සුදු රෝස මල් වැටිලා තිබුණා ..

අනන්ත මගේ අත අත් හැරියේ කැමැත්තෙන් නෙවෙයි කියලා වැටහුණා. ඒත් මේ ගමන අනන්තගේ අතේ එල්ලිලා යන්න තරම් මට හය්යක් නැහැ. මම ආයෙම හැරිලා අනන්ත දිහා බැලුවා.

” මං එන්නම් නිම්නාදී…”

අනන්ත එහෙම කියන්න ඇත්තේ කීවෙනි වතාවටද මන්දා. මම හිස වැනුවා.  ලොකු හුස්මක් ගත්තා. 

පික් මී මෝටර් රියක් මගේ ඉස්සරහ නැවතුණා. 

“මිස් පික් මී එකක් දැම්මද ?”

මම ආයෙම අනන්ත දිහා බලන්නේවත් නැතුවම මෝටර් රියට ගොඩ වුණා. මගේ අතේ තිබුණ කඩදාසි බෑග් එක අසුනේම එහයින් තිබුණා.

“ලොකේශන් හරිද මිස් …”

“හරි …”

මම එහෙම කියලා විනාඩි කිහිපයක් ඇස් පියාගෙන හිටියා. මේ උදාවෙලා තියෙන්නේ ජීවිතේ කවදාවත් බලාපොරොත්තු උණ හවසක් නෙවෙයි. මගේ පණට සමානවම ආදරේ කරපු, රැකබලාගත්තු, දරාගත්තු ප්‍රාණ සම  ප්‍රේමවන්තයාට සමුදීලා මම අනන්ත එක්ක අනන්තයට පියාඹන්න තීරණය කරලා ඉවරයි. ඒ ගැන පණ සරි ප්‍රේමයට කියලා එන්නයි මේ යන්නේ. 

මගේ ජංගම දුරකථනය නාද වුණා. 

“කියන්න අනන්ත …”

“මං එන්නද නිම්නාදි ? …”

“ඔයා ගෙදර යන්න … ප්ලීස් ..”

“ඔයාට තනියෙන් පුළුවන් ද ?”

“ඔව් …”

මම ඇමතුම විසන්ධි කරා. සමහරවිට අනන්ත ට රිදෙන්න ඇති. ඒත් අනන්තයි මමයි නිසා අද මගේ ප්‍රාණ සම ප්‍රේමවන්තයා ට කොයි තරම් නම් රිදේවිද.? 

මම ඇඟිලි තුඩු වලින් ඇස් පොඩි කරලා කවුලුවෙන් ඉවත බැලුවා. ලෝකේ එක එක රේස් වල දුවනවා. මිනිස්සු එක එක ප්‍රශ්න වලට විසඳුම් හොය හොයා ඒ රේස් එකේ මුලදී, මැදදී, අගදී රේස් එකෙන් පිට පනිනවා. සමහරු රේස් එක ඉවර වෙනකල් සීරුවට දුවනවා. මම ඇස් ඒ දර්ශන වලින් ගලවා ගත්තා. 

ප්‍රාණ සරි ප්‍රේමවන්තයා …. ඒ තරමම පෙම් කල අයෙක් ඉඳලත් අනන්ත එක්ක අනන්තයට පියාඹන්න උත්සාහ කරන මම චපල ගැහැණියක් කියලා ඔබත් හිතන බව මම දන්නවා.

 ඔහු නිසල්. අපි මුණ ගැහෙන්නේ උසස් පෙල උපකාරක පන්ති යන  දවස් වල.  ඒත් ඔහුගෙන් ප්‍රේමයක් ගැන ඉඟි ලැබෙන්නේ අපි පේරාදෙණිය සරසවියට ඇතුළු වුනාට පස්සේ. ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. මම කලා පීඨයේ ශිෂ්‍යාවක්. ඒ හින්දාම ඔහුගේ ප්‍රේමය දැනුණේ නැහැ වගේ ඉන්න මම නොසෑහෙන්නම උත්සාහ කලා.

“උඹට පිස්සුද නිම්නාදි … මෙඩිකල් එකේ කෙල්ලෝ අපේ පස්සෙන් එන්නේ මෙහෙ පාලුව නිවාගන්න… අන්තිමේදී උඹට හුළං.. ඌ දොස්තර නෝනෙක් බැඳගෙන යාවි රට …”

මගේ මිතුරියන්ගේ නිගමනයම තිබුණේ එහෙම. මම නිසල්ව සෑහෙන්නම කාලේක ඉඳන් දැනගෙන හිටියත්, මිනිස්සුන්ට වෙනස් වෙන්න තත්පරය ප්‍රාමාණික කාලයක් ප්‍රමාණවත් බව දැනගෙන උන්න නිසාම මට ඒ මිතුරියන් ඉක්මවලා යන්න හිතුනේ නැහැ.හැබැයි, නිසල් අඟවන ප්‍රේමය නොදැනුණා වගේ ඉන්න හිතුනෙත් නැහැ.

අයිති කරගන්න එකම නෙවෙයි ප්‍රේමය කිව්වට, නිසල් ගැන ලෝබකමක් හිතේ අග්ගිස්සක කොනිති ගහමින් තිබුණා. 

මාස හයකට විතර පස්සේ එක පාරටම නිසල් මාව බලන්න එන එක නැවැත්තුවා. ඔහුගේ කෙටි පණිවිඩ නැවතුණා. සති අන්තේට ගෙදර ගිහිල්ලා ආපහු එනකොට, මම එනකල් කෝච්චි ස්ටේශන් එකේ ඉන්න එකත් නැවතුණා. එහෙම සති දෙක තුනක් ගෙවුනාට පස්සේ මට අහන්න ලැබුණ දෙයින් මම කුඩුපට්ටම් වෙලා ගියා.

“ආං…අර සත්‍ය ප්‍රේම බෘංග රාජයා මෙඩිකල් එකේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා…”

මම ඒක විශ්වාස කරගන්න බැරුව සෑහෙන්නම වෙලා කැන්ටිමේ වාඩි වෙලා හිටියා. ඒත් එදාම  හවස නිසල්ව එයාගේ ප්‍රේමවන්තිය එක්කම මගේ ඇස් ඉස්සරහට ගෙනල්ලා නතර කරන්න තරම් එදා දවසේ මගේ දෛවය මට සරදම් කරන ගමන් හිටියේ. 

කිසිම වෙනසක් නැතුව නිසල්ව පහු කරගත්තත් , මට ඊට පස්සේ රඟපාගෙන ඉන්න එක ලේසි වුණේ නැහැ. මම ඇඬුවා. වේල් කිහිපයක්ම නොකා නොබී හිටියා. දේශන මඟ හැරියා. මිතුරියන්ගේ බැණුම් නෑහුණා වගේ හිටියා. මට ප්‍රේම කරන වග පවසමින් නිසල් එවපු කෙටි පණිවිඩ ඔහේ කියව කියව හිටියා. ඒත්, නිසල් මාව අත් හැරලා බව ඒ කිසිම දෙයක් නිසා මට ඒත්තු ගැන්වුනේ නැහැ. 

සතියකට වගේ පස්සේ නිසල්ගෙ අංකයෙන් මට ඇමතුමක් ආවා. මම ඇමතුම මඟැරියා. ආයෙම ඇමතුමක් ආවා. මම ඒ ඇමතුමත් මඟෑරියා. තුන් වෙනි වතාවටත් එක දිගටම ඇමතුමක් එනකොට මම පිළිතුරු දුන්නා.

“ලෙක්චර්ස් නොයන්නේ මොකද කියනවා ?”

නිසල් යකෙක් වගේ මගේ ඇඟට කඩාගෙන පැන්නා.

” ඔයා කවුද මගෙන් ඒවා ගැන අහන්න… ම්ම්ං මගේ වැඩ බලාගන්නම්…”

මම යක්ශනියක්ම වුණා.

“නිම්නාදී මේ… මම හොස්ටල් එකට ඇවිල්ලා කුදලගෙන යන්න කලින් හොඳ හිතින් ලෙක්චර් හෝල් එකේ මට පේන තැනක ඉඳගන්නවා.. මම පැයකින් හරියට බලනවා….”

මම ඇමතුම විසන්ධි කලා. නිසල් ගැන පුදුමාකාර කෝපයක් දැනෙන්න ගත්තා. ඔහු උත්සාහ කරන්නේ මගේ ජීවිතය ට අනියම් ලෙසින් බලපෑම් එක් කරන්න කියලා හිතුණා. මම ආයෙම ඇඳේ පෙරලුණා.

එකපාරටම මම ඇහැරුණේ කවුරු හරි කතා කරන සද්දෙන්. ඇස් ඇරලා බලනකොට නේවාසිකාගාර පාලිකාතුමිය එක්ක වෛද්‍ය ආයතනයේ හෙදියක්. ඇය මගේ ළ්ඟට ඇවිල්ලා කරුණාවෙන් මට කතා කලා

” අසනීපෙන් නම් ඇතුලට වෙලා ඉඳලා හරියනවද දරුවෝ… බෙහෙත් ටිකක් ගන්න එපැයි …”

ඔවුන් මාව වත්තන් කරගන්නකොටවත් මට කිසිම දෙයක් තේරුණේ නෑ. ඒත් නේවාසිකාගාරය ඉස්සරහ මුණ ගැහුණ නිසල්ගේ කලබල ඇස් මට හැමදේම කිව්වා. මම නිසල්ට රැව්වා. නිසල් කලේ මට හිනා වුම එක. 

මම රෝහල් ගත කලා.  සේලයින් දුන්නා. පැයක් යන්න කලින් නිසල් ඔහුගේ පෙම්වතිය එක්ක මගේ ඉස්සරහ මතු වුණා. තව නන්නාඳුනන තරුණයෙක් ඒ පිටිපස්සෙන් හිටියා.

“මොකද ඔරවන්නේ ?”

නිසල් මගේ දිහාවට එබිලා අහනකොට මම අහක බලාගත්තා.

“මේ මුගේ කෙල්ල .. මගේ නෙවෙයි … දැන්වත් පිළිගන්නවද මට ආදරේ බව… ඔය උද්දච්ච කම පොඩ්ඩක් අඩු කරගෙන ඇත්ත පිළිගන්න …”

නිසල් එහෙම කියනකොට මට ඇස් ඇරුණා. හදවත වේගයෙන් ගැහුණා. අර තරුණිය නන්නාඳුනන තරුණයාගේ අතේ එල්ලිලා හිනාවෙනවා. 

එදයින් පස්සේ අවුරුදු දහ තුනක් යනකල් නිසල්ගෙ ආදරේ මගේ ජීවිතේ පිරෙව්වා. අපි ජීවිතේ සැනසීමෙන් ගුලි වෙලා බෙදාගත්‍තා. විවාහ වුණා. පෙම්වත් බවම රැඳුණා. රැකුණා. 

“මිස් … ලොකේශන් එක හරි …”

මම පියවි සිහියට එනකොට හිස අමුතු බරක තිබුණේ. තත්පර කිහිපයකින් මම රියැදුරාට ප්‍රතිචාර දැක්වූවා. කඩදාසි බෑග් එකත් අරගෙන මෝටර් රියෙන් බැස්සා. 

හීතළ හුළඟ මාව වහ ගත්තා. මෝටර් රිය නොපෙනී ගියා. මම කඩදාසි බෑගය ඇතුලේ තිබුණ මල් පොකුර අතට ගත්තා.

නිසල් මේ මල් පොකුර දිහා බලල හිනාවෙලා මගේ නළලත් ඉඹින බව මම දන්නවා. 

“මට ජීවිතේ මල් දුන්න එකම කෙල්ල ඔයා.. මං ඒකට හරිම ආසයි …”

අවුරුදු පාලොවකට ඉස්සර දාක පේරාදෙණියේ සරසවි භූමියේ ඇහුණ ඒ හඬ මට ආයෙම ඇහෙන්න ගත්තා. 

මම අඩිය දෙක ඉස්සරහට ඇවිදන් ගියා. නන්නාඳුනන ගැහැණු, පිරිමි බොහො දෙනෙක් මට පහු වුණා. ඒත් මගේ ඇස් හෙව්වේ නිසල් හිටපු තැන. 

ටික දුරකින් ඒ පණ සම පෙම්වතාගේ හිනාව පිරුණු ඇස් මට මුණ ගැහුණා. අපේ ඇස් හරි ඉක්මනට එකිනෙකා බඳාගත්තා. 

” අනේ මට සමාවෙන්න නිසල්…”

මම එහෙම කියද්දී පවා නිසල්ගේ හිනාව ෆේඩ් වුණේ නැහැ 

” ඔයාගෙන් මිදෙන්න පුළුවන් වේවි කියලා මං කවදාවත් හිතුවේ නෑ .. මට කවදාවත් එහෙම ඕනි වුනෙත් නෑ.. ඔයාට මතකද අතන එහා ඉන්න අම්මවයි බබාවයි. ඒ බබාගේ තාත්තා මතකද ? දැන් මාස අටකට විතර උඩදි මම ඔයාව බලලා යනකොට පාරෙදි කලන්තේ දැම්මා… ඒ තාත්තා තමයි මාව හොස්පිට්ල් එක්කගෙන ගියේ… එදා ඉඳන් එයා මගේ ගැන හොයලා බල බලා ආවා… මට තේරෙන්නේ නැතුවම මම එයාට ඉඩ දීලා නිසල්… එයා දැන් මගේ ජීවිතේ හරි වටින කෙනෙක් වෙලා… එයා අනන්ත..  එයා එක්ක අනන්තේට පියාඹන්න මට කතා කරනවා එයා… ඒ ගියාම මෙහෙම හැමදාම මට ඔයාව බලන්න එන්න බැරි වෙයි…. මුහුදු ගානක් එහාට නේ යන්නේ අපි…. ඔයාට පරෙස්සම් වෙලා ඉන්න පුළුවන් ද නිසල්…”

මගේ අතේ තිබුණ සුදු රෝස පොකුර මම නිසල්ට දුන්නා. මම එච්චර අඬනකොටත් නිසල් හිනාවෙනවා. 

“අපි දැන් යමු නිම්නාදී… නිසල් තේරුම් ගත්තා.. මගේ දූයි, පාරමියි වගේම ..නිසල් තේරුම් ගත්තා….”

මගේ ලඟින් අනන්තගේ හඬ ඇහුණා. අනන්ත එයා අතේ තිබුණ ඉටිපන්දම් දෙක නිසල්ගේ ලඟින් පත්තු කලා. 

” අතන ඉන්නේ මං ජීවිතේ හරි පරෙස්සමට රැකපු දෙන්නෙක් මචං… තත්පරේ පමාවෙන් ඒ දෙන්නම නැති වුනා… පාරමී කියන්නේ තනිකමට හරිම බය ගෑණියෙක් .. හරියට නිම්නාදි වගේම… ආයේ මං එන කාලෙක පාරමීට මාව මතක තියේවිද දන්නේ නෑ… උඹ දැන් ඉන්න ලෝකෙක පාරමී මුණ ගැහුනොත් ඒකිවයි, මගේ දරුවාවයි බලාගනින්..”

එහෙම කියනකොටත් නිසල් හිනාවීගෙනම හිටියේ. අනන්තට ඇඬුණා. මගේ ඇඬුම් වැඩිවුණා. හුළඟ ඊටත් සද්දෙන් ඇහුණා.

ඉටිපන්දම් නිවෙන්ම නොදී පරෙස්සම් කලේ අනන්ත.

” යන්නද නිසල් ?”

මම එහෙම ඇහුවා. අනන්තගේ අත් වලට අස්සෙන් ආව හුළඟ ඉටිපන්දම් නිව්වා. 

රෝස මල් මිටි උඩට වැහි බින්දු වැටුණා.

සොහොන් කොත් වල ඉටිපන්දම් පත්තු කරමින් උන්න අය එහෙ මෙහෙ  දුවන්න ගත්තා. 

අනන්ත මාව වත්තන් කරගෙන නැගිට්ටා. මම ආයෙම නිසල් දිහා හැරිලා බැලුවා.

” සුදු රෝස මල් මාවත දිගේම යන්න නිසල් ….

නිසල් කාරියප්පෙරුම මහතාට නිවන් සුව ලැබේවා..

උපත – 1985.6.19

විපත – 2020.6.27 …….” 

නිසල්ගේ හිනාව එහෙමම තිබුණා.

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles