සඳක් තනියම – 13

0
6099

සචින් බිනාර කාරියවසම් අඩි දෙක තුනක් තබා  ඇවිදින්නට උත්සාහ දරමින් සිටියේය.වරෙක තා …තා යනුවෙන් පවසන ඔහු තවත් වරෙක අ…ම්… යනුවෙන් පවසමින් බහ තෝරන්නට විය.දිනාරාත් ප්‍රියංකාත් ඔහුගේ මේ සුරතලය දෙස බලා සිටියේ මහත් වූ සතුටකින් යුතුවය.කුඩා පුතු වටා සැරිසරූ ගැහැණු ජීවිත දෙකම වර්ණවත් කරන්නට ඔහු සමත් විය.පුතු වෙනුවෙන් දවසම වෙහෙස වූවත් ප්‍රියංකාට ඒ වෙහෙස නොදැණුන තරම්ය.දැන් ඈ මැරී ඉපදුන ගැහැණියකව උන්නාය.ඈ මුළු හදවතින්ම මවකව උන්නාය.ප්‍රියංකාගේ සෙනෙහසත් රැකවරණයත් මැද සචින් හොඳින් වැඩෙමින් උන්නේය.

සචින්ගේ පියා කාලිංග කාරියවසම් යළිත් විවාහ වූ පුවත දිනාරා හා පැවසූයේ අත්තම්මාය.ඈ ඒ පිළිබඳව කතා කලේ කෝපයකින් නොව කලකිරීමකින්යැයි දිනාරාට සිතිණි.අඩු තරමේ ඔහුගේ මනාළිය ගැන තොරතුරක් අසන්නටවත් දිනාරාට සිතක් වූයේ නැත.කෙතරම් හොඳ මිනිසෙකු උනත් ඔහු වැනෙන තීරණ ගන්නා අයෙකු යැයි ප්‍රියංකා අදටත් පවසන්නේ සිතෙහි කහටක් තබාගෙනය.දිනාරාත් ඇයව අනුමත කලේ අද ඊයේක නොවේ.

කාලිංග බාප්පා අම්මා හා විවාහයට කැමති වූයේත් ඔහුගේ මවගේ හා සොයුරියන් දෙදෙනාගේ බල කිරීමට බව දිනාරාට පවසා තිබුණේ අම්මාමය.මෙවරත් ඔහුගේ විවාහය ඔවුනගේ බලකිරීමෙන් සිදු වූ බව අත්තම්මා පැවසුවේ පෙරේදා සවසය.

” මං මොනව කියන්නද ඉතින්…ඒ උදවියටත් තමන්ගේ පුතා ගැන සහෝදරයා ගැන කැක්කුමක් ඇතිනේ. ඔන්න දරුවගේ වගකීමවත් අපි ඒ මනුස්සයට බාර දුන්නනම් නවත්ත ගන්න තිබුණා.දරුවව බාර ගන්න කාලිංගගේ පැත්තේ අයට උවමනාවක් තිබුනේ නෑ වගේම අපිට බලෙන් ඒ මිනිහට වගකීම් පවරන්න උවමනාවක් තිබුනෙත් නෑනේ..”

අත්තම්මා පැවසුයේ එය තමාගෙන් සිදුවූ වරදක් ගණනටය. දිනාරාගේ සිතෙහි කෝපයක් හෝ වෛරයක් උපන්නේ නැත. දියණියකගේ ජීවිතයෙහි සිටිය යුතු වටිනාම කෙනා අම්මාය.අම්මට තරම් දියණියක වටහා ගන්නට , සමීප වන්නට අන් කිසිවෙකුට නොහැකිවේයැයි දිනාරා විශ්වාස කළාය.ඇයට අහිමි වූයේ අම්මා පමණක් නොව හොඳම යෙහෙළියයි.ඒ සා වටිනාකමක් අහිමිවූ දිනාරාට අන් කිසිවක වැදගත්කමක් වූයේ නැත. එනිසාවෙන්ම කාලිංග බාප්පා කුමක් කලත් එය දිනාරාට නොදැණුන තරම්ය.

” ඔය ළමයා දරුවත් අරගෙන ගිය එක හොඳයි කියලයි මහ මිනිස්සු කතා වුණේ. ඒ අලුත් ජීවිතේට මේ පරණ මතක ඕන නෑ කියලයි ඒ මිනිස්සු කියන්නේ.මේ හැමදේම සිද්ධ වුණේ කේතකීගේ අවාසනාවට කියලා කියලා ඒ මිනිස්සු හිතනවා.ලොකු එකත් පිට රටක ගිහින් එහේ බින්න බැස්සේ හදහන්වල වරදලු…මට දැන් ඕවත් එක්ක තර්ක කරන්න බෑ සුදු මැණිකේ..දිනන්න ඕන මිනිස්සුන්ට දිනන්න දීලා අපි පරාජය බාරගෙන පැත්තකට වුනහම හරි නිදහස් බවක් දැනෙනවා.කොහොමටත් කේතකීට සිද්ධ වෙච්ච මේ දේවල් වලින්  පස්සේ මං තව කෙනෙක්ගෙ ජීවිත ගැන තීරණ ගන්න හරි බයයි..අහිංසකීට කසාඳයක් කරලා දෙන්න උවමනාව තිබුනේ මට “

 ” කමක් නෑ අත්තම්මේ..අත්තම්මා දන්නවා  අත්තම්මා කරන්න හැදුවේ හොඳක් කියලා.ගෑණුම දෙන්නෙක් තනි වෙලා ඉදිද්දී ආත්තම්මට ඕන උනේ රැකවරණයක් දෙන්න.අත්තම්මාගේ තැන කවුරු හිටියත් කරන්නේ ඔය දේම තමයි. සමහර මිනිස්සුන්ගේ ජීවිත ගැන අහනකොට කාලිංග බාප්පා හරි හොඳ කෙනෙක්..අපිත් එක්ක ඉදපු ටික කාලෙදි එයාගෙන් අම්මටවත් මටවත් කිසිම වරදක් උනේ නෑ.අම්ම ජීවත් වෙලා හිටියනම් සමහරවිට අපි හතර දෙනාම ගොඩක් සතුටින් ඉන්න තිබුනා.කාලිංග බාප්පා එහෙම දේකට කැමති උන එක හොඳයි.එයාගේ ජීවිතෙත් වෙනසක් තියෙන්න ඕනනේ..”

” අනේ මන්දා මෙව්වා. මං සමහර තීරණ ගන්න ඉක්මන් නොවී හිටියනං අදටත්  කේතකී අපිත් එක්ක ජීවත් වෙනවා..”

දුරකථනය එහාපස උන් අත්තම්මා බරැති සුසුමක් හෙලනු දිනාරාට හොඳින්ම ඇසිණ.මේ ඇය නිදහසේ සන්සුන්ව ජීවත් විය යුතු කාලයයි.එහෙත් ඕ සිටින්නේ තමාත් මල්ලීත් ගැන මහා බරක් සිතෙහි තබා ගෙනය.තමා අතින් වූ වරද ගැන මහත් පසුතැවීමක් සිත තබාගෙනය.වසර විසි ගණනකට පෙර සිය බිරිඳත් දියණියත් හැරදා ගිය පුතණුවන් ගැන කෝපයක් සිත තබාගෙනය.

” ඒ ගෑනු මනුස්සයත් හරි පව් ඉතින්.ඔහොම පිරිමි මොකටද දරුවෝ…”

කාලිංග බාප්පාගේ විවාහය ගැන ඇසූ ප්‍රියංකා ආන්ටී පැවසූයේ එපමණකි.අම්මා තමාගේ හොඳම යෙහෙළිය සමග තමා දැන සිටියාට වඩා යමක් කතා කරන්නට ඇතැයි දිනාරා විශ්වාස කළේ එනිසාය.කිසිවෙකුට වෛර නොකල ප්‍රියංකා කාලිංග බාප්පා ගැන සිතෙහි තබාගෙන උන්නේ තරහවකි.එනිසාම ඔහු ගැන යමක් මෙම නිවසේ කතා නොකල තරම්ය.

******========********======********

“කෙල්ල එන්න එන්නම ලස්සන වෙනවා…”

හිමාෂා දිනාරාගේ  කෙටි කොණ්ඩය අල්ලා පැවසූයේ මඳ සිනහවක් මුවගේ තබාගෙනය.සැමන් පින්ක්  පැහැති අත්දිග  කාර්යාලීය බ්ලවුසයට ඈ ඇඳ සිටියේ ටයිට් වර්ගයේ තද දුඹුරු පැහැ  කෙටි සායකි.ඊට ඈ මදක්  උස් වූ උල් සපත්තු යුගලක් පැළඳ උන්නාය.දැන් දිනාරාට කාර්යාලයත් එහි පාලක පක්ෂයත්  සේවකයනුත් හොඳින් හුරු පුරුදුය.නිරතුරුවම මුහුණෙහි සිනහවක් වන මේ යුවතියට ඒ සියල්ලෝමත් පුියය.

හිමාෂාගේ සහයෝගය නිසාම ඇය තමාට අදාල රාජකාරි ඉක්මනින්ම හුරු වූවාය.

” ඇත්තමයි කෙල්ලේ ඔයාගේ තියෙන්නේ පුදුම ලස්සනක්.නුවර කෙල්ලෝ ලස්සනයි කියලා අහලා තිබුනට මේ තරම් ලස්සනයි කියලා හිතුවේ නෑ..මේ ඇදුම ඔයාට හරි ලස්සනට ගැලපෙනවා.ඒ පෙනුම වැඩ කරන කෙනෙක් වගේ නෙමෙයි බොස් වගේ…”

හිමාෂා පැවසූයේ යුවතියගේ කොපුලක් මිරිකාගෙනය.ගෙවී ගිය කාලයේ ඈ දිනාරාගේ හොඳම යෙහෙළිය වී උන්නාය.නුවර උසස් බාලිකාවේ උන් මිතුරියන් කිහිප දෙනා ඉදහිට කතා කලත් දැන් ඔවුන් තම ජීවිත හා අවිවේකීය.ඒ හිස්තැන හිමාෂා පිරවූයේ සිතුවාටත් වඩා ඉක්මනටය.මිතුරියන් දෙදෙනාට දැන් කතා කරන්නට ඕනෑ තරම් දේ විය.

ප්‍රියංකා දිනාරාට උදෑසන ආහාරය වෙනුවෙන් සූදානම් කර තිබුණේ තිබ්බටු යෙදූ පොල් මැල්ලුමකුත් කරවල බැදුමකුත් පරිප්පු ව්‍යාංජනයකුත්ය. අදටත් දිනාරාගේ උදෑසන දහවල ආහාර වේලා ඈ  සකසන්නේ තනිවමය. දිනාරා මදක් වේලාසනින් නැගිට මුළුතැන්ගෙයට  ගියත් ඕ දිනාරාව එලවා ගනී. කොතරම් වැඩ කලත් ඒ මුහුණෙහි වූ සිනහ වියැකී යනු දිනාරා දැක තිබුනේ නැත.

පසුගිය සතියේ යුවතිය බාහිර උපාධි පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වූයේ හිමාෂා සමග ගොසින්ය.ඇයත් එම විශ්ව විද්‍යාලයේම ඉංග්‍රීසි පාඨමාලාවක් හදාරමින් සිටී.පැතූ පිළිවෙලට නොවූවත් එකින් එක සැබෑවෙන සිහින දෙස ඈ බලා උන්නේ මහත් ආසාවෙන්ය.දුකකට වූයේ අම්මා මේ කිසිවක් නොදැකම මියයාමයි.

සෙනසුරාදා දින අධ්‍යයන කටයුතු සඳහා යොමුවීමට ඇයට කාර්යාලයෙන් අවසර ලැබී තිබිණ.කිසිවෙකු අපහසුතාවයට පත් නොවන්නට ඈ අත්‍යාවශ්‍ය කටයුතු සියල්ල සිකුරාදාම නිම කළාය.ඉරිදා කොහොමටත් දිනාරාට නිවාඩු දිනයක් විය. සෙනසුරාදා ඉරිදා ව්‍යාපාරික සාකච්ඡා  හෝ විශේෂ හමුවීම් කිසිවක් නොවේ. දිනාරාගේ  සිතෙහි දුකකට වූයේ ඒ විවේකී ඉරිදාවේවත් ප්‍රියංකාට සහයක් වන්නට නොලැබීමයි.

” මං දැන් ගහනව දෙකක් මේ කෙල්ලට.අම්ම හිටියනං අම්මා ගෙදර වැඩ ඔක්කොම කරගෙන මල්ලිගේ වැඩත් කරගන්නවා නේද..එහෙනම් ඔයා කැම්පස් එකේ..ඉතින් ඇයි මම අම්මා කියලා හිතලා ඔයාට නිදහසේ ඉගෙන ගන්න වැඩ කටයුතු ටික කරගන්න බැරි.පුතේ  මට මල්ලි බරක් නෙමෙයි.මේ මීටර් කීපයක් දුර තියෙන ගේ  ඇතුලේ එහාට මෙහාට ගිහිල්ලා ගෙදර වැඩ ටික  කරගන්න එක මට කරදරයකුත් නෙමෙයි. ඔයා මේ ඉන්න තැනට වඩා පියවර කිහිපයක් හරි  ඉස්සරහට ගිහිල්ලා හොඳ දරුවෙක් විදිහට ඉන්නව දකින එක මට ඒ හැමදේටම වඩා සතුටක්..”

ඇය පැවසූයේ එහෙමය. සියල්ල තීරණය කළේ ඈ විසින්ය.දිනාරාට තිබුනේ ඇය පෙන්නූ වර්ණවත් සිහිනය දකින්නට පමණි. නුවරින් කොළඹ බසයක නැගුනේ සැනසිල්ලේ ජීවත් වන්නට ඇවැසි ඉඩක් සොයා ගන්නට මිසක් මේ සා සුන්දර ලොවක් දකින්නට නොවේ.ප්‍රියංකා ආන්ටි සිය මනුස්සකම් වැපීරූයේ දිනාරාත් සොයුරාත් වෙත පමණක් නොවේ.අහල පහල සියල්ලෝම ඇයට හිතවත්ය.ආදරේය.

” මොනවද කල්පනා කරන්නේ ….”

හිමාෂා  ඇසුවේ ඇගේ බත්මුලෙහි වූ පොළොස් ව්‍යාංජනයෙන් කොටසක් දිනාරාගේ බත්පතට එක් කරමින්ය.ඈ තිබ්බටු මැල්ලුමෙන්  කොටසකුත්, කරවල බැදුමෙන් කොටසකුත් හිමාෂාගේ කෑම පෙට්ටියට දැමුවාය.

” අකලංක සර් එක්ක වැඩ කරන්න අමාරුයි නේද…..”

හිමාෂා එවර ඇසුවේ මද හඩකින්ය.කාර්යාලය තුළ සිදුවන යමක් දිනාරා ඇය හා බෙදා ගන්නේ විශ්වාසයෙන්ය.හිමාෂාත් එසේමය.සමහර දිනක දිනාරාට වැඩිවන වැඩ කොටස හිමාෂා තමා වෙත පවරා ගන්නේ විශ්වටත් හොර රහසේය. දිනාරාට ඉක්මනින් රැකියාව එපා වේයැයි හිමාෂා සිටියේ බියෙන්න.

” අරක බලන්න දිනාරා.මේක කියන්න දිනාරා.තාත්තට කියන්න.අයියාගෙන් අහල බලන්න.ඔයා චෙක් කරන්න…”

මේ අයුරෙන් සියල්ලම ඈ වෙත පවරා අකලංක දෙකකුල් මේසය මත තබාගෙන ගේම් ගසන අයුරු හිමාෂා ඕනෑ තරම් දැක තිබේ.ඔහු යටතේ වූයේ ආයතන මානව සම්පත් අංශයයි.විශ්ව යටතේ වූ ගිණුම් අංශය සහ නිෂ්පාදන අංශයේ වැඩ කටයුතු තරම් නොවූවත් මේද වගකිවයුතු කටයුත්තකි.

” අකලංක සර් තවම කිසිම වගකීමක් දරන්න කැමති නෑ.හරියට පොඩි දරුවෙක් වගේ.සර්ගේ හැම වැඩක්ම මගේ පිට පවරලා සර් නිදහස් වෙනවා. මට මටත් වඩා ඔයාව විශ්වාසයි දිනාරා කියලා කියනවා. මට හිතාගන්න බැහැ විශ්ව සර්  මේ තරම් වගකීම් දරද්දී අකලංක සර් කොහොමද මෙතරම් සැහැල්ලුවට ජීවත් වෙන්නේ කියලා.”

“විශ්ව සර් නං කියන්නේ හොඳ කෙල්ලෙක් හම්බවුණාට පස්සේ ඌ වගකීම් දරන්නේ පටන් ගනියි කියලා.මැඩම්ගේ පණ තමයි ඉතින් ඔය..”

” වගකීම් දරන්න පුරුදු වුනේ  නැති කෙනෙක් මොන විදිහේ හොඳ කෙල්ලෙක් හම්බ උනත් ජීවිතයක වගකීම් දරයි කියලා හිතන්න අමාරුයි හිමාෂා..එහෙම මිනිස්සු නිසා සමහර ගෑණු අය මුළු ජීවිත කාලෙම දුක් විඳිනවා..”

යුවතිය එසේ පැවසූයේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.

” කාලිංග කියන්නේ පිරිමියෙක් විදිහට ජීවිතේ වගකීම් ගන්න පුළුවන්වුණු මනුස්සයෙක් නෙමෙයි.ඒ ගැන හිතලා ඔයාගේ අම්මා හරි කනගාටුවෙන් හිටියේ..”

ඇයට එවේලෙහි  සිහි  වූයේ ප්‍රියංකාගේ වදන්ය.කාලිංග බාප්පා ජීවත් වූයේත් සැහැල්ලු වෙන්ය.බොහෝ දිනවල ඔහු උදෑසන නවය දහය වනතුරු නිදාගන්නා අයුරු දිනාරා දැක තිබේ.තුන් වේලටම ඔහුගේ කෑම පිඟාන බෙදා අතට දෙන්නේ අම්මාය.යට ඇඳුමේ සිට සෝදා දැමුවේත් අම්මාය.රැකියාවක් කරන්නට හෝ ව්‍යාපාරයක් ගැන සිතන්නට ඔහුට කිසිදු ඕනෑකමක් වූයේ නැත. ඔහු එක්කෝ ලැප්ටොප් පරඝනකයේය.නැතිනම් ජංගම දුරකතනයේය.ඒ දෙකම දෑත්වලින් ගිලිහී ගියකල ඒ දෑස් වූයේ රූපවාහිනී තිරය මතය.

” ඒ පාර ආයෙත් කල්පනාවක..මම දෙයක් අහන්නද..”

” මොකක්ද”

” ඇත්තටම ඔයා අපහසුවෙන්ද වැඩ කරන්නේ කැමැත්තකින් නෙමෙයිද..”

” අනේ නැහැ..මං වැඩේ ඉගෙන ගන්න ආසයි.අකලංක සර් මට කොච්චර වැඩ කරන්න කියලා  කිව්වත් මං ඒවා ආසාවෙන් කරන්නේ.ඒ නිසා වෙන්න ඇති හිමාෂා සමහරවිට පොඩි කාලයකින් මට මේ හැමදෙයක්ම ඉගෙන ගන්න පුළුවන් උනෙත්..”

” ඒක ඇත්ත ඔයා දක්ෂ ළමයෙක් කියලා හැමෝම කතා වෙනවා..මට පුළුවන් හැම වෙලාවකම ඔයාට උදව් කරන්නම්.මෙහෙන් යන්න හිතන්නවත් එපා.මං එහෙම කියන්නේ හේතු ඇතුව. මේ තරම් හොඳ මිනිස්සු ලඟ වැඩ කරන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ කලාතුරකින්.”

” අනේ නෑ හිමාෂා ..මට මෙහේ දාල යන්න කිසිම හේතුවක් නෑ.”

” අන්න එච්චරයි…..”

යුවතියන් දෙදෙනා කෑම මේසයෙන් නැගී සිටියේ එකම වරකය.තවත් දෙතුන් දෙනෙකු කෑම කාමරය දෙසට ඇවිද එද්දී   හිමාෂාත් දිනාරාත් වෙන් වූයේ එකිනෙකට යාව පිහිටි කාර්යාල කාමර වලට යන්නටය.

දිනාරා කාර්යාල කාමරයට පිවිසෙද්දී අකලංක පැමිණ සිටියේය.සිය ලැප්ටොප් පරිගණකය දිගහැරගෙන ඒ දෙස බලා සිටි ඔහු සිය දෑස් එසවූයේ දිනාරා කාමරයට ඇතුළු වද්දීමය.ඔහු කාර්යාලයට පැමිණෙද්දී තමා කාර්‍යාල කාමරයේ නොසිටීම ගැන වරදකාරී හැඟීමක් ඒ සිතට දැනෙන්නට විය.

” ගුඩ් මෝර්නින් සර්…”

” ගුඩ් මෝර්නින්  දිනාරා..”

” සර් ඇවිල්ලා ගොඩක් වෙලාද.මම බ්‍රෙක්ෆස්ට් ගන්න ගියා..සොරි සර්..”

” දිනාරා මං ඔයාගෙන් ඇහුවෙ නෑනේ…ඇයි මේ බයෙන් වගේ..සොරි කියන්න ඔයා මට වරදක් කරලා නෑ.බ්‍රෙක්ස්ෆස්ට්  ටයිම් එකක්  ලන්ච් ටයිම් එකක් ඔයාලට තියනවනේ.”

” සර් එද්ද මම ඔෆිස් එකේ ඉඳපු නැති හින්දා මම හිතුවා සර්ට කේන්ති ගිහිල්ලා ඇති කියලා..”

” මට කේන්ති යන්න සාධාරණ හේතු නෑනේ දිනාරා.මගේ වැඩත් එක්ක ඔයා කරද්දි මං කොහොමද කේන්ති ගන්නේ. කේන්ති ගන්න ඕනේ ඔයා..අනික මං එද්දී ඔයා පුටුවෙන් නැගිටින්න, පෙර මගට ඇවිත් මගේ බෑග් එක ගන්න, ආපහු යද්දී නැගිටින්න, ෆයිල් එක දික් කරන් පැය ගානක් ⁣මගේ මේසේ ඉස්සරහ හිටන් ඉන්න.මේ දේවල් අවශ්‍ය නෑ.අපි දෙන්නම කරන්නේ වැඩ.අපි දෙන්නම මෙතනදි එක ලෙවල් එකක.මං හිතන් නෑ දිනාරා මගේ තාත්තවත් අයියාවත් එයාලගේ සේවකයන්ගෙන් මේවා බලාපොරොත්තු වෙනවා කියලා..තාත්තා ඔයාට ඉන්ටර්විව් කරද්දී කිව්වනේ මේක ටීම් වර්ක් එකක්..”

දිනාරා තරුණයා දෙස බලා සිටියේ දෑස් විසල් කරගෙනය.වෙනදා නොවූ සංයමයක් ඒ වදන්වල වූවා යයි ඇයට සිතිණ.මේ ඔහු ආයතන පරිපාලකයෙකු සෘජුව යමක් කතා කළාමය.

” දිනාරා අර ෆැක්ටරි එකේ නිවාඩු ප්‍රශ්නයක් තිබුණනේ..අපි ඒක චෙක් කර ගමුද…”

තත්පර කිහිපයකට පසුව  අකලංක විමසූයේ ඇගේ සම්පූර්ණ අවධානය තමා වෙත රන්දා  ගන්නා ගමන්ය.

( හෙටත් හමු වෙමු දයාබරව )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here