දික්කසාදය නොදී බිරිඳට හිංසා පීඩා කළ සැමියෙක්

නීතිඥ උපේක්ෂා ලසන්ති අධිකාරි මෙනෙවියගේ වෘත්තිය ජීවිතය ඇසුරෙන් පළ කරන්නකි.නම්ගම් මනංකල්පිත වේ.

රෝහිණි සහ චමින්ද දැඩි ලෙස අඩදබර සහිත ජීවිතයක් ගෙවන යුවළක්.මොවුන්ගේ විවාහ ජීවිතයට වසර දොළහක් දහතුනක් ගත වී තිබුණා.

“අම්මා තාත්තා පවා අකමැති වෙද්දි මම ඔයා එක්ක ආවෙ.මෙච්චර කාලයක් ඉවසගෙන හිටියට,දරුවො හැදුවට මට දෙන තෑග්ගද මේ ගැහිල්ල.”

රෝහිනිට හඬමින් වැළපෙමින් එසේ විමසීමට සිදුවූයේ චමින්ද ඒ තරමට ඇයට පහර දීම පුරුද්දක් කර ගත් නිසා.මෙසේ ගැටුම් ඇති කරගත්තත් අවුරුදු දහයක සහ අටක දරුවන් දෙදෙනකු ද ඔවුන්ට සිටියා.චමින්ද සෑම ආකාරයකම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයෙක්.මත්පැන් පමණක් නොව හෙරොයින් ආදියට ද ඔහු ඇබ්බැහිවී සිටියා.ඔහුගේ මුළු ජීවිතයම ගත වන්නේ මත්ද්‍රව්‍ය වෙනුවෙන්.එපමණක් නොවේ,ඔහු නිරන්තරයෙන්ම රෝහිණී ට හිංසා කිරීමට සහ  පහර දීමට හුරු පුරුදු වී සිටියා. දිගින් දිගටම මේ අඩන්තේට්ටම්වලට ලක් වෙමින් සිටි රෝහිණි දික්කසාදයකට යොමු වීමට තීරණය කර තිබුණා.

“දික්කසාද වෙන්න හැදුවොත් නම් මං උඹව මරනවා”

චමින්ද ඒ සෑම මොහොතකම රෝහිණීට තර්ජනය කරන්නට වුණා.වෙනකක් තබා ගෘහස්ත හිංසනයට ලක් වන අවස්ථාවකදී පොලිසියට පැමිණිලි කරන්නට වත් රෝහිනීට අවස්ථාවක් සැලසී තිබුණේ නැහැ.ඒ අතර චමින්දගේ අස්වාභාවික ක්‍රියා දිගින් දිගටම වැඩි වෙන්නට පටන් ගත්තා.

“චමින්ද ඉන්නේ හොඳ මානසිකත්වයකින් නෙමෙයි හින්දා එයා ගොඩක් වෙලාවට මට දරුවෝ ඉස්සරහ ලිංගිකව හැසිරෙන්න පවා බල කරනවා.”

රෝහිනි අප මුණ ගැසුණු විට අපට පැවසූයේ එවැනි කතාවක්.ඇයට ඇගේ මහගෙදර පදිංචියට එන්නටවත් චමින්ද ඉඩ දී තිබුණේ නෑ.
ඇය මුලින්ම අපෙන් ඉල්ලා සිටි උපකාරය වූයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර දරුවන්ගේ පාසල් පොත පත ලබා ගැනීමට ඉඩ දෙන ලෙසයිපොලිස් පැමිණිල්ල විභාගයට වත් චමින්ද පැමිණියේ නැහැ.

“මේ කවුරුහරි මාත් එක්ක ගෙදර යන්න එනවද? අපි දරුවන්ගේ පොත් ගෙන්න ගියාම චමින්ද අපිව ගේ ඇතුලට දාලා ලොක් කර ගත්තොත් මොකද කරන්නේ?”

රෝහිනි පොලිස් නිලධාරීන්ගෙන් සහ අපෙන් ඉල්ලා සිටියා.
ආරක්ෂාවට පැමිණ පිටත රැඳී සිටීමට පොලිසිය එකඟ වුවත් තනිව නිවෙස තුළට යාමට පවා රෝහිණී බියට පත් වුණා.අනතුරුව ඇය ඒ ගමන ගියේ චමින්ද නිවසේ නැති මොහොතකදී.පොලිස් නිලධාරීන් දිගින් දිගටම දැන්වූ පසු චමින්ද පොලිසියට පැමිණියත් ඔහු වෙන් වීමකට කැමැත්ත පළ කළේ නැහැ.ඔහුට අවශ්‍ය වූයේ ම පවුල සමග රැඳී සිටීමටයි.

“ඇයි මං වෙන් වෙන්නේ? මේක මගේ පවුලනේ”

රෝහිණීට දරුවන් පොලිසිය හරහා භාර ගන්නට අවශ්‍ය වුණා.නමුත් එවැනි හැකියාවක් නොමැති බව ප්‍රධාන පොලිස් නිලධාරීතුමා රෝහිනීට පහදා දුන්නා.පොලිසියකට හැකියාව ඇත්තේ දෙපාර්ශවය සමථයකට පත්කිරීමට කටයුතු කිරීමට හෝ  සිවිල් නඩුවකට යොමු කර මේ තත්ත්වය විසදා ගැනීමට උපදෙස් ලබා දීම බව ඔවුන් රෝහිනීට විස්තර කළා.

ගෘහස්ථ හිංසනයට ලක් වෙමින් මෙවැනි ගැටලුවලට මුහුණ දෙන කාන්තාවන් ඕනෑතරම් අද සමාජයේ සිටිනවා.ඔවුන්ට ද රෝහිනිගේ කතාවෙන් ඉගෙන ගන්නට පාඩම් බොහොමයක් තිබෙනවා.මේ රෝහිනි සම්බන්ධයෙන් ක්‍රියා කල ආකාරය ගැන නීතිඥ උපේක්ෂා ලසන්ති අධිකාරි මෙනෙවිය පළ කළ අදහස්.

දරුවන් ලබා ගැනීම සම්බන්ධයෙන් රෝහිනීට දික්කසාද නඩුවේ දී ම ඉල්ලීමක් කළ හැකි බව නීතිඥ කණ්ඩායම ඇයට වටහා දුන්නා.ඉන්පසු දරුවන්ගේ භාරකාරිත්වය ද ලබාගත හැකි බව අපි පැහැදිලි කර දුන්නා.ඒ නිසා චමින්ද ගෙන් මිදී තම දෙමාපියන් වෙතට ගිය රෝහිණී දික්කසාද නඩුවක් සහ දරුවන්ගේ භාරකාරිත්වය ඉල්ලා නඩුවක් ගොනු කළා.

දරුවකු පැවරීමේ දී උසාවියෙන් සෑම විටම සලකා බලන්නේ දරුවාගේ උපරිම යහපත සම්බන්ධයෙන්.මෙහිදී වාසි වන්නේ රෝහිනිටයි.මත්ද්‍රව්‍යයට දැඩිසේ ඇබ්බැහිවූ ස්ථිර රැකියාවක් නොමැති චමින්දට දරුවන් ලබා ගැනීමට හැකියාව ඉතා අල්ප බව අපි ඇයට පැහැදිලි කර දුන්නා.දරුවන් තමන් සමග සිටියදී හොඳින් අධ්‍යාපනය හදාරන බව සහ ඔවුන් සුරක්ෂිතබව රෝහිනි උසාවියේ දී ඔප්පු කළ යුතු වුණා.ඇයට රැකියාවක් පැවතීම සහ දේපළ තිබීම ද ඇගේ වාසියට හේතුවක් වී තිබුණා.ඒ කරුණු දිගින් දිගටම ඔප්පු කර ගැනීමත් ඒ අතර මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැරදි කිහිපයකටම චමින්ද වැරදි කරුවෙකු වීමත් නිසා රෝහිණී ට දරුවන් ලබා දිය යුතු බව උසාවිය තීන්දු කළා.

ගෘහස්ථ හිංසනය සම්බන්ධ කරුණු ඔප්පු කර ගැනීමටත් රෝහිණි සමත් වුණා.ඇය වරින් වර කර තිබූ පොලිස් පැමිණිලි සහ චමින්දගේ දැඩි ප්‍රහාර හමුවේ රෝහල් ගත වීමට සිදුවීම් නිසා ලබාගත් වෛද්‍ය වාර්තා මෙහිදි ඇයට සහනයක් වුණා.චමින්දගේ පාර්ශවය දික්කසාදය ලබා ගැනීමට අකමැති වීම නිසා නඩුව යම්තාක් කාලයක් කල් ඇදුනත් අවසානයේ රෝහිනි ජයග්‍රහණය කළා.දරුවන්ට නඩත්තු ආදිය සැපයීමට චමින්දට හැකියාවක් නොතිබෙන බව හොඳින්ම දන්නා නිසා එයට රෝහිනි ඉල්ලීමක් ඉදිරිපත් කළේ වත් නැහැ.දරුවන්ව මාසයකට වතාවක් මුණ ගැසීමේ අයිතිය චමින්දට ලැබුණා. නිදහසේ අධ්‍යාපනය හදාරන ඇගේ දරුවන් ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් වී නගරයේ පාසල් වලට පවා සුදුසුකම් ලැබුවා.තමන්ගේ රැකියාව හොඳින් කරමින් පවුලේ දේපල පාලනය කරමින් රෝහිණී දැන් නිදහස් ජීවිතයක් ගත කරනවා.උසාවි කටයුත්තකදී අපට චමින්ද මෑතකදී දකින්නට ලැබුණු අතර ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවකට සිරගත වුණා.

ගෘහස්ථ හිංසනය යනු ඉතා දරුණු මට්ටමේ අත්දැකීමක්.කිසිම ගැහැනියක ඒ අත්දැකීම විඳිය යුතු වන්නේ නැහැ.අනෙක් අතට දෙමාපියන් ගැටුම් ඇති කරගන්නා පරිසරයක ඇතිදැඩි වන දරුවන් ද දැඩි මානසික පසුබෑම්වලට ලක් වෙනවා.රෝහිනීගේ දරුවන් පවා හොඳින් අධ්‍යාපනය ලබන්නට පටන් ගත්තේ අම්මාගේ මහ ගෙදරට ගොස් සාමකාමී පරිසරයක ජීවත් වීමට පටන් ගත් පසුවයි.අනිත් කාරණාව දිගින් දිගටම ඉවසීම ප්‍රගුණ කරමින් ගෘහස්ත හිංසනය දරා ගන්නා සමහර කාන්තාවන්ට වන්දි ගෙවන්නට සිදු වූයේ තමන්ගේ ජීවිතයෙන්.ඒ නිසා ඔබ දැඩි ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවක් එතැනින් ඉවත්වීමට කිසිවිටෙකත් පසු බාන්නට එපා.

නීතිය සෑම විටම පවතින්නේ නිවැරදි පාර්ශ්වය සමග බව සිහියේ තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles