මා හද තුළ ඔබ 36

සමනල් ට දැනුණේ බරපතල වූ කම්පනයකි. තමන්ගේ සමීපතමයෙකු අනපේක්ෂිත ලෙස අහිමි වූ විට ඕනෑ ම කෙනෙකු එවන් කම්පනයකට ලක් විය හැක. නමුත් ඒ මිය යාමක් නම් අපට ඒ පිළිගන්නට සිදුවන්නේ ය. මියැදීම යනු ඉපදීම සේ ම සොබා දහමට අයත් දෙයකි. සොබා දහම විසින් තීරණය කරනු ලබනා දෙයකි. දරා ගන්නට ම අසීරු මොහොතක වී ද අපට ඒ සත්‍යය පිළිගන්නට සිදුවන්නේ ය. සමනල් ට ද ඔහු ගේ මව මිය ගියා කීවා නම් එය දරාගන්නට තිබිණ. ඇගේ දේහය දුටුවා නම් එය පිළිගන්නට තිබිණ. හිත හදා ගන්නට ද තිබිණ. නමුත් තාත්තා ඔහු ට කීවේ අම්මා ඔවුන් අතැර වෙනත් පුරුෂයෙකු හා ගිය බවකි. කුඩා කාලේ ඔහු අම්මා ගැන කලකිරුණේ ය. විටෙක ඇයට වෛර කළේ ය. අම්මා කෙනෙකු සිය දරුවෙකු ඒ විදිහට අතැර දමා ගොස් අමතක කොට සිටින්නේ කෙසේදැයි විශ්මිත වූයේ ය. අම්මා අමතක කොට දමන්නට උත්සාහ කළේ ය. ඒ සියල්ල පවත්වා ගත හැකි වූයේ කෙටි කලකි. නැවත ද ඇය හදවතේ උඩමළුව අරා විරාජමාන වන්නී ය.

අම්මා ඔහු ට කිසි දා ආදරය කළේ නැත්ද යන පැනය, කටුවක් සේ සමනල් ගේ හිතේ ඇනී, පෑරි පෑරි තිබුණේ ය. ඒ කටුව නිසා මෙතුවක් කල් ඔහු අපමණ දුකක් වින්දේ ය. දැන් මඳ සුළං පොදක් හමා යන්නා බඳු සැනසිල්ලක් දැනේ. ඒ ඇය සමනල් දරුවාට අසීමිත ව ආදරය කළ බව දිවාකර ගෙන් දැනගත් නිසාවෙනි. විසඳා ගත නො හැකි ව තිබූ ගැටළු රැසක් ඔහු ගේ ඇස් පනාපිට ලිහිල් වෙමින් තිබේ.  අම්මාගේ අතුරුදන් වීමත් තාත්තා ගේ අලුත් සබඳකමත් අතරේ සම්බන්ධයක් තිබිය නො හැකි ද? තවමත් අම්මා කොහේ හෝ ජීවත් වනවා විය නො හැකි ද? නමුත් එසේ නම් ඇය කවදාවත් සිය කුසින් වැදූ එක ම පුත්‍රයා බලන්නට නාවේ ඇයි? ඔහු ට දුරකතනය ඔස්සේ හෝ කතා නො කළේ ඇයි?  ඩිලන් රණසිංහ යනු ඔහු ට අවශ්‍ය දෙය ඉතා සටකපට හා අසාධාරණ ලෙස, කූට උපායන් භාවිතා කරමින් හෝ ලබා ගන්නා මිනිසෙකු බව මීට දින දෙකකට පෙර සමනල් දැනගත්තේ තඹරු ගෙන් ලද ප්‍රවෘත්තියෙනි. එහෙව් මිනිසාට කළ නොහැක්කක් නොවනවා විය යුතු ය. අතැඟිලි මත හොවා ගත් නළලැතිව බිම බලා ගෙන උන් සමනල් ට ඉකිගැසී හැඬිණි. මොන දුකකදී වුව පිරිමින්ට හැඬිය නො හැකි බව ඔහු සමාජයෙන් ඉගෙන ගෙන තිබේ. නමුත් පිරිමින්ටත් කඳුළු තිබේ. සමාජය ඉදිරියේ හෙළන්නට බැරිව මිදී ගල් වී ගිය කඳුළු තිබේ!

සමනල් ගේ විලාශය දෙස තඹරු බලා සිටියේ තැතිගෙන ය. ඔහු ගේ හිස සිය ළයෙහි හොවා සනහන්නට මේ වෙලාවේ ඇයට සිතෙනා තරමි. නමුත් එහෙම කළ නො හැකි ය. අතැඟිලි වලින් ඇස් මුවහ කොට ගෙන ඔහු පොඩි දරුවෙකු සේ හඬත්දී නම් ඇයට වාවා ගත නොහැකි තරම් විණි. ඇය ඇස් කරකවා සඳැස් දෙස ද දිවාකර දෙස ද රන්මුතු දෙස ද බැලුවා ය. අම්මා දියණිය ගේ භීතිය වහා හැඳින්නා ය.

“පුතා”

කියමින් ඇය සමනල් ගේ හිස පිරිමදින්නට වූවා ය.

“ඔයා හොඳටම හිත රිදෝගෙන කලබල වෙලා ඉන්න වෙලාවනෙ. ඒක නිසා දැන් ඔය තත්වෙන් ඩ්‍රයිව් කරනවටනං මං කැමති නෑ”

එසේ කියමින් රන්මුතු සැමියා දෙස බැලුවේ වචනයකින් හෝ ඈ අනුමත කරවාගන්නට මෙනි. ඔහු ඒ බැල්මත් ඒ මොහොතේ අවශ්‍යතාවයත් මැනවින් හැඳින්නේ ය.

“ඒක ඇත්ත. අපිට දරුවෙක් එහෙම වාහනයක් එක්ක පාරෙ යවන්න බෑනෙ”

“ඒක නිසා පුතා අදත් මෙහෙ ඉන්න. මල්ලි එක්ක නිදාගෙන…හෙට උදේට හිත සන්සුන් වුණාම යන්න පුළුවන්නෙ. ගෙදරට පණිවිඩයක් තියල ඉන්න…ඔයා පරිස්සමට ඉඳල හෙට එනව කියල. නැත්තං ගෙදරින් කලබල වෙන්නත් පුළුවන්නෙ”

“නෑ ආන්ටි මං යනව”

එය හිතුවක්කාර තීරණයකි. තඹරු වහා ඉදිරිපත් වූවා ය.

“යන්නෙ කොහොමද…ඔහොම ඩ්‍රයිව් කරන්නෙ කොහොමද…හෙට උදේම යන්න”

එය අයැද සිටීමක් ද විධානයක් ද කියා ඇය ම නො දත්තා ය. සමනල් එක බැල්මක් තඹරු වෙත හෙළා බිම බලා ගත්තේ ය. එය එකඟතාවයක් වාගේ ය. රන්මුතු ගේ දෙතොල් අතරේ ඉතාමත් ම සිහින් වූ සිනහවක් ඇඳී ගියේ ය.

ඒ අනුව රාත්‍රී ආහාර ගෙන ඔහු මත්තේගොඩ නතර වූයේ ය. ඩිලන් වාර ගණනාවක් සමනල් ගේ දුරකතනයට ඇමතුම් ගත්තේ ය. සමනල් එහි සයිලන්ට් දමාගත්තේ ය. අවසන ඩිලන්, “කොහෙද අයිසෙ ඉන්නෙ” යනුවෙන් කෙටි පණිවිඩයක් එව්වේ ය. සමනල් නොරිස්සුමෙන් ම “හෙට එනව” යනුවෙන් ලියා යැවී ය. රෑ වන තුරු ඔවුහු පරණ මතකයන් අවුස්සමින් කතා කරමින් සිටියහ. අම්මා ගැන ඇගේ මිතුරා වන දිවාකර වෙතින් අසන්නට ලැබීම සමනල් ට චමත්කාරයක් විය. ඇයිදෝ මන්දා තඹරු සාමයට පත්ව සිටියා ය. ඇගේ සිත පීඩනයට පත් කළ පසුගිය සිදුවීම දියක ගැඹුරු ම තැනක් සේ නිසොල්මනේ තිබිණ. ඒ නිසල බව මත ඇය සාමකාමී පාවීමක සිටියා ය. සමනල් ද ඒ වහළය යට සිටියදී ඇයට සුවයක් දැනිණ. තමන්ගේ සියල්ලන් එක මිටක සිටිනවා බඳු සැනසිල්ලක් දැනිණ.

උදේ සමනල් මතු මහලේ දී දිවාකරගෙන් සමුගත්තේ ය.

“අපි හොයමු අම්මව. පුතා තනි වෙලා කියල හිතන්නෙපා. උදාරි මාව විශ්වාස කළා හරියට. ප්‍රමාද වෙලා හරි සොබාදහම පුතාව අපි ළඟට එවන්න ඇත්තෙ ඒක නිසා වෙන්නැති”

දිවාකර සමනල් ට නවමු බලාපොරොත්තුවක ශක්තිය දුන්නේ ය. පියගැට පෙළ බැසි ඉක්බිති, කැෆේ එක තුළ දී සමනල් ට සමු දී රන්මුතු හා සඳැස් නතර වූහ.

“පරිස්සමෙන් පුතා. හැම මොහොතකම පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කරන්න. අනං මනං හිතන්නැතුව සිහියෙන් ඩ්‍රයිව් කරන්න”

රන්මුතු ආශීර්වාද කළා ය.

“අවුල් යන්නෙපා හරිද…අපි ඉන්නවනෙ”

සඳැස් සමනල් ගේ උරහිසකට තට්ටු කොට කීවේ ය. සමනල් ඔහු ගේ කර වටා අතක් දමා ඒ ආදරය පිළිගත්තේ ය. ඔහු තඹරු ගෙන් සමුගත්තේ නැත. ඇය බිම බලාගෙන ඔහුත් එක්ක කැෆේ එකේ ගේට්ටුව ළඟට ම ආවා ය. යුවතිය ගේ හදවත සිතිවිලි වලින් බර වීගෙන තිබිණ.

“මං යන්නද තඹරු එහෙනං…”

නිහැඬියාව බිඳිමින් ඔහු කතා කළේ ය. ඇය රවුම් ඇස් ඔහු ගේ මූණ මත තබා විකසිත කළා ය. ඒ ඇස් වල භීතියක් වන බව ඔහු හැඳිනගත්තේ ය.

“ගිහිං එන්නං කියල යන්න”

“ඩෙෆිනේට්ලි මං ආයෙ එනව”

“කලබල කරගන්නෙපා”

“නෑ. ඒත් තාත්තගෙන් මුකුත් අහන්නැතුව ඉන්නව කියලනං පොරොන්දු වෙන්න බෑ. අනික මං මගෙ ජීවිතේ ගැන තීරණයක් ගන්නව”

“අනේ පරිස්සමෙං”

සමනල් ඇදෙස බැලුවේ හැඟුම් සමුදායක් ඇතුළාන්තය තෙරපත්දී ය. මොනවා වුණත් දැන් ඔහු ට ඔහුගේ ය කියන්නට දැනෙනා කවුරුන් ම හෝ සිටිති.

“මං කෝල් කරන්නං”

කියමින් ඔහු රියට නැගුණේ ය. තඹරු යන්තමින් හිස සැළුවා ය.

ඩිලන් රණසිංහ සිටියේ නොසන්සුන් බවෙක ය. සිය පුත් සමනල් පිට පිට රාත්‍රීන් දෙකක් ගෙදර නො පැමිණීම ඔහු ගේ පීතෘ හදෙහි ගැස්මක් ඇති කරන්නට සමත් වී තිබේ. පුතා සිටින්නේ ඔහුත් එක්ක හිත හොඳින් නොවන බව ඩිලන් දන්නේ අද ඊයේක නොවේ. ගැටවර වියෙහි පටන් ඔහු තාත්තා නොරුස්සන ස්වභාවයක් පෙන්වූයේ ය. ඔහු ට මුරණ්ඩු වී සතුටක් ලැබුවේ ය. ඔහු ට හිතුවක්කාර වී එකට එක කළේ ය. සමහර විට එක වහල යට ජීවත් වුණත්, එක ම ආයතනයක සේවය කළත් පියා සමග පුත්‍රයා වචන කිහිපයක් කතා කරන්නේ දින ගණනාවකට වරකි. එද උත්තර නොදී සිටිය නො හැකි ප්‍රශ්නයකට පිළිතුරු දීමක් වශයෙනි. දවල් දවසේ සමනල් ව ගෙදරදී දැකිය නො හැකි තරම ය. කුමක් හෝ හේතුවක් හදාගෙන ඔහු ගෙදරින් පිට වී සිටීමට උත්සාහ දරන බව ඩිලන් මුල සිට ම දැන සිටියේ ය. නමුත් ඔහු ගෙදරින් පිට රැයක් ගත කළේ හේතුවක් ඇත්නම පමණකි. ඒ හේතුව හා ගෙදර නො පැමිණෙන බව ද කවර ක්‍රමයකින් හෝ තාත්තා ට දැනුම් දී තිබේ. මේ වතාවේ පිට පිට දින දෙකක් ම ඔහු ගෙදර නාවේ ය. නො එන බවක් නො කීවේ ය.  ඩිලන් ගේ ඇමතුම් වලට පිළිතුරු නොදුන්නේ ය. වෙනසක් ගැන ඉවක් ඩිලන් ට දැනෙමින් තිබිණ.

ගෙදර පැමිණි සමනල් කෙලින් ම ගියේ කාමරයට ය. ඔහු පියාව දුටුවේ නැත. අල්මාරියේ පසෙක අසුරා තිබූ බැගේජ් එකක් පිටතට ගෙන ඔහු අත්‍යවශ්‍ය ඇඳුම් හා වෙනත් අඩුම කුඩුම ටිකක් ඊට එබුවේ ය. සමනල් පැමිණි බව ඩිලන් දැනගත්තේ මෝටර් රථය පාර අයිනේ නවතා තිබෙනු දැකීමෙනි. රිය පාරෙහි නැවතුවා කියන්නේ ඔහු යළිත් යන්නට සූදානමින් බවයි. ඩිලන් සමනල් ගේ කාමරය දෙසට ගියේ ය. ඒ දර්ශනයෙන් ඩිලන් ගේ පිය හදවත ගැස්මකට බඳුන් විය.

“කොහෙ යන්නද මේ…”

කේන්තිය දරාගෙන, පිළිතුරු නොදී සමනල් සිය කාරියෙහි නිරත වූයේ ය. ඉවසීමෙන් ද ඉවසීමක් නැතිව ද මන්දා ඩිලන් බලා සිටියේ ය. අවශ්‍ය සියල්ල බෑගයෙහි පැටවීමෙන් පසු ඔහු තාත්තා අසලට ම ගොස් කෙළින් ම ඔහු ගේ මූණ දෙස බැලුවේ ය. ඒ බැල්ම ගිනිගන්නා සෙයක් ඩිලන් ට දැනිණ.

“කෝ අම්ම…”

ඩිලන් ට දැනුණේ ඔහු අඩි ගණනක් ද වසර ගණනක් ද ඈතට විසි වූවා සේ ය. පපුව ඇතුළේ කුණාටුවක් හට ගති.

“අම්…ම..”

“ඔව් අම්ම කෝ…”

එය අභියෝගයකි. කොහොම ඒ අභියෝගයට මේ හදිසියේ මූණ දෙන්න ද කියා ඩිලන් දැන සිටියේ නැත.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles