොණ්ඩයෙන් එය ආවරණය කර ගන්න පූජා උත්සාහ කළත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ.

” ඕක ගැන එච්චර හිතන්න එපා පූජා “

කාර්යාලයේ වැඩ අතපසු කරමින් පූජා කල්පනා කරන බව දැක්ක නිසා ප්‍රියා හිමින් සීරුවෙ පූජා ලඟට ගියා

” අනේ ප්‍රියා “

පූජාගේ ඇස් වල තියෙන කඳුළු ප්‍රියා දැක්කෙ ඒ වෙලාවෙ

” මම කණ්ණාඩියකින් වත් මගේ මූන බලන්න කැමති නෑ ප්‍රියා “

” ඕක හෙමින් සැරේ හොඳ වෙලා යයි.ඔයා බයවෙන්න එපා “

ප්‍රියා ,පුජාගේ හිස අත ගෑවා.

” මම හැමදාම ලස්සනට හිටපු කෙනෙක්.ඒ ගැන මම හැමතිස්සෙම උනන්දු වුණා .එදා මම සැලොන් එකට ගියේ whitening tratemant එකක් කරන්න. ඒත් මගේ කරුමෙට වෙච්ච දේ බලන්නකො “

” ඔයා ලස්සනට ඉන්න හිතපු එකේ වරදක් නැහැ පූජා.ඒත් ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා අනිත් අයගේ අඩුපාඩු දැක්කා වැඩියි කියලා ? “

ප්‍රියා බොහොම සන්සුන් විදිහට එහෙම කියද්දි පූජාගේ හැඬුම වේගවත් වුණා

” අපි හැමෝම එක එක විදිහට ලස්සනයි පූජා. ඔයා කැතට දැක්ක අයත් එහෙමයි. ඒ කොහොම වුණත් අපිට අයිතියක් නැහැ අනිත් අයගේ බාහිර පෙනුම ගැන විවේචනය කරන්න “

” ඔයාලා මා එක්ක තරහින්ද ප්‍රියා ? “

” මම නං තරහ නැහැ. ඒත් ඔයා නිසා හිත රිදුන අය නම් තරහින්ද දන්නේ නෑ “

එහෙම කියපු ප්‍රියා ඇගේ අසුනට ගියා.

තමන්ගේ දෛවය ඕනෑම මොහොතකදී, ඕනෑම අතකට හැරිය හැකි බව පූජා හෙමින් සීරුවේ තේරුම් ගනිමින් හිටියා

More Stories

Don't Miss


Latest Articles