“ අද පුදුමයි අරයා වේලාසනින්ම නැගිටලා ඔෆිස් ගියා. වෙනද සිය පාරක් කතා කරන්න ඕනේ.එක පාරක් කතා කරලා ඇවිත් දෙවනි පාර යද්දී කන් දෙකට හෙඩ් ෆෝන් ගහගෙන නිදි.”
එසේ පවසමින් පහත මාලයට ආ තේජා සිය ලේලිය අසලින් අසුන් ගත්තේ බිම වාඩිවී සෙල්ලම් කරමින් උන් මිණිබිරියවත් තමාගේ උකුලට ගෙනය.
“ ඔව් අම්මා විශ්වත් එක්කමයි ගියේ..”
“ ඇයි එයාගේ කාර් එක…”
“ යාළුවෙක්ට දුන්නා කිව්වා ඊයේ.එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව බලන්න යන්න.”
“ අනේ මන්දා මේ කොල්ලා..මොනවා හිතිලද දන්නෙ නෑ.දැන් ඔෆිස් යන්න ටිකක් උනන්දුයි…”
“ අම්මා බයවෙන්න එපා. විශ්ව කියනවා වගේ මේ හැම දඟකාරකමක්ම ටික දවසක් විතරක් වෙයි…
“ ඒ දඟකාරකම් හිතුවක්කාරකමක් නොවුනොත් හොඳයි.එයා අනිත් මිනිස්සුන්ට උදව් කරන්න තියෙන කැමැත්තම තමන්ගේ දේවල් රැක බලා ගන්නත් ඇති වෙන්න ඕනේ.
ඒක නෙමෙයි දුව.මම ඔයත් එක්ක කාරණයක් කියන්න හිටියේ.තාත්තත් එක්කත් තවම කතා කලේ නෑ මං ඒ ගැන..”
“ ඒ මොකක්ද අම්මා”
“ අපි චූටි පුතාට කෙනෙක් බැලුවොත් නරකද.ඔයා දන්න කියන දරුවෙක් හරි කමක් නෑ..”
“ මල්ලි කැමති වෙයිද අම්මා.”
“එක පාරට ඉතින් කැමති වෙයි කියලානම් හිතන්න අමාරුයි.ඒ වුනාට කවද හරි ඒ දේවල් කෙරෙන්නත් ඕනනේ.මට හිතෙනවා එයාගේ ළඟ කවුරුහරි හිටියොත් එයා ජීවිතය දිහා මීට වඩා වගකීමෙන් බලන්න පටන් ගනියි කියලා.”
“ මල්ලි හිතන විදිහ ටිකක් අමුතුයි කියලා මට හිතෙනවා අම්මා. එයා විශ්වට වඩා ගෑනු ළමයි ඇසුරු කරපු කෙනෙක්. ඒ සිය ගණනක් ගෑනු ළමයි අතරෙ එයාට ගැලපෙන කෙනෙක් හිටියේ නෑ කියන්නේ මල්ලී කෙනෙක්ව එයාගේ ජීවිතේට ලං කර ගන්න සෑහෙන්න හිතනවා කියන එක. අනික අම්මා මල්ලිව හදන්න කියලා අපි එයාට ලං කරන ගෑණු ළමයා සීයට සීයක්ම හොඳ කෙනෙක් කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද….”
“දුව කියන දේ මට තේරුනේ නෑ.”
රෂාරා බිමට බැස්සේ තේජාගේ කම්මුලක් සිප ගෙනය.සීයා ඊයේ පෙරේදා ගෙනැවිත් දුන් මුළු තැන්ගෙයි උපකරණවල හැඩය ගත් සෙල්ලම්බඩු කිහිපයත් බෝනික්කන් කිහිප දෙනාත් වටකරගත් දියණිය ඇගේ සෙල්ලම් ගෙදර අම්මා වී සිටී.
“ මට හිතෙනවා අම්මා එයා ගෑනු ළමයෙක්ගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා කියලා. මල්ලි විහිළුවට හරි හැමතිස්සෙම කියනවනේ ‘ මං හරි පරිස්සමට හැදුනු කොල්ලෙක් මට ඕනේ ඒ වගේම මාව පරිස්සම් කරන්න පුළුවන් කෙනෙක් කියලා.”
එවර නර්මදා පැවසූයේ සිනහමුසුවය
“ඒකෙ අනිත් පැත්තෙන දුව වෙන්න ඕනේ පිරිමි ළමයෙක් තමයි ගෑනු ළමයව පරිස්සම් කරන්න ඕනේ.එහෙම නැතුව ගෑණු ළමයි පිරිමි ළමයව පරිස්සම් කරනවා නෙමෙයිනේ.”
“ නෑ අම්මා මල්ලි ඒක කියන්නේ ඒ අර්ථයෙන් නෙමෙයි. එයා හොඳ ගෑනු ළමයි අතරිනුත් එයාට හොඳම කෙනා හොයනවා. එයා කියන්නේ එයා පරිස්සම් කරපු ජීවිතේ එයාට වටිනවා, එයා ගැන ඒ තරම්ම වටිනාකමක් දැනෙන කෙනෙක් තමයි එයාගේ ජීවිතයට ලං කර ගන්නේ කියලා.”
“ අනේ ඒ පණ්ඩිතකං..අපි එකක් කිව්වොත් එයාට කියන්න සීයක් දේවල් තියෙයි.ලොකු පුතා ඔයාව තෝර ගත්තෙත් මේ වයසෙදි දුව..”
“ අපි හෙමින් බලමු අම්මේ.මං ටිකක් ඒ ගැන කතා කරන්නම්.දන්නවනේ තරම. “
“හපොයි ඔව් මෙතන මොන ගිනි විච්ජුම්බරයක් කරයිද දන්නේ නෑ.දුවම ටිකක් හෙමින් කතා කරල බලන්නකෝ. අර ගර්ල්ගෙනුත් හරියට වැඩ ගන්නවා කියලා මට මහින්ද කිව්වා. ඔෆිස් එකේ වැඩ මදිවට මෙයාගේ සොසයිටි එකේ වැඩත් ගෙනල්ල ඒ ගර්ල්ට දෙනවලු..”
“ ඒ ළමයත් හරි දක්ෂයිලු අම්මා. අනිත් එක විශ්ව කියනව මොන තරම් වැඩ වැඩි වුනත් කොයි වෙලාවෙත් හිනාවෙච්ච ගමන්ලු. විශ්වටත් හරි පහසුයි කිව්වා.හිමාෂා වගේමලු.වැඩ හරි පිළිවෙලයිලු.”
“ඒක මට තාත්තත් කිව්වා දුව.බය නැතුව වගකීමක් බාර දෙන්න පුළුවන් දරුවෙක් කියලා.”
“ අම්මා දුවව නර්සිරි දාන්න හොඳ තැනක් බලන්න වෙයි නේද.මං විශ්වටත් කිව්වා.ප්ලේ ගෲප් එකේ ඉඳලා යන එක හොඳයි කියල මට හිතෙනවා.”
“ ඒක හොඳයි තමයි දුව.ගෙදරදි මෙහෙම හුරතල් වෙවී හිටියට මදි එයා දැන් එයාගේ සම වයසේ යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න ඕනේ.ඒ විතරක් නෙමෙයි.දැන් එයාට නංගියෙක් හරි මල්ලියෙක් හරි ඉන්නත් ඕනම කාලේ.එයාලා අතරේ ලොකු වයස් පරතරයක් තියන්න හොඳ නෑ දුව..”
“ මට දුවගේ වැඩ කරගන්න වෙනේකක් නෑ කියලා බයයි අම්මේ ..”
“ මමත් ඉන්නවනේ දුව.එයාව මට දීලා ඔයා මේ බෝනික්කිගේ වැඩ ටික කරගන්න. දුවගේ හිතේ නර්සරි එකක් ගැන අයිඩියා එකක් තියෙනවද…”
“ අම්මා විශ්ව කියන්නේ අපි දුවට මියුසියස් එක ට්‍රයි කරමු කියලා.මමත් ඕ ජී එකේ ඉන්න නිසා පහසුවෙන්ම පුළුවන් වෙයි. එහෙම උනොත් මියුසියස් නර්සරි එකේ ඉඳලම අපිට පටන් ගන්න පුළුවන්නේ අම්මා..එහෙම හොඳයි නේද..”
නර්මදා තම නැන්දණියගෙන් යමක් විමසන්ගේ මූනිච්ඡාවට නොවේ.ඇය ගතානුගතික මති මතාන්තර කරපින්නා ගත් ගැහැණියක නොවූවාය. එනිසාවෙන්ම විවෘතව ඈ හා යමක් කතා කිරීම පහසුය.සිත රිදුණු යම් තැනකදී වුවත් තීරණයක් ගත නොහැකිව ලතැවුණු යම් තැනකදී වුවත් ඇයට තේජාගෙන් ලැබුනේ සහායකි.
“ ඔව් ඒක හොඳ අදහසක්.හෙට අනිද්දම ලොකු පුතාට කියන්න ඒ ගැන හොයලා බලන්න කියලා. මේ බොනික්කි විතරක් නෙමෙයි..මේ ගෙදර පුංචි පැටව් කිහිප දෙනෙක්ගෙම හිනාවල් වලින් පිරෙන්න ඕනේ.තාත්තයි මමයි එයාල උස් මහත් කරන වගකීම බාර ගන්නම් ඔයාලට තියෙන්නේ සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න..”
තේජා එවර තමා සමීපයේ උන් ලේලියගේ හිස අත ගෑවේ දයාබරවය.ඇගේ සිතේ දියණියක නොමැති වූ අඩුව පිරෙව්වේ නර්මදාය.අකලංකට ලැබිය යුත්තේත් නර්මදා වන් වූ ගැහැණු දරුවෙකුයැයි ඈ සිතුවාය.පුතෙකුගේ විවාහය ගැන අම්මා කෙනෙකුගේ සිතෙහි වන්නේ බියකි.සැකයකි. සාමය සතුට පිරි කැඳැල්ලක් එක් ක්ෂණයකින් සුණු විසුණු කර දමන්නට නිවසට එන ලේලියට හැකියාව වෙතැයි ඈ විශ්වාස කළාය. මේ නිවසේ කවදත් වූයේ සාමකාමී පරිසරයකි.නර්මදා ගැනත් ඒ බිය ඒ අයුරින්ම ඇගේ සිතෙහි විය.එහෙත් ඕ ලොකු පුතා වෙනුවෙන් පමණක් නොව නිවසේ සියල්ලෝම වෙනුවෙන් තම යුතුකමත් වගකීමත් නොපිරිහෙලා ඉටු කරයි. අකලංක විවාහ විය යුත්තේත් සාමයෙන් සතුටින් මේ නිවසේ ජීවත් විය හැකි අයෙකි.
මහින්දත් තේජාත් නගරාසන්නයේ වූ මේ තෙමහල් නිවස සෑදූයේම සියල්ලෝම එක්ව වාසය කරනු දැකීමේ පරමාර්ථයෙන්ය.පහත මාලය ඔවුන් සඳහාද , දෙවනි මහළ විශ්වත් ඔහුගේ බිරිද හා දරුවන්ගේ පරිහරණය සඳහාද තෙවන මහළ අකලංකගේ පරිහරණය සඳහාද වෙන් කර තිබිණ.මහල් තුනේම කාමර හතර බැගින්ද ඒවාට යා වූ නාන කාමරද , විසිත්ත කාමරයකින් සඳැල්ලකින්, මුළුතැන් ගෙයකින් ,කෑම කාමරයකින් යුතු විය.පිටතින් බලනකල එය විසල් නිවසකි. ඒ විසල් නිවස බැබළීමටනම් දරුවන්ගේ සතුට , සමඟිය වැදගත්ය.
********=======*******=====******—-
සචින්ට වසරක් සැපිරීමට තිබුනේ තෙසතියකටත් වඩා අඩු කාලයකි.අම්මාගේ මරණය සිදු වූයේ ඔහු ඉපදී ගෙවී ගිය තෙදිනකට පසුවය. එනිසාම සොයුරාගේ උපන්දිනය වෙනුවෙන් යමක් කරන්නට කැමැත්තක් දිනාරාගේ සිතෙහි වූයේ නැත. අම්මා වෙනුවෙන් දානයක් පිළියෙල කර පන්සලකට පූජා කළ යුතුයැයි ඕ ප්‍රියංකා හා පැවසූයේ මින් මසකට පමණ ඉහතදීය. එකට බැඳී තිබූ සොයුරාගේ උපතත් අම්මා මරණයත් ඇගේ සිත්හි ඇති කලේ එකම හැඟීමකි.
“ පුතේ අපි අම්මා වෙනුවෙන් දානෙ දීලා ඒ පින් දහම් කටයුතු කරමු.ඒ වගේම මේ අහල පහල ඉන්න කීප දෙනෙකුට විතරක් කියලා මල්ලිගේ අතින් පොඩි කේක් එකක් කපලා ඒ අයට කෑම චුට්ටක් දෙමු…”
ප්‍රියංකා පැවසූයේ දානය ගැන කතා කරමින් උන් එක් රාත්‍රියකය එදින රෑ කෑමට ඈ පිළියෙල කර තිබුනේ ඉදි ආප්පත් කිරි මාළු හොදිත් පොල් සම්බෝලත්ය.දැන් දිනාරාට කොළඹ තරමක් හුරු පුරුදුය. සවස කාර්යාලයේ සිට එද්දී විටෙක ඈ රාත්‍රී ආහාරයට සැහැල්ලු යමක් රැගෙන ඒ.
ප්‍රියංකා කේතකී වෙනුවෙන් දානය දීමට රාජගිරියේ වූ දසසිල් මාතා ආරාමයක් තෝරා ගෙන තිබිණ..එහි සිල් මෑණිවරුන් අට දෙනෙකු විය. ඔවූහු මස් මාංශයෙන් තොර වූ නිසා දානය සඳහා පිළියෙල කළ යුතු වූයේ එළවලුත් පලා වර්ගයකුත් පමණි.
ඊට අමතරව හතු බැඳුමක් සාදන්නට ප්‍රියංකා තීරණය කළාය.
“ මට එහෙම කරන්න හිතෙන්නෙ නෑ ආන්ටි.මල්ලිගේ උපන්දිනෙත් එක්කම අම්මා අපිව දාල ගියා කියන එක මට අමතක කරන්න බැහැ. ඒ දවස් කීපයේදී මට අම්ම වෙනදාට වඩා මතක් වේවි. අයි සී යූ එකේ ඇඳකට වෙලා මුළු ඇඟ පුරාම බට ගහගෙන ඔක්සිජන් වලින් හුස්ම අල්ලගෙන හිටපු අම්මා ලොකු දුකක් වින්දා ආන්ටි.එයාට කතා කරන්න පුළුවන්කමක් තිබුණෙ නෑ.මං හොස්පිට්ල් එකට ගිය හැම වතාවකම අම්මා මගේ අත අල්ලගෙන මොනවා හරි කියන්න උත්සාහ කළා.”
“ පුතේ…මේ අහන්න.අපි හැමෝම ඉපදෙන්නේ මරණය අත මිට මොළවගෙන.ඔයාට , මට මේ හැමෝටම අපේ ජීවිතය දාල යන්න දවසක් එනවා පුතේ.ඒ වගේම තමයි ඒකට ඉබේටම හේතුත් නිර්මාණය වෙනවා.අම්මගේ මරණයට මල්ලි වග කියන්න ඕනේ කියලා මගේ පුතාට හිතෙනවද..”
එවර ප්‍රියංකා ඇසුවේ යුවතියගේ මුහුණට එබීගෙනය.ඇගේ දෑස් අග දිලිසෙමින් තිබුණේ කදුළු කැට දෙකකි. ඈ සිටින්නේ එවන් සිතුවිල්ලකින්නම් එය එතරම් යහපත් නොවේ.
“ අනේ නැහැ ආන්ටි.ඒක එහෙම හැඟීමක් නෙමෙයි.මට කියන්න තේරෙන්නේ නෑ..මට හරි දුකයි..ඒක කවදාවත් අමතක කරන්න බැරි දුකක්..”
“ මට තේරෙනවා පුතේ.අම්මගේ මරණෙ සිද්ධ වෙච්ච දවස් වලටම යෙදුණු මල්ලිගේ උපන්දිනේ සමරන එක වරදක් විදිහට නේද ඔයාගේ හිත දකින්නේ..”
“ ඔව් ඒක එහෙම වෙන්න ඇති ආන්ටි..අපිට බැරිද මල්ලිගේ උපන් දිනේට එහෙම උත්සවයක් නොගෙන ඉන්න.”
“ පුතේ අම්ම යන්න ගියා.හැබැයි මල්ලි අපිත් එක්ක ජීවත් වෙනවා.ඉන්නකො පුතේ ටිකක්…”
දිනාරාගේ කාමරයට ගිය ප්‍රියංකා යළි පැමිණියේ යුවතියගේ ජීවිතයේ විශේෂ මතක සටහන් වූ පින්තූර ඇල්බමයත් රැගෙනය. ඒ අම්මා පරිස්සමට සුරැකි මතක සටහන්ය.එය වලව්වෙන් පිටව එද්දී දිනාරා බොහෝ ප්‍රවේශමට තම අත් බෑගයේ දමාගෙන ආ එකකි.
“ මේ බලන්න පුතේ…ඔයාගේ පළවෙනි බර්ත් ඩේ එකේ ඉඳලා හැම බර්ත් ඩේ එකකම ෆොටෝස් මේකෙ තියෙනවා.ඔයාගේ අම්මටත් ගොඩක් දේවල් නැති උනා පුතේ.තාත්තා ජීවිතේ දාලා නොගියට අම්මගේ ජීවිතෙන් තාත්තා සදහටම ගියා..එහෙම වෙලත් අම්මට ඕන උනේ නෑ පුතේ ඔයා වෙනුවෙන් සතුටු වෙන්න තියෙන අවස්ථා මග හරින්න.අම්මා ඔයාගේ පළවෙනි උපන්දිනේ සමරනකොට මම හිටියේ කොන්වර්ට් එකේ. ඒ උපන්දිනේට කපපු කේ කෑල්ලක් අරන් තියලා ඔයාගේ අම්මා මට ඒක වලව්වේ ඩ්‍රයිවර් කෙනෙක් අතේ එවල තිබුණා.එදා අම්මා මට ලියුමකුත් එවලා තිබුණා.ඔයාගේ උපන් දිනයට කේක් එකක් කපන්න ඕනේ කියලා අම්ම කියද්දී වලව්වේ හැමෝම ඒකට විරුද්ධ වෙලා තිබුණා.ඔයාගේ ආච්චි අම්මත්.ඒ උනාට අම්මා ඔයා වෙනුවෙන් ගතපු ඒ තීරණය වෙනස් කරලා තිබුණෙ නෑ. අන්තිමට ඔයාගේ මේ චූටි කේක් එක කපන්න ඔයත් එක්ක ඉඳලා තිබුනේ ආච්චි අම්මයි අම්මයි විතරයි.ඒ උනාට මේ පින්තූරෙ ලස්සන මතකයක් නේ පුතේ.ඇයි අපි මල්ලිගෙන් ඒ ලස්සන මතක උදුර ගන්නේ. මේවා පරම්පරාවකටම වටින මතක.ඔයා හිතනවද එදා අම්මගේ හිතේ තාත්තා නැති දුක තිබුණේ නෑ කියලා.තිබුණා පුතේ.එයාට දරා ගන්න බැරි තරම් දුකක් තිබුණා.. අපි අම්මා වෙනුවෙන් පින් දහම් කරනවා වගේම මල්ලිට ඒ ලස්සන මතක පරිස්සම් කරලා දෙමු.එයා පිරිමි දරුවෙක් පුතේ.මගේ අම්මට ජීවිතේ දාල යන්න සිද්ධවුනේ මං නිසා කියන හැඟීම කවද හරි දවසක එයාගේ හිතට ආවොත් එයාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්.ගෑණු දරුවෝ කඳුළින් විඳගන්න දුක පිරිමි දරුවෝ පිටකරන්නේ ආවේගශීලීව.”
“ ආන්ටි…..”
දිනාරා එවේලෙහි ප්‍රියංකාගේ දෑත් අල්ලා ගත්තේ සෙනෙහසින්ය. ඇය සැබවින්ම ජීවිතය කියා දෙන තක්සලාවකි.
“ අපි මේ මල්ලි වෙනුවෙන් පාටියක් දානව නෙමෙයි පුතේ. ඔයාගේ මල්ලිව බලන්න දවල්ට දුවගෙන එන කීප දෙනෙක් ඉන්නවා. ඒ අය හවසට උයා ගන්නකල් මං රෙදි ටික සෝදනකල් මල්ලිව බලා ගන්නවා..බෝලෙ වගේ ඉන්න මේ කොල්ලට ඒ හැමෝම හරි ආදරෙයි.අපි ඔක්කොම එකතු උනත් දහ දෙනෙක් වෙයි.චූටි කේක් එකක් කපලා ඒ අයට රෑට කෑම ටිකක් දෙමු.”
දිනාරා එවර හිස වැනුවේ ඇයට එකඟ වෙමින්ය.ඕ ප්‍රියංකා මේසය මතින් ගෙනවිත් තැබූ පින්තූර ඇල්බමය පෙරළා බැලුවේ දෑස් මුල එක් වූ කදුළු ඔහේ ගලා යද්දීය. ඕ පැවසුවේ සැබෑවකි.මේ සතුට ඔහුගෙන් උදුරා ගතයුතු නොවේ. ඒ ජීවිතය ගැන ඔහුටම කළකිරීමක් ඇතිකල යුතු නොවේ.
( හෙටත් හමුවෙමු දයාබරව )