සමනල් දිවයුරු රණසිංහ හැබෑ තරුණයෙකු සේ හිතපදැඩි කරගෙන හිස කෙළින් තබාගෙන සිටියේ ය. නමුත් ඔහු ගේ ඇතුළාන්තයෙහි තිගැස්මෙහි තරංග රැලි නො නැගුවා නොවේ. මේ බිත්ති අල්මාරියෙහි වන්නේ කුමක් ද? ඒ තරම් අසාධ්‍ය තත්වයක හිඳගෙනත් ඩිලන් රණසිංහ ට සිහිපත් වූ වැදගත් කාරණය කුමක් ද? සමනල්ව ම ළඟට කැඳවා අල්මාරියේ මේ කොටස විවර කොට බලන්නට යයි කියන්නට කාරණා කිම?
“ඒක ස්ලයිඩින් ශෙල්ෆ් එකක්”
පොත් රාක්කය දෙස බලාගෙන සිටියදී ඩිලන් ගේ වචන ඈත දුර ග්‍රහ ලෝකයක සිට ඇසෙන්නා සේ සමනල් ගේ සවන් මත පතිත විය. ඔහු කලබලයෙන් ඒ රාක්කය පසෙකට තල්ලු කළේ ය. නමුත් එය සෙලවුණේවත් නැත. ඊළඟට ඔහු එය අනිත් පැත්තට තල්ලු කළේ ය. රාක්කය ඇතුළට ලිස්සා ගොස් අඳුරු හිස්තැනක් විවර විය. කෙතරම් අඳුරු ද යත් ඒ අවකාශය කුමක් දැයි එකවර සිතා ගත හැකි වූයේ නැත. මේ කාමරය සමනල් පැමිණ තිබෙන මුල් ම වතාව මේ නොවේ. විශේෂයෙන් ම ඔහු ගේ ළමා වියෙහිදී මේ කාමරයේ සෙල්ලම් පවා කොට තිබේ. නමුත් මේ බිත්ති අල්මාරිය විවර කරන්නට කිසි දා ඔහු ට උවමනා වී නැත. විවර කළ ද පොත් රාක්කය විනා කිසිවෙකු වෙනත් යමක් දකින්නේ ද නැත. ඒ පොත් රාක්කය පසෙකට තල්ලු කළ හැකි එකක් කියා සිතන්නට කිසිවෙකුට උවමනාවක් වෙයි කියා ද සිතිය නො හැක.
දෑසට අඳුර හුරු වෙත්දී එතැන අවකාශයක් ඇති බව සමනල් ට දැනිණ. ඔහු අල්මාරි දොරෙන් ඒ අවකාශය වෙතට අඩියක් තැබුවේ ය. අත ඇති ජංගම දුරකතනයේ ටෝච් එක ක්‍රියාත්මක කරන්නට ඒ කලබලකාරී බව අතරේ ම සමනල් ට සිහි විය. ආලෝක තීරයට හසු වූ දුහුවිලි අංශු ඔබ මොබ සරණා අයුරු දිස් විය. සමනල් ගේ සිතිවිලි ද එලෙස නිශ්චිත දිශාවකින් තොර ව භ්‍රමණය වෙමින් තිබිණ. ඔහු ආලෝකය ඈතට යොමු කළේ ය. එය පටු කොරිඩෝවක් බව පෙනෙන්නට තිබිණ. තිගැස්මෙන් යුතුව හෙතෙම ඒ කොරිඩෝරයෙහි ඉදිරියට පියවර තැබුවේ ය. අඩි කිහිපයක් ඔබ්බෙහි වූයේ පහළට දිවෙනා ඉතා පටු වූ පියගැට පෙළකි. කෙතරම් පටු ද යත් එය යන්තම් එක් පුද්ගලයෙකුට පමණක් යා හැකි තරම් එකකි. ටෝච් එකෙහි එළියෙන් හදවතෙහි ගැස්මෙන් ද දෙගිඩියාවෙන් ද යුතුව සමනල් එහි පිය තබන්නට වූයේ ය. සිය නිවසෙහි මෙබඳු රහස් දොරක් ඇතැයි නො දැන ඔහු දශක තුනකට ආසන්න කාලයක් එහි දිවි ගෙවා තිබේ. පඩියෙන් පඩියට හිතේ ගැස්ම වැඩි වන්නට විය. කිසිවක් සිතන්නට සමනල් ට උවමනා නොවී ය. ඔහු ට නො සිතුණ දෙයක් නැති තරමි. නමුත් ඔහු කිසිවක් අනුමාන කරන්නට ඉක්මන් නොවුණේ ය. එනමුදු අසාධ්‍ය තත්වයක හිඳගෙන පියා මේ රහස් දොරටුව ඔහු ට විවර කොට දීම යනු සිතන්නට යමකි.
පියගැට පෙළ යොමු වූයේ බිංගෙයක් වන් කුටියකට ය. එහි එළඹි ගමන් ග්‍රිල් දැලක් ගසා තිබිණි. කුටියේ කෙළවරට වන්නට යන්තම් ආලෝකය නිකුත් කෙරෙනා විදුලි බල්බයක් දැල්වෙමින් තිබූ අතර එය වායු සමීකරණ තත්ව යටතේ පවත්නා බව ද දැනෙන්නට විය. ඒ විදුලි බබුල දැල්වුණ බිත්තියට ආසන්නව කුඩා යකඩ ඇඳක් වූ අතර, ඉන්නා බවක් පෙනෙන නො පෙනෙන ගාණට ගුලි ගැහුණු යමෙක් එහි වැතිර සිටියහ. ඒ ස්ත්‍රියක ද පුරුෂයෙකු ද කියා පැහැදිලි නොවුණ ද සමනල් ගේ හද ගැස්ම අතිශය උත්සන්න වන්නට විය. ග්‍රිල් දැලෙහි අගුලු දැමූ ග්‍රිල් දොරක් දකින්නට ලැබිණ. සමනල් එය අල්ලා සෙලවූයේ ය. එතැන බිත්තියෙහි ගැසූ ඇණයක එල්ලෙමින් තිබූ යතුරක් ඔහු ගේ නෙතු ගැටුණේ එතකොට ය. සමනල් වහා එය ගෙන ඉබ්බා ගේ අගුල විවර කළේ ය. දොර ඇරෙනා හඬටවත් අර මිනිස් ගුලිය සෙලැවුණේ නැත. සමනල් වඩාත් දෙගිඩියාවට පත් විය.
“කවුද ඔතන ඉන්නෙ…”
ඔහු සිය හඬ විවර කළේ ය. බිම් ගේ තුළ ඒ හඬ දෝංකාර නැංවුණා වැඩි ය. ඒ හඬ ඔහු ම බිය වූවා කීව ද වරදක් නැති තරමි. සමනල් යහනට ලං වී ටෝච් එළිය වඩා හොඳින් ඒ මුහුණට එල්ල කළේ ය. ආලෝකය කියන්නේ තමන්ට අකැප දෙයක් කියා සිතාගෙන මෙන් ඒ ඇස් වඩාත් තදින් හැකිළිණි. නමුත් ඒ ස්ත්‍රියක බව හැඳින ගන්නට සමනල් ට නො හැකි වූයේ නැත. එසැනෙන් ඔහු ගේ මතකයේ ඡායාවක් සේ එහෙ මෙහෙ වෙමින් තිබූ අම්මා හිතෙන් පැන නැංගේ ය.
“අම්ම”
ඔහුත් නො දැන සමනල් ට එසේ කියවී තිබිණ. ඒ ඔහු ගේ අම්මා දැයි ඔහු ට නිශ්චිත වූයේ ද නැත. උදාරි ආලෝකයට බියෙන් දෑස් යන්තම් විවර කොට සමනල් ගේ මූණ දෙස බැලුවා ය. ඒ මූණ දෙස බලාගෙන ම සිටියා ය.
“අපි යං”
වහා ඔහු ට සිහිපත් වූයේ එයයි. යන්නට ය. එතැනින් පැනගන්නට ය. ඊළඟ මොහොත උදා වන්නේ කෙසේ දැයි කාට නම් කිව හැකි ද?
උදාරි සතුව කාය ශක්තියක් තිබුණා නොවේ. අන්තයට ම බිඳ වැටී තිබි මානසික ශක්තිය විසින්, සිරුරෙහි ඉතිරි වූ තිබූ ශක්ති බින්දුව ද අන්තයට ම ක්ෂය කොට දමා තිබුණා විය යුතු ය. ඔහු ඇය දෑතින් ඔසවා ගත්තේ ය. ඇයිදෝ මන්දා ඔහු ගේ පිරිමි හදවත වෙඬරු සේ දිය වන්නට විය. රිදෙමින් පෑරෙමින් හෘත් පේශි කකියන්නට විය. ඊළඟට ඔහු බිම් ගෙයින් පිටතට ආවේ ටෝච් එළියෙහි ආධාරයෙන් නොවේ. හැමදාමත් ගිය ගමනක් සේ ඒ මග ඔහු ට හුරු පුරුදු වූයේ ය. ඔහු ඇයගේ මුහුණ හරියට දුටුවේ කන්තෝරු කාමරයට පැමිණි ඉක්බිතියි.
“අම්ම”
සමනල් ට හැඬිණි. ඇය මොන තරම් නම් දුකක් විඳ දරාගෙන සිටින්නී ද? ඇගේ සිරුරේ මාංශය දිය වී ගොසිනි. අත පය කෝටු ඉපල් මෙනි. කම්මුල් වළ ගැසී, අක්ෂි කූප ඇතුළේ ඇස් ගිලී ගොසිනි. ඒ දෑස් මුළුමනින් හිස් ය. කිසිත් නො ලියවුණු සුදු කඩදාසි සේ ය.
“අම්ම”
සමනල් කී වචනය උදාරි පුනරුච්චාරණය කළා ය. ඒ ඇය අතිශයින් ආදරය කළ වචනයයි. සමනල් ඉපදුණු දා ඇය අම්මා කෙනෙකු වූවා ය. අවුරුදු පහළොවේදීත් ඔහු අම්මා කියා කියත්දී ඇගේ මව්වත් හද මඬල උණු විය. කිරි නො එරුණාට දරුවන් අම්මා කියන හැම වතාවක ම අම්මාවරුන් ගේ පපු ආදරයෙන් බර වේ.
සමනල් උදාරි ගෙන ආවේ සිය මෝටර් රථය වෙතට ය. හැකි ඉක්මනින් ඇය මෙතැනින් පිටත් කළ යුතු බව ඔහු ගේ ඉවට දැනෙමින් තිබිණ. නමුත් ඇයව රිය තුළට දමා දොර වසත්දී ම ගයාත්‍රි රැගත් මෝටර් රථය ගෙවත්ත ඇතුළට ආවේ ය. ඇය රියෙන් බැස්සේ කලබලයෙනි. සමනල් වහ වහා රියට නැගුණේ ය.
“මොකද්ද ඔය කරන්න හදන්නෙ…”
කෑ ගසාගෙන ඇය රිය ඉදිරියට ආව ද සමනල් වේගයෙන් රිය පදවත්දී පැත්තකට පැනගත්තා ය. රිය තුළ සිටි උදාරි ව ගයාත්‍රි දුටුවා ය. ඇගේ ඇස් විසල් වී හද ගැස්ම වැඩි වී කුමක් කරන්නදැයි සිතා ගත නො හැකි තත්වයක් උද්ගත විය. කකුල් අද්දමින් ගොස් ඕ ආලින්දයෙහි අසුනක් මතට වැටුණා ය. ඇය දහදියෙන් නැහැවෙන්නට විය.
“මං හිතුව ඕකයි වෙන්න ඇත්තෙ කියල. මේ මිනිහ මැරෙන්න යන්නෙ මාවත් විනාස කරගෙන…දෙයියනේ මොකද්ද දැං මං කරන්නෙ…”
කුමක් කළ යුතු දැයි පැහැදිලි නැතිව ම සමනල් රිය පදවාගෙන ගියේ ය. ඊළඟ පියවර කුමක් විය යුතු ද කියා ඔහු දැන සිටියේ නැත. කෙසේ හෝ ඔහු යමින් සිටියේ මත්තේගොඩ දෙසට ය. මේ වාගේ පෞද්ගලික ප්‍රශ්නයක් කතා කොට ඊට විසඳුමක් උපදෙසක් පතන්නට තරම් හිතවත් කෙනෙකුට මේ වෙලාවේ ඔහු ට සිහිපත් වූයේ දිවාකර පවුල පමණකි.
සමනල් එහි යන විට රන්මුතු ද තඹරු ද කේක් ඇන්ඩ් කොෆී අවකාශයෙහි සිටියහ. රෝහලට ගොස් පැමිණීමෙන් පසු ද ඩිලන් ගේ අනතුර විසින් ඇති කළා වූ කම්පනය ඔවුන් වෙතින් මුළුමනින් බැහැර වී තිබුණා නොවේ. රියෙන් බැස සමනල් කලබලයෙන් වාගේ ඇතුළට දිව එත්දී තඹරු ට යමක් සිතා ගත හැකි වූයේ නැත. නමුත් ඇයට හිඳගෙන උන් අසුනෙන් නැගිටවිණ.
“ආන්ටි අපේ අම්මව දැකල තියනවද…”
ඔහු රන්මුතු ඉදිරියේ නතර වී විචාලේ හති දමමින් වාගේ ය.
“කීප වතාවක් දැකල තියනව. ඇයි පුතා…”
“ඇයි සමනල්…”
“ආන්ටි මං හිතන්නෙ කා එකේ ඉන්නෙ අම්ම. ආන්ටිත් බලල කන්ෆර්ම් කරන්න”
තඹරු හා රන්මුතු උනුන් ගේ මුහුණු දෙස බැලුවේ නෙතු විසල් කරගෙන ය. එකෙනෙහි ඔවුහු රිය වෙතට ඉක්මන් අඩි තැබූහ. ඒ අම්මා බවට සමනල් ට සැකයක් නැත. නමුත් ඔහු අවුරුදු පහළොවේදී අවසාන වශයෙන් දුටු අම්මා තරුණ පිරිපුන් ගැහැනියකි. ගෙදර ම බිංගෙයක් තුළ සිටියදී ඔහු ට හමු වූ තැනැත්තිය සිරුරෙන් කෘෂ වූ සිහියෙන් වියවුල් වූ අපිළිවෙලට බාචු ගවුමක් හැඳි, මතක ඇති කාලයක හිස කේ නො පීරා ඇතැයි සිතිය හැකි කෙනෙකි. නමුත් ඒ අම්මා සේ ඔහු ට දැනේ. ඒ ලේ වලට දැනෙනා සුවඳක් විය යුතු ය.
“මං හිතන්නෙ ඔව් පුතා. අඳුරගන්න අමාරු තරමට වෙනස් වෙලා තමයි. අංකල්නං හරියටම අඳුරගනී”
එකෙනෙහි සමනල් මතු මහලට දිව ගියේ ය. යමක් නො කියා ම රෝද පුටුව මත හිඳ උන් දිවාකර ව දෑතින් ඔසවා ගෙන පහළට ගෙන ආවේ ය. සමනල් පසුපස ඉහළට දිවූ තඹරු තාත්තා ගේ වෝකර් එක ගෙන ආවා ය.
“උදාරි…”
දිවාකර නියත වශයෙන් ම ඒ ඇය බව හැඳින්නේ ය. සමනල් ඉකා කලබල කෙටි වාක්‍ය වලින් සිදු වූව කීවේ ය.
“පුතා ඉස්සල්ලම කරන්න ඕන එහෙනං පොලිස් කම්ප්ලේන් එකක් දාන එක. මෙච්චර කාලයක් නැති වෙලා හිටිය අම්ම මේ විදිහට හම්බ වුණා කියල. ඔයා ඉක්මං කරල ඒක නොකළොත් වෙන අය ඉස්සර වෙන්න පුළුවන්. අපි දැන්ම යං පොලිස් ස්ටේශන් එකට”
දිවාකර ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වීම තඹරු ට සහනයක් දැනවී ය. ඇය ද විගස මෝටර් රථයට නැග ගත්තා ය. මේ වගේ සිදුවීම් සිනමා පටවල දැක තිබුණාට හැබෑ ලෝකයේ ඒවා සිදු වෙනවා ඔවුන්ගෙන් කිසිවෙකු මීට පෙර දැක තිබුණේ නැත.
“උදාරි. ඔයාට මාව මතකද…මං දිවාකර…”
රිය ඉදිරියට ඇදෙත්දී පසුපස හැරී බලමින් දිවාකර විමසී ය. උදාරි සිනහ වූවා ය. නමුත් ඒ සිහියකින් නොවේ.
“දිවාකර” කියා කිහිප වරක් මුමුණමින් ඇය සිනහ වූවා ය.